“දෙවියන් මිය ගොසිනි. ඔහු මිය ගොස් අවසන් ය, අප ඔහු මරා දමා ඇත.” – (ෆෙඩ්‍රික් නීට්ෂේ :1844 – 1900)
ඒ තමයි දෙවියන්ගේ මරණ දැන්වීම..! ජර්මන් දාර්ශනිකයා – නීට්ෂේ ඒක නිවේදනය කළේ 19 වැනි සියවසේ අග භාගයේ දීයි. ඒ වන තෙක් කිසිවකු එය නිවේදනය කරන්න තරම් නිර්භීත වුණේ නැහැ. 20 වැනි සියවස – අලුත් සියවසක් – සැම ආකාරයෙන් ම සැම දෙයක් ම වෙනස් වීමට නියමිත සියවසක් ආරම්භයේ දී පැරැණි ලෝකය මුළුමනින් ම එහි අවසානයකට ඇවිත් කියා ඔහුට තේරුණා. සමස්ත මානව වර්ගයා වෙනුවෙන් එය නිවේදනය කිරීමේ ප්‍රසිද්ධියේ කියන්න ඒක තමයි සුදුසු ම වෙලාවත නිට්ෂේ තමයි ඒකට ගැළපෙන ම දාර්ශනිකයා.
ඔයා දන්නව ද? ඒකට තමයි දාර්ශනික යුග මෙහෙවර කියන්නෙ. දාර්ශනිකයන් කියන්නේ හේතු සාධක සහිත ව අනාගතය දකින පිරිසකට. අනාගත වක්තෘවරුන්, මුනිවරයන්, ශාස්තෘවරුන් ආදීන් අනාගතය දකින්නේ ඒ ආකාරයට නෙවෙයි. දාර්ශනිකයන්ට මෙන් ඔවුන්ට නිශ්චිත හේතු සාධක අවශ්‍ය නැහැ. අනික දාර්ශනිකයන් වගේ නෙවෙයි, ඔවුන් මනුෂ්‍යත්වය කියන සීමාවෙන් යම් තරමකට හෝ එහායින් ඉන්නේ. මුනිවරුන්ට, ශාස්තෘවරුන්ට යම් තරමක හෝ අධිමානුෂීය ස්වභාවයක් ආරූඪ කරල තියෙනවා. නමුත් දාර්ශනිකයන් කියන්නෙ ඔයා මම වගේ ඉතා ම මානුෂීය තත්ත්වයේ ඉන්න පිරිසකට. අධිමානුෂීය වූ කිසිදු බලයක්, දෙවියන් ගෙන් ලද කිසිදු වරමක් ඔවුන්ට ඇත්තේ නැහැ. චින්තනය නැමැති මානුෂීය හැකියාව හැරෙන්නට දාර්ශනිකයන්ට වෙනත් අමුතු සුවිශේෂී හැකියාවක් ඇත්තේ නැහැ. දන්නව ද..? කිසි ම දාර්ශනිකයෙක් දිව්‍යමය අය නෙවෙයි. දර්ශනය කියන්නෙ මුළුමනින් ම මානුෂීය වූ දෙයකට.
දෙවියන්ගේ ලෝකය සහ දාර්ශනිකයන්ගේ ලෝකය අතරත් මිථ්‍යාව, භක්තිය, ඇදහිල්ල සහ දර්ශනය අතරත් මූලික වෙනස සලකුණු වෙන්නේ මෙන්න මෙතන දීයි. ඒ වගේ ම එය ආගම හා දර්ශනය අතරත් වෙනසක් සලකුණු කරනවා.
දර්ශනයේ උපත සිද්ධ වෙන්නෙ මේ වෙනස තුළින් කියා අපිට කියන්න පුළුවන්.
ඔයාට මතක ද? මම මීට කලින් කිව්වා, චින්තනය නැතිනම් සිතීමේ හැකියාව තිබූ පමණින් ම කෙනකුට දාර්ශනිකයෙක් වෙන්න බැහැ කියා… හේතුව ආගමික ඇදහිලි, මිථ්‍යා විශ්වාසය, ශාස්තෘවරුන්ගේ අදහස් ආදියත් චින්තනයේ ප්‍රතිඵල හින්දා. කාව්‍යමය රචනා, ප්‍රබන්ධ, පුරාණ ලියවිලි වගේ ම පුරාවෘත්තත් එහෙමයි. ඒ සියල්ල මිනිසාගේ සිතීමේ හැකියාව හේතුවෙන් උපදින, නිර්මාණය වන දේවල්. ඒ නිසා දර්ශනයේ උපතට හේතු වන චින්තනය මොන වගේ දැ යි අපට සොයා බලන්න සිද්ධ වෙනවා.
ඒකට අපට දෙවියන්ගේ හා ශාස්තෘවරුන්ගේ ලෝකයට ඇතුළු වෙන්න සිද්ධ වෙනවා. අපි ඒක ‘ආගමික ලෝකය’ කියා නම් කර ගමු. ඇතැම් විට ඊට ‘මිථ්‍යාමය ලෝකය’ කියාත් භාවිත කරනවා. නමුත් මා කැමති ‘ආගමික ලෝකය’ කියන වචනයට. හේතුව බොහෝ මිථ්‍යාමය අදහස්වලට බොහෝ විට ආගමික පසුබිමක් ඇති නිසායි.
මිනිසා සිය පැවැත්මේ ආරම්භයේ සිට ම ආගමික ජීවියෙක් කියා කිව්වට කමක් නැහැ. අද අපි මිනිසා කියන්නෙ හෝමෝ සේපියන්ස් කියන මානව විශේෂයට. අපි ඔක්කොම හෝමෝ සේපියන්ස්වරු. හෝමෝ සේපියන්ස් පෘථිවිය මත ඇවිද යෑම ආරම්භ කරන්නේ මීට වසර තුන් ලක්‍ෂයකට විතර කලින්. නිජභූමිය ලෙස පිළිගන්නේ අප්‍රිකාව. අඩු ම ගානේ මීට අවුරුදු 13,000කට විතර කලින් ඔවුන් මේ අද තියෙන මානව ශිෂ්ටාචාරයට පදනම දාන්න පටන් ගත්තා.
සත්ත්ව රාජධානියේ වෙනත් කිසිදු සත්ත්ව කොට්ඨාසයකට නොමැති හැකියාවන් ප්‍රමාණයක් හෝමෝ සේපියන්ස්ට තියෙනවා. ඒ අතරින් බුද්ධිය – මොළය – ප්‍රධානයි. මහපට ඇඟිල්ලේ පිහිටීම, දෙපයින් පොළොව මත ඇවිදීම, කශේරුවේ පිහිටීම ආදිය ඔවුන් ස්වාභාවික ව ම ජීව විද්‍යාත්මක ව උරුම කරගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් උපකරණ භාවිතය, කෘෂිකර්මය, සමාජ සංස්කෘතික ගොඩනැඟීම්,
භාෂාවන් භාවිතය, නව නිර්මාණකරණය වගේ ම අවසානයේ තියුණු සිතීමේ හැකියාවක් පිහිටා ඇත්තේ ඔවුන්ටයි. මේ සියල්ලේ ප්‍රතිඵලය තමයි අද වෙන කොට ඔයාට මේ පෙනෙන්න දකින්න අහන්න ලැබෙන්නේ. හෝමෝ සේපියන්ස් පෘථිවියේ පාලකයා බවට පත් වෙලා. තම වර්ගයාගේ ප්‍රමාණය, නැතිනම් ජනගහනය බිලියන අටකට ආසන්න ව වර්ධනය කර ගෙන තියෙනවා. අනෙක් අතට පෘථිවියේ වයස දැන් අවුරුදු බිලියන 4.5ක් විතර වෙනවා කියා තමයි විද්‍යාඥයන් කියන්නෙ. ඒ අතින් මිනිසා කියන්නෙ අතිධාවනකාරී සත්ත්ව කොට්ඨාසයක් කියා ඔයාට හිතෙන්නෙ නැද්ද?
හෝමෝ සේපියන්ස්ට කලින් හා ඊට පසුව ඇති පෘථිවිය කියන්නෙ මුළුමනින් ම දෙකක්. එසේ ම එය මීට වසර 10,000කට පෙර තිබූ පෘථිවිය ද නෙවෙයි. සියල්ල වේගයෙන් වෙනස් වුණා. දෙවියන්ගේ සහ ශාස්තෘවරුන්ගේ ලෝකය හෙවත් ආගමික ලෝකය නිර්මාණය කෙරෙන්නේ මේ හෝමෝ සේපියන්ස්වරුන් විසින්. ආගමක් අදහන බල්ලෙක්, පූසෙක්, එහෙම නැත්නම් අලියෙක් ඔයා නිකමට හරි දැකල තියෙනව ද..? නැහැ. කොහෙත් ම එහෙම නැහැ.
ඉතින් දෙවියන් කියන්නෙ මිනිසාගේ නිර්මාණයක්. මිනිසා විසින් තමන්ගේ ම හැඩරුව ස්වරූපය අනුව දෙවියන් ව නිර්මාණය කළා. බයිබලයට අනුව දෙවියන් වහන්සේ තමාගේ ම හැඩරුවට අනුව මිනිසා නිර්මාණය කළ බව සඳහන් වෙනවා. චීන මිනිසකු දෙවියන්ට දෙන හැඩරුව අප්‍රිකානු කළු මිනිසුන් දෙවියන්ට දෙන හැඩරුවට වඩා වෙනස්. රතු ඉන්දියානුවකු හෝ පුරාණ ද්‍රවිඩයකු ඊට දුන්නේ තවත් හැඩරුවක්. අප්‍රිකානු දේවරූපයක හීනි ඇස්, මිටි සිරුරු හෝ දුහුල් කොණ්ඩා දකින්න ලැබෙන්නෙ නැහැ. ග්‍රීසියේ ඇතීනා දේව රූපය මිනිස් ස්ත්‍රියකට – ග්‍රීක කාන්තාවකට – මුළුමනින් ම සමානයි. අනෙක් අතට මීට අවුරුදු 6ල000කට විතර පෙර ඊජිප්තු දේව රූපවල මිනිස් සහ සත්ත්ව රූප එකට මිශ්‍ර කරල තියෙනවා ඔයාට දකින්න පුළුවන්.
ඇයි..? ගණ දෙවි රූපය..? අලියකුගේ හිසක් සහ මිනිසකුගේ සිරුරක්..! ගණ දෙවියන් අයිති වෙන්නෙ හින්දු ආගමික සම්ප්‍රදායට බව ඔයා දන්නව නෙ..? ඉස්ලාම් ආගමට අනුව දෙවියන්ට රූපයක් දෙන්න බැහැ. නමුත් දෙවියන් වැඩ සිටිනවා. ලෝකය සහ මිනිස් පැවැත්ම අල්ලාහ් හෙවත් දෙවියන්ගේ නිර්මාණයක්. ඒ අතින් ඉස්ලාමයේ දෙවියන් සංකල්පමය තත්ත්වයක ඉන්න කෙනෙක් කියා අපට කියන්න පුළුවන්. නමුත් ඔහු සර්වබලධාරී දෙවියෙක්. ලෝකය නිර්මාණය කළේ සර්වබලධාරී දෙවියකු හෝ බ්‍රහ්මයකු විසින් කියා පිළිගැනීමට කියන්නෙ දේව නිර්මාණවාදය හෙවත් ඊශ්වරවාදය කියා ය. ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තියානි, යුදෙව් ආදි ප්‍රධාන ආගම් සියල්ල ඊශ්වරවාදී ආගම්. ඔවුනට අනුව සියල්ලෙහි මූලාරම්භය දෙවියන් වහන්සේයි. දෙවියන් නමින් පැවැත්මක් දැඩි ව පිළිගැනීම මේ ආගමික චින්තනයේ ප්‍රධානතම ලක්‍ෂණයයි. ස්වාභාවිකත්වයට, ඓන්ද්‍රීය ලෝකයට (organic world) ආගමික චින්තනය තුළ ඉඩක් නැහැ. එයත් දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක්. පැරැණි නයිල් නිම්න ශිෂ්ටාචාරය සහ ග්‍රීක ශිෂ්ටාචාරය තුළ දෙවිවරුන් සමූහයකින් සමන්විත දිව්‍ය ලෝකයක් ගැන විශ්වාස කළා. ඊජිප්තු නයිල් නිම්න වැසියන්ට අනුව දෙවියන්ගෙ ප්‍රධානියා වෙන්නෙ රා හෙවත් හිරු. ග්‍රීකයන්ට අනුව දේව මණ්ඩලයේ ප්‍රධානියා සියුස්. මේ ශිෂ්ටාචාරයන් වගේ ම බැබිලෝනියානු, ඉන්කා ආදී පැරැණි මානව ශිෂ්ටාචාරයන් තුළ දේවත්වයට නැංවූයේ ස්වාභාවික බලවේග හා සංසිද්ධීනුයි. සියලු ම පැරැණි ශිෂ්ටාචාරයන් තුළ සශ්‍රීකත්වය, වැස්ස, අකුණු, සුළඟ, ජලය ආදියට දේවත්වය ආරූඪ කර දෙවියන් බවට පත් කර තිබෙනවා.
ඉතින් දර්ශනයේ උපත තවම සිද්ධ වුණේ නැහැ නේද ..? බලමු. අපි මීළඟට මුණ ගැහෙන විට විවිධ සමාජ සංස්කෘතීන් තුළ විවිධ ශිෂ්ටාචාරයන් තුළ පිළිගත් විශ්වාස කළ ඇදහීමකට ලක් වූ දෙවි දේවතාවුන් ගැන යම් තොරතුරක් හොයා ගන්න ඔයා උත්සාහ කරයි කියල මං බලාපොරොත්තු වෙනව… බලමු.
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද