“කවුරු හෝ කෙනෙක් ශ්‍රේෂ්ඨ සංකල්ප ගැන සිතයි ද ඒත් එක්කම එය ශ්‍රේෂ්ඨ දෝෂයන් ද නිර්මාණය කරයි.” – මාර්ටින් හයිඩගර් – (1889 – 1976)
ඔයා ඔය කියන්නෙ බෞද්ධ ආගම එහෙම නෑ කියල නේ..? ඒ කියන්නෙ ඔයා මේ ගැන යමක් හොයල තියෙනවා. ඉතා ම හොඳයි සහ මට ඔයා ගැන සන්තෝෂයක් ඇති වෙනවා ඒ සම්බන්ධයෙන්. ඔව්. බෞද්ධ ආගමික චින්තනය තුළ ඊශ්වරවාදයට පිළිගැනීමක් නැහැ. සර්ව කාලීන, සාර්ව භෞමික, සර්ව බලධාරි දෙවියකු හෝ ආත්මයක් ගැන පිළිගැනීමක් නැහැ. ඒ හින්ද තමයි ඒක ආගමකට වඩා දර්ශනයකට කිට්ටුයි කියන්නෙ. නමුත් ජනප්‍රිය බෞද්ධ ආගමික චින්තනය තුළත් යම් යම් දෙවිවරුන්ගේ හා අමනුෂ්‍ය බලවේගයන්ගේ – ප්‍රේතයන්, කුම්භාණ්ඩයන් වැනි – පැවැත්ම සම්බන්ධයෙන් යම් දුරකට පිළිගැනීම් සහ විශ්වාසයන් අඩංගු වෙනවා. අනෙක ඒ දෙවියන් සහ ප්‍රේතයන් මිනිසාගේ පංචේන්ද්‍රියන්ට හසු වන පැවැත්මෙන් ඔබ්බෙහි පවතින අභෞතික පැවැත්මන් විදිහටයි තිබෙන්නේ. ඒ කියන්නෙ යම් දුරකට ස්වාභාවිකත්වයෙන් එපිට පවතින දේවල් ගැන බෞද්ධාගමික චින්තනය තුළත් සඳහන් වෙනවා ය කියන එක නෙවෙයි ද..? පොඩ්ඩක් ඒ ගැන හිතන්න.
මිනිස් බව, මනුෂ්‍ය ස්වභාවය ඉක්මවා ගමන් කරන දේවල් ඕනෑ ම ආගමික චින්තනයක් තුළ අන්තර්ගත වෙනවා.
ඒ වගේ ම ඈත ම අතීතයක ගල් ගුහාවක දඩයමින් ජීවත් වූ මිනිසාගේ සිට වර්තමානයේ දී උදෑසන ආහාරය ගන්නා අතරතුර අධිවේගී ජෙට් යානයක ගමන් කරන මිනිසා දක්වා ම දෙවියන් සම්බන්ධ විශ්වාසය මුළු මනින් ම මිය ගිහින් නෑ කියන්නත් ඔයා දන්නවා ඇති. අද ඉන්න ඇතැම් මහාචාර්යවරුත් දෙවියන්ගෙ පැවැත්ම විශ්වාස කරනවා.
නමුත් මානව ඉතිහාසය තුළ අපිට දර්ශනයේ උපත සලකුණු කරන්න වෙන්නෙ දාර්ශනික චින්තනය ආගමික චින්තනයෙන් නියම ලෙස කැඩී වෙන් වන ස්ථානයේ දී ත නිමේෂයේ දී. මානව චින්තනය ආගමික හා මිථ්‍යාමය සංකල්පයන් ගෙන් ලෝකය ස්වභාවය හා පැවැත්ම දෙස බලනවා වෙනුවට මානුෂීය, විද්‍යාත්මක හා තාර්කික දෘෂ්ටියෙන් ඒ දෙස බැලීම හා සිතීම ආරම්භ කරන්නේ කොතැන දී ද, කුමන වේලාවේ දී ද එය දර්ශනයේ උපත කියා අපට කියන්න පුළුවන්.
පෘථිවිය ඇට්ලස් යෝධයාගේ කර මත ඇතැයි විශ්වාස කිරීම හෝ කුකුළන්, ගවයන්, එළුවන් දෙවියන්ගේ නිර්මාණ යැ යි පිළිගැනීම හෝ හඳේ සිටිනා විශාල හාවකු ගැන විශ්වාස කිරීම හෝ කෙනකුට අමාරුවෙන් අපහසුවෙන් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒවා එහෙමයි කියා හිතා ගෙන කෙනකුට මිය යන තෙක් ඉන්න පුළුවන්. පුංචි කාලෙ දි මගෙ අත්තම්මා කියාපු විදිහට හඳේ ඉන්න හාවා පින්තාරු කර තියෙන්නෙ ශක්‍ර දෙවියන් විසින්. කලහාරි ගෝත්‍රිකයන්ට අනුව පෘථිවිය කියන්නෙ පැතලි බිමකට. මෑතක් වන තුරු හිතුවේ විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය කියා ය. කාලයකට කලින් වල්ගා තරුවක් කියන්නෙ අසුබ ලකුණකට. කොරෝනා වසංගතයෙන් බේරෙන්න අදටත් ඇතැම් ඉන්දියානුවො ගව මුත්‍රා පානය කරනව. ඔයාගෙ යහළු යෙහෙළියෝ විභාගවලින් සමත් වෙන්න කියා බාරහාර වෙනවත් ඇති.
ඉතින් පෙනෙන ආකාරයට මිනිසාට පහසුවෙන් දාර්ශනික චින්තනයක් වෙත එළඹෙන්න අමාරුයි වගේ. ඔව්. මිථ්‍යාමය අත්භූත බලවේගයන්ගේ පිහිටෙන් ලෝකය හා ස්වාභාවික පැවැත්ම විස්තර කරනවාට වඩා එය අපහසුයි. හේතු සාධක රහිත ව අතාර්කික ව යමක් විග්‍රහ කරනවාට වඩා එය අපහසුයිත සංකීර්ණයි. එසේ නම් මිනිස් මනසට මිනිස් ස්වභාවයට හා මානව චින්තනයට ගෝචර වන ආකාරයෙන් ලෝකය ස්වභාවය හා පැවැත්ම ගැන මුලින් ම කතා කළේ කවුද? කොහෙ දී ද? මේ ගැන මානව ඉතිහාසයෙන් ලැබෙන සාක්‍ෂි මොනවා ද?
ඔන්න ඔයා දොරටුව අභියස. මානව ඉතිහාසය කියන අනර්ඝ නිධානයේ දොරටුව ඉස්සරහට දැන් ඔයා ඇවිත් ඉන්නෙ. ඔයා සූදානම් නම් අපට පුළුවන් ඒ අනර්ඝ නිධානයේ ඇති අලංකාර මිණිමුතු ටිකක් අවුස්සල බලන්න.
ගල් යුගයේ ප්‍රාථමික ජීවිතයෙන් එහාට ගමන් කිරීම සඳහා මිනිසා පළමු පියවර තැබුවේ අසුවල් වෙලාවේ යැ යි කියන්න බැහැ. හෝමෝ සේපියන්ස් නම් වර්තමාන මානවයාට පෙර කාලයේ ජීවත් වූ අනෙකුත් මානවයන්ගේ ද සිට අවම වශයෙන් අවුරුදු විසි ලක්‍ෂයක් විතර කාලයක් මානවයා ගල් යුගයක ජීවත් වුණා කියා පිළිගන්නවා. යම් තරමකට හෝ ශිෂ්ටාචාරමය ලක්‍ෂණ සහිත ව ස්ථිර වාසයකට යොමු වී තිබෙන්නේ ක්‍රි. පූ. 20,000 දී විතර. මේ ගැන දැනට පිළිගත් සාක්‍ෂ්‍ය හමු වන්නේ 1989 වසරෙ දී, ඊශ්‍රායලයේ ඔහෝලෝ නම් ස්ථානයේ, ලිසාන් විල අසබඩින්. ඒ කුඩා පැල්පත් සමූහයක නටබුන්. ක්‍රි. පූ. 18,000 තරම් ඈත කාලයකට ඒවා අයත් බව සාක්‍ෂ්‍ය මඟින් තහවුරු කරල තියෙනව. ඒ වගේ ම මීට අවුරුදු 12,000කට විතර ප්‍රථමයෙන් ලෝක දේශගුණය දැඩි සිසිල් ස්වභාවයක සිට මැද උණුසුම් ස්වභාවයක් දක්වා සිදු වූ පාරිසරික දේශගුණික වෙනස්කම් ද මානවයාගේ ශිෂ්ටාචාරගත වීම කෙරෙහි විශේෂ බලපෑමක් සිදු කළ බව සඳහන් වෙනවා. කිසියම් මානව සමාජයක්, ප්‍රාථමික ජන සමූහයක් ශිෂ්ටාචාරයක් බවට පත් වීමේ දී පහත දැක්වෙන ලක්‍ෂණ 10 හඳුනාගත හැකි බව කීර්තිමත් මානව – සංස්කෘතික විද්‍යාඥයෙක් වන ගොර්ඩන් චයිල්ඩ් මහතා පෙන්වා දෙනවා.
01 – විශාල නාගරික මධ්‍යස්ථාන ඇති වීම, 02 – සමාජය පන්තිවලට බෙදීම (ශිල්පීන්, වෙළෙඳුන්, ගොවියන්, පාලකයන් වශයෙන්), 03 – කෘෂිකාර්මික නිෂ්පාදනයේ අතිරික්තය භුක්ති විඳින පාලකයන් හා පූජකයන් (දෙවියන්) බිහි වීම, 04 – විශාල ගොඩනැඟිලි නිර්මාණය (ගෘහ නිර්මාණ ශිල්පය), 05 – පාලක පන්තියක් හෝ විශාල භූමියක් පාලනය කරන පාලකයන් බිහි වීම, 06 – ලේඛන ක්‍රමයක් බිහි වීම, 07 – කලාකෘති නිර්මාණය, 08 – වෙනත් රටවල් රාජ්‍යයන් සමඟ වෙළෙඳ සබඳතා වර්ධනය වීම, 09 – විශේෂඥතාවක් ඇති ශිල්පීන් බිහි වීම සහ 10 – ව්‍යවහාරික විද්‍යාත්මක අදහස් වර්ධනය වීම.
ඉතින් මේ වන තෙක් පෘථිවිය මතින් සොයා පාදා ගෙන ඇති පුරාණ මානව ශිෂ්ටාචාරයන් හා ඒවායේ කාල වකවානු පහත පරිදි අපිට ගොනු කර ගන්න පුළුවන්.
01. සුමේරියානු ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 3,500 – 2,000
02. ඊජිප්තු ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 2,500 – 1,100
03. ඒජියන් ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 2,100 – 700
04. චීන ශිෂ්ටාචාරය –
ක්‍රි. පූ. 2,000 – 1,000
05. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 1,750
06. පෙරුවීයන් කඳුකර ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 1,100 – ක්‍රි. ව. 1,450
07. මොසො ඇමෙරිකානු ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 900 – ක්‍රි. ව. 900
08. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 450 – ක්‍රි. ව. 1,300 450..
09. යෙරුබා ශිෂ්ටාචාරය – ක්‍රි. පූ. 200 – ක්‍රි. ව. 1,000
10. අග්නිදිග ආසියානු ශිෂ්ටාචාරය – ක්‍රි. ව. 100 – 1,200
11. සිම්බාවේ ශිෂ්ටාචාරය – ක්‍රි. ව. 1,000 – 1,450
මේ කියන මානව ශිෂ්ටාචාර අතරින් අද අපි කතා කරන දර්ශනයේ උපත සිදු වන්නේ ඒජියන් ශිෂ්ටාචාරය තුළ පුරාණ ග්‍රීසියේ දී. ඒ දැනට වසර 2,600කට පමණ පෙර. ජර්මානු දාර්ශනිකයා මාර්ටින් හයිඩගර් කියන විදිහට විශිෂ්ට සංකල්පනාවන් සමග විශිෂ්ට දෝෂයන් ද හට ගන්නේ එතැන් සිටයි.
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද