Home EntertainmentNelum Vila දර්ශනය උපත ලබයි (නෙළුම් විල – 08)

දර්ශනය උපත ලබයි (නෙළුම් විල – 08)

by Kithsiri

ශ්‍රේෂ්ඨ වූ කිසිවක් හදිසියේ නිර්මාණය නො වේ.” – එපික්ටේටස් – ක්‍රි. ව. 50 – 135

ඔන්න ඔයා බලන් හිටිය කාරණාව සිද්ධ වුණා. එපික්ටේටස් නම් රෝම යුගයේ දාර්ශනිකයා කියන ආකාරයට කිසි ම දෙයක් හදිසියේ, ක්‍ෂණික ව, වෙහෙස මහන්සියක් රහිත ව නිර්මාණය වෙන්නෙ නැහැ. දරුවෙක් මෙලොවට බිහි වෙන්නේ මවට විශාල වේදනාවක්, විළිරුදාවක් සමග බව ඔයා දන්නවා ඇති. දර්ශනයේ උපත සිද්ධ වුණේ කවදා ද? කොහේ දී ද? කියා අපි සොයා ගියා. ඔන්න දැන් අපි එතනට ඇවිත් ඉන්නවා.

ගිය සතියෙ කියපු විදිහට, ග්‍රීක ශිෂ්ටාචාරය පැතිරුණු ඒජියන් මුහුද හා ග්‍රීසිය අවට ප්‍රදේශ, ඔයා සිතියමකින් පරීක්‍ෂා කර බලන්න ඇති කියා මම හිතනවා. වර්තමානයේ ග්‍රීසියට නැඟෙනහිරින්, ඒ කියන්නේ ඒජියන් මුහුදේ නැඟෙනහිර පැත්තෙ තියෙන්නෙ තුර්කිය බව ඔයා එහෙනම් දකින්න ඇති. බටහිර පැත්තෙ තියෙන්නෙ ඉතාලිය. දර්ශනයේ උපත සිදු වුණු මයිලේටස් පෞර රාජ්‍යය එතකොට කොහෙ ද තියෙන්නේ? මෙයට සියවස් 25කට 30කට පෙර මයිලේටස් ලෙස හැඳින්වූ ප්‍රදේශය අද අයත් වන්නේ තුර්කියට. තුර්කියේ බටහිර වෙරළ ප්‍රදේශයට. ඒජියන් මුහුදෙන් නැඟෙනහිර මේ ප්‍රදේශයට සුළු ආසියාව කියාත් කියනවා. ඒ අනුව මයිලේටස් යනු ග්‍රීක ශිෂ්ටාචාරයේ  නැඟෙනහිර අන්තයේ පිහිටා තිබුණ පෞර රාජ්‍යයක්. මේ නිසා මෙය නැඟෙනහිර හා බටහිර ලෝකය අතර තිබුණු ප්‍රධාන සහ වැදගත් වෙළෙඳ හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සැලකෙනවා. මෙහි පසුබිම එහි බුද්ධිමය හා සංස්කෘතික වර්ධනයට විශාල බලපෑමක් සිදු කළා.

පෙරදිග හා අපරදිග ලෝකයේ දැනුම හා සංස්කෘතිය එකට මිශ්‍ර වෙන්න, සරුසාර බිමක් බවට පත් වෙන්න, මයිලේටස් පෞර රාජ්‍යයට මේ හේතුවෙන් හැකියාව ලැබෙනවා. වසර 2600කට පෙර මයිලේටස්හි පරිසරය, ස්වභාවය හිතේ මවා ගන්න; පරිකල්පනය කරන්න ඔයා පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. පෙරදිග හා අපරදිග ලෝකයේ විවිධාකාර සංස්කෘතීන්ට අයත් මිනිසුන් නිරන්තරයෙන් ගැවසුණු, මුහුදුබඩ ජනාකීර්ණ පරිසරයක් එදා එහි තියෙන්න ඇති. සශ්‍රීක වෙළෙඳ මධ්‍යස්ථාන බවට පත් වන බොහෝ නගර පොහොසත් සංස්කෘතික මධ්‍යස්ථාන බවට ද පත් වෙනවා. පැරැණි ලෝකයේ වෙළෙඳ මාර්ග කියන්නේ වෙළෙඳ ගනුදෙනු පමණක් නො ව ආගන්තුක ජන සමාජයන් අතර සංස්කෘතික හා බුද්ධිමය ගනුදෙනු ද සිදු වුණු මාර්ගයක් ලෙස ද අපට හඳුන්වන්න පුළුවන්. පැරැණි සේද මාවත කියන්නේ ඒකට හොඳ උදාහරණයක් කියන්න ඔයා දැනටමත් දන්නවා ඇති. වෙළෙඳ මධ්‍යස්ථානයක් වීම හේතුවෙන් ආර්ථික ව ශක්තිමත් වන මයිලේටස් පෞර රාජ්‍යය තුළ බුද්ධිමය ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය වටපිටාව හා නිදහස නිර්මාණය වෙනවා.

මයිලේටස් පෞර රාජ්‍යයේ තිබුණු මේ සරුසාර පසුබිමේ තමයි දර්ශනය උපත ලබන්නේ. බටහිර දර්ශනයේ (සමස්තයක් ලෙස අද ‘දර්ශනය’ නමින් භාවිත වන ශාස්ත්‍රීය ශික්‍ෂණයේ) ආදි කතෘවරයා, පීතෘවරයා, නො එසේ නම් ආරම්භකයා තේල්ස්, වාසය කළේ මේ පෞර රාජ්‍යයේ පුරවැසියෙක් විදිහට; ඒ මෙයට අවුරුදු 2600කට පමණ ඉහත දී. දාර්ශනිකයන් සහ ඔවුන්ගේ දර්ශනවාදයන් පිළිබඳ ව හැදෑරීමේ දී ඔවුන් ජීවත් වුණු ඓතිහාසික කාල වකවානුවේ ස්වභාවය ගැන අවබෝධයක් තිබීම ඉතා ම වැදගත් කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද? මම හිතනවා එය ඉතා ම වැදගත් සාධකයක් හා අවශ්‍යතාවක් කියලා. ඒකෙන් ඔවුන්ගේ මතවාද හා අදහස් අවබෝධ කර ගැනීමට පහසුවක් ලැබෙනවා. ඒ වගේ ම ඔවුන් තමන් ජීවත් වූ කාලයට වඩා ඉදිරියෙන් ගමන් කළේ කෙසේ ද කියාත් අපට වටහා ගන්න පුළුවන් වෙනවා.

මේ වැඩේට අපට දර්ශනය හැරෙන්නට තවත් විෂයක දැනුම අවශ්‍ය වෙනවා. ඒ තමයි ඉතිහාසය විෂය. පොඩ්ඩක් ඉන්න, තව දෙයක් කියන්න තියෙනවා. අපි යම් විෂයක් අධ්‍යයනය කිරීමේ දී ඊට සමාන්තර ව තව විෂයක් හැදෑරීමට සිදු වෙනවා. ඒ වගේ ම ඇතැම් විෂයන් හැදෑරීම සඳහා වෙනත් සමාන්තර විෂයන්ගේ දැනුම අවශ්‍ය වෙනවා. උදාහරණයකට දේශපාලන විද්‍යාව අධ්‍යයනයේ දී නීතිය, ඉතිහාසය, සමාජ විද්‍යාව හා ආර්ථික විද්‍යාව වැනි සමාන්තර විෂයන්ගේ දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේ ම ජීවයේ සම්භවය ගැන පරීක්‍ෂණ කරන විද්‍යාඥයකුට ජීව විද්‍යාව, රසායන විද්‍යාව, තාරකා විද්‍යාව වැනි විෂය පරාසයන් කිහිපයක දැනුම අවශ්‍ය වෙනවා. ශාස්ත්‍රීය භාවිතය තුළ මෙයට ‘අන්තර් විෂය සම්බන්ධතාව’ යැයි පවසනවා.

ඉතින්, දර්ශනය විෂය හැදෑරීමේ දී ඊට සමාන්තර අනෙක් විෂයන් ගැන අධ්‍යයනය කිරීමට ඔයාට සිදු වෙනවා. විෂයාන්තර හා විෂය සමාන්තර දැනුමක් හා අවබෝධයක් ඔයාට තියෙන්න ඕනෙ. එවැන්නක් නැතිනම් ගොඩනඟා ගන්න උත්සාහ කරන්න ඕනෙ. ශාස්ත්‍රීය ශික්‍ෂණයකින් යුක්ත ව කිසියම් විෂයක් හැදෑරීමේ දී අපට එහෙම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම තමයි කිසියම් විෂයක් විධිමත් ව අධ්‍යයනය කිරීමේ දී අපට යම් විනයක් හා ක්‍රමවේදයක් අවශ්‍යයි. ශාස්ත්‍රීය විනයකින් හා ක්‍රමවේදයකින් යුතු ව යමක් අධ්‍යයනය කිරීමට තමයි ශාස්ත්‍රීය ශික්‍ෂණය කියන්නේ.

දර්ශනය උපත ලැබීම ගැන කතා කරන අතරතුරේ දී මේ ගැන මම ඔයාට කියන්නේ, ආරම්භයේ දී ම මේ දේවල් දැන ගෙන ඉන්න එක අපේ ව්‍යාපෘතියේ ඉදිරියට වැදගත් නිසයි. යම් විෂයක් අධ්‍යයනයේ දී හා කියවීමේ දී ස්වයං විනයක් ගොඩනඟා ගන්න එක ඒ කාර්යයන්ට පහසුවක් වෙනවා. ඔයා මේ ගැන බැරෑරුම් ව අවධානය යොමු කරයි කියලා මම හිතනවා.

හොඳයි, අපි ආපහු මයිලේටස් පැත්තට, වසර 2600ක් ආපස්සට යමු. පරිකල්පනය කියන්නේ කාල තරණයට හොඳ තාක්‍ෂණයක් කියා වෙලාවකට මට හිතෙනවා. ඔයාට මොකද හිතෙන්නෙ?

මයිලේටස් පුරවැසියකු ලෙස තේල්ස්ට විවිධාකාර සමාජ සංස්කෘතීන්ට අයත් මිනිසුන් සමඟ ඇසුරක් තියෙන්න ඇති. ඒ වගේ ම ඔහු හොඳ සංචාරකයෙක්. ඊජිප්තුව ඇතුළු රටවල් ගණනාවක ඔහු සංචාරය කර තියෙනවා. මයිලේටස්හි පිහිටීම ඒකට වැදගත් බලපෑමක් සිදු කරන්න ඇති. මයිලේටස් සිට නැඟෙනහිර  පැත්තට ආසියාව හා අප්‍රිකාව දක්වා විශාල මහාද්වීපික ගොඩබිම් ප්‍රදේශයක් ඇති බව සිතියම් පරීක්‍ෂාවේ දී ඔයා දකින්න ඇති කියා මම හිතනවා. ඊජිප්තුවේ දී ඔහු පිරමීඩයක උස බිම සිට නිවැරැදි ව ගණනය කර තියෙනවා. ඒ, තම සෙවණැල්ලේ උස තමන්ගේ උසට හරියට ම සමාන වන මොහොතේ දී ඊට අනුව පිරමීඩයේ සෙවණැල්ලේ උස ගණනය කිරීමෙන්. ක්‍රි. පූ. 585 දී සූර්යග්‍රහණයක් සිදු වන බව ඔහු නිවැරැදි ව අනාවැකි පළ කරලා තියෙනවා. සංචාරකයෙක් ලෙස ඔහුට විවිධාකාර සමාජයන්, සංස්කෘතීන් හා ඒවායේ දැනුම හැදෑරීමට අවස්ථාව ලැබෙන්න ඇති. සංචාරය කියන්නේ දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට ඇති හොඳ ඉගෙනුම් මාධ්‍යයක් කියන්න ඔයා දන්නව ද? පොඩ්ඩක් ඒ ගැනත් හිතලා බලන්න.

තෙල්ස්ට පෙර මයිලේටස්හි විසූ ම්‍යුසියස්, හෙසියිඩ්, හෝමර් ආදීන් යම් සංකල්පනා, අදහස් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙනවා. මෙයින්, හෙසියිඩ්ගේ සහ හෝමර්ගේ ප්‍රකාශන මූලික වශයෙන් ආගමික හා කාව්‍යාත්මක ස්වරූපයක් ගන්නවා. ඒ වගේ ම ක්‍රි. පූ. 570 දී පමණ වාසය කළා යැ යි සැලකෙන  සීනොගනීස් ද යම් යම් අදහස් ප්‍රකාශ කළ කෙනෙක්. මිනිසුන් තමන්ගේ ම ස්වරූපයෙන් දෙවියන් ව නිර්මාණය කළ බව ඔහු කියා සිටියා.

එනමුත් දර්ශනයේ ආරම්භකයා ලෙස තෙල්ස්, ඔහුට පෙර සිටි චින්තකයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොම ද? එහෙම නැතිනම් දර්ශනයේ ආරම්භකයා ලෙස තෙල්ස් ව හඳුන්වන්නේ ඇයි? මොකද්ද තෙල්ස්ට ඒකට තිබුණ සුදුසුකම? මීළඟ හමුවීමේ දී අපි ඒ ගැන කතා කරමු.

ලබන සතියට…

දර්ශන විද්‍යා අරවින්ද

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications