“සියල්ලෙහි මූලය ජලයයි.” – තේල්ස් – (ක්‍රි. පූ. 624 – 540)
අපේ අවසන් හමුවේ දී, ඒ කියන්නෙ ගිය සතියෙ, මම ශාස්ත්‍රීය ශික්‍ෂණය සම්බන්ධයෙන් කතා කළා කියන්න ඔයාට මතක ඇති. ශාස්ත්‍රීය ශික්‍ෂණයකින් යුතු ව කිසියම් විෂයක් හැදෑරීමේ දී මූලාශ්‍ර සහ හේතු සාධක සහිත ව කරුණු ඉදිරිපත් කිරීම වැදගත්. එසේ නො වුණ හොත් එහි විශ්වාසවන්ත භාවය ගැන ගැටලු, සැකසංකා පැනනඟිනවා. විෂයක් ශාස්ත්‍රීය ව හැදෑරීමේ දී අපි ඉදිරිපත් කරන කරුණු කාරණා තහවුරු කරන ලද විශ්වසනීය තොරතුරු හා දත්ත මත පදනම් වෙන්න ඕනෙ. පොත්පත් හා අන්තර්ජාලය හරහා කරන කියවීම හා අධ්‍යයනය ඒකට වැදගත් වෙනවා. කියවීමෙන් මිනිසා විතරක් නෙවෙයි ඔහු හෝ ඇය සතු දැනුම හා අවබෝධය ද සම්පූර්ණ වෙන බව ඔයා මතක තියා ගත්තොත් හොඳයි.
එසේ නම් අපට තේල්ස් (තේලීස්) සම්බන්ධයෙන් ඇති මූලාශ්‍රය මොකක් ද? දර්ශනයේ ආරම්භකයා ලෙස ඔහුව හැඳින්වීම සඳහා ඇති සාධාරණ හා විශ්වසනීය හේතු සාධක මොනව ද?
ක්‍රි. පූ. 750 දී පමණ ග්‍රීක ශිෂ්ටාචාරය තුළ ලේඛනගත වාර්තාගත ඉතිහාසය ආරම්භ වුව ද තේල්ස් විසින් ලේඛනගත කරන ලද කිසිවක් මේ වන තෙක් සොයා ගෙන නැහැ. එනමුත් ඊට සියවස් දෙකකට පමණ පසුව ඇරිස්ටෝටල් නම් කීර්තිමත් ග්‍රීක දාර්ශනිකයා විසින් රචිත METAPHYSICS – පාරභෞතිකය – නම් ග්‍රන්ථයේ තේල්ස් ගැන විශේෂ සඳහනක් තියෙනවා. තේල්ස් ගැන පමණක් නෙවෙයි සොක්‍රටීස්ට පෙර ජීවත් වුණු – එනම් ප්‍රාග් සොක්‍රටීයානු – දාර්ශනිකයන් ගැන ඵෙතිහාසික වශයෙන් විශ්වසනීය තොරතුරු මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඇරිස්ටෝටල්ගේ ලේඛන සංරක්‍ෂණය කර ඇති නිසා අදටත් ඒවා ඉතිරි වී තියෙනවා. මේ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනයක් ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් ඩිජිටල් මාධ්‍යයෙන් ඉතා පහසුවෙන් කියවාගන්න ඔයාට පුළුවන්. තේල්ස් සම්බන්ධයෙන් අපට ඇති පළමු සහ පැරැණිතම මූලාශ්‍රය තමයි මේ ග්‍රන්ථය.
තේල්ස්, දර්ශනයේ ආරම්භකයා ලෙස මේ ග්‍රන්ථයේ ඇරිස්ටෝටල් සඳහන් කරනවා. තේල්ස් මතු කළ පහත සඳහන් ගැටලුව ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනවා.
“පැටලිලි සහගත ප්‍රපංච ලෝකයේ පැටලිලි රහිත යථාර්ථය කුමක් ද?”
මෙය මූලික වශයෙන් දාර්ශනික ස්වභාවයක් ප්‍රකට කරන දාර්ශනික ගැටලුවක් බව ඇරිස්ටෝටල් පවසනවා. තේල්ස්ට පෙර ලෝකය හා පැවැත්ම සම්බන්ධයෙන් මේ ආකාරයේ ගැටලුවක් මතු කළ අයෙකු ගැන වාර්තා නො වන බවත් ඔහු පෙන්වා දෙනවා. එසේ නම් මේ ගැටලුවෙන් ප්‍රකට වන දාර්ශනික ලක්‍ෂණ මොනවා ද?
පළමුව එම ගැටලුව විෂය අරමුණක් සහිත විෂයානුබද්ධ ගැටලුවක්. දෙවනුව, ඉන් චින්තනයේ නිරවුල් බවක්, පැහැදිලිතාවක් නිරූපණය වෙනවා. බහු අර්ථ නොමැතියි. හේතු සාධක සහිතයි. තෙවනුව, අප දකින හෙවත් පිටතින් අපට පෙනෙන දේ ප්‍රශ්න කරනවා. ‘පෙනීම’ සහ ‘යථාර්ථය’ අතර වෙනසක් සලකුණු කරනවා. මතුපිටින් අප දකින හෝ අපට පෙනෙන දෙය නියම යථාර්ථය නො වන බව පැහැදිලි ව පෙන්වා දෙනවා. අප දකින අපට පෙනෙන මේ ලෝකය, ලෝක පැවැත්ම පැටලිලි සහගත, නිරවුල් නො වන අවුල් ජාලයක්. මේ අවුල් ජාලය තුළ නිරවුල් වූ, පැටලිලි රහිත දෙයක් ඇත්නම් ඒ ‘යථාර්ථය’යි. එම යථාර්ථය කුමක් ද..?
තේල්ස්ගේ දාර්ශනික කාර්යභාරය, එහෙම නැති නම් දාර්ශනික ව්‍යාපෘතිය වුණේත මේ පැටලිලි රහිත, නිරවුල් යථාර්ථය සොයා පාදාගැනීම.
පසු කාලීන ගැඹුරු දාර්ශනික ගැටලු සහ ව්‍යාපෘති දෙස බැලීමේ දී මෙය ඉතා සරල හා ප්‍රාථමික දාර්ශනික ප්‍රවේශයක් බව ඇත්ත. එනමුත් එය අතිශය වැදගත්. ඒ ඇයි..?
යමක් පවත්වාගෙන යනවාට වඩා ඊට ආරම්භයක් ලබා දීමයි අපහසු ම කාර්යය කියා සාමාන්‍යයෙන් කවුරුත් කියන ජනප්‍රිය කතාව ඔයා අහලා ඇති. තේල්ස්ගේ පළමු වැදගත්කම එයයි. ඔහු දර්ශනයට ආරම්භයක් ලබා දෙනවා. ඒ කොහොම ද..?
තේල්ස්ට ප්‍රථමයෙන් ලෝකය හා පැවැත්ම සම්බන්ධයෙන් තිබුණේ ආගමික, මිථ්‍යාමය හා පාරභෞතික අදහස් දැක්වීම්. උදාහරණයකට හෝමර් ගන්න පුළුවන්. හෝමර්ගේ කාව්‍යාත්මක අදහස් තුළින් නිරූපණය වන්නේ දෙවියන් හා දිව්‍යමය පැවැත්මක් පිළිබඳ මිථ්‍යා විශ්වාසයන්. ඒ වගේ ම, ගින්දර, අකුණු සැර, සුළඟ ආදි ස්වාභාවික සංසිද්ධීන් දේවමය සංකල්ප යොදාගෙන විග්‍රහ කරනු ලැබුවා. ස්වාභාවික හා භෞතික ලෝකය මිථ්‍යාමය විශ්වාසයන් ඇසුරෙනුත් පැහැදිලි කිරීම මේ චින්තනයේ පදනමයි. අකුණු පුපුරන්නේ තෝර් (THOR)ගේ කුළුගෙඩිය හේතුවෙනි යන්න මීට උදාහරණයක්. මේ තෝර් කියන මිථ්‍යාමය චරිතය මුල් කර ගෙන ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් ද ඇති බව ඔයා දන්නවා ඇති. එනමුත් අකුණු සර නම් ස්වාභාවික ක්‍රියාවලිය සිදු වන්නේ ඒ හේතුවෙන් නො වන බව අද අපි දන්නවා. හෝමර් සහ හෙයිසිඩ් විසින් ක්‍රි. පූ. 700-750 දී පමණ මේ දේවමය මිථ්‍යාමය කතාන්දර බොහෝ ප්‍රමාණයක් ලේඛනගත කර තිබෙනවා. එහි දී ඔවුන් කිසි විටෙක ඒවා ප්‍රශ්න කිරීමට පෙලඹුණේ නැහැ. මින් පෙර ද සඳහන් කළ ආකාරයට සිනෝෆීනස් මේ මිථ්‍යාමය අදහස් ප්‍රශ්න කිරීමට පෙලඹුණ ද ඔහුගේ අදහස් තුළ දාර්ශනික ස්වභාවයක් සොයාගන්න අපට බැහැ. මොවුන් සියලු දෙනා ගෙන් තේල්ස් වෙනස් වන හේතුවක් තියෙනවා. ස්වාභාවික හා භෞතික ලෝක පැවැත්ම සම්බන්ධයෙන් අධිස්වාභාවික හා භෞතික හේතු දැක්වීමක් ඔහු ඉදිරිපත් කරනවා.
ප්‍රපංච ලෝකයේ මූලය හා ප්‍රභවය සිදු වුණේ ජලය හේතුවෙන් යැ යි ඔහු කියා සිටිනවා. “සියල්ලෙහි මූලය ජලය වේ” යැ යි ඔහු පවසා තිබෙනවා. මෙහි දී ජලය යනු කිසිදු අධිස්වභාවික, පාරභෞතික හෝ දිව්‍යමය පදාර්ථයක් හෝ හේතුවක් නො ව ස්වාභාවික හා භෞතික පදාර්ථයක්ත හේතුවක්.
මෙන්න මේ නිසයි තේල්ස්ගේ දාර්ශනික ව්‍යාපෘතිය දාර්ශනික ඉතිහාසය තුළ අතිශය වැදගත් වන්නේ.
ඔහු, ලෝකය හා පැවැත්ම සම්බන්ධයෙන් පැහැදිලි හා නිශ්චිත ගැටලුවක් මතු කළ අතර ඊට ස්වාභාවික හා භෞතික හේතු දැක්වීමක් ලෙස නිරවුල් පිළිතුරක් ගොනු කරනවා. සිංහල භාෂාවෙන් බටහිර දර්ශනය මෙරටට හඳුන්වා දීමට විශාල සේවයක් සිදු කළ පේරාදෙණිය සරසවියේ හිටපු මහාචාර්ය ඒ. පී. ඩී. කලන්සූරිය මහතාගේ පොතකින් කුඩා කොටසක් මෙතන දී උපුටා දක්වන්න මම කැමතියි.
“ප්‍රපංච ලෝකය පිළිබඳ ව තේල්ස් මෙසේ සටහන් කොට ඇතැයි ඇරිස්ටෝටල් තමාගේ පාරභෞතිකවාදයේ කියයි.”
01 – ප්‍රපංච ලෝකය ජලය මත පාවෙයි.
02 – ප්‍රපංච ලෝකයේ වස්තූන් සෑදී ඇත්තේ ජලයෙනි.
03 – ප්‍රපංච ලෝකයේ සියලු වස්තූන් දෙවියන්ගෙ න් හෝ ආත්මයකින් හෝ ජීවයකින් හැඩවැඩ වෙයි…..
එනමුත් ඇරිස්ටෝටල්ගේ අනුගමනය අනුව නම් කේන්ද්‍රීය තර්කය මෙසේයිත ජීවිත පෝෂණයට ජලයත් උෂ්ණත්වයත් එක සේ අවශ්‍යයි. ජලයත් උෂ්ණත්වයත් ජලය විසින් ම සැපයෙයි. එනම් ජලයෙන් තෙතමනය හා උෂ්ණත්වය ලැබේ. ප්‍රාණයකින් යුතු ජීව වස්තූන්හි කිසියම් ප්‍රමාණයකින් උෂ්ණත්වයක් පවතී. ඒ අනුව පෘථිවියේ පැවතෙන සැම ජීව වස්තුවක ම ද්‍රව්‍යමය හේතුව ජලය නම් වේ.” යන්නයි.”
– දාර්ශනික චින්තන ධාරා – ග්‍රීක දාර්ශනිකයෝ – 30 , 31 පිටු –
සියල්ලෙහි මූලය ජලය, යැ යි පැවසීමේ දී තේල්ස් අදහස් කළේ කුමක් දැයි අපට නිශ්චිත ව කිව නොහැකි වුවත් ඇතැම් අනුමානයන්ට එළඹෙන්නට අපට පුළුවන්. ජීවයේ සම්භවය සම්බන්ධයෙන් ජලයේ ඇති වැදගත්කම අවිවාදිත කරුණක් බව අද පොදුවේ පිළිගන්නා අදහසක්. “ජලය මිහි මත ජීවයයි.” කියන ප්‍රසිද්ධ කියමන දැනටමත් ඔයා අහලා ඇති. නවීන විද්‍යාවට අනුව ජීවයේ සම්භවය සම්බන්ධයෙන් නිශ්චිත ව පිළිගත් එක් මතයක් නොමැති වුවත් ජීවයේ රසායනික පරිණාමය සම්බන්ධයෙන් ජලය අතිශය වැදගත් සාධකයක් බව පිළිගන්නවා. අද අපි දකින සාගර, ආදිකාලීන පෘථිවිය මත ජීව ජල්ලියක් මෙන් පැතිර තියෙන්න ඇතැයි සැලකෙනවා. ජීවයේ සම්භවය සඳහා හේතු වුණ මේ ආදි කල්පිත ජීව ජල්ලියට කියන්නේ ආදි සූපය කියායි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයන් අතර ශ්‍රී ලාංකිකයකු වන සිරිල් පොන්නම්පෙරුම මහතා ද ප්‍රමුඛයකු බව ඔයා දන්නවා ද? එසේ ම ජීවයක් සඳහා සුදුසු උෂ්ණත්වයක් ඇති කිරීමටත් එය පවත්වාගෙන යෑමටත් පෘථිවිය ජලයෙන් වැසී තිබීම විශාල බලපෑමක් සිදු කරනවා. පෘථිවියේ 3/4ක ප්‍රමාණයක් ජලයෙන් වැසී තිබීම හා තේල්ස්ගේ “ප්‍රපංච ලෝකය ජලය මත පා වෙයි” කියන අදහස සමග සසඳා බලන්න ඔයාට පුළුවන්. ඒ වගේ ම ගහකොළ, සතා සීපාවුන්ගේ පැවැත්මට ජලයේ අත්‍යවශ්‍යතාව ගැන වටහා ගන්න ඔයාට ගැඹුරු නිරීක්‍ෂණයක් හෝ අමුතු දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. ඉතින්, ජලය ප්‍රපංච ලෝකයේ මූලය කියා තේල්ස් පවසන විට ඔහුගේ එම නිගමනය තුළ කිසි ම දිව්‍යමය හෝ අධිස්වාභාවික හේතු දැක්වීමක් අපට සොයා ගන්න බැහැ. දර්ශනයේ ආරම්භකයා ලෙස තේල්ස් ව හැඳින්වීමට හේතුව කුමක් දැ යි දැන් ඔයාට පැහැදිලි වෙන්න ඇති කියා මම හිතනවා. තෝර්ගේ කුළුගෙඩිය හේතුවෙන් අකුණු සර වදිනවා වැනි මිථ්‍යාමය විහිළු කතාවලට ඔහු ගෙන් පසුව තව දුරටත් ඉඩක් නැහැ.
ලෝකය සහ පැවැත්ම අවබෝධ කරගැනීමට හා විග්‍රහ කිරීමට ස්වාභාවික හා භෞතික හේතු දැක්වීම ආරම්භ වන්නේ ඔහු ගෙන්. ඒ ආකාරයට හිතුවොත් දර්ශනය මෙන් ම විද්‍යාත්මක චින්තනයටත් ඔහු ආරම්භයක් ලබා දෙනවා.
ඔහු ද ඇතුළු ව ග්‍රීක යුගයේ මුල් අවධියේ, එනම් ප්‍රාග් සොක්‍රටීයානු අවධියේ දාර්ශනිකයන් නම් කරන්නේ ස්වාභාවික දර්ශනවාදීන් ලෙසින්. කාට ද මේ ස්වාභාවික දර්ශනවාදීන් කියන්නේ..? ඇයි ඒ අයට ස්වාභාවික දර්ශනවාදීන් කියන්නේ..? මේ ගැන අපි මීළඟ හමුවේ දී සාකච්ඡා කරන තෙක් ඔයාට දාර්ශනික කුතුහලයකින් මඟ බලාගෙන ඉන්න වෙන එක ගැන මට කණගාටුයි. එනමුත් බලාපොරොත්තු තුළ සතුට රැඳී ඇති බව අමතක කරන්න එපා.
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද