Home EntertainmentNelum Vila ස්වාභාවික දාර්ශනිකයෝ (නෙළුම් විල – 10)

ස්වාභාවික දාර්ශනිකයෝ (නෙළුම් විල – 10)

by cmadurawala

“ඇතැම් සියවස් ගණන් කිසිදු වැදගත්කමක් හෝ විශේෂත්වයක් නොමැති ව ගෙවී යන අතර සමහර දශකයන් තුළ සියවස් ගණනාවකට තරම් දේ සිදුවෙයි.” – වී. අයි. ලෙනින් – (ක්‍රි. ව. 1870 – 1924)

ලෙනින්ගේ මේ නිරීක්‍ෂණය, ඉතිහාසය සම්බන්ධයෙන් අතිශය චමත්කාර ජනක සත්‍යයක් අප හමුවේ තබනවා. වී. අයි. ලෙනින් කියන්නේ 1917 රුසියානු විප්ලවයට අවශ්‍ය බුද්ධිමය හා දේශපාලනික නායකත්වය ලබා දුන් ප්‍රමුඛ පෙළේ චරිතයක්. 20 වැනි සියවසේ සමාජවාදී හා මාක්ස්වාදී දේශපාලන දර්ශනය සම්බන්ධයෙන් සුවිශේෂී බලපෑමක් සිදු කළ පුද්ගලයෙක්. ඔහු පෙන්වා දෙන ආකාරයට මානව ඉතිහාසයේ ඇතැම් කාලවල සියවස් ගණනාවකට බලපෑම් සහගත සිදු වීම් සිද්ධ වෙනවා. ඇතැම් විට ඒවා සමස්ත මානව ශිෂ්ටාචාරයට ම වැදගත්. ග්‍රීක යුගයේ මුල් අවධිය ද ඒ වගේ යුගයක් කියලා මට හිතෙනවා.

දාර්ශනික ඉතිහාසය සම්බන්ධයෙන් ග්‍රීක යුගය මූලික අවධි දෙකකට බෙදා දක්වනවා. ඒ,

01 – ප්‍රාග් සොක්‍රටියානු අවධිය හෙවත් සොක්‍රටීස්ට පෙර අවධිය හා

02 – පශ්චාත් සොක්‍රටියානු අවධිය හෙවත් සොක්‍රටීස්ට පසු අවධිය යනුවෙනුයි.

මේ කාල පරාසයන් බෙදා තිබෙන්නේ ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනිකයකු වන සොක්‍රටීස් පදනම් කර ගෙන. ඒකට හේතුව මොකක් ද?

සොක්‍රටීස් නම් අපූරු ග්‍රීක දාර්ශනිකයා ජීවත් වන්නේ තෙල්ස්ට සියවස් එක හමාරකට පමණ පසුව. දර්ශනයේ ආරම්භයේ ඉඳන් සොක්‍රටීස් දක්වා කාලය වසර 1,500කට ආසන්නයි. ප්‍රාග් සොක්‍රටියානු අවධිය ලෙස හඳුන්වන්නේ ඒ කාල පරාසයයි. ඉන් පසු ව ග්‍රීක යුගයේ අවසානය තෙක් කාලය පශ්චාත් සොක්‍රටියානු අවධිය ලෙස නම් කර තිබෙනවා. දර්ශනයේ ආරම්භයේ සිට පැමිණි ගමන් මඟ සොක්‍රටීස් විසින් නව දිශාවකට හැරවීම නිසා මේ බෙදීම නිර්මාණය වී තිබෙනවා. මෙය ඉතා සරල හා ප්‍රාථමික බෙදීමක්.

සොක්‍රටීස් විසින් දර්ශනයේ කේන්ද්‍රීය සාධකය ලෙස සැලකුවේ මිනිසා හා මිනිස් සමාජයයි. ඔහුට පෙර දර්ශනයේ කේන්ද්‍රීය සාධකය වන්නේ ස්වාභාවික ලෝකය හා එහි ක්‍රියාකාරීත්වය. සොක්‍රටීස්ට සමකාලීන වත් ඔහුට පසුකාලීන වත් ස්වාභාවික ලෝකය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කළ දාර්ශනිකයන් නැති ව නෙවෙයි. ඒත් දර්ශනයේ ආරම්භක අවධියේ මේ තත්ත්වය කැපී පෙනෙන අයුරින් නිරූපණය වන නිසා ඒ අවධියට අයත් මුල් ම දාර්ශනිකයන් ස්වාභාවික දර්ශනවාදීන් ලෙස හඳුන්වනවා.

මේ අනුව ස්වාභාවික දාර්ශනිකයන් කියන්නේ මූලික වශයෙන් තමන්ගේ දාර්ශනික ව්‍යාපෘතිය ස්වාභාවික ලෝකය හා එහි ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කර බැලීමට යොමු කළ දාර්ශනිකයන් ය.

ස්වාභාවික ලෝකය හා එහි අපූරු ක්‍රියාකාරීත්වය ගැන ඔයාට පුදුම හිතෙන්නෙ නැද්ද? මට නම් හිතෙනවා. සමහර විට මරණය තෙක් ම ස්වාභාවික ලෝකය ගැන ඇති කුතුහලය එලෙස ම රැඳේ වි. එයින් මා විස්මයට පත් වීම නම් අවසන් නො වේ වි. නවීන විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව තුළත් සොබාදහම යනු තවමත් වටිනා රහස් ගබඩාවක්. සොබාදහමේ රහස් අනාවරණය කර ගන්න විද්‍යාව අඛණ්ඩ ව වෙහෙසෙනවා. මෙහි අවසන් අරමුණ ස්වාභාවික ලෝකයේ ක්‍රියාකාරීත්වය මිනිසාගේ පාලනයට නතු කිරීම ද? ඇතැම් විද්‍යා ප්‍රබන්ධයන්ට අනුව නම් මෙහි අවසානය ශෝකාන්තයක් විය හැකියි.

නියමාකාරයෙන් බැලුවහම මිනිසා ද, මේ ලෝකය ද, සමස්ත විශ්වය ද අයිති වෙන්නේ සොබාදහමටයි. සොබාදහමේ අනර්ඝතම නිර්මාණය වෙන්නේ ‘ජීවය’යි. ජීවී බව හා අජීවී බව අතර නිසැක බෙදීමක් සිදු කිරීම බොහෝ අපහසු කාර්යයක්. මිනිසාගේ පියවි ඇසට නො පෙනෙන ක්ෂූද්‍රජීවීන්ගේගේ සිට අතිශය සංකීර්ණ ජීවී ක්‍රියාවලියක් සහිත මිනිසා දක්වා ම ‘ජීවය’ අපට හොයා ගන්න පුළුවන්. ඒ වගේ ම අජීවී කාබනික මූලද්‍රව්‍යයන්ගේ සිට ජීවය දක්වා සිදු වුණු පරිණාමීය ක්‍රියාවලිය සම්බන්ධයෙන් වර්තමානයේත් අඛණ්ඩ ව පරීක්‍ෂණ සිදු වෙනවා. විද්‍යාඥයන්ගේ සියුම් පරීක්‍ෂණයන්ට අනුව අවුරුදු කෝටි තුනකට ඉහත දීත් පෘථිවිය මත ජීවය පැවතී තිබෙනවා. අනෙක් අතට තාරකා විද්‍යාවට අනුව පෘථිවිය හැරෙන්නට ජීවය ඇති වෙනත් ග්‍රහ ලෝකයක් තව ම සොයා ගෙන නැහැ. ඇත්තේ අනුමානයන් විතරයි. ක්ලෝනීකරණය, ජාන ඉංජිනේරු විද්‍යාව වගේ ක්‍ෂේත්‍රයන්ගේ කොතරම් දියුණුවක් ලැබුවත් ජීවය ඇති කිරීම හා ජීවයේ රහස තවමත් මිනිසාට අනාවරණය වෙලා නැහැ. අජීවී මූලද්‍රව්‍යයන්ගේ ඉඳන් සජීවී සප්‍රාණික සත්ත්වයන් දක්වා ජීවයේ පරිණාමය අවුරුදු කෝටි සියයක පමණ ක්‍රියාවලියක් ලෙස සැලකෙනවා. මේ කාලයට සාපේක්‍ෂ ව ගත්තහම මිනිස් වර්ගයා පෘථිවිය මත ගත කරන්නේ ඔවුන්ගේ ළමා කාලය කියා ඔයාට හිතෙන්නෙ නැද්ද? ජීවය සම්බන්ධ මේ ස්වාභාවික ක්‍රියාවලියේ අනර්ඝතම නිර්මාණය වන්නේ මිනිසායි.

ඉතින් ආරම්භයේ පටන් ම මිනිසා, තමන් ද අයත් වන මේ සොබාදහම හා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විස්මයට පත් වුණා. අජීවී මහ පොළොවෙන් ගහ කොළ පැළෑටි උපද්දවන විටත්, අකුණු සැර හා වර්ෂාව ඇති වන විටත්, මවක ගෙන් දරුවකු උපදින විටත් එක හා සමාන ව විස්මයට පත් වුණා. මේ දේවල් සිද්ධ වෙන්නෙ කොහොම ද? කවුරු හරි මේ දේවල් හැදුව ද? එහෙම නැත්නම් කිසියම් උත්තරීතර බලවේගයක්  විසින් මේ සියල්ල පාලනය කරනව ද? හසුරුවනව ද? මේ නිසා ආරම්භයේ දී සොබාදහම දේවත්වයෙන් සලකන්න මිනිසා පෙලඹුණා. ආගමික මතවාද බිහි වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

නමුත් ආගමික මතවාද මාර්ගයෙන් සොබාදහමේ රහස් අනාවරණය කර ගන්න පුළුවන්කමක් නැහැ. දර්ශනය ආරම්භ වෙන්නේ ඒකේ ප්‍රතිඵලය විදිහට කියන්න දැන් ඔයා දන්නවා.

ඉතින් දර්ශනයේ ආරම්භක අවධියේ මුල් ම දාර්ශනිකයන් සොබාදහමේ සැඟවුණු නීති හා රහස් අනාවරණය කර ගන්න උත්සාහ කළා. මීට පෙර අපි සාකච්ඡා කළ තෙල්ස් ද ඇතුළු ව මයිලේටස් පෞර රාජ්‍යයේ ජීවත් වුණු අනෙක් දාර්ශනිකයන් දෙදෙනා වන ඇනැක්සිමැන්ඩර් හා ඇනැක්සිමීනස් කියන දාර්ශනිකයන් තිදෙනාගේ ම අවධානය යොමු වුණේ මේ සම්බන්ධයෙනුයි. මේ හේතුවෙන් මේ මයිලේසියානු දාර්ශනිකයන් තිදෙනා ස්වභාවික දාර්ශනිකයන් ලෙස නම් කරන්න අපට පුළුවන්. සොබාදහමේ, නො එසේ නම් මේ භෞතික ලෝකයේ මූල හේතුව, මූලද්‍රව්‍යය කුමක් දැයි සොයා ගන්න ඔවුන් උත්සාහ කළා. තෙල්ස් එය ජලය කියා පැවසූ බව දැනටමත් ඔයා දන්නවා. එහෙම නම් අනෙක් දෙදෙනා ඒ ගැන කිව්වේ මොනව ද කියලා අපි සොයා බලමු.

ලබන සතියට…

දර්ශන විද්‍යා අරවින්ද

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications