Home EntertainmentNelum Vila අසීමිතය (නෙළුම් විල – 11)

අසීමිතය (නෙළුම් විල – 11)

by Sathya

“සියල්ලෙහි මූලය අසීමිතය නම් වේ. අසීමිතයට මූලයක් නොමැත.” – ඇනැක්සිමැන්ඩර් – (:ක්‍රි. පූ. 610 – 545)

ඔයා, විශ්වවේදය, එහෙම නැතිනම් විශ්ව විද්‍යාව (cosmology) ගැන අහලා තියෙනව ද? නැතිනම් කියවලා තියෙනව ද? විශ්වවේදය සම්බන්ධයෙන් මෑත කාලයේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුණු කෙනෙක් තමයි ස්ටීවන් හෝකිං කියන්නෙ. සමහර විට ඔහු ගැන නම් ඔයා අහලා ඇති. 2015 වසරේ එඩී රෙඩිමයින් හොඳ ම නළුවා ලෙස ඔස්කාර් සම්මාන ලැබූ The Theory of Everything නම් චිත්‍රපටය ඔයා නරඹා ඇති කියා මම හිතනවා. ස්ටීවන් හෝකිංගේ චරිතය තමයි මේ චිත්‍රපටයට පාදක වුණේ කියන්නත් ඔයා එහෙනම් දන්නවා ඇති. ස්ටීවන් හෝකිං වැනි වර්තමානයේ අතිශය වැදගත් භෞතික විද්‍යා න්‍යායාචාර්යවරයකු දක්වා ම පැවතගෙන එන මේ විශ්වවේදයේ ආරම්භකයා, එහෙම නැත්නම් ආදි කර්තෘවරයා තමයි ඇනැක්සිමැන්ඩර් කියන්නේ. ඒ නිසා ඔහු විශ්වවේදයේ පියා නම් අන්වර්ථ නාමයෙන් ද හඳුන්වනවා.

ඔහු ද මයිලේටස්හි පුරවැසියෙක්. තෙල්ස්ගේ සමකාලීනයෙක්. ඔහුගේ මිතුරකු ලෙස ද සැලකෙනවා. ඔහු තෙල්ස් වගේ ම හොඳ සංචාරකයෙක්. එනමුත් දාර්ශනික හා විද්‍යාත්මක ඥාන සම්පාදනය සම්බන්ධයෙන් තෙල්ස්ට ද වඩා බලපෑම් සහගත පුද්ගලයෙක්.

ඊට හේතු ගණනාවක් තිබෙනවා. අපි මුණගැහෙන මේ සුළු ඉඩකඩ ඇතුළේ අද මම මේ අපූරු අසාමාන්‍ය මනස සතු දාර්ශනිකයා ගැන හැකි තරම් ඔයාට කියන්න උත්සාහ කරනවා.

එවක ඇපලෝනියාවේ ජනපද පිහිටුවීම සඳහා ඇනැක්සිමැන්ඩර් විසින් භූ සිතියම් නිර්මාණය කළ බව පැවසෙනවා. වාර්තාගත ඉතිහාසය තුළ ඔහු තමයි පළමු භූ සිතියම් නිර්මාපකයා වෙන්නේ. මේ නිසා ඔහු වර්තමානයේ භූගෝල විද්‍යාව ලෙස සැලකෙන විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කළ මුල් කාලීනයකු ලෙසත් පිළිගන්නවා. සමහර තැනක ඔහු ලොව පළමු භූගෝල විද්‍යාඥයා ලෙසත් පිළිගන්නවා. ඒ වගේ ම ඔහු ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව කියන විෂය ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද මුල් කාලීනයකු ලෙසයි සැලකෙන්නේ. ආරම්භයේ දී මම කියපු විදිහට ම වර්තමානයේ අප විශ්වවේදය යැ යි සලකන තාරකා – භෞතික විද්‍යාත්මක දැනුම් ක්‍ෂේත්‍රයට පදනම දැමුවේ ද ඔහු විසින්. මයිලේසියානුවන් ඔහුගේ ප්‍රතිමාවක් ද ඉදි කළ බවත් සනාථ වී තිබෙනවා. ඔහු සම්බන්ධ වැඩි පුර ම තොරතුරු වාර්තා වන්නේ ඇරිස්ටෝටල්ගේ හා ඔහුගේ ශිෂ්‍යයා වන තියෝප්‍රස්ටස්ගේ ලේඛනවලයි. ඊට අමතර ව ප්ලේටෝගේ හීඩෝ කෘතියේ (මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙනවා, කැමති නම් ඔයාට ඒක කියවන්න පුළුවන්) ඔහු ගැන සුවිශේෂ සඳහනක් තියෙනවා.

එසේ නම් මේ තරමට ඵෙතිහාසික ව වැදගත් වන ඔහුගේ බුද්ධිමය දාර්ශනික දායකත්වය ගැන අපි දැන් ටිකක් සොයා බලමු.

ඇනැක්සිමැන්ඩර්ගේ ප්‍රධාන ම දාර්ශනික සංකල්පනාව වන්නේ අසීමිතය – Boundless –  යන්නයි. මේ දුරාවබෝධී දාර්ශනික සංකල්පනාව හැඳින්වීම සඳහා ඔහු විසින් අලුත් ග්‍රීක වචනයක් නිර්මාණය කළා, – apeiron – ඇපොයිරන් – නමින්. ඒ ග්‍රීක වචනයේ සාමාන්‍ය අදහස වන්නේ සීමාවන් හෝ සීමාසහිත භාවයන් නොමැති දෙය කියන එකයි. ඒ කියන්නේ සරල ව, ‘අසීමිත ය’ කියන එක බව ඔයාට වැටහෙන්න ඕනෙ. සමහර දාර්ශනික ගුරුකුලයන් එය ‘අත්දැකීමට හසු නො වන දෙය’, එනම් ‘අනුභූති උත්තර’ දෙයක් ලෙසත් හඳුන්වනවා. ඔන්න දැන් ඔයාට ටිකෙන් ටික දාර්ශනික වෙන්න සිද්ධ වෙනවා. ඇත්තට ම කිව්වොත් ඇනැක්සිමැන්ඩර් එක්ක ඔයාට දාර්ශනික භාවයට ආරම්භයක් දෙන්න පුළුවන් වෙනවා. ඔයාව දාර්ශනික චින්තනය දෙසට අරන් යන්න ඔහුට පුළුවන්. මේ අසීමිතය නම් දාර්ශනික මූලධර්මය අති ඉහළ ගණයේ වියුක්ති භාවයක්, නො එසේ නම් බුද්ධියට ම සීමා වූ සංකල්පනාවක් ප්‍රදර්ශනය කිරීම ඊට හේතුවයි. අනෙක් අතට එය එවකට ග්‍රීක චින්තනයට සපුරා ම වෙනස්. සීමිත භාවය, සමමිතිය හා සහසම්බන්ධතාව වැනි සංකල්ප සමග ගොඩනැඟුණු ග්‍රීක චින්තනය තුළ අසීමිත භාවය පිළිබඳ මූලධර්මය ඉතා විප්ලවකාරී සංකල්පනාවක් වුණා.

විශේෂයෙන් ම ඇරිස්ටෝටල් විසින් රචිත භෞතිකය – Physics – නම් කෘතියේ සහ අනෙක් පසු කාලීන සාක්‍ෂි හා විවරණ අනුව ඔහුගේ මේ අසීමිත ය නම් කුමක් දැ යි අපි මඳක් විමසා බලමු.

මම ඔයාට ඇත්ත ම කීවොත්ත මේ අසීමිතය කියන්නේ මොකක් ද කියන්න හරි ම අපහසුයි; සංකීර්ණයි වගේ ම පැටලිලි සහිතයි…

‘ජලය, ගින්න, වායුව හා පෘථිවිය (ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර ඥානයන්) යන මූලධාතූන් හතර සීමිතයි. ඇති වීමක් වගේ ම නැති වීමක්, ක්‍ෂය වීමක් සහිතයි. මේ සීමිත මූලධාතූන්ගේ මූලය සීමිත විය නො හැකියි. එය කිසියම් අසීමිත දෙයක් විය යුතුයි. එසේ ම මේ සීමිත මූලධාතූන් ඒවා හට ගන්නා ස්ථානයට ම නැවත ක්‍ෂය වී යයි. මෙය නො එසේ නම් මූලපදාර්ථය ‘අසීමිත ය’ නම් වේ. එය ක්‍ෂය නො වෙයි. අවසන් නො වෙයි. දිශා රහිතයි. සියල්ලෙහි මූලය, සම්භවය එයයි. එබැවින් ඊට උපතක් හෝ සම්භවයක් නොමැතියි.’

මේ අදහස ගැන තෙල්ස්ට ද සම්බන්ධයක් තිබෙනවා. “දිව්‍යමය දේ යනු කුමක් ද? එනම්, උපතක්, සම්භවයක් හා අවසානයක් නොමැති දෙයයි.” කියා ඔහු විසින් පවසා ඇති බව සඳහන් වෙනවා. එනමුත් මෙය විස්තරාත්මක ව විදාරණය කර ඇත්තේ ඇනැක්සිමැන්ඩර් විසින්. ඔහු, දිව්‍යමය දේ යන්න ඉවත් කර ‘අසීමිතය’ පිළිබඳ බුද්ධිමය හා දාර්ශනික සංකල්පය ගොඩනඟා තිබෙනවා. එසේ ම ‘සියල්ලෙහි මූලය ජලය’ නම් තෙල්ස්ගේ සීමිත මූලපදාර්ථය වෙනුවට අසීමිත ය නම් කිසියම් විශ්වීය ම ය මූලපදාර්ථයක් ඔහු හඳුන්වා දෙනවා.

මේ ‘අසීමිතය’ නම් සංකල්පනය හරහා විශ්ව විද්‍යාවට දොර විවර වෙනවා. සරල ව, විශ්ව විද්‍යාව කියන්නේ  විශ්වයේ ස්වභාවය, සංයුතිය හා ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන විෂය ක්‍ෂේත්‍රයයි.

අප ජීවත් වන පෘථිවිය ද සඳ, හිරු, තාරකා ඇතුළු ව අසංඛ්‍ය හෙවත් ගණනය කළ නො හැකි තරමට ආකාශ වස්තූන් ප්‍රමාණයක් ඇති බව ඔහු සඳහන් කළ බවට පිළිගැනෙනවා. වර්තමානයේ තාරකා විද්‍යාත්මක හා විශ්ව විද්‍යාත්මක පිළිගැනීම අනුව විශ්වය අසීමිත ආකාශ වස්තූන් ප්‍රමාණයකින් යුක්තයි. වසර 2600කට ප්‍රථමයෙන්  ඇනැක්සිමැන්ඩර් නම් මයිලේසියානුවා එය සඳහන් කළේ වර්තමානයේ දී වගේ නවීන දුරේක්‍ෂ මාර්ගයෙන් ආකාශය නිරීක්‍ෂණය කිරීමෙන් නො වත තමන්ගේ දාර්ශනික බුද්ධිමය චින්තනය මෙහෙය වීමෙන් කියන්න ඔයාට වැටහෙනව ද? මෙන්න මේක තමයි දාර්ශනික චින්තනයේ තිබෙන චමත්කාර ජනක භාවය. අපේ ඇස, කන, නාසය ඇතුළු පංචේන්ද්‍රියන්ගෙන් නිරීක්‍ෂණය කළ නො හැකි, එසේ ම ඒ සඳහා අද මෙන් සූක්‍ෂම යාන්ත්‍රික හා තාක්‍ෂණික උපකරණ නොමැති තත්ත්වයක, නිරීක්‍ෂණයෙන් ඔබ්බෙහි පවතින දේ පිළිබඳ ව අවලෝකනය කරන්න පුළුවන් දර්ශනයෙන් විතරයි. මේක මිනිස් බුද්ධියකට ආවේණික ගුණයක් කියන එක ඔයා තේරුම් ගන්න ඕනෙ. දාර්ශනික ව කටයුතු කරන්න නම් ඔයාට ඒක තේරුම් ගන්න ම වෙනවා.

ඉතින්, මම හිතුවා නිවැරැදියි. මේ සුළු ඉඩ අපට ප්‍රමාණවත් නැහැ. ඇනැක්සිමැන්ඩර් මේ සුළු ඉඩකඩට වඩා ගොඩක් විශාලයි. ඒ හින්දා අපට ඔහු ගැන සංවාදය ඉදිරියට කරගෙන යන්න ම වෙනවා. ඔහුගේ දාර්ශනික චමත්කාරය අත්විඳින්න ඔයා අකැමැති වෙන්න විදිහක් නැහැ. ඒත් ඒකට ඔයාට ලබන සතිය තෙක් ඉවසන්න සිද්ධ වෙනවා.

ලබන සතියට…

දර්ශන විද්‍යා අරවින්ද

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications