“විශ්වයේ මධ්‍යයේ පෘථිවිය ඇත. එය සිලින්ඩරාකාර ය.” – ඇනැක්සිමැන්ඩර්
ඔය ඉහළින් තියෙන අදහසට, ඒ කියන්නේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බව කියන සංකල්පයට කියන්නේ පෘථිවි කේන්ද්‍රවාදය කියලා. මේ සම්බන්ධයෙන් වඩාත් විශ්ලේෂණාත්මක ව කතා කළේ ඇරිස්ටෝටල් හා පසු කාලීන ව ඇක්වයිනාස් විසින් වුවත් එහි ආරම්භය ඇනැක්සිමැන්ඩර්ගේ විශ්ව විද්‍යාව තුළින් අපට සොයා ගන්න පුළුවන්.
වර්තමානයේ විශ්ව විද්‍යාව වැඩි පුර ම ගනුදෙනු කරන්නේ අතිශය වියුක්ත හා බුද්ධිමය, ගණිතමය හා භෞතික විද්‍යාත්මක න්‍යායන් සමග. විශේෂයෙන් ම තාරකා භෞතික විද්‍යාව හා තාරකා රසායන විද්‍යාව ද එහි දී වැදගත් විෂය ක්‍ෂේත්‍රයන් වනවා. විශ්ව විද්‍යාවට ආරම්භය ලබා දුන් ඇනැක්සිමැන්ඩර්ගේ සිට වර්තමානය දක්වා එයට දායකත්වය ලබා දුන් විශිෂ්ටයන්ගේ නාමාවලිය අතිශය කීර්තිමත් එකක්. ඇරිස්ටෝටල්, ඇක්වයිනාස්, ඉමැනුවෙල් කාන්ට්, ගැලීලියො ගැලිලි, නිව්ටන්, අයින්ස්ටයින්, නීල්ස් බෝර්, හෝකිං, කාල් සේගන් ආදීන් ගෙන් එය සැදී තිබෙනවා. මේ විශ්ව විද්‍යාවට ආරම්භයක් ලබා දීමෙන් ඇනැක්සිමැන්ඩර් විසින් මෙයට වසර 2,600කට පෙර ගනු ලබන්නේ මානව චින්තනයේ අතිශය විප්ලවකාරී පියවරක්.
ඔහුට පෙරත් ඔහුට පසුවත් විශ්වය සම්බන්ධයෙන් බල පැවැත්වුණු සීමිත ආගමික චින්තනයට අනුව එය මහත් නිර්භීත පියවරක් ද වෙනවා. ආගමික චින්තනයට අනුව විශ්වය, පෘථිවිය, දිව්‍ය ලෝකය හා අපායෙන් යුක්ත සීමා සහිත අවකාශයක් වුණා. දිව්‍ය ලෝකය හෙවත් ස්වර්ගය ඉහළ ලෙසත් අපාය හෙවත් නරකාදිය පහළ ලෙසත් පෘථිවිය හෙවත් මිනිස් ලොව මධ්‍යය ලෙසත් දිශානුගත ව ද සීමා පැනවුණා. සඳ හිරු තාරකා වැනි ආකාශ වස්තූන් පිළිගැනුණේ දිව්‍යමය දේවල් ලෙසයි. මේ චින්තනය පෙරදිග සහ අපරදිග සැම මානව ශිෂ්ටාචාරයක ම කාලාන්තරයක් පුරා තවමත් දක්නට ලැබෙන බව ඔයා නො දන්නවා වෙන්න බැහැ. ඇනැක්සිමැන්ඩර්ට සම කාලීන ව ග්‍රීසියේ තත්ත්වය ද එසේ මයි. එනමුත් ඔහු විශ්වය සම්බන්ධයෙන් නූතන දැනුම් පද්ධතියට අවශ්‍ය පදනම දැමීමට බිය වුණේ නැහැ. අපි ඒකට කිව්වෙ දාර්ශනික නිර්භීතභාවය කියා බව ඔයාට මතක ඇති.
ඇනැක්සිමැන්ඩර්ට අනුව අසීමිතයෙන් සියල්ල, සමස්ත විශ්වය ම ප්‍රභවය ලබා ඇති අතර විශ්වය තුළ ආකාශ වස්තූන් ගණනය කළ නො හැකි ප්‍රමාණයක් තිබෙනවා. විශ්වය සහ ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ඔහු විසින් මූලික තාරකා විද්‍යාත්මක සමපේක්‍ෂණ (Speculations) 03ක් සිදු කර ඇති බව සඳහන් වෙනවා.
01 – ආකාශ වස්තූන් සම්පූර්ණ වක්‍රාකාර ගමනක නිරත වන අතර පෘථිවිය පසු කරමින් ද ඊට යටින් ද ගමන් කරයි.
02 – පෘථිවිය ආධාරකයක් රහිත ව අවකාශයේ රැඳී ඇත.
03 – ආකාශ වස්තූන් එකක් පසු පස එකක් වශයෙන් විශ්වයේ වැතිරී ඇත.
ඔහුගේ කාලයට සාපේක්‍ෂ ව මේ නිගමන අතිශය ඉදිරිගාමී බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පසු කාලීන ව තාරකා විද්‍යාවේ, විශ්ව විද්‍යාවේ, භෞතික විද්‍යාවේ සහ විශේෂයෙන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදයේ මෙවැනි නිගමනයන් යම් තරමකට හෝ සත්‍යයට ආසන්න බව ඔප්පු වුණා. වර්තමාන දැනුම සමග සැසඳීමේ දී ඔහුගේ අදහස් මුළු මනින් ම සත්‍ය නො වූවත් ඔහු ජීවත් වූ කාලයට හා ලෝකයට ඒවා මුළු මනින් ම නව මතවාද පමණක් නො ව විප්ලවකාරී චින්තනයක් ද වුණා. අපි මේ කතා කරන්නේ මෙයට වසර 2,600කට පෙර කාලයක් හා ලෝකයක් ගැන බව ඔයා හැම විට ම මතක තියා ගන්න ඕනේ. ඔහුට අනුව විශ්වයේ කේන්ද්‍රය පෘථිවිය වුණු අතර පිළිවෙළින් මීළඟට ඇත්තේ තාරකා, සඳ හා සූර්යයායි. මෙයට අනුව පෘථිවියට දුරින් ම පිහිටා ඇත්තේ සූර්යයා වන අතර මේ සියල්ල වක්‍රාකාර – වෘත්තාකාර – ගමනක, චලනයක නිරත වෙනවා. ඒ වගේ ම ඔහුට අනුව පෘථිවිය සිලින්ඩරාකාරයි. අපි වාසය කරන්නේ එහි මුදුන් මුහුණතේයි. ඔහු මේ ආකාරයෙන් ලෝක සිතියමක් නිර්මාණය කළ බව ද සඳහන් වෙනවා. අද එය සොයා ගත නො හැකි වුනත් ඊට සියවස් දෙකකට පමණ පසුව තමන් එය අධ්‍යයනය කළ බව හෙරඩෝටස් පවසා තිබෙනවා. එය එසේ නම් ලොව වාර්තාගත පළමු ලෝක සිතියමේ නිර්මාපකයා ද ඇනැක්සිමැන්ඩර් ලෙස පිළිගත යුතුයි. ඔහුගේ මේ නිර්මාණ හා නිගමන අද පවතින දැනුම අනුව සත්‍යයයෙන් තොර බව ඇත්ත. එනමුත් කලින් කිව්වා වගේ ඒවා ආගමික විශ්වාස මුල් බැසගත් ඒ කාලයටත් එමඟින් ආරම්භය ලැබුණු දැනුම් පද්ධතියටත් සාපේක්‍ෂ ව සිතා බැලීමේ දී බෙහෙවින් වැදගත් වෙනවා.
විශ්වයේ හා ජීවයේ සම්භවය ගැන ඔහු පහත පරිදි ද අදහස් දක්වා ඇති බවත් සඳහන්.
‘අසීමිතය කියා නම් කළ මූල පදාර්ථය චලනයකින් යුක්ත වේ. එම චලනය හේතුවෙන් උණුසුම හා සිසිල ජනිත කර ගැනීමට සමත් කිසියම් කොටසක් ඉන් වෙන් වී ඇත. එනම් අසීමිතයෙන් වෙන් වී ඇත. ආකාශ වස්තූන් ලෙස පසුව අප හඳුනා ගන්නේ ඒවා ය. මේවා වටා විශාල ගිනි ජාලාවන් ගෝලාකාර ව රැඳී ඇත. පෘථිවියේ වායුගෝලය වටා ද එසේ රැඳුණ ගිනි ජාලාවක් හෙවත් උෂ්ණත්වයක් ඇත. එය ගසක පොත්තට සමාන කළ හැකි ය.
එසේ ම පෘථිවිය වටා තිබූ තෙතමනය සූර්ය රශ්මියෙන් වියළී යත් ම ජීවය සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය වෙයි. ඒ අනුව පළමු ජීවීන් මාළුවන් වැනි ජලජ වාසී සත්ත්ව විශේෂයකි. මොවුන්ගේ ශරීරය වටා ද ගසක පොත්ත වැනි බාහිර සමක් තිබුණි. මොවුන් මෝරුන් මෙන් – ක්‍ෂීරපායී – ඇති දැඩි වූ අතර තමන්ගේ ජීවිතාරක්‍ෂාව සම්බන්ධයෙන් තමන්ට ම වග බලා ගත හැකි වන විට දී වෙරළට පැමිණෙයි. මිනිසා පරිණාමය වන්නේ මොවුන් ගෙනි.’
මෙය අතිශය චමත්කාරජනක පරිකල්පනාවක් කියා ඔයාට හිතෙනවා ඇති. මටත් එහෙමයි. නමුත් මෙය ඊට වඩා දෙයක් බව මට හිතෙනවා. ලෝකය, මිනිසා හා සමස්ත පැවැත්ම දෙවියන් විසින් නිර්මාණය කළා යැ යි නිකම් ම නිකම් නො පිළිගෙන මෙවැන්නක් පරිකල්පනය කිරීම හුදු චමත්කාරජනක කලාත්මක පරිකල්පනාවක් නො වන බව අපි වටහා ගන්න ඕනෙ. මෙහි ඊට වඩා දෙයක් ගැබ් වී තිබෙනවා.
පළමුව, එය ඉන් පසුව වේගයෙන් වර්ධනය වූ ශාස්ත්‍රීය ශික්‍ෂණයකට හෙවත් විෂය ක්‍ෂේත්‍රයක් වන විශ්ව විද්‍යාවට අඩිතාලම දැමූ අදහස් මාලාවයි. දෙවනුව එය විශ්වයේ හා ජීවයේ සම්භවය සම්බන්ධයෙන් ස්වාභාවික භෞතිකවාදී එනම් ද්‍රව්‍යවාදී ප්‍රවේශයක් සම්පාදනය කර තිබෙනවා. මෙහි දී සලකා බලන්නේ පදාර්ථ, උෂ්ණත්වය, සිසිලස, වාෂ්පීකරණය, චලනය වැනි විද්‍යාත්මක අදහස් බව ඔයා දකින්න ඇති. ඒවා කිසිවක් දිව්‍යමය බලවේගයන් නො වෙයි. අනෙක් අතට ඔහුගේ ‘අසීමිතය’ නම් දාර්ශනික සංකල්පනාවෙන් හැඟවෙන්නේ දෙවියකුගේ දිව්‍යමය බලවේගයක් නො වත චලනයක් සහිත නිරපේක්‍ෂක පදාර්ථයක්. අසීමිතයෙන් කොටසක් වෙන් වීම, ඉන් අධික උෂ්ණත්වයක් හෙවත් ගිනි ජාලාවක් පිට වීම, සිසිලනය මඟින් පසුව ආකාශ වස්තූන් නිර්මාණය වීම හා ජීවයේ සම්භවය සම්බන්ධයෙන් පෘථිවිය මතට පතිත වන සූර්ය තාපයේ වැදගත් කම ආදිය සලකා බලන විට, ඒවා පසු කාලීන මහා පිපිරුම්වාදයට ද, ජීවයේ රසායනික සම්භවය සම්බන්ධ ජීව – රසායන විද්‍යාවේ සොයා ගැනීම්වලට ද නෑකම් කියනවා.
ඉතින් දැන් ඔයාට විස්මයට පත් නො වී ඉන්න පුළුවන් වෙයි කියා මම හිතන්නෙ නැහැ. ඇනැක්සිමැන්ඩර්ගේ දාර්ශනික චින්තාවේ චමත්කාරයෙන් විස්මයට පත් නො වන කෙනෙක් කියන්නේ තමන්ගේ එදිනෙදා දිවිය හා බඩවියත ගැන පමණක් සැලකිලිමත් වන පුද්ගලයකුට මිස වෙන කාට ද? අපේ සංවාදය ආරම්භයේ දී සඳහන් කළ ජර්මන් මහා කවියා ගොතේගේ ජනප්‍රිය කියමන ඔයාට මතක ඇති කියා මම හිතනවා. මම දන්නවා. ඔයා එහෙම කෙනෙක් නෙවෙයි.
ඉතින් ඇනැක්සිමැන්ඩර් කියන්නේ දර්ශනය විශ්ව විද්‍යාවක් දක්වා ප්‍රසාරණය කළ අතිශය චමත්කාර ජනක දාර්ශනිකයකු කියා ඔයාට හිතෙන්නෙ නැද්ද..?
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද