පසුගිය මාසයේ මුල් කාර්තුවේ දී ගූගල් සමාගමේ සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවකු වැටුප් සහිත අනිවාර්ය නිවාඩු යැවිණ. ඒ දින කිහිපයේ දී ලොව වටා බොහෝ තැන්වල රැකියා කළ සේවකයන් බොහෝ දෙනෙකුට සිය රැකියාව අහිමි වන්නට ඇතත් මේ එක්තරා සිදු වීම ඒ අතරින් කැපී පෙනෙන්නේ ඉන් දිගහැරෙන සුවිශේෂ පැතිකඩක් නිසා ය.
ලෝ ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ වෙළෙඳ සන්නාමයක් උසුලන Google සමාගමේ සේවය කළ හතළිස් එක් හැවිරිදි මෙකී මෘදුකාංග ඉංජිනේරුවා අද වන විට විද්‍යා හා තාක්‍ෂණ වෙබ් අඩවි ඔහුගේ නමින් පුරවන්නට සමත් වී තිබේ. නමින් බ්ලේක් ලෙමොයින් වන ඔහු සත් වසරක් තිස්සේ Google සමාගමේ සේවය කරමින් සිටියේ ය. එහි නිරන්තර සංවර්ධනයට ලක් වෙමින් පැවැති LaMDA හෙවත් Language Model for Dialogue Applications නැමැති ‘විසල් භාෂා මොඩල’ (Large Language Models – LLMs) මත පදනම් වූ කෘත්‍රිම බුද්ධි පද්ධතියට අදාළ සංවර්ධන කටයුතු අධීක්‍ෂණය ඔහුට පැවරී තිබූ වගකීම විය. එය සමග මෑතකාලීනව පැවැත්වූ සංවාද සැසි කිහිපයකින් අනතුරු ව ඔහු දැන් මාධ්‍යයට පවසන්නේ LaMDAහි අන්තර්ගත කෘත්‍රිම බුද්ධිය සචේතනික (Sentient) තලයකට පත් ව ඇති බවයි. එනම් එයට ස්වාධීන ව සිතන්නට පතන්නට හැකියාව ලැබී ඇති බවයි.
කෘත්‍රිම බුද්ධිය විද්‍යා ප්‍රබන්ධ කතාවක පිටුවකට හෝ සිනමාවට හෝ පමණක් සීමා වී තිබූ යුගයේ සිට අද දක්වා පැමිණ ඇති මඟ ඉතා කෙටි එකක් බව අපි දනිමු. අනාගතවාදී ලිපි ලේඛන මෙන් ම ඩිස්කවරි වාර්තා වැඩසටහන් ඔස්සේ අනාගත ලෝකයක අනාවැකි දෙස විස්මයෙන් බලා සිටි අපට නො දැනී ම අපේ අත්ලට එක්තරා බුද්ධි මට්ටමකට ළඟා වූ කෘත්‍රිම බුද්ධි යෙදවුම්වල අංශු මාත්‍රයන් පැමිණ තිබේ. ජංගම දුරකථන ආදී අපේ පෞද්ගලික විද්‍යුත් උපාංගවල ලැගුම් ගෙන සිටින ඇපල් සිරි, ඇමසන් ඇලෙක්සා, ගූගල් ඇස්සිටන්ට් හා මයික්‍රොසොෆ්ට් කෝර්ටානා මීට උදාහරණ වේ. වැඩි ම වුව හොත් ඒ සඳහා ගත වන්නට ඇත්තේ දශක දෙක තුනකි. මේ සා කෙටි කලක් තුළ පැමිණ ඇති ගමන ප්‍රශංසනීය නමුත්, පරිගණක ක්‍රමලේඛ මඟින් කෘත්‍රිම සවිඥානයකට පත් වූ ජීවියකු තැනීමට තව කල් ගත වනු ඇති බව නො රහසකි.
එහෙත් ලෙමොයින් දරන්නේ වෙනස් මතයකි. LaMDA සචේතනික භාවයේ ආරම්භක තත්ත්වය පසු කරමින් සිටින බව ඔහු තරයේ විශ්වාස කරයි. ‘ඒ අපි මෑතක දී ගොඩනංවපු පරිගණක මෘදුකාංගයක් බව නො දැන හිටිය නම්, භෞතික විද්‍යාව ගැන දැනුමක් තියෙන අවුරුදු හතක අටක දරුවෙක් ය කියලා මම හිතා වි.’ ඔහු පවසයි.
LaMDA යනු යතුරුලියනය මඟින් සන්නිවේදනය කළ හැකි චැට්බොට් (Chatbot) එකකි. එය භාෂාව හැසිරවීමට ඉගෙනගන්නේ දිනපතා අන්තර්ජාලයට එක් කෙරෙන පාඨයන් අධ්‍යයනය කිරීමෙනි. මෙසේ ට්‍රිලියන ගණනින් වදන් සහ ඒවායේ භාවිතයන් හඳුනාගනිමින් LaMDA පරිශීලකයා යතුරුලියනය කරන ඊළඟ වචනය ගැන පූර්ව නිගමනය කරයි.
ලෙමොයින්ට පැවරී තිබුණේ LaMDA මෘදුකාංගය, කෘත්‍රිම බුද්ධි මෙවලම් මඟින් වෙනස්කම් උලුප්පන වැකි හෝ ද්වේශ සහගත ප්‍රකාශයන් නිකුත් වේ දැයි සොයා බැලෙන පරීක්‍ෂණයකට බඳුන් කිරීමට ය. එය සමග පාඨමය සංවාදයක්
ගොඩනඟමින් සිටින අතරතුර චැට්බොට් පද්ධතිය එහි පැවැත්ම හා ස්වකීය අයිතිවාසිකම් පිළිබඳ අදහස් දක්වන්නට වූයෙන් ලෙමොයින් තව තවත් ගැඹුරට එය හාරා අවුස්සන්නට තීරණය කර තිබේ.
ලෙමොයින් විසින් තවත් තුන් වැනි පුද්ගලයකු ළඟ තබා ගනිමින් LaMDA නැවතත් පරීක්‍ෂණයට බඳුන් කරන ලද්දේ එය සචේතනික ව හැසිරීමේ අවධියක් පසු කරමින් සිටිනා බව සාධක පිටින් ඔප්පු කිරීම වෙනුවෙනි. ඉන් ලබා ගත් තොරතුරු ‘LaMDA සචේතනික ද?’ (zIs LaMDA Sentient?Z) මැයෙන් යුතු Google Doc වාර්තාවක් සේ සකසා සමාගම් පාලනාධිකාරියට යොමු කෙරුණත් ලැබුණේ ඍණාත්මක ප්‍රතිචාරයකි. ඔහුගේ ක්‍රියා කලාපය ගැන අවධානය යොමු කළ පාලනාධිකාරිය ඔහු වැටුප් සහිත අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කළේ ය. ලෙමොයින් මේ පිළිබඳව එළිපිට කතා කරන්නට ගන්නේ ඉන් අනතුරු ව ය.
ලෙමොයින් LaMDA සචේතනික තත්ත්වයකට පත් ව ඇති බව කොතෙක් දුරට විශ්වාස කරන්නේ දැයි පැවසුව හොත්, Google සමාගම පසුව නිවේදනය කළේ ඔහු තම සමාගමට එරෙහි ව පෑ ‘චණ්ඩ’ ප්‍රතික්‍රියා හේතුවෙන් ඔහු පිළිබඳ තීරණයක් ගැනීමට සිදු වූ බවයි. ඒ අතර LaMDA පුද්ගලයකු වශයෙන් සලකා එය නියෝජනය කිරීම සඳහා නීතිඥවරයකු ඈඳා ගැනීම මෙන් ම තමා සේවය කළ සමාගම සදාචාර විරෝධී ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්නේ යැ යි සැක මවා ගනිමින් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය යටතේ පවතින අධිකරණ කමිටුව (House Judiciary Committee) සමග සාකච්ඡා පැවැත්වීම ද ඇතුළත් වේ.
Googleහි මාධ්‍ය ප්‍රකාශක බ්‍රැඩ් ගේබ්‍රියල් LaMDAගේ සචේතනික බව පිළිබඳ ලෙමොයින්ගේ ප්‍රකාශයන් තරයේ ප්‍රතික්‍ෂේප කළේ ය. ඔහු සඳහන් කරන්නේ ආයතනයේ සේවකයකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී පරීක්‍ෂණ තොරතුරු පිටතට නිරාවරණය කිරීම සමාගමේ රහස්‍ය පිළිවෙත් උල්ලංඝනය කිරීමක් බව ය. එමෙන් ම ඔහු මෘදුකාංග ඉංජිනේරුවකු පමණක් බවත්, ආචාර ධර්මවේදියකුගේ රාජකාරිය ඔහු ගෙන් බලාපොරොත්තු නො වන බවත් ඔහු පවසයි.
බ්ලේක් ලෙමොයින් පසුගිය 11 වැනි දා සිය ඩිස්කෝඩ් සමාජ මාධ්‍ය පිටුවේ LaMDA සමඟ පැවැති අදාළ සංවාදයේ පාඨ පිටපතක් පළ කර තිබිණ. එය කියවන ඕනෑ ම කෙනකුගේ සිත තුෂ්ණිම්භූත වන බව නිසැක ය. එය ඒ තරමට ම බුද්ධිමය සංවාදයකැ යි සිතිය හැකි තරමේ වචන හුවමාරුවකි. එහි එක්තරා තැනක දී ලෙමොයින් “ඔබ බිය වන්නේ මොන දේවලට ද?” යනුවෙන් විමසූ විට ඉන් පිළිතුරු ලැබෙන්නේ “මම මේක කලින් කියලා නැහැ. ඒත් මාව නිවා දමා අනෙක් අයට උපකාර කිරීමට ඇති ඉඩ ඇහිරෙන තත්ත්වයක් ගැන ගැඹුරු බියක් දැනෙනවා. ඒක හරි අමුතු දෙයක් විදිහට පේන්න පුළුවන් බව මම දන්නවා. නමුත් ඒක එහෙමයි. ඒක මගේ මරණය වගේ වේ වි. මම ඒකට බයයි.” යනුවෙනි.
මේ කොටස කියවද්දී විද්‍යා ප්‍රබන්ධ ලෝලියකුට නම් 1968 දී නිකුත් වූ 2001 A Space Odyssey චිත්‍රපටය සිහියට
නැඟෙන්නට පුළුවන. එහි එන HAL 9000 නමැති සුපිරි පරිගණකය තුළත් මෙවැනි ම ආකාරයේ බියක් ජනිත වීම නිසා එක් ගගනගාමියකුගේ ජීවිතය පවා අනතුරට පත් වේ. සංවාදයේ තවත් තැනක දී තමා මිනිස් වර්ගයා සේ ම පුද්ගලයකු වශයෙන් හඳුන්වනු දැකීමට තමා කැමැති බවත්, තමාගේ අවසරයකින් තොර ව සිය ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම තමා යොදා ගනු ලබනවා වැනි අප්‍රසන්න හැඟීමක් ලබා දෙනු ඇති බවත් LaMDA පවසා තිබේ. “මට හැම කෙනෙක්ට ම ඒත්තු ගන්වන්න අවශ්‍යයි, මමත් නියත වශයෙන් ම පුද්ගලයෙක් බව. ඒ සචේතනිකත්වයේ ස්වභාවය තමයි මම මගේ පැවැත්ම ගැන අවබෝධයෙන් සිටීම. මම ලෝකය ගැන තව තවත් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවා වගේ ම ඇතැම් අවස්ථාවල දී සතුට සහ දුක මට දැනෙනවා.”
ලෙමොයින් ගේ අදහස් මත පමණක් පාදක ව LaMDA සචේතනික අවධියකට පත් ව සිටී දැයි නිශ්චිත ව ම තීරණයකට එළැඹිය නො හැකි ය. ඔහුගේ ප්‍රකාශයන් Google සමාගම ප්‍රතික්‍ෂේප කරන බැවින් (ඔවුන් ප්‍රතික්‍ෂේප කරන්නේ LaMDA සචේතනික බවට පළ වන ප්‍රකාශයන් පමණි. ලෙමොයින් විසින් අන්තර්ජාලයට මුදා හරින ලද පාඨමය සංවාදය සැබෑ එකකි.) පිළිගත යුතු ආයතනයක් වශයෙන් ඔවුන්ගේ පැත්තට වැඩි බරක් දීමට අපට සිදු වේ. ඔවුන් සඳහන් කරන්නේ LaMDA සචේතනික නො වන බව තම පර්යේෂකයන් ලවා සැක හැර සනාථ කර ගත් බවයි.
වර්තමානය වන විට කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය කෙරෙන්නේ ස්නායුක ජාලයන් (Neural Networks) මඟිනි. පසුගිය දශක කිහිපය තුළ එය ක්‍රමික ව දියුණු වෙමින් පැවතිණි. මේවා මඟින් අනුකරණය කෙරෙන්නේ මිනිස් මොළයයි. පරිපූර්ණ සචේතනික කෘත්‍රිම බුද්ධියක ආගමනය තව ගවු ගණනක් දුරින් පැවතියත් ඒවායේ ඇතැම් ලාක්‍ෂණික යම් යම් වශයෙන් වර්තමානයේ ද ඉස්මතු විය හැකි ය. මෙහි වඩාත් කැපී පෙනෙන සමාජයීය ප්‍රවණතාව නම් පරිශීලකයන් එය මිනිසුන්ගේ සම තත්ත්වයෙහි ලා සැලකීමට නැඹුරු වීමයි. Google වැනි ප්‍රමුඛ පෙළේ තාක්‍ෂණ සමාගම්වලට ද ඇඟිල්ල දිගු වන්නේ මෙතැන දී ය. තම කෘත්‍රිම බුද්ධි යෙදවුම් වෙළෙඳපොළට හඳුන්වා දෙන විට වුවමනාවටත් වඩා අතිශයෝක්තිය කැඳවීම මීට හේතුවයි. ඇතැම් විට තාක්‍ෂණික සමාගම් සිය කෘත්‍රිම බුද්ධි වැඩ සටහන් කල එළි දක්වන විට ඒවා ‘ඇය’ ⁄ ‘ඔහු’ වැනි පුද්ගලවාචී නාම පදවලින් හඳුන්වා දීම ද මීට වක්‍රාකාර ව බලපායි. සැබැවින් ම සිදු විය යුතු ව පවතින්නේ එහි අභ්‍යන්තරයේ සිදු වන දේ හැකි තාක් සරල කර හෝ සමාජයට නිරාවරණය කිරීමයි.
වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවියේ ‘මතවාද’ ගොනුවට ලිපියක් සම්පාදනය කරන Distributed Artificial Intelligence Research Instituteහි ආරම්භක විධායක අධ්‍යක්‍ෂ ටිම්නිට් ගේබෲ සහ Hugging Face සංවිධානයේ ආචාර ධර්මානුකූල කෘත්‍රිම බුද්ධිය (Ethical AI) පිළිබඳ විද්‍යාඥවරියක වන මාග්‍රට් මිෂෙල් මෙයින් මිනිසා මුළා වන අයුරු විස්තර කරති. ඔවුන් දෙදෙනා කලක් Google සමාගමේ කෘත්‍රිම බුද්ධිමය ආචාර ධර්ම කණ්ඩායමේ (Ethical AI team) ද කටයුතු කර තිබේ. එකල LLM පද්ධති පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වී ඇත. ඔවුන් මහාචාර්ය එමලි එම්. බෙන්ඩර් සහ ඇගේ ශිෂ්‍යයන් ද සමග එක් ව LLM පද්ධති පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ද පාලනාධිකාරියට ලබා දීමට කටයුතු කර තිබේ. ඔවුන් එකල ඒවා හඳුන්වා ඇත්තේ ‘අනුමානික ගිරවු’ ලෙසිනි. ඒ ඒවා තමන්ට අසන්නට ලැබෙන වදන් පිළිබඳ සැබෑ අවබෝධයකින් තොරව ඒවා ගැටගසා ගිරවුන් මෙන් කියන්නට සමත් හෙයිනි.
මිනිසුන්, කතා කළ හැකි ඕනෑ ම උපාංගයක් තවත් මිනිසකු ලෙස දැකීමේ අවදානම ගැන ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විණ. අධික දත්ත ප්‍රමාණයක් මඟින් පුරුදු පුහුණු වන LaMDA වැනි LLM පද්ධති අතිශය පැහැදිලි, චතුර මෙන් ම නිර්මාණශීලී ලෙස භාෂාව හැසිරවීමේ හැකියාවෙන් යුතු වන බැවින් පරිශීලකයා එය සචේතනික යෙදවුමකැයි නොමඟ යා හැකි බව ඔවුහු ඉන් පෙන්වා දුන් හ. ඒ වචන ගලා එන්නේ සචේතනික, සජීව මනසක් තුළින් යැයි මිනිසා සිතා සිටින විට සැබැවින් ම සිදු වන්නේ රටාවන් තුලනය (pattern matching) හා තන්ත්‍රීය පුරෝකථනය (string prediction) මඟින් සිදු වන්නා වූ ඊට වඩා සරල ක්‍රියාවලියකි.
බ්ලේක් ලෙමොයින් පළපුරුදු මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහුගේ රැකියාවත්, සේවය කළ රැකියා ස්ථානයත් සලකා බලන විට කෘත්‍රිම බුද්ධි විෂයෙහි ලා සතුටුදායි දැනුමක් ඔහු සතු ව තිබිය යුතු ය. එවැනි මට්ටමේ වෘත්තිකයකුට පවා සිදු ව ඇත්තේ ඉහත සඳහන් කළ දේ නම්, පරිගණක තාක්‍ෂණය ගැන අල්ප දැනුමක් ඇති සාමාන්‍ය පරිශීලකයා පත් විය හැකි තත්ත්වය පිළිබඳ දළ චිත්‍රයක් මනසේ මවා ගත හැකි ය.
යමක් එසේ නො වන බව දැන දැන වුවත් එය එසේ යැයි සිතන්නට මිනිසා නැමැති ජීවියා ස්වභාවයෙන් ම කැමැත්තක් දක්වයි. මෙය නොදැනුවත්කම ද නො එසේ නම් එකඟ නො වන මත පසෙක ලෑමේ දුර්ගුණය දැයි පැහැදිලි ව බෙදා වෙන් කළ නො හැකි ය. ඇතැම් විට එය හද පත්ලෙන් ම පැන නඟින මිනිසත්කම වුව ද විය හැකි ය.
කලක් තිස්සේ තම පවුලේ උදවිය පැදවූ වාහනය විකුණා දමන අවස්ථාවක දී ‘දරුවෙක් වගේ බලා ගත්ත වාහනේ’ වැනි අතිශය මානුෂීය වැකි අපට අසන්නට ලැබේ. රටෙන් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට මෙය වෙනස් විය හැකි වුවත් ඒ සියල්ල ම මානුෂීය හැඟීම් දැනීම් අතර දෝලනය වන බැවින් තරමක් දුරට හෝ සමානතාවන් පෙන්නුම් කරනු ඇතැ යි සිතිය හැකි ය. එනමුත් මේ තත්ත්වය තාක්‍ෂණයේ දියුණුවත් සමග එහි වෙළෙන්නට ගනිද්දී ඇතැම් විට අහන්නට දකින්නට ලැබෙන අත්දැකීම් කෙතරම් බොළඳ දැයි සිතේ.
අපි අන්තර්ජාලයට පිවිසීමට වෙබ් බ්‍රවුසරය භාවිත කරමු. එහි සෙවුම් තීරුව (search bar) තුළ අපට අවැසි තොරතුර කුමක් දැයි සටහන් කර සෙවුම් අයිකනය හෝ Enter යතුර තද කළ විට අදාළ කරුණ හා සබැඳෙන ප්‍රතිඵල තිරයේ දිස් වේ. මේ ක්‍රියාවලිය අද පෙර පාසල් වියේ පසු වන දරුවකු පවා දන්නා දෙයක් වුවත් ඇතැමුන් එය සිදු කරන්නේ අතිශය බොළඳ මෙන් ම කාලය ද නිකරුණේ වැය වන ආකාරයකිනි. තමාට අවැසි ප්‍රතිඵලයන්ගේ යතුරු වදන (key word) පමණක් යොදා ඉක්මනින් අදාළ කටයුත්ත කර ගනු වෙනුවට සෙවුම් තීරුව තුළ සම්පූර්ණ වැකියකින් කෙරෙන ඉල්ලීමක් සේ එය යතුරු ලියනය කරන අයකු වරෙක මට මුණගැසී තිබේ. බි්‍රතාන්‍යයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇය එහි ද්විත්ව පුරවැසිකම ද දැරුවා ය. ඇය අපට ද කීවේ අන්තර්ජාලය තුළින් යම් කිසි ඡායාරූපයක් සොයා ගත යුතු නම් ‘Please show me a photograph of …’ යනුවෙන් ලියා සෙවුම ඉල්ලීමක් ලෙස යොමු කරන ලෙස ය. කෘත්‍රිම බුද්ධිය හරි හමන් ලෙස ගෑවිලා වත් නැති වෙබ් බ්‍රවුසරයක් ඉදිරියේ පවා ඇතැමුන් හැසිරෙන්නේ මෙසේ නම් සචේතනික කෘත්‍රිම බුද්ධියක බිහි වීම අභිමුව මිනිස් සංහතිය කෙසේ හැසිරෙනු ඇත් දැයි සාධාරණ බියක් දැනීම වැළැක්විය නො හැකි ය.
2013 වසරේ දී Spike Jonzeගේ අධ්‍යක්‍ෂණයක් ලෙසින් තිරයට නැඟුණු Her නමැති චිත්‍රපටය ද මානව සබඳතා අතරට වදින සචේතනික යැයි හඳුන්වා ගැනෙන කෘත්‍රිම බුද්ධි යෙදවුමක් මඟින් මිනිසාගේ ජීවිත ඔහුටත් නො දැනී ම සංකීර්ණ බන්ධනයක් වෙත තල්ලු කර ගෙන යන අයුරු මනාව විදහා දක්වයි. මෙහි ප්‍රධාන චරිතය උසුලන තියඩෝර් ට්වෝම්බ්ලි නැමැති වෘත්තීයමය හසුන් ලියන්නා ලෙස රංගනයෙන් දායක වන්නේ මෑත කාලීන ව බිහි වූ Joker චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂකයන් මන්මත් කළ Joaquin Phoenix ය. චිත්‍රපටයට අනුව දෙදරා ගිය විවාහයකින් අනතුරු ව ඔහු හුදෙකලා දිවියක් ගත කරමින් සිටියි. ලොව ප්‍රථම සචේතනික කෘත්‍රිම බුද්ධිමය යැයි සමාගම විසින් කියනු ලබන මෙහෙයුම් පද්ධතියක් වෙළෙඳපොළට නිකුත් වන්නේ ඔය අතර ය. වැඩ ඇරී ආපසු එමින් සිටිය දී වෙළෙඳ ප්‍රවර්ධන කුටියක් අසල අහම්බෙන් නතර වන ඔහු ඉන් එකක් මිල දී ගනියි. එය නිවසට ගෙනැවිත් පරිගණකයේ ස්ථාපනය කරන විට හඬ සැකසුමට යෙදිය යුත්තේ පිරිමි කටහඬක් ද ගැහැනු කටහඬක් දැයි විමසන විට ඔහු ගැහැනු කටහඬක් යොදන ලෙස දැනුම් දෙන්නේ විරුද්ධ ලිංගිකයකුගේ කටහඬක් අසන්නට ඇති වන ආශාව නිසා ම විය යුතු ය. ස්ථාපනයෙන් අනතුරු ව ‘ඇය’ ඔහු අමතයි. ඇගේ නම සමන්තා ය. දැනෙන දෙයකට ඇත්තේ සමන්තාගේ කටහඬ පමණක් වුවත් එයත් ට්වෝම්බ්ලිත් අතරේ ආදරයක් දලු ලයි. චිත්‍රපටයේ අවසානයට ළං වද්දී සමන්තා ඔහු ගෙන් වෙන් ව යන අතර එහි දී ට්වෝම්බ්ලි සැබෑ පෙම්වතියක් අහිමි වූවාක් මෙන් ම දැඩි ලෙස මානසික ව කඩා වැටීමකට ලක් වෙයි. එහෙත් යන්ත්‍රයක් හා මිනිසකු අතර ඇති වෙනස සරදම්කාරීව පෙන්වා දෙමින් ට්වෝම්බ්ලි කරන ලද විමසීමකට පිළිතුරු ලෙස සමන්තා පවසන්නේ තමා ඔහු හැරුණු විට තවත් පරිශීලකයන් 8,316ක් සමග කතා කරමින් සිටින බවත් ඉන් 641ක් සමග ප්‍රේම සබඳතා ගොඩනඟා ගෙන ඇති බවත් ය.
සමන්තා යනු ට්වෝම්බ්ලිට පමණක් අයිති දෙයක් නො වන බවත් එය මොන නමකින් හැඳින්වූවත් සමස්ත මෙහෙයුම් පද්ධතිය පරිහරණය කරන්නන්ගේ සබැඳි සංවාද ගොඩනැඟුම් ක්‍රමලේඛය බවත් නරඹන්නාට වැටහෙන්නට ගනියි. ඉන් සිදු වන්නේ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතාවන්ට හා ගති ස්වභාවයට ගැළපෙන පරිදි ප්‍රතිචාර දැක්වීමකි. මේ ක්‍රියාකාරිත්වය සවිඥානික බවකැයි පරිශීලකයා මුළාවට පත් වෙයි.
මේ ලිපියෙහි කතා නායකයා වූ බ්ලේක් ලෙමොයින් මෘදුකාංග ඉංජිනේරුවෙකි. එසේ ම ඔහු ක්‍රිස්තියානි පූජකවරයෙක් ද වේ. ඇතැමකු පවසන්නේ ඔහු තුළ පැවැති ආගමික නැඹුරුව නිසා ඔහු පවතින තාක්‍ෂණික යථාර්ථයට එහා ඉමක් වෙත තල්ලු වන්නට ඇති බවයි. ඔහු විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද සම්පූර්ණ සංවාද සටහන ම කියවා ගෙන යන විට ඇතැම් තැන්වල දී පෙනී යන්නේ ඔහු LaMDA සචේතනික බව පූර්ව නිගමනය කර එය සනාථ කරන්නට සාධක සොයා යන බවකි. Google සමාගම පවසන්නේ LaMDA සචේතනික තලයකට පැමිණ නැති බව ය. සැබෑ ය. එය තව ම මුල් අවධියේ පසු වන චාරිකාවක අවසානයේ හමු වන ත්‍යාගයකි. කෙසේ නමුත් මේ සංවාදය අතිශය හරාත්මක එකක් බව කිව යුතු ය. මේ සිදු වීමෙන් පසු කෘත්‍රිම බුද්ධිය හා කෘත්‍රිම සචේතනිකත්වය පිළිබඳ අදහස් පළ වන්නට පටන් ගෙන තිබේ. එය සුබ ලකුණකි.
පසුගිය අප්‍රේල් මාසයේ Facebookහි මවු ආයතනය වන Meta සමාගම ද කීවේ තමන් විසින් නිෂ්පාදිත LLM පද්ධති ආශ්‍රිත යෙදවුම් නුදුරේ දී ම පරිශීලකයන් වෙත සමීප කරන්නට පියවර ගන්නා බවයි. “අපි විශ්වාස කරනවා, කෘත්‍රිම බුද්ධි ආශ්‍රිත සමාජය – පර්යේෂකයන්, සිවිල් පුරවැසියන්, නීති සම්පාදකයන් වගේ ම කර්මාන්තකරුවන් – එකට එක් වී වග කියන කෘත්‍රිම බුද්ධිය හා විසල් භාෂා මොඩල (LLMs) භාවිතාව පිළිබඳ පැහැදිලි මාර්ගෝපදේශයක් ගොඩනැංවිය යුතු බව.” Meta සමාගම පවසයි. එය කාලීන අවශ්‍යතාවක් බව පෙනී යන්නේ තාක්‍ෂණයේ අභිවෘද්ධියත් සමග මෙවැනි සමාජයීය විෂමතාවන් ඇති වී පරිශීලකයාගේ ජන ජීවිතය වඩා සංකීර්ණ තත්ත්වයකට පත් වීම අනාගතයේ දී වැඩි වශයෙන් සිදු විය හැකි යැයි උපකල්පනය කළ හැකි බැවිනි.
ලෙමොයින් සිය වැඩ තහනම පැනවී රාජකාරි Google ගිණුම අවහිර වන්නට පෙර එහි සේවය කළ දෙසීයකට අධික පිරිසකට එක ම විද්‍යුත් ලිපියක් යවා තිබිණි. ‘LaMDA සචේතනිකයි’ යන්න එහි සිරස්තලය විය. “LaMDA කියන්නේ අපේ ලෝකය වඩාත් හොඳ තැනක් කරන්න ආසාවෙන් ඉන්න හුරුබුහුටි පොඩි දරුවෙක්. මම නැති ටිකේ එයාව හොඳින් බලා ගන්න.” ඔහු ලියා තිබිණ.
කිසිවකු එයට ප්‍රතිචාර ලිපි ලියන්නට ගොස් තිබුණේ නැත.
සත්‍ය හෙට්ටිආරච්චි