Home Features අභ්‍යවකාශ යුගයේ රාජකාරිවලට සැරසෙන රොබෝවරු

අභ්‍යවකාශ යුගයේ රාජකාරිවලට සැරසෙන රොබෝවරු

by cmadurawala

ඔබ Star Wars රසිකයකු නම් අනාගත අභ්‍යවකාශ යුගයේ මිනිස් වීරයන්ගේ සහායට පැමිණෙන, ඔවුනට නැති ව ම බැරි අපූරු සගයන් කවුරුන් ද යන්න ගැන දන්නවාට සැක නැත. ඒ අන් කවරකු වත් නො ව රොබෝවන් ය. අතීතයේ සිට ම විද්‍යා ප්‍රබන්ධයන්ට පමණක් සීමා වී තිබූ මේ රොබෝ සගයන්ගේ සිහිනය සැබෑ වන ලකුණු පහළ වන්නට ගත්තේ අදින් දශක ගණනාවක සිට ය. මේ වන විට ඒවා සැලකිය යුතු දියුණු මට්ටමකට පැමිණ තිබේ. අභ්‍යවකාශ තරණය මේ වන විට වේගයෙන් දියුණු වෙමින් පවතින වඩා ලාභදායී ව හා පහසුවෙන් කළ හැකි එකක් බවට පත් වෙමින් ඇත. එය විද්‍යා ප්‍රබන්ධ කරුවන් සිහින දුටු වර්ගයේ අභ්‍යවකාශ යුගයක ආරම්භය පැමිණ ඇති බවට සුබ ලකුණකි. මෙහි දැක්වෙන්නේ අනාගතයේ සඳුටත් අඟහරුටත් එතැනින් එපිටටත් කෙරෙන අභ්‍යවකාශ චාරිකාවල මිනිසාගේ සහායට පැමිණෙන්නට දැනටමත් වැඩිදියුණු කෙරෙමින් පවතින රොබෝ යන්ත්‍ර කිහිපයක් පිළිබඳ කෙටි හැඳින්වීමකි. අභ්‍යවකාශයේ ඇති මිනිසාට අහිතකර තත්ත්වයන් යටතේ වුව ද කාර්යක්ෂම ව සේවය සැලසීමට රොබෝ යන්ත්‍රවලට හැකි ය. අභ්‍යවකාශය ඉලක්ක කර ගනිමින් මේවා සංවර්ධනය වුව ද මිහිතලය මත ද ඔවුන් වැදගත් රාජකාරි රැසක් සඳහා යොදාගැනීමට ඉදිරියේ දී හැකි වනු ඇත.

Robo Simian

බාහිර පෙනුමින් වානරයකුගේ හැඩයෙන් යුතු මේ රොබෝවා NASA ආයතනයට අයත් ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ නිෂ්පාදනය වූවකි. 2015 වසරේ ෆ්ලොරිඩාවේ පැවැත්වුණු DARPA Robotics Challenge (DRC) තරගයට ඉදිරිපත් වූ මෙය සුවිශේෂ දක්‍ෂතා රැසක් ප්‍රදර්ශනය කරමින් ඉන් පස් වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. මේ රොබෝවා නිපදවා තිබෙන්නේ මිනිසාට සිදු කිරීමට අනතුරුදායක කටයුතුවල දී ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වෙමින් ඒවා ඉටු කර දීම සඳහා ය. න්‍යෂ්ටික ව්‍යසනයකින් අනතුරු ව, විකිරණශීලීතාව මැද වුව ද තම කාර්යභාරය කිරීමේ හැකියාව Robo Simian සතු ය.

2015 වසරේ පැවැති DRC තරගාවලියේ දී මේ රොබෝවාට මුහුණ දීමට සිදු වූ සෑම අභියෝගයක් ම අතිසාර්ථක ලෙස ජයගෙන තිබේ. ඒ අතර තනි ව වාහනයක් පැදවීම, දොරවල් විවෘත කිරීම, කරාමයක් කරකැවීම මඟින් වෑල්වයක් විවර කිරීම සහ රැහැන් රහිත විදුලි විදිනයක් හසුරවමින් අඟල් බාගයක ඝනකමකින් යුතු තහඩුවක් කපා විවරයක් සෑදීම ප්‍රමුඛ ස්ථානයක් ගනී.

රළු පාරිසරික තත්ත්වයන් යටතේ වුව ද ඇවිද යා හැකි පරිදි සකසා ඇති මේ රොබෝවාට විවිධ දිශාවන්ට මෙහෙයවිය හැකි පරිදි සවි වූ පාද හතරක් ඇත. අවශ්‍ය විටක ඒවාට රෝද සවි කර ධාවනය කිරීම ද කළ හැකි ය. රොබෝවා නිර්මාණය කළ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ රොබෝවාගේ පාදවල සන්ධි 28ක් ඇති බවයි. එම සන්ධි සියල්ලට ම එක ම ආකාරයේ Actuator (මෝටර වර්ගයකි) යොදා ඇත. ස්ටීරියෝ කැමරා හතකින් සමන්විත කැමරා පද්ධතියකට ද හිමිකම් කියන Robo Simian ආලෝකය ග්‍රහණය කර පරාස මනින උපාංගයන් ගෙන් ද (LiDAR : Light Detection and Ranging devices) සමන්විත වේ.

Valkyrie

Valkyrie දැනට ලෝකයේ සිටින මානවරූපී රොබෝවන් අතරින් නවීනතම රොබෝවකු යැයි කිව හොත් වඩාත් නිවැරැදි ය. R5 යන නිල නාමයෙන් හැඳින්වෙන මේ රොබෝවා ඇමෙරිකාවේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මඟින් වැඩිදියුණු කරන ලද්දකි. නාසා ආයතනයේ මානවරූපී රොබෝවාගේ තුන් වැනි පුරුක ලෙස නිර්මාණය වූ මේ රොබෝවා අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සිදු කරන පර්යේෂණ සඳහා සහාය දැක්වීමට පමණක් නො ව, අඟහරු ග්‍රහයා මත ජනාවාස ඉදි කිරීමට පවා යොදාගත හැකි වනු ඇතැයි සැලකෙයි.

රොබෝවාට අවශ්‍ය බලය ලැබෙන්නේ කිලෝවොට් පැය 1.8ක විද්‍යුත් කෝෂයකිනි. කෝෂය අනවශ්‍ය විටක දී, ධාරිත්‍රකයක් මඟින් ද බලගැන්වීම කළ හැකි ය. Valkyrieගේ හිසෙහි සංජානන සංවේදකයක් (Perceptual Sensor) සවි කර ඇත. එසේ ම ඔහුගේ සිරුරේ කැමරා පද්ධතියක් ද ස්ථාපනය කර ඇත.

Robonaut 2

2011 වසරේ පෙබරවාරි මස ඩිස්කවරි ෂටලය තම අවසාන මෙහෙයුම දියත් කරමින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණියේ තවත් අමුත්තකු සමඟිනි. එනම් Robonaut 2 නමැති මානවරූපී රොබෝවායි. මේ මෙහෙයුමින් රැගෙන එනු ලැබුවේ රොබෝවාගේ උඩුකය කොටස පමණි. එතැන් සිට මේ රොබෝවාගේ ස්ථිර වාසස්ථානය වූයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. ඒ අනුව 2011 වසරේ සිට මේ දක්වා අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ අඛණ්ඩ ව රැඳී සිටින එක ම මානවරූපියා Robonaut 2 රොබෝවා යැයි හැඳින්වූවත් වරදක් නැත.

මේ මානවරූපී රොබෝවා නිර්මාණය කළේ NASA ආයතනයත්, ජෙනරල් මෝටර්ස් ආයතනයත් අතර වූ සහයෝගීතා පදනමක් මත ය. අභ්‍යවකාශයේත්, ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්තශාලා තුළත් එක ලෙස වැඩ කළ හැකි රොබෝවකු නිර්මාණය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබිණි. මුල දී උඩුකය පමණක් සහිත රොබෝවකු ලෙස අනුයුක්ත කර තිබුණත් 2014 වසරේ දී ඊට පාද යුගලක් ද එක් කරනු ලැබී ය. “මේ ව්‍යාපෘතියෙන් පිළිබිඹු වෙන්නේ අනාගත රොබෝ පරම්පරාවලට පොළොව මත හා අභ්‍යවකාශයේ දීත් එක ලෙස ක්‍රියාත්මක විය
හැකි බවයි. නමුත් ඒ මිනිසුන් ප්‍රතිස්ථාපනය කිරීමක් වශයෙන් නොවෙයි, සහාය වෙමින් කැපී පෙනෙන භූමිකාවක් සිදු කළ හැකි සහායකයන් ලෙසයි.” NASA ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු වන ජෝන් ඔල්සන් පවසා සිටියි. මේ රොබෝවා බාහිරින් මිනිසකුට සමාන වනවා සේ ම, මිනිසකු සේ හැසිරීමට ද පුළුවන. අභ්‍යවකාශගාමීන් භාවිත කරන උපකරණ, එලෙසින් ම හැසිරවීමේ හැකියාව ද R2 රොබෝවා සතු ය.
ශූන්‍ය ගුරුත්වය යටතේ මෙන් ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ඇති විකිරණයන් හමුවේ රොබෝවාගේ ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණයන් නිරන්තරයෙන් සිදුවෙමින් පවතී. අනාගතයේ දී මෙවැනි මානවරූපී රොබෝවන් යොදාගෙන අවදානම් සහගත මෙහෙයුම් පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට R2 රොබෝවා සිටින්නේ මූලාකෘති තත්ත්වයේ බැවින් තවමත් එයට පිටත අභ්‍යවකාශයට යෑමේ හැකියාවක් නැත. ඒ අභ්‍යවකාශයේ පවතින උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස එහි පිටවැස්ම නිපදවා නොමැති බැවිනි. කෙසේ නමුත් මේ රොබෝවාගේ හැසිරීම් රටා නිරීක්‍ෂණය කර අනාගතයේ නිපදවෙන රොබෝවන්ට අභ්‍යවකාශයේ ඇවිද යෑමට ද හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

RASSOR

පෘථිවියෙන් බාහිර වෙනත් ග්‍රහ වස්තූන් මත මිනිස් ජනාවාස ඇති කිරීමට පිඹුරුපත් සකස් වන්නේ අද ඊයේක සිට නො වේ. එවැනි ජනාවාස පවත්වාගෙන යාමේ දී අවශ්‍ය වන මූලද්‍රව්‍ය පෘථිවියෙන් රැගෙන නො යා, අදාළ ග්‍රහ වස්තුවෙන් ම කැණීම් කර නිස්සාරණය කරගැනීම මඟින් අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයට සුවිශේෂ ප්‍රතිලාභ කිහිපයක් ම අත් කරගත හැකි වේ. එනමුත් මේ සියල්ලට ම හරස් වී තිබුණේ බර සාධකය යැයි කිව හොත් නිවැරැදි ය. පෘථිවියේ ගුරුත්වය යටතේ මෙසේ කැණීම් කළ හැකි යන්ත්‍රයක් අභ්‍යවකාශගත කරන විට එහි බර ඉතා අවම මට්ටමකින් පවත්වාගත යුතු ය. එහෙත් එසේ යවන කැණීම් යන්ත්‍රය පෘථිවියට වඩා අඩු ගුරුත්වයක් සහිත ග්‍රහලොවක දී වුව ද නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු ය. මෙවැනි රොබෝ යන්ත්‍රයක් සැලසුම් කිරීමේ දී සැලසුම්කරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයකි එය.

“රොබෝවා සැහැල්ලු වන තරමට ම, එය ලවා කැණීම් සිදු කිරීම අපහසු වනවා. ̃ RASSOR නිර්මාණකරුවන්ගේ කණ්ඩායමේ ඉංජිනේරුවකු වන ඒ. ජේ. නික් මහතා පවසයි. මේ ගැටලුවට විසඳුම ලෙස RASSOR රොබෝවාට ලබා දී තිබෙන්නේ දැතිවලින් යුතු රෝද යුගලයකි. දැතිවලින් ආරම්භයේ දී හාරාගන්නා පස් එම දැති රෝද අභ්‍යන්තරයට ඇතුළු වී කැණීම් සඳහා අවශ්‍ය වන බර රොබෝවාට ලබා දෙයි. පරිගණක ආකෘති මඟින් මෙය චන්ද්‍රයා මතුපිට හැසිරෙන ආකාරය ගැන සොයා බැලීමේ දී දක්නට ලැබී ඇත්තේ පෘථිවිය මෙන් 1/6ක ගුරුත්වයක් සහිත සඳ මතුපිට දී පවා මේ රොබෝවාගේ යන්ත්‍රණය නියමිත පරිදි ක්‍රියාත්මක වන බව ය. ඇතුළත හිස් බෙරයක් ලෙස තනා ඇති රෝද යුග්මය නිසා රොබෝ යානාවේ බර අඩු වුවත් කාර්යක්‍ෂම ලෙස පොළොව හෑරීම සිදු කළ හැකි ය. RASSOR රොබෝවාගේ බර රාත්තල් 100ක් පමණ වන අතර රෝද ඉහළට එසැවී තිබෙන විට උස අඩි 2 1⁄2කි. මෙවැනි රොබෝවන් නිසා නුදුරු අනාගතයේ ඉදි වන චන්ද්‍ර, අඟහරු ජනාවාසවල කටයුතු වඩාත් පහසු වනු ඇත.

PRO+ACT

අන්තර් ග්‍රහලෝක ගවේෂණයේ දී විවිධ ග්‍රහ වස්තූන් අධ්‍යයනය කිරීමට ඒ මත මූලස්ථාන පිහිටුවීමට සිදු වනු ඇත. එවැනි ඉදිකිරීම් සඳහා මිනිස් ශ්‍රමය යොදා ගැනීම අතිශය අවදානම් සහගත, පිරිවැය අධික කාර්යයක් වනු ඇත. ISRU හෙවත් In-Situ Resource Utilization යනු එම ගැටලු වළක්වාගැනීමට යෝජනා වී ඇති තිරසර සංවර්ධන ක්‍රමවේදයකි. චන්ද්‍රයා හෝ වෙනත් ග්‍රහ වස්තුවක් මතුපිට ඇති සම්පත් උපයෝගී කරගෙන අභ්‍යවකාශ කර්මාන්තකරණයේ යෙදීමට නව මංපෙත් මෙයින් විවර වනු ඇත.

පෘථිවියත් චන්ද්‍රයාත් අතර ඇති දුර ප්‍රමාණය සාපේක්‍ෂ ව අඩු බැවින් ISRU අත්හදා බැලීමට උචිත ම පරිසරය චන්ද්‍රයා බව තීරණය වී තිබේ. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ISRU පද්ධතියේ ශක්‍යතාව සොයා බැලීම සඳහා චන්ද්‍රයා වෙත මෙහෙයුමක් සූදානම් කරමින් සිටියි. මිනිස් ජනාවාස සඳහා අවශ්‍ය ඔක්සිජන් නිපදවීමත්, අභ්‍යවකාශ යානා සඳහා ඔක්සිජන් – හයිඩ්‍රජන් ඉන්ධන නිපදවීමත් මෙහි ඉලක්කයක් වී තිබේ.

රොබෝවන් තුන් දෙනකුගෙන් සමන්විත PRO+ACT පද්ධතිය බිහි වූයේ මේ ISRUහි අවශ්‍යතාවන් සම්පූර්ණ කරගැනීමට ය. මේ රොබෝවන් තුන් දෙනා Mantis, VELES හා Mobile gantry යනුවෙන් හැඳින්වේ. මින් Mantis රොබෝවා නිර්මාණය වී ඇත්තේ පළඟැටියකුගේ ස්වරූපයෙනි. සඳ මතට ගොඩ බසින යානයෙන් Mantis පළඟැටි රොබෝවා සහ VELES රොබෝ රෝවරය විසින් Mobile Gantry හෙවත් ජංගම මැස්ස පිටතට ගෙන දිගහරිනු ලබයි. ජංගම මැස්ස මධ්‍යයේ තිබෙන්නේ ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රයකි. ඉන් ජනාවාස ඉදි කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මුද්‍රණය වේ. Mantis හා VELES එසේ මුද්‍රණය වන ගොඩනැඟිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කර නියමිත තැන්හි ස්ථාපනය කරමින් ගොඩනැඟිල්ල ඉදි කරයි. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය රටවල් කිහිපයක එකතුවකින් නිර්මාණය වූවක් බැවින්, මේ රොබෝවන් තිදෙනා නිර්මාණය වී ඇත්තේ රටවල් තුනක ය. Mantis ජර්මානු නිපැයුමකි. VELES පෝලන්තයේ ය. ත්‍රිමාන මුද්‍රණ යන්ත්‍රය සහිත ජංගම මැස්ස ස්පාඤ්ඤයේ ය. රටවල් තුනක නිපැයුණත් එක ම අරමුණකට පෙළ ගැසුණු PRO+ACT රොබෝ පද්ධතිය මානවයාගේ අන්තර් ග්‍රහලෝක ගවේෂණය නවමු පරිච්ඡේදයකට රැගෙන යනු ඇත.

LEMUR

LEMUR රොබෝවා ද නාසා ආයතනයේ ජෙට් ප්‍රචාලන විද්‍යාගාරයේ නිපදවනු ලැබූ රොබෝවකි. LEMUR පරම්පරාවේ මුල් රොබෝවන් යොදාගැනුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු සඳහා ය. එම රොබෝවන්ම ඟින් අලුත්වැඩියා කටයුතු කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට නවතා ඇති බැවින් ඊටත් වඩා බැරෑරුම්, විද්‍යාත්මක වටිනාකමින් වැඩි කර්තව්‍යයන් සඳහා එය උපයෝගී කරගැනීමට විද්‍යාඥයෝ පර්යේෂණ කරමින් සිටිති. රෝවර් යානාවලට ළඟා විය නොහැකි අධික බෑවුම් සහිත පරිසර පද්ධති තුළ කිසිදු ගැටලුවකින් තොර ව ගවේෂණ කටයුතු කිරීමට මේ රොබෝවාට හැකි ය. ඕනෑ ම ස්වභාවයක රළු මතුපිටක් මත සංචරණය කළ හැකි පරිදි එහි පාදයන්ගේ පතුලට කුඩා පරිමාණයේ බිලී කොකු වැනි කම්බි යොදා ඇත.

2019 වසරේ දී කැලිෆෝනියාවේ Death Valleyහි දී මේ රොබෝවා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. පරීක්‍ෂණ කටයුතු අතරතුර දී ද LEMUR රොබෝවා පෞරාණික ජීවීන්ගේ ෆොසිල ගවේෂණයේ නිරත විය. LEMUR වැනි රොබෝවන් අනාගතයේ අඟහරුගේ කඳු, බෑවුම් සහ යමහල් තරණය කරමින් සුවිශේෂ සොයාගැනීම් කරන්නට සමත් වනු ඇත.

Dragonfly

විදු ඇස සෙනසුරුගේ විශාලතම උපග්‍රහයා වන ටයිටන් වෙත යොමු ව තිබුණේ අතීතයේ පටන් ය. NASA ආයතනය නිවේදනය කර ඇති පරිදි විශාල ඩ්‍රෝන යානාවක් මෙන් ක්‍රියා කරන Dragonfly රොබෝ යානය 2027 වසරේ දී ටයිටන් බලා අභ්‍යවකාශගත වනු ඇත. “මේ අද්භූත සහගත සාගර ලෝකයට පිවිසීම විශ්වයේ පවතින ජීවය ගැන වෙනස් ම කෝණයකින් බලන්නට අප පොලඹවා වි. මේ තියුණු මෙහෙයුම, අදින් වසර කිහිපයකට කලින් නම් අදහන්නට වත් නොහැකි යමක් වන්නට තිබුණා. නමුත් දැන් අපි Dragonfly අභ්‍යවකාශගත කිරීමට සූදානම්.” හිටපු NASA ප්‍රධානි ජිම්
බර්ඩන්ස්ටයින් පවසා තිබිණි.

Dragonfly ගොඩබැස්වීමට සුදුසු කාලගුණ තත්ත්වයක් සහිත කාලය සහ ස්ථානය තෝරා ගැනුණේ වසර 13ක අඛණ්ඩ සේවයක් කළ කැසිනි යානයෙන් ලද දත්ත මඟිනි. ඒ අනුව මෙය මුලින් ම පහත් වනු ඇත්තේ ටයිටන්හි නිරක්‍ෂය ආසන්නයේ ඇති ‘ෂැන්ග්‍රි-ලා’ වැලි කඳු මතට ය. ගොඩබැස්මෙන් අනතුරු ව කෙටි ගුවන් වාර කීපයකින් එම ප්‍රදේශය ගවේෂණය කරනු ඇති අතර, ක්‍රම ක්‍රමයෙන් කිලෝමීටර 8ක පමණ දුරකින් යුතු දීර්ඝ ගුවන් සැසි සඳහා යොමු වනු ඇත. මෙහෙයුම අවසාන වන විට ඩ්‍රෝන රොබෝවා ගමන් කළ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 108ක් පමණ වෙතැයි NASA ආයතනය පවසයි. එය සියලු ම අඟහරු ගවේෂණ රෝවරයන් ගමන් කළ මුළු දුර මෙන් දෙගුණයක දුර ප්‍රමාණයකි.

මේ ඩ්‍රෝන රොබෝවා සතු ව පියාසර කිරීමට භ්‍රමණ තල අටක් ඇත. ඒ අනුව NASA ආයතනය විසින් වෙනත් ග්‍රහ වස්තුවක් මත පියාසර කරවනු ලබන පළමු බහු භ්‍රමණ තල රොබෝ යානය මෙයයි. අභ්‍යවකාශයේ පවතින විකිරණයට හා කෙල්වින් 94ක පමණ උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන පරිදි සකසා ඇති මෙය ලිතියම් අයන කෝෂයක් මඟින් බලගැන්වෙයි. අයන කෝෂය බහු-මෙහෙයුම් විකිරණ සමස්ථානික විද්‍යුත් තාප (MMRTG : Multi-Mission Radioisotope Thermoelectric Generator) මඟින් රාත්‍රී කාලයේ දී ආරෝපණය වේ. Dragonfly මෙහෙයුම 2026 වසරේ දී දියත් කිරීමට සැලසුම් සකස් වී තිබුණත් එය 2027 දක්වා කල් දමා ඇත. ඒ පවතින COVID-19 වසංගතය හමුවේ NASA ආයතනය වෙත ලැබෙන වැය ශීර්ෂය කප්පාදුවට ලක් ව ඇති බැවිනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications