Home Features 2050 දී වෛද්‍ය විද්‍යාව කෙබඳු මුහුණුවරක් ගනී ද?

2050 දී වෛද්‍ය විද්‍යාව කෙබඳු මුහුණුවරක් ගනී ද?

by cmadurawala

මේ ශතවර්ෂයේ මැදභාගය වන විට අප ජීවත් වන ලෝකය සැම ක්‍ෂේත්‍රයකින් ම පාහේ විප්ලවීය වෙනසක් පෙන්නුම් කරනු ඇති බව හුදෙක් විද්‍යාඥයන් පමණක් පවසන්නක් නො වේ. වසර ගණනාවක් තිස්සේ තාක්‍ෂණික හා නවෝත්පාදන ක්‍ෂේත්‍රවල සිදු වන ශීඝ්‍ර දියුණුව දෙස බලා සිටීමෙන් සාමාන්‍ය ජනතාවට ද 2050 වසර වන විට ලෝකය කෙසේ වෙනස් වනු ඇති ද යන්න පිළිබඳ නොයෙක් මත පළ කළ හැකි ය. ජන ජීවිතයේ ඇති අංග දහසකුත් එකක් අතරින් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කෙරෙහි ද මේ වෙනස දැනටමත් බලපෑම් එල්ල කරමින් පවතී.

විශේෂඥයන් පවසන පරිදි 2050 වසර වන විට වෛද්‍ය විද්‍යාව කාණ්ඩ කිහිපයක් යටතේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරනු ඇත. දැනටමත් මෙවැනි වෙනස්කම් සිදුවෙමින් පැවතියත් 2050 වන විට ඒවා ඉතා ඉහළ දියුණුවකට පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එය අනාගතයේ දී ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා වන නව අවස්ථා නිර්මාණය කිරීමට හේතු වනු ඇත.

පුද්ගලාරෝපිත සෞඛ්‍ය සේවා

“සැම පුද්ගලයකුට ම නිසි පරිදි පෝෂණය හා ව්‍යායාම ලබා දිය හැකි නම් එය ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දිය හැකි ආරක්‍ෂිත ම මාර්ගයයි “. වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් විසින් සිදු කරන ලද මේ ප්‍රකාශය අද වන විට නවීන වෛද්‍ය විද්‍යාවේ අඩිතාලම බවට පත් ව ඇති අතර ඒ යටතේ නුදුරේ දී ම ලෝකයේ වැඩි පිරිසකට සෞඛ්‍ය තත්ත්වය තනි ව අධීක්‍ෂණය කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

රැහැන් රහිත අන්තර්ජාල සබඳතා වර්ධනය වීමත් සමග පැළඳිය හැකි තාක්‍ෂණික උපකරණවල සිදු ව ඇති ශීඝ්‍ර වර්ධනය මීට හේතු වී ඇත. නිදසුනක් වශයෙන් ඔබගේ ස්මාට් ජංගම දුරකතනයට බාගත කරගත් එක් යෙදුමක් හා ඊට සම්බන්ධ කුඩා උපකරණයක් හරහා ඔබට ඔබගේ හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය, දහනය වූ කැලරි ගණන හා දිනකට ගමන් කළ පියවර ගණන පවා දැනගත හැකි ය.

ශතවර්ෂයේ මැදභාගය පමණ වන විට අන්තර්ජාල ප්‍රවේශය විශ්වීය මට්ටමට ළඟා වීමත් සමග මේ ප්‍රවණතාව සමාජයේ සාමාන්‍ය දෙයක් බවට පත් වනු ඇත. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය විසින් 2018 වසරේ දී නිකුත් කරන ලද වාර්තාවලට අනුව 2050 වසර වන විට ලෝක ජනගහනයෙන් 90%කට පමණ අන්තර්ජාල ප්‍රවේශය ලැබෙනු ඇති අතර ඒ හා සමගාමී ව 2021 වසරේ දී බිලියන 22.2ක් පමණ වූ අන්තර්ජාලය හා සම්බන්ධ රැහැන් රහිත උපාංග ප්‍රමාණය බිලියන සියයක් දක්වා ඉහළ යනු ඇත. 

මේ හරහා අනෙකුත් සැම පහසුකමක් මෙන් ම පුද්ගලයාගේ සෞඛ්‍ය පහසුකම් ද ඇඟිලි තුඩට පැමිණෙනු ඇත. තමාගේ ජංගම දුරකතනය හරහා රෝග විනිශ්චය තොරතුරු මෙන් ම සෞඛ්‍ය නිර්දේශයන් ද ලබාගැනීමට අපට හැකියාව ලැබෙනු ඇති අතර අප තුළ සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් ඇති නම් වහා වෛද්‍යවරයා වෙත යොමු වන ලෙස ඉන් ඔබට දැනුම් දෙනු ඇත. නැත හොත් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔබේ වෛද්‍යවරයාට දැනුම් දීම ද ජංගම දුරකතනය හරහා ස්වංක්‍රීය ව සිදු වනු ඇත.

කෘත්‍රිම බුද්ධිය ආධාරයෙන් සැපයෙන ඖෂධ

තාක්‍ෂණික විප්ලවයට ස්තූතිවන්ත වන්නට නුදුරේ දී අති විශාල දත්ත ප්‍රමාණයක් එක්රැස් කිරීමට සෞඛ්‍ය බලධාරින්ට හා වෘත්තිකයන්ට හැකි වනු ඇත. නමුත් මේ සියලු තොරතුරු අධීක්‍ෂණ කටයුතු අනාගතයේ දී උසස් විශ්ලේෂණ හා යන්ත්‍ර ඉගෙනීම් (Advance Analytics & Machine Learning) තාක්‍ෂණයන්ට බාර වනු ඇත. මෙහි දී එක් එක් රෝගියාගේ දත්ත විශ්ලේෂණය කිරීම හරහා ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය පුරෝකථනය කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනෙනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි. මෙමඟින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට කල් තියා ම ගැටලු හඳුනාගැනීමට හා වැඩි වේගයකින් හා නිරවද්‍යතාවකින් රෝග විනිශ්චය කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මීට අමතර ව නව ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමටත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ සූදානමක් පවතී. සාමාන්‍යයෙන් නව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කිරීම අධික පිරිවැයක් හා කාලයක් ගත වන ක්‍රියාවලියක් වන බැවින් ලෝකයේ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් ඒ සඳහා කෘත්‍රිම බුද්ධියෙන් බැලගැන්වුණු යෙදුම් වෙත යොමු වීමට සැරසී සිටී. මේ නව ප්‍රවණතාව සමග සෞඛ්‍ය ක්‍ෂේත්‍රය වඩාත් වේගවත් සංවර්ධනයක් අත් කරගනු ඇති බව විශේෂඥයෝ පවසති. 2050 වසරට ළඟා වන්නට පෙර පවා මැලේරියාව, HIV හා ඇතැම් පිළිකා තත්ත්ව සඳහා එන්නත් නිෂ්පාදනය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනෙනු ඇති අතර ඉන් අදහස් කෙරෙන්නේ නුදුරු අනාගතයේ දී ම උක්ත රෝගී තත්ත්ව වසූරිය ඇතුළු තුරන් කළ රෝග ලැයිස්තුවට අතුළත් වනු ඇති බවයි.

දිගු කලක් ජීවත් වීමේ බලාපොරොත්තුව

රෝග තුරන් කිරීමට අමතර ව ශතවර්ෂයේ මැදභාගය වන විට සෞඛ්‍ය අංශය තවත් ප්‍රධාන ක්‍ෂේත්‍ර දෙකක් යටතේ දියුණුවට පත් වනු ඇත. එක් අතකින් සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවය දියුණු වීම නිසා ඒ ඒ රටවල ළදරු මරණ අනුපාතය හා දරු ප්‍රසූතියේ දී මිය යන කාන්තාවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇත. එමෙන් ම ඒ ඒ රටවල ප්‍රතිකාර ක්‍රම දියුණුවට පත් වීම නිසාවෙන් මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න ලෙස දීර්ඝ කාලයක් ජීවත් වීමට ඉඩ සැලසෙනු ඇත.

1990 සිට 2019 දක්වා කාලය තුළ දී වයස අවුරුදු පහට පෙර මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාව 59%කින් පහත වැටී ඇත. මෙයින් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය සේවාවේ ඇති වූ දියුණුවයි. 2030 වසර වන විට ලොව පුරා ළදරු මරණ අනුපාතය 2% දක්වා ළඟා වනු ඇති බවට පුරෝකථනය කොට ඇති අතර මේ ප්‍රවණතාව අඛණ්ඩ ව පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මීට අමතර ව වයස්ගත වීම ප්‍රමාද කරන හෝ ආපසු හරවන ප්‍රතිකාරවලට ස්තූතිවන්ත වන්නට සංවර්ධිත රටවල ආයු අපේක්‍ෂාව ඉහළ යනු ඇත. 2019 වසර වන විට ලොව සාමාන්‍ය ආයු අපේක්‍ෂාව අවුරුදු 72.6ක් වූ අතර 1900 වසරට සාපේක්‍ෂ ව එය දෙගුණයක වැඩි වීමකි. විශේෂඥයන්ගේ මතය වන්නේ 2050 පමණ වන විට ලොව සාමාන්‍ය ආයු අපේක්‍ෂාව අවුරුදු 115ක් හෝ ඊට වැඩි වනු ඇති බවයි.

සාමාන්‍ය වයස්ගත වීමේ ක්‍රියාවලියේ දී රේඛීය වර්ණදේහවල කෙළවරේ ඇති පුනරාවර්තන නියුක්ලියෝටයිඩ අනුක්‍රමය කෙමෙන් කෙටි වී යයි. එහි අවසානයේ දී සිදු වන්නේ දේහ සෛල හානි වීමත් ඒවා මිය යෑමත් සිදු වන අතර ඒ සමග වයස්ගත වීම හා සම්බන්ධ රෝගවල ආරම්භය සිදු වේ. නමුත් නැනෝ රොබෝටික් තාක්‍ෂණය යටතේ සංවර්ධනය කෙරුණු අතිශය කුඩා උපාංග මඟින් අනාගතයේ දී වර්ණ දේහ තුළට ප්‍රවේශ වී කෙටි වූ පුනරාවර්තන නියුක්ලියොටයිඩ නැවත දීර්ඝ කරනු ඇති අතර එය පුද්ගලයාගේ වයසට යෑමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමටත් ඔහුගේ ආයු කාලය දීර්ඝ කිරීමටත් හේතු වනු ඇත.

වෛද්‍යමය මැදිහත්වීමක් තුළින් මිනිසාට තම ජීවිතය දින නියමයක් නොමැති ව දීර්ඝ කරගෙන සායනික අමරණීයභාවයකට ඉඩ සැලසෙන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. මෙය දුරදිග නො බලා පළ කෙරුණු අදහසක් ලෙස සැලකීමට හැකි වුවත් 2050 වසර වන විට උසස් වෛද්‍ය විද්‍යාව, ජෛව විද්‍යාව හා නව තාක්‍ෂණයට පින් සිදුවන්නට මිනිසාගේ ආයු අපේක්‍ෂාව අතිශය ඉහළ සීමාවකට ළඟා වනු ඇත.

පාරිසරික තර්ජන

පර්යේෂකයන් පවසන අන්දමට වර්තමානයේ සිට 2050 වසර දක්වා වන කාලය තුළ ගෝලීය ජනගහනය මුහුණ දෙන විශාලතම තර්ජනය වන්නේ දේශගුණික විපර්යාස නිසා ඇති වන අහිතකර බලපෑම් ය. මේ අතරින් ගෝලීය මේ උෂ්ණත්වය ඉහළ යෑම, ගංවතුර, ආන්තික කාලගුණික තත්ත්ව හා නියඟය නිසා ඇති විය හැකි වක්‍ර බලපෑම් ප්‍රධාන තැනක් ගනු ඇති බව ඔවුහු වැඩිදුරටත් පවසති. නිදසුනක් වශයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ලයිම් රෝගය, සිකා, බටහිර නයිල්, ඉබෝලා හා ඩෙංගි වැනි වසංගත තත්ත්වයන්ට අත වැනීමක් විය හැකි ය. එමෙන් ම නගරබද ව ජනගහනය ඉහළ යෑම නිසාවෙන් ශ්වසන හා හෘද රෝග අවදානම ද ඉහළ යනු ඇත.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ දී නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව 2050 වසර වන විට ලෝක ජනගහනයෙන් 68%ක් නාගරික ප්‍රදේශවල ජීවත් වනු ඇත (අද වන විට එය ප්‍රතිශතයක් ලෙස 55%ක් පමණ වේ). උෂ්ණත්වය, රෝග, සම්පත් ක්‍ෂය වීම හා මුහුදු මට්ටම ඉහළ යෑමත් සමඟ නාගරික ව වාසය කරන එවැනි පුද්ගලයන් විවිධ උපද්‍රවයන්ට ලක් වේ. එමෙන් ම ග්‍රාමීය ප්‍රදේශවල ඇති විය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන් කෘෂිකර්මාන්තයට හා ආහාර සුරක්‍ෂිතතාවට ද විශාල බලපෑමක් එල්ල කරයි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් යටතේ වඩාත් ම අවදානමට ලක් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින් හා වැඩිහිටියන් ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව 2030 සිට 2050 දක්වා වන කාලය තුළ දේශගුණික විපර්යාස හා සම්බන්ධ බලපෑම් හේතුවෙන් වසරකට දළ වශයෙන් අතිරේක මරණ 250,000ක් පමණ සිදු වනු ඇත. මින් 38,000ක් පමණ තාප නිරාවරණය හේතුවෙන් මිය යන වැඩිහිටියන් වනු ඇති අතර මැලේරියාව හා අතීසාරය හේතුවෙන් පිළිවෙළින් මරණ 60,000ක් හා 48,000ක් සිදු වනු ඇති බවට පුරෝකථනය කොට ඇත. ළමා මන්දපෝෂණය හේතුවෙන් ද තවත් මරණ 95,000ක් පමණ සිදු වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙවැනි පාරිසරික අර්බුද හේතුවෙන් මානව ප්‍රජාව කෙරෙහි ඇති වන බලපෑම හැකි තාක් අවම කරගැනීමට සංක්‍රමණිකයන් නැවත පදිංචි කරවීම, වෛද්‍ය සේවා බෙදාහැරීම හා එවැනි අර්බුදයන්ට මුහුණ දීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැඟීමට අදාළ පාර්ශ්වයන් උත්සාහ කළ යුතු ය.

නව වසංගතය – මානසික රෝග

වර්ෂ 2030 ගණන් පමණ වන විට මානසික අවපීඩනය ඇතුළු මානසික රෝග, හෘද රෝග අබිබවා ලොව විශාලත ම සෞඛ්‍ය ගැටලුව බවට පත් වනු ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. ණය, විරැකියාව, ගෘහස්ථ හිංසනය, යුද්ධය, නාගරික පරිසරයක ජීවත් වීමේ ආතතිය ආදිය ඊට ප්‍රධාන වශයෙන් හේතු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව 2015 සිට 2050 දක්වා කාලය තුළ ලෝක ජනගහනයේ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වැඩිහිටියන් අනුපාතය දළ වශයෙන් දෙගුණයක් වනු ඇති (මිලියන 900 සිට බිලියන දෙකක් දක්වා) අතර ඔවුන් අතරින් 20%ක් ඩිමෙන්ෂියාව, ඇල්සයිමර් හෝ පාකින්සන් වැනි කුමක් හෝ සංජානන ආබාධයකින් පෙළෙනු ඇත. නමුත් වාසනාවකට මෙන් ස්නායු විද්‍යාව පිළිබඳ වෛද්‍යවරුන් සතු ව වැඩි අවබෝධයක් තිබීමත් නව ඖෂධ සොයාගෙන තිබීමත් නිසාවෙන් මානසික ආබාධවලින් පෙළෙන්නන්ට ඵලදායී ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන් ම මෑත වසරවල දී මානසික අවපීඩනය ඉහළ යෑමට ඒ සම්බන්ධයෙන් මහජනතාවගේ ඇති දැනුවත්භාවය ද හේතු වී ඇති බව පෙනී යයි. ‘HealthParners’ ආයතනය විසින් මෑතක දී සිදු කරන ලද සමීක්ෂණයක දී හෙළි වූයේ වෙනත් පුද්ගලයකු සමග තම මානසික රෝග ගැන කතා කිරීමට පෙළඹෙන පුද්ගලයන් ප්‍රමාණය 66% සිට 71% දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

වෛද්‍යවරුන්ට හා රෝගීන්ට පෞද්ගලික ව හමුවීමට පවා අවශ්‍ය නො වනු ඇත. සාමාන්‍ය වෛද්‍ය හමු බොහොමයක් ‘Tele Consultation’ තාක්‍ෂණයෙන් ප්‍රතිස්ථාපනය වනු ඇති අතර රෝගීන්ට වඩාත් රෝගී තත්ත්වවල පමණක් භෞතික වශයෙන් හමුවීමට අවස්ථාව සැලසෙනු ඇත.

‘Tele Consultation’ තාක්‍ෂණය භාවිතයෙන් තම වෛද්‍යවරයා හමු වීමේ දී ඉහතින් සඳහන් කළ පැළඳිය හැකි උපකරණ හා සංවේදක මඟින් ලබාගන්නා දත්ත වෛද්‍යවරයා වෙත ඍජු ව යොමු කළ හැකි ය. එහි දී ඒ ඒ වෛද්‍යවරයාට ද රෝගියාට අදාළ වෛද්‍ය උපදෙස් ලබා දීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි ය. මුල් කාලීන ව මෙවැනි අතථ්‍ය පරීක්‍ෂාවන් Skype හෝ Zoom වැනි තාක්‍ෂණයන්ට පමණක් සීමා වුවත් කාලයාගේ ඇවෑමෙන් එය වඩාත් නවීන තාක්‍ෂණික වේදිකා තෙක් ම පුළුල් වනු ඇත.

රොබෝ විද්‍යාව, සංවේදක ප්‍රතිපෝෂණය (Sensory Feedback) Virtual Reality යන අංශවල දියුණුවත් සමග වෛද්‍යවරුන්ට ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන රෝගීන් සඳහා ඔවුන් වෙත ගමන් කිරීමකින් තොර ව ශල්‍යකර්ම සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත. නව සංකල්පය ‘Tele Operation’ ලෙස හැඳින්වෙන අතර එහි දී පූර්ණ Virtual Reality ඇඳුම් කට්ටලයකින් සැරසුණු ශල්‍ය වෛද්‍යවරයකු විසින් අන්තර්ජාලයට සම්බන්ධ කරන ලද රොබෝ සැත්කම් කට්ටලයක් මෙහෙයවමින් අදාළ රෝගියාගේ ශල්‍යකර්මය සිදු කරනු ඇත.

රොබෝ විද්‍යාව හා ජෛව විද්‍යාව

2050 වසර වෙත ළඟා වෙත් ම වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නවෝත්පාදනයන් සමඟ පෙර නො වූ විරූ අයුරකින් රොබෝ විද්‍යාව අත්වැල් බැඳ ගනු ඇත. නිදසුනක් වශයෙන් තුවාලවලින් සුවය ලැබීමටත් අංශභාග රෝගීන්ට දෛනික කටයුතු සිදු කරගැනීමටත් ‘Robotic Exoskeletons’ තාක්‍ෂණය උපකාරී වන්නේ කෙසේ ද යන්න ඇතැම් විට ඔබ දැක ඇත. නමුත් 2050 වසර වන විට එය ක්‍ෂේත්‍රයේ ඉහළ ප්‍රසිද්ධියක් ලබාගනු ඇත.

2050 වසර වන විට අත්, පා, ඇස් හා අස්ථි වැනි බොහොමයක් අවයව සඳහා කෘත්‍රිම අවයව ප්‍රතිස්ථාපනය වනු ඇත. එමෙන් ම මාංශපේශි උත්තේජනය කිරීම සඳහා වන Optogenetic උත්තේජකයන් මෘදු පටක තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනෙනු ඇත. එසේ නො වුණ හොත් ඇතැම් තුවාල සඳහා වසර ගණනාවක් තිස්සේ සැත්කම්, භෞත චිකිත්සක ප්‍රතිකාර හා වේදනානාශක ඖෂධ ලබාදීමට සිදු වනු ඇත. මීට අමතර ව මොළයේ තුවාලවලට පිළියම් යෙදීමට හා ස්නායු රෝග සුව කිරීමට වෛද්‍ය ක්‍ෂේත්‍රයේ තවත් ප්‍රධාන නවෝත්පාදනයක් ලෙස සැලකෙන ස්නායුක තැන්පත් කිරීම් ඉදිරියට එනු ඇත.

ජාන සංස්කරණය හා ජෛව මුද්‍රණය

2012 වසරේ දී Jennifer Doudna සහ Emmanuelle Charpentier විසින් වෛද්‍ය විද්‍යාවට හඳුන්වාදෙන ලද Cas9 ප්‍රෝටීනය වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ වඩාත් වැදගත් ස්ථානයක් සනිටුහන් කරන ලද අතර එය CRISPR-Cas9 ගෙනෝම සංස්කරණයට දොර විවර කළේ ය. CRISPR-Cas9 ගෙනෝම සංස්කරණය හරහා ජාන අනුක්‍රම ඉවත් කිරීමටත් ඊට නව කොටස් එකතු කිරීමටත් හැකියාව ලැබෙන අතර ඒ හරහා DNAවල සම්පූර්ණ ව්‍යුහය ම වෙනස් කළ හැකි ය. ඉදිරි දශක ගණනාවක කාලය තුළ දී ජාන සංස්කරණය බොහොමයක් ජානමය රෝග තුරන් කිරීමට හේතු වනු ඇති බව විද්‍යාඥයන්ගේ අපේක්‍ෂාවයි. ජාන සංස්කරණයට ස්තූතිවන්ත වන්නට ඉදිරියේ දී පෙනීම හා ඇසීමේ දුර්වලතා, ඇල්සයිමර්, පාකින්සන්, අංශභාගය ඇතුළු රෝග බොහොමයක් සුව කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන් ම මනුෂ්‍ය දේහයේ ඇති පියවි සෛල යොදාගෙන සම, අස්ථි, අවයව හා වෙනත් ශරීර කොටස් නිර්මාණය කිරීමට නුදුරු අනාගතයේ දී ත්‍රිමාන මුද්‍රණ තාක්‍ෂණය බහුල වශයෙන් යොදාගැනෙනු ඇත. තාක්‍ෂණයේ ඇති වන ශීඝ්‍ර දියුණුවත් සමග ත්‍රිමාන මුද්‍රණය මඟින් නිර්මාණය කරන ලද නව වකුගඩු, රුධිර නාළ හා සමෙහි කොටස් වෛද්‍ය විද්‍යාවේ තවත් එක් සාමාන්‍ය අංගයක් බවට පත් වනු ඇත.

2050 වසර වන විට ලෝකයේ වෛද්‍ය විද්‍යාව කුමන මුහුණුවරක් ගන්නේ ද යන්න පිළිබඳ පුරෝකථනය කිරීමේ දී අපට පෙනී යන්නේ ඉදිරි දශක කිහිපය තුළ දී අනෙකුත් විෂය ක්‍ෂේත්‍ර මෙන් ම සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ද උඩු යටිකුරු වනු ඇති බවයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් අප වෙත එල්ල වන ගෝලීය අභියෝගයන් නතර නො වන බව අපට අමතක කළ නො හැකි ය. එබැවින් සිදු කළ යුත්තේ හැකි තාක් නවීන තාක්‍ෂණයෙන් ඵල නෙළාගනිමින් ඉදිරියේ දී අපට මුහුණ දීමට සිදු වන අභියෝගයන් වළක්වාගැනීමට උත්සාහ ගැනීමයි.

Interesting Engineering ඇසුරෙනි

තරුෂි කෞෂානි

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications