ආටමිස් (Artemis) ව්‍යාපෘතිය යටතේ චන්ද්‍රගාමීන් සඳ මත ගොඩබැස්වීම උදෙසා ‘ගොඩබෑමේ යානයක්’ තෝරා ගැනීම වෙනුවෙන් මින් පෙර පවත්වන ලද තරගයෙන් ජය හිමි වූයේ SpaceX සමාගමේ HLS – Human Landing System යානයට බව නාසා ආයතනය ප්‍රකාශයට පත් කළේ පසුගිය 2021 වසරේ දී ය. SpaceX සමාගම ටෙක්සාස්හි පිහිටි StarBase පරිශ්‍රයේ දී දැනටමත් සංවර්ධනය කරමින් පවතින ඔවුන්ගේ Starship යානයේ විශේෂ සංස්කරණයක් ලෙසින් Starship HLS යානය ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ 2025-2026 අතර කාල වකවානුවේ දියත් කිරීමට නියමිත Artemis III මෙහෙයුම වෙනුවෙනි. නැවත පෘථිවියට ගෙන්වා නො ගන්නා බැවින් එම විශේෂිත තාරකා යානය සඳහා සාමාන්‍ය තාරකා යානයකට මෙන් තාප පරිවාරක හෝ ඉදිරි හා අවර පෙති අවශ්‍ය නො වනු ඇත. මිනිසුන් රහිත පර්යේෂණ චාරිකාවක් වන Artemis I පවා තව ම දියත් කොට නොමැති අතර එහි මංගල දියත් කෙරුම බොහෝ විට මෙම සැප්තැම්බර් අග භාගයේ දී හෝ ඔක්තෝබරයේ දී සිදු කිරීමට නියමිත ව තිබේ. පසුගිය අගෝස්තු 29 වැනි දා සිට එය දියත් කිරීම සඳහා දරන ලද පළමු උත්සාහයන් දෙක ම විවිධ තාක්ෂණික දෝෂ නිසා කල් දැමීමට සිදු වීම ඊට හේතුවයි.
අඩ සිය වසකට පමණ පසුව කෙරෙන නාසා ආයතනයේ නැවත සඳ ගමන පළමු වැන්නෙන් වෙනස් සහ සුවිශේෂ වනුයේ පළමු කාන්තාව හා පළමු කළු ජාතිකයා සඳ වෙත ගෙන යන නිසා ම නො වේ. මෙවර ඔවුන් සඳ වෙත යන්නේ එහි ස්ථීර මූලික කඳවුරක් ඉදි කිරීමට වන බැවිනි. දීර්ඝකාලීන විද්‍යාත්මක සොයාගැනීම් සහ ගවේෂණ වෙනුවෙන් මෙන් ම අඟහරු වෙතත් ඉන් ඔබ්බටත් තබන පියවර රැසක පළමුවැන්න වනු ඇත්තේ එයයි. සිය ජාත්‍යන්තර හවුල්කරුවන් මෙන් ම දේශීය වාණිජ හවුල්කාර ආයතන සමග එක් ව නාසා ආයතනය ඒ වෙනුවෙන් යුහුසුලු වෙමින් සිටියි.
පසුගිය මාර්තු මාසයේ දී නාසා ආයතනයේ නිලධරයන් ප්‍රකාශ කළේ ආටමිස් ව්‍යාපෘතිය වෙනුවෙන්, දෙවැනි සඳ මත ගොඩබැසීමේ යානයක් සංවර්ධනය කිරීම දිරිමත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවයි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 16 වැනි දා එම සැලසුම නිල වශයෙන් කරළියට පැමිණි අතර දෙ වැනි සඳ මත ගොඩබෑමේ යානයක් වෙනුවෙන්, පෞද්ගලික ආයතන වෙතින් යෝජනා කැඳවීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම එදින සිදුවිණ. මේ වසරේ නොවැම්බර් මස 15 වැනි දා දක්වා යෝජනා භාරගැනීමට නියමිත ව තිබේ. මෙම කොන්ත්‍රාත්තුව යටතේ තෝරාගන්නා සමාගම් විසින් චන්ද්‍ර පෘෂ්ඨය වෙත අවම වශයෙන් නිරූපණාත්මක මෙහෙයුම් දෙකක් සිදු කිරීම අවශ්‍ය බව එහි දැක්වේ. ඉන් එකක් මිනිසුන් රහිත මෙහෙයුමක් වන අතර අනෙක මිනිසුන් සහිත මෙහෙයුමකි. මෙම මිනිසුන් සහිත මෙහෙයුමට පෙර, ආයතනය විසින් ඉදිරිපත් කර ඇති සුදුසුකම් සපුරාලන ගොඩබෑමේ පද්ධති සඳහා පමණක් නාසා ආයතනයේ සහතිකය හිමි වනු ඇත.
දැනටමත් ජයග්‍රහණය කර ඇති SpaceX ආයතනයට මෙවර කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීමට බොහෝ දුරට ඉඩ හසර නො ලැබෙනු ඇත. මේ අනුව පළමු සඳ මත ගොඩබෑමේ යානය තෝරාගැනීමේ තරගය වෙනුවෙන් සටන් වැදුණු ඩයිනටික්ස් (Dynatics) සහ ජාතික කණ්ඩායම (The National Team) සඳහා නැවතත් අවස්ථාව හිමි වී තිබේ. ජාතික කණ්ඩායම යනු බ්ලූ ඔරිජින් (Blue Origin), නෝර්ත්රෝප් ග්‍රමන් (Northrop Grumman), ලොක්හීඩ් මාට්න් (Lockheed-Martin) සහ ඩ්‍රේපර් (Draper) යන ප්‍රධාන පෞද්ගලික සමාගම් හතරක එකතුවකි. අනෙක් පසින් ඩයිනටික්ස් යනු සියේරා නෙවාඩා සමාගම (Sierra Nevada Corporation) සහ යුනයිටඩ් ලෝන්ච් එලයන්ස් (ULA) ප්‍රධාන ව තවත් කුඩා පරිමාණයේ කොන්ත්රාත්කාර සමාගම් 19ක එකතුවකි.
පෙර වතාවේ දී නාසා ආයතනයට එක් තරගකරුවෙකු පමණක් තෝරාගැනීමට සිදු වූයේ ප්‍රධාන වශයෙන් ම ඔවුන් සතු ව පැවැති අරමුදල් ප්‍රමාණවත් වූයේ එක් කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් පමණක් වන බැවිනි. එය අනෙකුත් තරගකරුවන් අධෛර්යවත් වීමට හේතුවක් වූවා පමණක් නො ව ඒ හරහා නැවත සඳ ගමන තනි යානයක් මත පමණක් යැපෙන තැනට ඇද වැටිණ. නාසා ආයතනය මේ සැරසෙන්නේ ඒ වරද නිවැරැදි කරගන්නට ය. දෙ වැනි සඳ මත ගොඩබෑමේ යානයක් හරහා තරගකාරීත්වය නැංවෙන අතර එක් යානයක් මත පමණක් යැපීමට සිදු නො වීම හරහා සිය මෙහෙයුම් කඩිනම් කර ගැනීමට ද ඔවුනට අවස්ථාව හිමි වේ.
සන්සරසිදු