වයස් ගත වෙමින් තිබෙන හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය සඳහා නඩත්තු සේවා සැලසීමේ හා ඉහළ උන්නතාංශයක පිහිටි කක්ෂයකට නැවත ගෙන යාමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා නාසා ආයතනයත් ීච්ජැ ඞ සමාගමත් එක් ව මාස 6 ක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත බව පසුගිය දා අනාවරණය කෙරිණ.
හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මින් දශක තුනකට පෙර එනම් 1990 අප්‍රියෙල් මාසයේ දී පෘථිවි කක්ෂය වෙත පළමු වරට ගෙන යාමෙන් අනතුරුව අමුත්තන් කණ්ඩායම් 5 ක් ඊළඟ දශක දෙක තුළ ඒ වෙත ළඟා වී තිබේ. නාසා අභ්‍යවකාශ ශටල යානාවල නැගී වරින් වර ඒ වෙත ගිය අභ්‍යවකාශගාමීන් එහි විවිධ අලුත්වැඩියා හා නඩත්තු කටයුතු මෙන් ම උත්ශ්‍රේණි කටයුතුවල ද නිරත වී ඇති අතර එමගින් එයට අද දක්වා ම ස්වර්ගය දෙස නෙත් දල්වා සිටීමේ හැකියාව හිමි වී තිබේ. නමුත් වර්ෂ 2011 දී අභ්‍යවකාශ ශටල යානා ව්‍යාපෘතිය විශ්‍රාම ගැන්වීමට නාසා ආයතනය තීරණය කිරීමත් සමඟ අද දක්වා ම එයට කිසිදු ආකාරයක නඩත්තු සේවාවක් ලබා ගැනීමේ හැකියාවක් පැවතියේ නැත. එහි කක්ෂය ද කාලයත් සමඟ පහතට වැටී තිබේ. දැන් එය ක්‍රියාත්මක ව පවතින්නේ කි.මී. 540 ක උන්නතාංශයකිනි. දළ වශයෙන් ගත් කළ එය, එහි මුල් කක්ෂය වන කි.මී. 600 උන්නතාංශයෙන් කි.මී. 60 කින් පහත වැටී තිබේ. එය දැනට පවතින උන්නතාංශයෙහි දිගට ම ගමනේ යෙදුණහොත් වර්ෂ 2037 වන විට එය පෘථිවි වායුගෝලයට කඩා වැටීමේ සම්භාවිතාවය 50% කි. එවැන්නක් සිදු වීමට නාසා ආයතනය කිසි සේත් ම ඉඩ නො දෙනු ඇත. හබ්ල් දුරේක්ෂය එහි මෙහෙයුම් කාලය නිමවීමෙන් පසු ව පෘථිවි වායුගෝලය
තුළ සිය අවසන් ගමන යනු ඇත්තේ පාලිත කඩා වැටීමක් හරහා මිස පෘථිවි වාසීන් අනතුරේ හෙළන පාලනයෙන් තොර කඩා වැටීමක් හරහා නො වන බවට නාසා ආයතනය සහතික වනු ඇත. ඒ සඳහා වන මෙහෙයුමක් නාසා ආයතනය සැලසුම් කර තිබුණේ 2020 දශකයේ අග භාගයට ය. නමුත් යම් හෙයකින් හබ්ල් දුරේක්ෂය එහි මුල් කක්ෂීය උන්නතාංශය වන කි.මී. 600 සීමාව වෙත නැවතත් ගෙන යා හැකි නම් එහි කක්ෂීය ආයු කාලය ද තවත් වසර 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් පහසුවෙන් ම වැඩි කර ගත හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති.
මේ සඳහා Space X ආයතනයේ ඩ්‍රැගන් කැප්සියුලය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මෙම ශක්‍යතා අධ්‍යයනය මගින් සිදු කෙරෙනු ඇත. එය මිනිසුන් සහිත මෙහෙයුමක් වීම අත්‍යවශ්‍ය නො වන අතර ඩ්‍රැගන් කැප්සියුලය දැනටමත් 20 වතාවකට වඩා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මිනිස් නියමුවෙක් නොමැතිව ගමන් කොට තිබේ. මේ සඳහා අවශ්‍ය පසුබිම ද මේ වන විට සකස් වී ඇති අතර දැනට ම ප්‍රකාශයට පත් කර ඇති මෙහෙයුම් තුනකින් සමන්විත ජෙරාඩ් අයිසැක්මන්ගේ පොලාරිස් ව්‍යාපෘතියේ එක් මෙහෙයුමක් මේ වෙනුවෙන් කැප කරන්නට ඔහු විසින් කැමැත්ත පළ කොට තිබේ. එනයින් ගත් කළ මේ සඳහා රජයට සත පහක වියදමක් දරන්නට සිදු වන්නේ ද නැත. මෙම මෙහෙයුම සැබෑවට ම සිදු වනවා නම් බොහෝ විට එය දෙවැනි
පොලාරිස් මෙහෙයුම වීමට ඉඩ වැඩි ය. ජෙරාඩ් සිය සගයන් තිදෙනා සමඟ 2023 පළමු කාර්තුව තුළ දී දියත් කිරීමට නියමිත Polaris Dawn පළමු මෙහෙයුම වෙනුවෙන් දැනටමත් සූදානම් වෙමින් සිටියි. අනෙක් අතට පොලාරිස් 3 මෙහෙයුම දියත් කිරීමට නියමිත ව ඇත්තේ තවමත් දියුණු කරමින් පවතින Space X Starship යානයක බැවින් ඒ පිළිබඳ නිශ්චිත කාලවකවානුවක් තීරණය කිරීම උගහට ය. කෙසේ වෙතත් මෙම මෙහෙයුම හරියට ම සිදු කළ හැක්කක් දැයි දැන ගැනීමට අපට තවත් ටික කාලයක් ඉවසිල්ලෙන් බලා සිටිමට සිදු වනු ඇත.
සන්සරසිදු