Home Features ජ්ම්ස් වෙබ් අල්ලාගත් පළමු පිටසක්වළ ග්‍රහලොව!

ජ්ම්ස් වෙබ් අල්ලාගත් පළමු පිටසක්වළ ග්‍රහලොව!

by cmadurawala

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලොවක, සෘජු ඡායාරූපයක් ලබාගන්නට ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දූරේක්ෂය, පසුගිය දා සමත් වී තිබුණි. සිය විද්‍යාත්මක මෙහෙයුම් අරඹා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී වෙබ් විසින් ලබා ගැනුණු මේ ඡායාරූපය සැලකෙන්නේ, එය ලබා ගත් එම වර්ගයේ ප්‍රථම ඡායාරූපය ලෙසයි. මේ තාක් අති බහුතරයක් බහිර් ග්‍රහලෝක (Exoplanets) නිරීක්ෂණය කර ඇත්තේ ඒවා සිය මවු තාරකාව ඉදිරියෙන් ගමන් කරද්දි තාරකා-වෙන් නික්මෙන ආලෝකයේ ඇති වන තාවකාලික අඩු වීම ග්‍රහණය කර ගැනීමෙනි. ඍජුව ම ඡායාරූපයට නඟා ඇති බාහිර ග්‍රහලෝක ප්‍රමාණය දුසිම් දෙකකට වැඩි නො වේ. පිටසක්වළ ග්‍රහලෝක අළලා කෙරෙන පර්යේෂණ විප්ලවීය වෙනසකට බඳුන් කරන්නට වෙබ් දුරේක්ෂයට ඇති හැකියාව පිළිබඳ කදිම නිදර්ශනයක් බවට මෙම ඡායාරූපය පත් වන්නේ එවන් පසුබිමක් තුළ ය.පෘථිවියේ සිට ආලෝක වර්ෂ 385කට ඔබ්බෙන් HIP 65426 ලෙස හැඳින්වෙන සිය මවු තාරකාව වටා කැරකෙන වායුමය දැවැන්තයෙකු මෙසේ ජේම්ස් වෙබ් කැමරා කාචයට හසු වී තිබිණ. දිළිසෙන මවු තාරකා-වට නුදුරින් පිහිටි ආලෝක ලපයක් ලෙස එය දැකගත හැකි ය.

මවු තාරකාවෙන් නික්මෙන ආලෝකය මුවා කරමින් විවිධ පෙරහන් කිහිපයක් භාවිතයෙන් ලබා ගත් ඡායාරූප හතරක මෙම කුඩා ආලෝක ලපය දැකගත හැක්කේ විවිධ හැඩයන් ගෙනි. එය වෙබ්හි දර්පණ තල නිසා සිදු වූවක් බව විද්‍යාඥයෝ පවසති. අධෝරක්ත ආලෝකයේ එකිනෙකට වෙනස් තරංග ආයාමයන් කිහිපයක් මැන බලන සිය Near-Infrared Camera (NIRCam) සහ Mid-Infrared Instrument (MIRI) යන උපාංග හරහා වෙබ් දූරේක්ෂය විසින් මෙම HIP 65426 b ලෙස හැඳින්වෙන බහිර් ලෝකය ඡායාරූපයට නඟා තිබිණ. විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය සොයාගෙන තිබුණේ, වර්ෂ 2017 දී ය. ඒ චිලී හි පිහිටි Very Large Telescope ලෙසින් හැඳින්වෙන අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය මඟිනි. ජේම්ස් වෙබ් දුරේක්ෂය අ ̈තෙන් බාහිර ග්‍රහලෝක සොයාගැනීම උදෙසා නිපදවන ලද්දක් නො වන මුත් දැනට සොයාගෙන ඇති බාහිර ලෝක දෙස සිය තීක්ෂණ දෑස් යොමු කිරීමේ බාධාවක් ඊට නො පවතී. එම බහිර් ලෝක ඍජු ව නිරීක්ෂණය කිරීම වඩාත් ම අපහසු කටයුත්තක් වී ඇත්තේ සිය මවු තාරකාවලට වඩා ඒවා සිය දහස් ගුණයක් අඳුරු ව දිස් වීම නිසා ය. නමුත් වාසනාවකට මෙන් HIP 65426 b කරුණු කිහිපයක් නිසා නිරීක්ෂණය කිරීමට පහසු වස්තුවක් වී තිබේ. ප්‍රථමයෙන් ම එය පිහිටා ඇත්තේ සිය මවු තාරකාවට ඉතා දුරිනි.

කෙතරම් දුරකින් ද යත් සූර්යයා හා පෘථිවිය අතර දුර මෙන් සිය ගුණයක් තරම් දුරින් එය සිය මවු තාරකාව වටා ගමන් කරයි. සංසන්දනාත්මක ව ගත් කල ප්ලූටෝ පවා පිහිටා ඇත්තේ සූර්යයා හා පෘථිවිය අතර ඇති දුර මෙන් 40 ගුණයක් දුරින් පමණි. එමෙන් ම HIP 65426 b යනු එසේ මෙසේ ග්‍රහලොවක් නො වේ. එය අති දැවැන්ත වායු යෝධයෙකි. එය සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්ත ම ග්‍රහලොව වන බ්‍රහස්පති මෙන් 12 ගුණයක් විශාල ග්‍රහයෙකි. ඒ කෙසේ වෙතත් වර්ණාවලියේ මෑත අධෝරක්ත කිරණ (near infrared) හරහා වුව ද HIP 65426 b දිස් වන්නේ සිය මවු තාරකාවට වඩා 10,000 ගුණයක් අඳුරු වස්තුවක් ලෙස ය. නමුත් ජේම්ස් වෙබ් සතු අති සංවේදී උපකරණවලට පින් සිදු වන්නට මවු තාරකාවත් එහි දරුවාත් පැහැදිලි ව වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නට එයට හැකි වී තිබේ.   මෙම ඡායාරූපය ලබා ගැනීමට හැකි වීම පිළිබඳව උද්දාම වන විද්‍යාඥයන් පවසන්නේ එය ‘අභ්‍යවකාශ නිධානයක්’ ලබා ගැනීම හා සමාන වන බව ය. වසර බිලියන 4.5ක් වයසැති පෘථිවිය සමඟ සසඳන විට HIP 65426 b යනු තවමත් වසර මිලියන 15-20ත් අතර වයසැති නව යෞවන වියේ පසු වන ග්‍රහලොවකි. එහි පවත්නා වායුමය ස්වභාවය නිසා ජීවයට හිතකර ලෝකයක් වීමට ඇති හැකියාව විරල බව විද්‍යාඥයන්ගේ අදහසයි. කෙසේ නමුත් මෙය බහිර් ග්‍රහලෝක පිළිබඳ පර්යේෂණ විප්ලවීය වෙනසකට බඳුන් කරමින් වෙබ් තැබූ පළමු පියවර පමණකි.

සන්සරසිදු

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications