ඔබ මාවල් විශ්වයේ කොමික් විරුවන්ගේ වික්‍රමයන් දිග හැරෙන සිනමාපට නරඹා ඇති අයෙකු නම් රතු සහ රත්රන් පැහැයෙන් යුතු පියාසර කළ හැකි සන්නාහ ඇඳුමක් හිමි “අයන් මෑන්” ගැන නො හඳුනනවා විය නොහැකි ය. ආදි කාලයේ සිට කුරුල්ලන්ගේ පියෑඹීමේ හැකියාව ගැන උනන්දු වූ මිනිසා අවසානයේ නතර වූයේ ගුවන්යානා නිපදවීමෙනි. නමුත් ගුවන් යානයක නැගී ගමන් කරනු වෙනුවට කුරුල්ලකු මෙන් තනි තනිව ගුවනට නැගෙන්නට මිනිසාට අවකාශය ලැබුණේ අල්ප වශයෙනි. “අයන් මෑන්” වැනි මනඃකල්පිත සුපිරි වීරයන් ඔස්සේ සන්තර්පණය වූයේ මිනිසාගේ මේ ෆැන්ටසියයි.
නමුත් මිනිසාට තනි තනි වශයෙන් ගුවනට නැඟ පියාසර කළ හැකි පරිදි ජෙට්පැක් (Jetpack) කට්ටලයක් සේ නිපද වූ නවමු යෙදවුමක් මේ දිනවල වැඩි වශයෙන් කතා බහට බඳුන් වී තිබේ. ඒ පුද්ගල ශරීරය ගුවන මතින් පියාසර කරවීම තව දුරටත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ විද්‍යා ප්‍රබන්ධයකට සීමා නො වන බව පෙන්වා දෙමිනි.
මිනිස් සංචරණයේ විප්ලවකාරී වෙනසකට මුල පුරනු ඇතැයි අපේක්ෂා කළ හැකි මෙය එංගලන්තයේ Gravity Industries සමාගම තුළ කාලයත් සමග සංවර්ධනය වෙමින් පැවත එන්නකි. ඔවුන් මෙය නම් කර ඇත්තේ Daedalus නමිනි.
රොකට්ටුවක් ගුවනේ ඉහළට ඇදී යන්නේ සෑම ක්‍රියාවකට ම විශාලත්වයෙන් සමාන වූත්, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් පවතින්නේ ය යන නිව්ටන්ගේ තුන් වැනි නියමය විදහා දක්වමිනි. පොළොවෙන් ඉහළට ඔසවා තබන්නට සමත් නමුත් රොකට්ටුවක් මෙන් බොහෝ දුර ඌනතාංශයකට රැගෙන නො යන තරමේ ජවයකින් යුතු ජෙට් එන්ජිමක් මේ සඳහා අවැසි ය.
වසර — කට පෙර ආරම්භ කරන ලද Gravity Industries සමාගමේ නිර්මාතෘ වන්නේ රිචඩ් බ්‍රවුනින්ග් ය. කුඩා කල පටන් ගුවන් යානාවලට දැඩි ඇල්මක් දැක්වූ රිචඩ් ගුවනින් යාම ප්‍රිය කළේ ය. කලක් රාජකීය නාවික හමුදාවේ ද කටයුතු කළ රිචඩ් ඇඟ වෙහෙසා කෙරෙන ව්‍යායාම ගැන මනා පරිචයකින් හෙබි අයෙකි. මුලින් ම ඔහු පැලඳ පියාසර කළ හැකි සංකල්පමය ඇඳුමක් නිර්මාණය කරගනු වස් ජෙට් එන්ජිමක් ගෙන ආවේ ය. ඒ වර්ෂ 2016 දී ය. ඒවායෙන් සිදු කළ පර්යේෂණ හා අත්හදා බැලීම්වල දී පෙනී ගියේ එක එන්ජිමක් හෝ දෙකක් මගින් මිනිසෙකුගේ බර අභිබවා යමින් සාර්ථක ගගන සැරියකට මුල පුරන්නට එන්ජින් එකකට දෙකකට නොහැකි බව ය. ඔහු එක අතකට එන්ජින් තුන බැගින් ද, හතර බැගින් ද ස්ථානගත කර බැලුවේ ය. අවසානයේ දෙපාවලටත් එන්ජින් දෙකක් තැබුවේ ය. පියාසර කළ හැකි ආකාරයට මෙය දියුණු කිරීමට පෙර එය අවම වශයෙන් ගුවනේ එක තැන හෝ රඳවාගෙන සිටීමට වත් හැකිවේ දැයි බලන්නට ඔහු ගත් උත්සාහයන් පිට පිට ම අසාර්ථක විණි. පසුව පාදවල සවි කෙරෙන ගැසොලින් ටර්බයින එන්ජින් ද්විත්වය එතැනින් ඉවත් කර සිරුරේ පිටකොන්ද මත බෑගයක් සේ ස්ථානගත කර බලන්නට ඔහු තීරණය කළේ ය. එවිට පෙරට වඩා ස්ථායී මෙන් ම පාලනයක් සහිත පා වීමක් අත්විඳින්නට ඔහුට හැකියාව ලැබිණි.
මේ වන විට ඉතා දියුණු මට්ටමකට සිය නිෂ්පාදනය රැගෙන එන්නට Gravity Industries සමත් වී තිබේ.
පියාසර කළ හැකි Daedalus ජෙට්පැක් ඇඳුම භූමිතෙල් මගින් දහනය වන ටර්බයින එන්ජින් පහකින් සමන්විත ය. ඒ එන්ජින් පහම එක් වූ විට අශ්වබල 1050ක බලයක් ජනිත වේ. පැයට සැතපුම් තිහකට අධික වේගයකින් සමන්විත මෙයට අඩි 12,000ක් දක්වා උපරිම ඌනතාංශයකට ළඟා විය හැක. ඔවුන්ගේ මේ ‘පියාඹන ඇඳුම’ නවීන ලෝකයට කොතෙක් දුරට වැදගත් වන දෙයක් දැයි කියතොත් මහා බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාව පවා එය සිය මෙහෙයුම් සඳහා සාර්ථක ලෙස යොදාගත හැකි දැයි අත්හදා බලමින් සිටියි.
මුහුදු මංකොල්ලකරුවන් සමග ඈත අතීතයේ පටන් බ්‍රිතාන්‍ය නාවික හමුදාවට ඇත්තේ රළු මතකයන් ගොන්නකි. එය වර්ථමානයේ ද වෙනසකින් තොර ව සිදුවන බව ඇසුවහොත් ඔබ තරමක් පුදුමයට පත් වනු ඇත. නමුත් එය එසේ ය. සමස්ත ලෝකයේ තාක්ෂණයට සාපේක්ෂ ව මුහුදු මං පහරන්නන් ද තාක්ෂණය සමග මුහු වී ඇති නිසා ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. වැටලීමක් සඳහා තමන් සතු නැවට ගොඩවදින සෑම මොහොතක ම පාහේ ඔවුහු ඒ ගැන කල් තියා දැනගෙන, ඉන් ගැලවීමට විවිධ උපක්‍රම යොදාගනිති. රාජකීය නාවික හමුදාවට උවමනා වී තිබුණේ මෙසේ ඉව කළ නො හැකි පරිදි ක්ෂණික ව සතුරු යාත්‍රාවක් මත ප්‍රාදූර්භූත විය හැකි ක්රමවේදයකි. මේ සඳහා Gravity Industries සමාගමේ ජෙට් ඇඳුම (jet suit) යොදාගෙන අත්හදා බැලීම් කරන්නට නාවික හමුදාව යොමු විය. එහි දී මුහුදේ ධාවනය වෙමින් තිබූ නාවික යාත්‍රාවක් හඹා ගොස් ඒ මතට ගොඩ බැස වැටලීම් සිදු කරන අයුරු ගැන අභ්‍යාසයක් ද පැවැත්විණ.
මහා මාර්ගයකින් ළඟා වීමට අපහසු තැනක දී යමෙකු අනතුරට ලක් වුවහොත් ඔහුට හෝ ඇයට ගිලන් රියක් හෝ ගිලන් හෙලිකොප්ටරයක් ළඟා වන තුරු සැලකිය යුතු කාලයක් රැඳී සිටින්නට සිදු වේ. මෙවැනි අවස්ථාවල දී වහා ම ප්‍රථමාධාර කණ්ඩායම් අදාළ ස්ථානයට ගෙන යාම සඳහා මේ පියාඹන ඇඳුම උපකාරී වේ.
මෝටර් රථයක සාමාන්‍ය වේගයට සම කළ හැකි පැයට කිලෝමීටර 51 ක වේගයකින් යුත් මෙය වයඹදිග එංගලන්තයේ සංකීර්ණ භූ විෂමතාවන්ගෙන් යුත් ‘ලේක් ඩිස්ට්‍රික්ට්’ ප්‍රදේශය ආශ්රිත ව නිරන්තරයෙන් අත්හදා බැලුනේ එහි කඳු මත විවිධ අබැද්දීන්ට ලක් ව අතරමං වූ පුද්ගලයින් ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙනි. මේ (Lake District) සඳහා Gravity Industries කණ්ඩායමත් සමග Great North Air Ambulance Service (GNAAS) ගිලන් රථ සේවයත් එක් ව කටයුතු කරනු ලැබිණ. අතිශය සාර්ථක ලෙස මේ පුහුණු සැසි නිමාව දුටු අතර එහි දී දුෂ්කර භූමි ප්‍රදේශවලට අඩි ගණනක් ඉහළින් ඇදී ගොස් තත්පර 90ක් වැනි අවම කාලයක් ඇතුළත රෝගියෙකු ගලවා ගැනීමේ පෙරහුරුවක් ද සාර්ථක අන්දමින් සිදු වී තිබිණ.
Great North Air Ambulance Service පවසන අන්දමට මෙමගින් සෙත සැලසෙන රෝගීන් වර්ග දෙකකි. පළමු වැන්න නම් රෝහලක් වෙත හැකි ඉක්මනින් රැගෙන යා යුතු, හෙලිකොප්ටරයක අවශ්‍යතාව ඇති රෝගීන් ය. රෝගීන් ඔසවාගෙන යාම මේ පියාඹන ඇඳුම මගින් කළ නොහැකි නිසා ඔවුන් වෙනුවෙන් හෙලිකොප්ටරයක් පැමිණිය යුතු ම ය. නමුත් එය එන්නට පෙර අදාළ රෝගියා වෙත ළඟා වී ප්‍රථමාධාර සපයා ප්‍රවාහනය කළ හැකි පරිදි සූදානම් කිරීම මෙයින් සාර්ථක ලෙස කළ හැකි ය.
බරපතල ජීවිත අවදානමක් නොමැති සුළු ආබාධ සහිත රෝගීන් දෙ වැනි කාණ්ඩයයි. බිඳී ගිය අත් පා සහිත අනතුරුවලට මුහුණ දුන් ඔවුන් වෙත ගොස් මූලික ප්‍රතිකාර කර පසුව රෝහලක් වෙත ගෙන යන තෙක් වේදනාව සමනය කර පවත්වාගත හැකි ලෙස උවටැන් කිරීම එවැනි අවස්ථාවක දී කළ හැකි ය.
“බරපතළ සෞඛ්‍ය අවශ්‍යතා නැති කැඩුණ කකුලක්, කැඩුණ අතක් සහිත ව අදටත් කඳු තරණ ගලවා ගැනීමේ කණ්ඩායම් එන තෙක් පැය ගණනක් බලා සිටින රෝගීන් වෙතට දැන් අපට විනාඩි කිපයක් ඇතුළත ප්‍රවේශ වී ඔවුන්ගේ වේදනාව තුනී කොට, සුවපහසු ලෙස හිඳින්නට සලස්වා ගලවා ගෙන යාමේ කණ්ඩායම එන තෙක් ඔවුන් අසලින් රැඳී සිටිය හැකියි.” Great North Air Ambulance Service හි මෙහෙයුම් අධ්යක්ෂ ඇන්ඩි මෝසන් පවසයි.
මේ යන්ත්‍රෝපකරණ කට්ටලය වෙනුවෙන් ඉඩ වෙන් කළ යුතු නිසා ඖෂධ හා වෛද්‍ය උපකරණ කොන්ද පිටුපසින් එල්ලා ගන්නට නොහැකි ය. එබැවින් Gravity Industries සමාගම නියමුවාගේ පාද දෙක වටා ද, පපුව හා උදර ප්‍රදේශය ඉදිරියේ ද බහාලුම් මලු සවි කර තිබේ.
ලේක් ඩිස්ට්‍රික්ට් ප්‍රදේශය අවට පැවැති අත්හදා බැලීම් සාර්ථක ලෙස සිදු වුවත්, Great North Air Ambulance Service පවසන්නේ තවමත් මේ තාක්ෂණය සක්‍රීය සේවය සඳහා බඳවා ගන්නට තමන් සූදානම් නැති බව ය. Gravity Industries සමාගම තවමත් මේ ඇඳුම පර්යේෂණ මට්ටමින් දත්ත එක් රැස් කිරීම සඳහා භාවිතා කරමින් සිටීම එයට හේතුවයි. මෙය ධාවනය කිරීම සඳහා වෙන ම පුහුණුවක් අවශ්‍ය වන හෙයින් අත්හදාබැලීම්වලින් හෙබි මනා පුහුණු කාලයක් ලබාදීම ඔවුන්ගේ අරමුණයි.
“මේක හරියට මුල් යුගයේ මෝටර් රථයක් වගෙයි. ශබ්ධය අධිකයි, දුම වැඩියි. ඒ වගේ ම අකාර්යක්ෂමයි. සාමාන්‍ය ජනයා පවා ‘ජෙට්පැක්’ මගින් පියාසර කරන යුගයක් දක්වා අපට තව දුර ගමනක් තියෙනවා.” රිචඩ් බ්‍රවුනින්ග් සිය නිපැයුම ගැන දක්වන්නේ එවැනි අදහසකි. Gravity Industries සමාගමේ ප්‍රධාන පරීක්ෂණ නියමුවා වන්නේ ද ඔහු ය. ඔහු ද ඇතුළු ව තවත් පරීක්ෂක නියමුවන් කණ්ඩායමක් ම Gravity Industries සතු ව ඇත. මේ වන විට Daedalus ජෙට්පැක් ඇඳුම ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා වෙළඳපොළට හඳුන්වා දෙන්නට ද ඔවුන් පියවර ගෙන තිබේ. එහි මිල අමෙරිකානු ඩොලර් හාරලක්ෂය ද ඉක්මවයි. නමුත් අධික බරකින් යුතු මෙය පැළඳගෙන ගුවන්ගත වීම ඕනෑ ම අයෙකුට ලෙහෙසියෙන් කළ හැක්කක් නොවේ. ඒ සඳහා වෙන ම පුහුණු වීමක් කළ යුතු ය. පුහුණු කිරීමේ කටයුතු සඳහා මේ වන විටත් Gravity Industries සමාගම වෙන ම ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
තව ම මුල් අවධියේ පවතින නිෂ්පාදනයක් බව බ්‍රවුනින්ග් කීවත්, මෙය දැකීම පවා ජනිත කරවන්නේ විද්‍යා ප්‍රබන්ධ සිනමාත්මක හැඟීමකි. ඉක්මනින් ම මේ අනාගතවාදී මෙවලම ආරක්ෂක අංශ වෙත මෙන් ම ගිලන් රථ සේවා වෙතත්, ඉන් පසු කෙමෙන් සමාජයේ විවිධ ස්ථර අතරත් භාවිතයට පැමිණෙනු ඇතැයි සිතිය හැකි ය.
සත්‍ය හෙට්ටිආරච්චි