Home Features මොකක් ද මේ බුද්ධි ඵලය?

මොකක් ද මේ බුද්ධි ඵලය?

by Sathya

එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දස හැවිරිදි දැරියක් බුද්ධි ඵලය අතින් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ට ද වඩා ඉහළ අගයක් පෙන්වා ඇති බව ලැබූ දා වාර්තා වූ විශේෂිත තත්ත්වය සාමාන්‍යයෙන් අයින්ස්ටයින්ගේ බුද්ධි ඵලය 160 බව පිළිගැනෙන අතර ඉහත සඳහන් දැරිය 162ක බුද්ධි ඵලයක් පෙන්වා ඇති බව වාර්තාවල දැක්වුණි.

විදුසරෙහි  මෙම සටහන බුද්ධි ඵලය සහ එහි විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් කෙටි විමසුමකි.

ඉංග්‍රීසි බසින් intelligence Quotient නමින් හඳුන්වන බුද්ධි ඵලය IQ යන අකුරු දෙකෙන් කෙටියෙන් නිරූපනය කෙරේ.

 කෙනෙක් ගෙ බුද්ධි ඵලය ලෙස ලබාගන්න සංඛ්‍යාත්මක අගය මානව බුද්ධිය තක්සේරු කිරීම පිණිස සැකසුම් කර තිබෙන සම්මත පරීක්ෂණ මාලාවකට ලබා දෙන නිවැරදි පිළිතුරු අනුව නිශ්චය කරනු ලබන සංඛ්‍යාවක් වේ.

බුද්ධි ඵලය ගණනය කරන්නේ කෙසේද?

බුද්ධි ඵලය ලබා ගන්නා පුද්ගලයෙකුගේ මානසික වයස (mental age) ඔහුගේ හෝ ඇයගේ කාලානුක්‍රම වයසට (chronological age) දරණ අනුපාතය 100න් ගුණ කිරීමෙනි.

කාලානුක්‍රම වෛරස යනු කෙනෙකු තම උපතේ සිට මේ දක්වා ජීවත් වී තිබෙන කාලයයි. වෙනත් අයුරකින් කිවහොත් එය කෙනෙකුගේ උප්පැන්න සහතිකයට අනුව ඒඅය පෙන්වන වයස වේ. එහෙත් කෙනෙකුගේ මානසික වයසඒ අයගේ බුද්ධිමත් භාවය මත රඳා පවතින සංකල්පයක් වෙයි. කෙසේ වෙතත් මානසික වයස කෙනෙකුගේ බුද්ධියෙහි මැනීමට ලක්කෙරෙන ස්වරූපය මත රඳා පවතී. නිදසුනක් ලෙස දරුවෙකුගේ බුද්ධිමය වයස ඔවුන්ගේ නියම වයසෙහි අගයක් විය හැකි ය. එහෙත් එම දරුවාගේ චිත්තවේගීය බුද්ධිමත් භාවය ඔවුන්ගේ කායික වයසට සාපේක්ෂව නොමේරූ මට්ටමක තිබිය හැකිය.

මනෝ විද්‍යාඥයින් බොහෝ විට පෙන්වා දෙන කරුණක් නම් වැඩි විය ට පත් වන එනම් ලිංගිකව පරිණතයට එළඹෙන වයසේදී ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා චිත්තවේගීය වශයෙන් පරිණත වන බවය.

බුද්ධි ඵලය (IQ) යන්න පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ 1912 වසරේ දී ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයකු හා දාර්ශනිකයෙකු වූ විලියම් ස්ටර්න් විසින් එම බසින් ලියන ලද කෘතියක් මගිනි.

බුද්ධි ඵලය ලබා දෙන සූත්‍රයට අනුව කෙනෙකුගේ මානසික වයස ඔහුගේ කාලානුක්‍රම වයසට සමාන අගයක් ගන්නා විට ඔහුගේ බුද්ධි ඵලය 100% ක් වේ.

නිදසුනක් ලෙස කාලානුක්‍රම වයස වසර දහයක් වන අයකුගේ මානසික වයසද වසර 10ක් නම් ඒ අයගේ බුද්ධි ඵලය 100ක් වේ. එහෙත් කෙනෙකුගේ මානසික වයස ඒ අයගේ කාලානුක්‍රම වයසට වඩා වැඩි අගයක පවතින විට බුද්ධි ඵලය 100ට වඩා වැඩි වේගයක් ගනි. අනික් අතට කෙනෙකුගේ මානසික වයස කාලානුක්‍රම වයස ට වඩා අඩු අගයක් ගන්නා විට ප්‍රතිඵලය 100ට වඩා අඩු අගයක් ගනී.

 නිදසුනක් ලෙස ඉහත සඳහන් කළ දැරියගේ කාලානුක්‍රම වයස වසර 10ක් නිසා ඇයගේ මානසික වයස 16.2 ක්  බව පර්යේෂණ මගින් සොයාගෙන තිබිය යුතුය.                          

සැබවින් බුද්ධි ඵලය යනු කෙනෙකුගේ තර්කනයේ සහ ගැටළු විසඳීමේ හැකියාව මනිනු ලබන මිනුමක් වේ. එමගින් ඔබේ වයස් කාණ්ඩයේ අනෙක් අය සමග සසඳන විට නිශ්චිත පරීක්ෂණයකින් ඔබ කෙතරම් හොඳින් ප්‍රතිචාර දක්වා තිබේද යන්න පිළිබිඹු කෙරේ.

මිනිස් ජනගහනය තුළ බුද්ධි ඵලය සඳහා විවිධ අගයන් ලබා ගන්නා අයගේ සංඛ්‍යාව ප්‍රස්ථාර ගත කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය අනුව එය හඳුන්වනු ලබන්නේ සීනු චක්‍රය (Bell curve) නමිනි.

බුද්ධි ඵලය සොයා ගැනීම සඳහා සිදුකෙරෙන පර්යේෂණ විවිධාකාර වුවද එවැනි බොහෝ පර්යේෂණ වලින් ජනගහනයේ වැඩිම සංඛ්‍යාවක් පෙන්වන සාමාන්‍ය බුද්ධි ඵලයේ අගය 100ක් වේ. ඉහත ප්‍රස්ථාරයට අනුව ජනගහනයෙන් සියයට හැට අටක් බුද්ධි ඵලයෙහි අගය 65%ක් සහ 115 අතර වෙති.

ඉන් අදහස් වන්නේ සියලු මිනිසුන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක් බුද්ධි ඵලයේ සාමාන්‍ය අගය වන 100ට වඩා ලකුණු 15කින් අඩු අගයත් , ලකුණු 15 කින් වැඩි අගයත් අතර බුද්ධි ඵලයක් පෙන්වන බව ය.

බුද්ධි ඵලය 70 හෝ එයට වඩා අඩුවන විට එය ඉතා අඩු බුද්ධි ඵලයක් ලෙස පිළිගැනේ. එවැනි අයෙකු බුද්ධිමය දුබලතාවයකින් පෙළෙන කෙනෙකු ලෙස සලකුණු ලබයි. බුද්ධි ඵලය 130 ට වඩා වැඩි කෙනෙකු අසාමාන්‍ය බුද්ධිමය ප්‍රතිභාවක් පෙන්නන කෙනෙකු (Genius) ලෙස හැඳින්වේ. ඇල්බට් අයින්ස්ටයින් බුද්ධි ඵලය සෙවීමේ පරීක්ෂණයකට පෙනී සිටි බවට කිසිදු සාක්ෂියක් සොයා ගත නොහැකි වුවද ඔහුගේ බුද්ධි තලය 160 අවට අගයක පැවති බවට නිර්මාණය කර තිබේ. ඒ නිසා එය අනුමාන අගයක් පමණි.

සීනු වක්‍රයට අනුව මෙන්න ජනගහනය තුළ බුද්ධි ඵලය සඳහා ලබාගෙන ඇති සියළු අංගයන්ගෙන් 95% ක්ම 70 සහ 130 අතර බුද්ධි ඵලය පෙන්වති. මෙම සම්මත අපගමන අගයන් දෙකට ඔබ්බෙන් සිටින සංඛ්‍යාව ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් වන අතර ඔවුන්ගෙන් කොටසක් 70 ට වඩා අඩු එනිසාම ඉතා පහත් බුද්ධි ඵලයක් ද, අනික් කොටස 130 ට වඩා වැඩි ඉතා ඉහල බුද්ධි ඵලයක් ද පෙන්වති.

බුද්ධි ඵලය ගණනය කරන්නේ කෙසේද?

ඉතිහාසය පුරා බුද්ධි ඵලය ගණනය කිරීමට භාවිතා කරනු ලබන ක්‍රම දෙකක් වේ. ඉන් පළමු ක්‍රමයේදී කලින් සඳහන් කර ඇති අන්දමට මානසික වයස කාලානුක්‍රම වයසසෙන් බෙදා ලැබෙන අගය 100න් ගුණ කිරීමෙන් බුද්ධි ඵලය ලබා ගැනේ. අනෙක් ක්‍රම වල දී කෙනෙකුගේ සමවයස් කණ්ඩායමේ අනෙක් අය ලබාගෙන තිබෙන අගයන් සමග සැසදීමෙන් බුද්ධි ඵලය ගණනය කරනු ලැබේ.

බුද්ධි ඵලය මැනීමේ පරීක්ෂණ

බුද්ධියේ ස්වරූප දෙකක් මැන ගැනීම අරමුණු කරගෙන බුද්ධි ඵලය මැනීමේ පර්යේෂණ සැලසුම් කර තිබේ. බුද්ධියේ එම ස්වරූප හඳුන්වනු ලබන්නේ කැටි ගැසුණු (ස්ඵටිකමය) බුද්ධිය (crystallized intelligence) සහ අනිස්ථිර (තරලමය) බුද්ධිය සිරිත් (fluid intelligence) යනුවෙනි.

කැටි ගැසුණු බුද්ධියට අයත් වන්නේ ඔබේ ජීවිත කාලය තුළ ඔබ ළඟ ලබාගෙන තිබෙන දැනුම සහ කුසලතාවයන් ය. එනිසාම කැටි ගැසුණු බුද්ධිය සෘජුවම දැනුම සහ අත්දැකීම් සමඟ සම්බන්ධව පවතින අතර කෙනෙකු වියපත් වීමත් සමඟ එය ද ක්‍රමයෙන් වර්ධනය වේ.

අනිස්ථිර බුද්ධිය යනු තර්ක කිරීමේ, ගැටලු විසදීමේ සහ වියුක්ත සංකල්ප සංජානනය කිරීමේ හැකියාවයි. මේ අනුව අනිස්ථිර බුද්ධිය කෙනෙකුගේ ඉගෙනුමෙන් සහ අත්දැකීම් වලින් පරිබාහිරව නිදහස්ව පවතින අතර එය වැඩිහිටි අවධියේ පසු කාලය වන විට ක්‍රමයෙන් අඩු වීමේ නැඹුරුවක් පෙන්වයි.

බුද්ධි ඵලය මැනීමේ පර්යේෂණ වරලත් මනෝවිද්‍යාඥයන් විසින් සකස් කර තිබෙන අතර ඒවාට විවිධ වර්ග වලට අයත් බුද්ධි පර්යේෂණ ඇතුළත් වේ. එම පර්යේෂණ මගින් ගණිතමය හැකියාවන්, භාෂා නිපුණතාවන්, මතකය, තර්කන කුසලතාවයන් සහ තොරතුරු හා දත්ත සැකසීමේ වේගය පරික්ෂා කෙරේ. මේ එක එකක් මැනීම සඳහා ඇති පර්යේෂණ මගින් ලැබෙන ලකුණු සංඛ්‍යාව එකතු කිරීමෙන් සමස්ත බුද්ධි ඵලය ගණනය කෙරේ.

 අද දවසේ බෙහෙවින් භාවිතා වන ප්‍රතිඵලය මැනීමේ පරීක්ෂණ කිහිපයක් මෙහි දැක්වේ.

  • The wechsler Adult Intelligence Scale (වැඩිහිටියන් සඳහා)
  • The wechscler Intelligence Scale (ළමුන් සඳහා)
  • The Stanford- Binet Intelligence Scales
  • The Kaufman Assessment Battery (ළමුන් සඳහා)
  • The Cognitive Assessment System
  • The differential Ability Scales
  • The Woodcock-Johnson Tests of Cognitive Abilities

මිනිස්සුන්ගේ බුද්ධි ඵලය සඳහාලැබෙන අගයන් පසුගිය සියවස තුළ ලොව පුරා සමස්තයක් ලෙස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව පැහැදිලිව පෙනී තිබේ. මෙම සංසිද්ධිය බුද්ධිය පිළිබඳ පර්යේෂකයෙකුව සිටිජේමිස් රොබට් ෆ්ලයින්ගේ නමින් ෆ්ලයින් ආචරණය (Flynn effect) නමින් හඳුන්වන අතර එම නම මුල් වරට එළි දක්වන ලද්දේ 1994 වසරේදී රිචඩ් හර්න්ස්ටයින් සහ චාල්ස් මරේ විසින් රචිත The bell curve නම් කෘතිය මගිනි.

ඉහළ බුද්ධි තලයක් ඇති පුද්ගලයින් සාමාජිකත්වය දරන සංවිධාන අතරෙන් විශාලතම හා පැරණිතම සංගමය වන්නේ ජාත්‍යන්තර මෙන් සංගමය (Mensa international). දැනට එහි සාමාජිකයින් ගණන 134, 000ක් පමණ වේ. අයින්ස්ටයින්ගෙන් පසුව බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයකු ලෙස සැලකෙන ඉංග්‍රීසි ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් ගැලීලියෝගේ මරණ සංවත්සරය යෙදෙන ජනවාරි 8 දිනයක උපත ලබා අයින්ස්ටයින්ගේ ජන්ම සංවත්සරය යෙදෙන මාර්තු 14 වෙනි දිනයක මිය ගියේය.

ඔහුගේ බුද්ධිමය ඵලය පිළිබඳව විමසූ විට ඔහු මෙසේ පැවසීය “මම ඒ ගැන දන්නේ නැහැ තමන්ගේ බුද්ධි ඵලය ගැන පුරසාරම් දෙඩුවා වැඩෙන මිනිස්සු පැරදුණු අයයි.”

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications