Home Features දිය වන ග්ලැසියර අතරින් යළි අවදි වන ඉපැරණි මාරක වසංගත

දිය වන ග්ලැසියර අතරින් යළි අවදි වන ඉපැරණි මාරක වසංගත

by cmadurawala

මානව ඉතිහාසය පුරා වරින් වර මිනිස් ජීවිත ගොදුරු කරගත් වසංගත රෝග බොහොමයකට වගකියන ක්‍ෂුද්‍ර ජීවින් කාණ්ඩ දෙකක් වෙයි. ඒ වයිරස සහ බැක්ටීරියාවන් ය. ඉන් ‘කළු මරණය’ (Black Death)  නමින් විරුදාවලි ලද මහාමාරිය සහ කොලරාව වැනි වසංගත රෝග බැක්ටීරියා මඟින් ද, වසුරිය, ඉන්ෆ්ලුවන්සාව, ඉබෝලා සහ කොවිඩ්-19 වැනි වසංගත රෝග, වයිරස මඟින් ද ආසාදනය වීමෙන් හටගෙන තිබේ. මෙවැනි වසංගත රෝග සමහරක් මිනිසුන් වෙත ගෙනෙන ලද වාහකයන් ලෙස ක්‍රියා කර ඇත්තේ මීයන්, වවුලන් සහ පක්‍ෂීන් වැනි ඇතැම් සතුන් ය.

ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිටු ඵලයක් ලෙස වසංගත රෝග මතු වීමේ නව අවදානමක් පිළිබඳව මේ සටහනෙන් විමසා බැලෙයි.

පෘථිවි ග්‍රහලොවේ උත්තරාර්ධගෝලයට අයත් ආක්ටික් වෘත්තයේ උතුරින් පිහිටන හසන් a (Hazen) විල පරිමාව අනුව එහි තිබෙන විශාලතම මිරිදිය විල වෙයි. වසරේ මාස 10ක කාලයක් ම එය අයිස්වලින් වැසී පවතින අතර එය ආක්ටික් වෘත්තයට අයත් මිරිදිය විල් අතරින් මතුපිට වර්ගඵලය අනුව විශාලත්වයෙන් තෙවැනි තැන ගනියි.

පසුගිය ඔක්තෝබර් මස 19 වැනි දින Proceedings of the Royal Society B ජර්නලයේ පළ කරන ලද පර්යේෂණ වාර්තාවකින් මේ විල හා සම්බන්ධ නවතම අනාවරණයක් දැක්වේ. ඒ අනුව එම පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර කැනඩාවේ ඔටාවා සරසවියේ Audree Lemieux ගේ නායකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් හසන් විලෙන් ලබාගන්නා ලද පස් සහ අවසාදිතවල DNA සහ RNA පරීක්‍ෂා කිරීමෙන් එහි වයිරස සංචිතයක් ඇති බව හඳුනා ගන්නා ලදි.

වෙනත් පර්යේෂණ කණ්ඩායමක් විසින් සකස් කරනු ලැබූ පරිගණක ඇල්ගොරිතමයක් භාවිත කරමින් ඔවුන් එම පෙදෙසේ වෙසෙන සතුන්, ශාක සහ දිලීර සමග මේ වයිරස ක්‍රියාකරන අන්දම පරීක්ෂා කළ විට නව ධාරක විශේෂ තුළට ඇතුළු වීමේ හැකියාව එම වයිරසවලට ඇති බව අනාවරණය විය. එමඟින් එම ජීවීන් වෙතින් මිනිසුන් තුළට මේ වයිරස ඇතුළු වීමේ අවදානමක් ඇති බව පැහැදිලි වී තිබේ.

දේශගුණ වෙනස්වීම නිසා විලේ ග්ලැසියර දිය වී යෑමත් සමග මේ වයිරස නිදහස් වීමේ අවදානම ඉහළ යන බව සොයා ගැනිණි.

එමඟින් ආක්ටික් වෘත්තයේ ඉහළ පෙදෙස නව වසංගත රෝග පහළ කිරීමේ සරු බිමක් බවට පත් වන ලකුණු අනාවරණය වී තිබේ. එහෙත් ඉහත කැනේඩියානු විද්‍යාඥවරිය සඳහන් කරන්නේ අද දවසේ ආක්ටික් පෙදෙසේ මිනිසුන් අතර ආසාදන රෝග මතු වීමේ ඉඩකඩ අවම බවයි. මීට හේතුව මිනිසුන් වෙත රෝග සම්ප්‍රේෂණය කරන මදුරුවන් වැනි වාහකයන් විරල වීම බව ඇය සඳහන් කරන්නී ය. කෙසේ වෙතත් පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි දේශගුණ වෙනස් වීම නිසා ග්ලැසියර දිය කිරීමට අමතර ව එමඟින් ආසාදිත ක්‍ෂුද්‍ර ජීවී විශේෂ ධ්‍රැව පෙදෙස් වෙත පැතිරී යෑමට හැකි වේ.

ඒ අනුව දේශගුණ වෙනස් වීම් නිසා ගෝලීය උෂ්ණවය ඉහළ යෑමත් සමග ග්ලැසියර සහ ශීතනය වූ පසෙහි සිර ව ඇති වයිරස හා බැක්ටීරියා නැවත අවදි වී එම පෙදෙස්වල වෙසෙන ප්‍රාදේශීය ජීවීනට ආසාදනය වීමේ අවදානම පවතී. මේ ප්‍රදේශයේ හඳුනාගෙන තිබෙන වයිරසවලින් බොහොමයක් ශාක සහ දිලීර ධාරකයන් ලෙස යොදාගනිමින් ඒවාට ආසාදනය වන වයිරස වේ. ජර්මනියේ සත්ත්වෝද්‍යාන හා වනජීවී පර්යේෂණ පිළිබඳ ලිබ්නිස් ආයතනයේ මහාචාර්ය ඇලෙක්ස් ග්‍රීන්වුඩ් පවසන්නේ හමු වී තිබෙන DNA සහ RNA කොටස්වල වයිරස ජිනෝමයන් පිරිහී ඇති බැවින් ඒවායේ අවදානම අඩු බව ය. 2019 වසරේ නොවැම්බර් මාසයේ දී එක්සත් ජනපදයේ විiා, ඉංජිනේරු සහ වෛi විiා ජාතික ඇකඩමිය මඟින් රෝග මතුවීමේ අවදානම පිළිබඳව සාකච්ඡා කෙරෙන වැඩමුළුවක් පවත්වන ලදි. ඒ කෝවිඩ් 19 පිළිබඳ ව නො ව එයට මාස දෙකකටත් කලිනි. ඒ වෙනුවට ඔවුන් එහි කතිකා කළේ ග්ලැසියර්, අයිස්  හා ශීතනය වූ පසෙහි සිර ව ඇති ක්‍ෂුද්‍ර ජීවින් අයිස් දිය වීමේ දී පරිසරයට නිදහස් වීම පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි.

එම වැඩමුළුවේ දී රුසියානු විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයකු වන ඇලෙක්සැන්ඩර් වොල්කොවිට්ස්කි විසින් බියජනක සිදුවීමක් අනාවරණය කරන ලදි. එය සිදු වී තිබුණේ රුසියාවේ උතුරු වෙරළේ පිහිටි යමාල් අර්ධද්වීපයේ 2016 වසරේ දී ය. එහි වැසියෝ එම පෙදෙස් සිය දහස් ගණනින් වෙසෙන පිනිමුවන් බලා ගැනීම සිදු කළ හ.

එම වසරේ ග්‍රීෂ්ම ඍතුවේ දී පස මතුපිට පැවැති හිම දිය වී ගිය අතර සිය වසකට වඩා වැඩි කාලයක් තිස්සේ අර්ධද්වීපයේ සැඟව පැවැති ඇන්ත්‍රැක්ස් රෝගකාරක බැක්ටීරියාව ලැව් ගින්නක් මෙන් ප්‍රදේශය පුරා පැතිර යෑම සිදු විය. සියල්ල පාලනය කර අවසන් කිරීමට පෙර පිනිමුවන් දෙ දහසකට වැඩි ගණනක් ජීවිතක්ෂයට පත් ව තිබිණි. ප්‍රාදේශීය ජනගහනයේ කොටසකට ඇන්ත්‍රැක්ස් රෝගය වැළඳුණු අතර එක් පිරිමි ළමයකුගේ මරණයක් වාර්තා විය.

පසුගිය 2021 වසරේ ජූලි මස Microbiome ජර්නලයේ පළ කරනු ලැබූ වාර්තාවක ප්‍රධාන කතුවර හා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත සරසවියේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාඥ ෂි-පින්ග්-ෂොන් ඇතුළු කණ්ඩායම විසින් ග්ලැසියර තුළ සිර ව තිබෙන ඉපැරණි වයිරස මතුවීමේ අවදානම පිළිබඳ ව සඳහන් කර තිබේ. එම අධ්‍යයනයේ දී ඔහුගේ නායකත්වයෙන් යුත් පර්යේෂකයන් කණ්ඩායම ටිබෙට් සානුවේ වයඹදිගින් පිහිටි ගලියා අයිස් වැස්ම තුළින් වසර 15,000ක් පමණ පැරණි වයිරස් වර්ග රැසක් හඳුනා ගැනීමට සමත් විය. මුහුදු මට්ටමෙන් කිලෝමීටර් 6.7ක් (අඩි 22,000ක්) උසින් ඇති අයිස් තුළින් හඳුනාගත් වයිරස් වර්ග 33න් වයිරස 28ක් ම මෙයට පෙර දැන නො තිබූ ඒවා විය. ඒවායින් බොහොමයක් මඟින් බැක්ටීරියා ආසාදනය කර තිබුණි.

“මේවා ආන්තික පරිසරවල ප්‍රවර්තනය විය හැකි වයිරසයන්, අධි ශීත පරිසරවල සෛල ආසාදනය කිරීමට උදව් වන ජානවල සලකුණු ඒවායේ තිබෙනවා.” ඉහත පර්ය්ෂණ වාර්තාවේ සම කතුවරයෙකු වන ඔහායෝ ප්‍රාන්ත සරසවියේ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාඥ මැතිව් සුලිවාන් එසේ පවසයි.

ගලියා අයිස් වැස්මේ බැක්ටීරියා ගණ 118ක් පැහැදිලි ව හඳුනාගෙන තිබේ. ඒවා අතර Janthinobacterium, Flavobacterium සහ Polaromonas යන ගණයන් ද, Comamonadaceae සහ Microbacteriaceae යන කුලවලට අයත් හඳුනා නො ගත් බැක්ටීරියා ගණ කීපයක් ද වෙයි.

2013 වසරේ දි එක්සත් ජනපදයේ මිචිගන් තාක්ෂණික සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් බටහිර ඇන්ටාක්ටික් අයිස් තලයට මීටර් 800ක් ගැඹුරින් පිහිටි Whillans නම් විල දක්වා හාරන ලදි. එවිට ශීත හා අඳුරු පරිසරයක එකමුතු ව විසූ බැක්ටීරියා සහ අනෙකුත් ක්‍ෂුද්‍ර ජීවීන් ගෙන් පිරුණු පරිසර පද්ධති කීපයක් අනාවරණය විය.

1999 වසරේ තක්කාලි සහ වෙනත් ශාක සමහරක පත්‍ර විචිත්‍ර (Leaf Mosaic Diseses)රෝගය ඇති කරන වයිරසයක් ග්‍රීන්ලන්තයේ පිහිටි වසර 140,000ක් පැරණි ග්ලැසියර් තලය තුළින් අනාවරණය කරගැනීමට පර්යේෂකයන්ට හැකි විය. ඉන් පස් වසරකට පසු ව තවත් පර්යේෂකයන් කණ්ඩායමක් සඳහන් කර ඇත්තේ එම අයිස් ඉන්ෆ්ලුවෙන්සා A වැනි ව්‍යාධිජනක වයිරස, ගැස්ට්‍රෝඑන්ටෙරයිටිස් රෝග කාරක වයිරස හා පොලියෝ රෝගකාරක වයිරස ආදිය සඳහා සංචායකයක් ලෙස ක්‍රියා කළ හැකි බවයි.

2014 වසරේ ප්‍රංශයේ Aix-marseille සරසවියේ මහාචාර්ය Jean-Michel Claverieගේ නායකත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් සයිබීරියානු හිම තලය යට තිබී යෝධ වයිරස කාණ්ඩයට අයත් වසර 34000ක් පැරණි පිතෝ වයිරස සහ මොලි වයිරස සොයා ගන්නා ලදී. එහෙත් ඒවායින් අපට අනතුරක් නොමැති වීමට හේතුව ඒවායින් ප්‍රොටොසොවා නම් ඒක සෛලිකයන් ආසාදනය කරන බැවිනි. එහෙත් ඒවායේ ඉපැරණි බව නිසා ම එම වයිරස මිනිසාගේ වඳ වී ගිය ඥාතීන් වන නියැන්ඩතාල්වරුන් සහ ඩෙනිසෝවන්වරුන් හට ආසාදනය වන්නට ඇතැ යි සිතිය හැකි ය.

එනිසා ම එක්තරා කාලයක නියැන්ඩතාල්වරුන්ට ආසාදනය වූ වයිරසයන් ගෙන් වැළඳුණු රෝගවලට නුදුරු අනාගතයේ දී අප ද නිරාවරණය වීමේ අවදානමක් නොමැත්තේ ම නො වේ.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications