1956 ඩාර්ට්මවුත්හි සම්මන්ත්‍රණයක දී ‘කෘත්‍රිම බුද්ධිය’ යන නාමය භාවිතයට පැමිධෑමට පෙර සිට ම මිනිසාගේ කටයුතු පහසු කරනු වස් පැස්කල්ගේ ගණක යන්ත්‍රය, බැබේජ්ගේ පරිගණකය සහ ඇලන් ටියුරින්ගේ එනිග්මා බිඳ හෙළීම ආදි යාන්ත්‍රික බුද්ධියේ විවිධ භාවිත මානව ඉතිහාසයේ දැක ගත හැකි ය. කෘත්‍රිම බුද්ධියේ ශීඝ්‍ර දියුණුව, කෙදිනක හෝ මිනිස් වර්ගයා ලෝක ක්‍රියාකාරිත්වයෙන් ඈත් කර තබා වි ය යන බිය මිනිසා තුළ ජනිත වූ දා පටන් එකී අනාරක්‍ෂිත බව මඟහැරිය හැකි මාවතක් සෙවීමේ මෙහෙයුම ඇරඹි අතර ප්‍රතිඵලය වූයේ මානව බුද්ධියත් – කෘත්‍රිම බුද්ධියත් එක් කර තනි පද්ධතියක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වීමයි.
ඉතිහාසයේ විවිධ අවස්ථාවල දී BrainCo” MindMaze වැනි විවිධ සමාගම් එම කර්තව්‍යයට අත තැබුව ද වර්තමානයේ වඩාත් කතාබහට ලක් වන වැඩි සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘතිය වන්නේ ලොව ධනවත් ම මිනිසා මෙන් ම යුගයේ වඩාත් කැපී පෙනෙන නිර්මාණකරුවකු සහ බුද්ධිමතකු ද වන ඉලෝන් මස්ක් (Elon Musk) විසින් 2016 වසරේ දී ආරම්භ කරන ලද නියුරලින්ක් (Neuralink) සමාගමයි.
නියුරලින්ක්හි මූලික ම පරමාර්ථය වන්නේ මිනිස් මොළයෙන් නිකුත් වන විද්‍යුත් ක්‍ෂේත්‍ර ග්‍රහණය කර ඒවා සායනික සහ පරීක්‍ෂණාත්මක මට්ටමින් යොදවා ගැනීමයි. එනම් සරල ව ම ඉහත සඳහන් පරිදි මානව සහ කෘත්‍රිම බුද්ධීන් එක් කිරීමයි. එබැවින් නියුරලින්ක් ක්‍රියාකාරිත්වය විමසීමට පෙර මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ යම් අදහසක් පැවතිය යුතු ය.
නියුරලින්ක්හි මූලික ම පරමාර්ථය වන්නේ මිනිස් මොළයෙන් නිකුත් වන විද්‍යුත් ක්‍ෂේත්‍ර ග්‍රහණය කර ඒවා සායනික සහ පරීක්‍ෂණාත්මක මට්ටමින් යොදවා ගැනීමයි. එනම් සරල ව ම ඉහත සඳහන් පරිදි මානව සහ කෘත්‍රිම බුද්ධීන් එක් කිරීමයි. එබැවින් නියුරලින්ක් ක්‍රියාකාරිත්වය විමසීමට පෙර මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ යම් අදහසක් පැවතිය යුතු ය.
18 වැනි ශතවර්ෂයේ විද්‍යා ක්‍ෂේත්‍රයේ සිදු වූ වඩාත් ම කැපී පෙනෙන සොයා ගැනීම අත්වැරැදීමකින් ඉතාලි ජාතික විද්‍යාඥ ලුයිජි ගැල්වානි (Luigi Galvani) අතින් 1786 දී සිදු විය. ඒ සිය විද්‍යාගාරය තුළ දී ගෙම්බෙකුගේ සුෂුම්නාවේ විද්‍යුත් ආවේගයක් පවතින බව නිරීක්‍ෂණය කිරීමෙනි. සත්ත්වයන්ගේ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට ස්නායු තුළ හට ගන්නා විද්‍යුතය හේතු වන බව ගැල්වානි සොයා ගත්තේ ය. එතැනින් පසුවට සිදු වූ පරීක්‍ෂණ සහ අත්හදා බැලීම් මඟින් ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වඩා පුළුල් සහ ගැඹුරු චිත්‍රයක් දැන් අප ඉදිරියේ මැවී තිබේ.
ස්නායු පද්ධතියේ කේන්ද්‍රස්ථානය මෙන් ම ශරීර ක්‍රියා යාමනය කිරීමේ මෙහෙයුම් මැදිරිය ද වන මොළය ස්නායු සෛල හෙවත් නියුරෝන බිලියන සියයකින් පමණ සෑදී ඇති ඉතා සංකීර්ණ ව්‍යුහයකි. එම නියුරෝන ව්‍යුහාත්මක ව එකිනෙකින් වෙන් ව නමුත් කෘත්‍යමය වශයෙන් උපාගම (Synapses) ඔස්සේ එකිනෙක හා සම්බන්ධ වී පරිපථයක් මෙන් ක්‍රියා කරයි. අපගේ ශරීරයේ අංග චලනයන්, අප සිතන පතන දෑ මෙන් ම අප දකින සිහිනවලට අදාළ ව පවා නියුරෝන තුළ දී, ඒවා තුළ සිදු වන ආරෝපිත අයන සාන්ද්‍රණයන්ගේ අසමතුලිතතාවක් හේතුවෙන් 75 mV ක විද්‍යුත් ආවේගයක් ජනනය වේ. එම විද්‍යුත් ආවේගයන් එය ජනිත වූ නියුරෝනයේ සිට උපාගම ඔස්සේ යාබද නියුරෝන කරා ගමන් කරයි. මෙලෙස මේ විද්‍යුත් ධාරාව ස්නායු ඔස්සේ ව්‍යාප්ත වේ. අපගේ ශරීරයේ ක්‍රියාකාරීත්වයේ විවිධ කොටස් පාලනය කිරීමට අදාළ ව මොළයේ විවිධ කොටස් විශේෂණය වී පවතී. ඉහත පරිදි විද්‍යුත් ආවේග හට ගන්නේ එම අදාළ කොටස්වලිනි.
නිදසුනක් ලෙස අපගේ දකුණු අතින් යම් වස්තුවක් ග්‍රහණය කර ගැනීමට අපට අවශ්‍ය වූ බව සිතන්න. එහි දී වස්තුව ග්‍රහණය කර ගැනීම සිදු කරනුයේ අපගේ දකුණු අතේ ඇඟිලි මඟිනි. අදාළ වස්තුව ග්‍රහණය කිරීමේ දී ඇඟිලිවල මාංශ පේශි ඊට අනුරූප ව ක්‍රියා කළ යුතු ය. එනම් සංකෝචනය විය යුතු ය. මේ ක්‍රියාදාමය වීමට අදාළ දත්ත මුලින් ම මොළයේ නියුරෝන තුළ විද්‍යුත් ආවේගයක් ලෙසින් ජනනය විය යුතු ය. අපගේ අත් පාවල පේශි ක්‍රියාකාරිත්වය පාලනය කිරීම උදෙසා මොළයේ විශේෂණය වූ කොටස වන්නේ මොළයේ බාහිරින් පිහිටි මස්තිෂ්ක බාහිකයයි. මස්තිෂ්ක බාහිකයේ ඇති නියුරෝන තුළ විද්‍යුත් ආවේගයක් ජනනය වන අතර එය එක් නියුරෝනයක සිට අනෙක් නියුරෝනයට වශයෙන් උපාගම ඔස්සේ දකුණු අතේ ඇඟිලිවල පේශි කරා පැමිණ එම පේශි ක්‍රියා කරවමින් අදාළ වස්තුව ග්‍රහණය කර ගැනීමට දෑත මෙහෙයවයි.
නියුරෝන තුළ ගමන් ගන්නා මේ විද්‍යුත් ආවේග යම් විශේෂිත පණිවිඩයක් නැතිනම් තොරතුරක් රැගෙන යන දත්ත පැකට්ටු සේ ක්‍රියා කරයි. නියුරෝන තුළින් මෙවැනි විද්‍යුත් ආවේග ගමන් කිරීම රැහැනක් තුළින් ධාරාවක් සම්ප්‍රේෂණය වීම හා සමාන යැ යි සැලකිය හැකි ය. රැහැනක් තුළින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන විට රැහැන වටා විද්‍යුත් ක්‍ෂේත්‍රයක් ඇති වන්නා සේ නියුරෝන තුළින් ආවේග ගමන් කරන විට ද ඉතා ම කුඩා විද්‍යුත් ක්‍ෂේත්‍රයක් ස්නායු තන්තු වටා ඇති වේ. එවැනි ස්නායු තන්තුවක් අසල ඉලෙක්ට්‍රෝඩයක් ස්ථානගත කළ හොත් එසේ ඇති වන විද්‍යුත් ක්‍ෂේත්‍රය ග්‍රහණය කර ගැනීමටත්, ඒ අනුව මොළයේ ක්‍රියාකාරිත්වය නිරීක්‍ෂණය කිරීමටත් අපට හැකි විය යුතු ය.
නියුරලින්ක්හි මූලික ම සිද්ධාන්තය මෙයයි. නියුරෝන මඟින් ඇති වන මේ විද්‍යුත් ක්‍ෂේත්‍ර ග්‍රහණය කර එය බාහිර යන්ත්‍රයක් සමග මුහු කිරීම සඳහා වර්තමානයේ ලෝකයේ භාවිත වන තාක්‍ෂණික ක්‍රමය වන්නේ ‘මොළයේ යාන්ත්‍රික අතුරු මුහුණත’ ලෙස හැඳින්වෙන Brain-Mechine Interface (BMI) තාක්‍ෂණයයි. එය මොළයේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමට වර්තමානයේ දී රෝහල්වල භාවිත වන Eletroencephalography තාක්‍ෂණය අනුසාරයෙන් 1973 දී ලොවට හඳුන්වා දුන් තාක්‍ෂණයකි. BMI තාක්‍ෂණය විවිධ ස්නායු අකර්මණ්‍යතා මඟින් පීඩා විඳින රෝගීන්ට සාමාන්‍ය ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තු දැල්වුව ද තවමත් එහි ප්‍රායෝගික භාවිතය අතිශය සීමා සහිත ය. එහි දී ඉලෙක්ට්‍රෝඩ මඟින් නියුරෝනවල විද්‍යුත් ක්‍ෂේත්‍රය ග්‍රහණය කර ඒ දත්ත අනුසාරයෙන් බාහිර යාන්ත්‍රික ක්‍රියාකාරිත්වයක් ඇති කළ හැකි ය.
නිදසුන් ලෙස දෑත් දෙපා අප්‍රාණික රෝගියකුගේ මොළයෙන් නිකුත් වන දෑත් දෙපා චලනයට අදාළ ස්නායු ආවේග මඟින් රොබෝ ගාත්‍රා ක්‍රියා කරවීමට, කතා කිරීමට නො හැකි රෝගීන්ගේ මොළයේ කථනයට අදාළ කොටසින් නිකුත් වන ස්නායු ආවේග ආශ්‍රයෙන් බාහිර ශබ්ද විකාශන යන්ත්‍රයක් හරහා අදහස් ප්‍රකාශ කිරීමට, ස්නායු ආවේග මඟින් පරිගණකයක්, රූපවාහිනියක් වැනි වෙනත් යන්ත්‍රයක් සිතිවිලි මඟින් පමණක් පාලනය කිරීමට ආදී කටයුතු කිරීමට හැකියාව පවතී. එනමුත් දැනට පවතින තාක්‍ෂණය මඟින් ස්නායුක දත්ත ග්‍රහණය කර ගැනීමට ඇති ප්‍රායෝගික අපහසුතාව නිසා පූර්වෝක්ත අයුරින් එය ප්‍රායෝගික ව භාවිත කළ නො හැකි ය.
ඉලෝන් මස්ක් සහ නියුරලින්ක් කරළියට පැමිණෙන්නේ එතැන දී ය. සාමාන්‍යයෙන් නියුරෝන විද්‍යුත් සංඥා ලබා ගැනීමට, ඉලෙක්ට්‍රෝඩ හිස්කබල මත හෝ හිස්කබල විනිවිද ගොස් මස්තිෂ්ක බාහිකය මතුපිට රඳවනු හැකි ය. එනමුත් හිස්කබල මඟින් එම සංඥා පෙරීමකට ලක් කරන බැවින් බාහිරින් සවි කළ විට දී ඉලෙක්ට්‍රෝ ඩ මත සටහන් වන සංඥා ප්‍රමාණය ප්‍රමාණවත් නො වන්නා සේ ම ඒවා මොළයේ විවිධ ප්‍රදේශවලට අදාළ නියුරෝන මට්ටමින් විශේෂණය වී නො පවතී. එය මඟහැරවීමට මස්තිෂ්ක බාහිකය මත ඉලෙක්ට්‍රෝඩ රැඳවුව හොත් ඒවායේ ප්‍රමාණය සහ දෘඪභාවය මඟින් දීර්ඝ කාලීන ව මොළයේ පටකවලට හානි සිදු කිරීමේ ඉතා ඉහළ හැකියාවක් පවතී. එබැවින් එම ආකාර ද්විත්වයෙන් ම ලබා ගත හැකි දත්ත ප්‍රමාණය සීමිත ය. සාම්ප්‍රදායික ක්‍රමයේ ඇති මේ අඩුපාඩු මඟහැරිය හැකි, ප්‍රමාණයෙන් වඩාත් කුඩා නමුත් මින් පෙර ලෝකයා උත්සාහ කළ සැම අවස්ථාවකට ම වඩා වැඩි නියුරෝන දත්ත ප්‍රමාණයක් ග්‍රහණය කළ හැකි එමෙන් ම මොළයේ පටකවලට හානි කිරීමේ හැකියාව අවම මට්ටමක පවතින දෘඪ බවින් අඩු වඩාත් නම්‍යශීලී මයික්‍රො ඉලෙක්ට්‍රෝඩ නිර්මාණය කිරීම නියුරලින්ක් විසින් සිදු කරනු ලැබ ඇත.
නියුරලින්ක් මඟින් නිර්මාණය කර ඇති වඩාත් දියුණු BMI පද්ධතියේ ප්‍රධාන කොටස් ත්‍රිත්වයක් පවතී. අතිශයින් ම සියුම් රැහැන් පද්ධතිය (Threads)” ඉලෙක්ට්‍රෝඩ මොළයේ ස්ථානගත කිරීමේ අතිශයින් ම පරෙස්සම් සහගත සියුම් සැත්කම් සිදු කරන රොබෝ යන්ත්‍රය (Neurosurgical robot) සහ ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ඉලෙක්ට්‍රොනික උපාංග පද්ධතිය එකී කොටස් ත්‍රිත්වයයි.
නියුරලින්ක් මඟින් බහුඅවයවික භාවිත කර නිර්මාණය කර ඇති අතිශයින් ම සිහින්, නම්‍යශීලී රැහැන් පද්ධතිය කෙස් ගසකිනුත් තුනෙන් එකක පමණ විෂ්කම්භයක් එනම් මයික්‍රොමීටර 4-6 ඝනකමක් සහ ඇඟිලි පුරුකක් තරමේ එනම් මිලිමීටර 20ක පමණ දිගකින් යුතු ය. මිනිස් මොළයේ ජල්ලිමය ස්වාභාවය මඟින් ඇති කළ හැකි තෙරපුම නිසා රැහැන්වලට සිදු වන හානිය වළකා ගැනීමටත්, රැහැන් පද්ධතිය මඟින් මොළයේ සියුම් පටක සහ කුඩා රුධිර කේශ නාළිකාවලට සිදු විය හැකි හානිය වළක්වා ගැනීමටත් ඒවායේ නම්‍යශීලී බව ඉවහල් වේ. මයික්‍රෝ ඉලෙක්ට්‍රෝඩ මඟින් ග්‍රහණය කර ගන්නා සංඥා බාහිර සම්ප්‍රේෂකය වෙත රැගෙන යෑමේ කාර්යය කරනුයේ මේ තුනී
රැහැන් මඟිනි. මේ එක් රැහැනක් ඉලෙක්ට්‍රෝඩ 32ක් සමග සම්බන්ධ වන අතර එක් පෙළක (Array) එවැනි රැහැන් 96ක් පවතී. එනම් එක් පෙළක පවතින සම්පූර්ණ ඉලෙක්ට්‍රෝඩ ගණන 3,072කි. ඒ අනුව එක් පෙළකින් ඉතා ඉහළ දත්ත ප්‍රමාණයක් ග්‍රහණය කර ගැනීමට හැකි වනු ඇත.
එහෙත් රැහැන් පද්ධතියේ අතිශය සියුම් ස්වාභාවය නිසා ඇති වන වාසිවලට අමතර ව පැනනඟින අවාසියක් ද තිබිණි. එනම් මොළයේ ස්ථානගත කිරීම අතරතුර අතිශය සියුම් අන්දමින් එම තුනී රැහැන් හැසිරවීමට අපොහොසත් වුව හොත් සැත්කම අතරතුර දී ම ඒවා බිඳී යෑමේ අවදානමයි. කොටින් ම ශල්‍ය වෛද්‍යවරයකුගේ දෑතින් මේ
රැහැන් පද්ධති මොළයේ සවි කිරීම කළ නො හැකි තරම් ය. මන්ද යත් මිනිස් දෑත් ඒවා හැසිරවීමට තරම් සියුම් නො වන බැවින් රැහැන් බිඳී යා හැකි නිසාවෙනි. එසේ ම රැහැන් සහ ඉලෙක්ට්‍රෝඩ පද්ධතිය මොළයේ පටකවලට හානි නො වන පරිදි නිවැරැදි ව ස්ථාපිත කිරීම බොහෝ කාලයක් වැය වන ඉතා සංකීර්ණ සැත්කමකි. එබැවින් මේ ගැටලුවලට විසඳුම් ලෙසින් රැහැන් සහ ඉලෙක්ට්‍රෝඩ මොළයේ සවි කිරීම සඳහා ම විශේෂිත රොබෝ යන්ත්‍රයක් නියුරලින්ක් ආයතනය මඟින් නිර්මාණය කර තිබීම අතිශය දියුණු අවතීර්ණ වීමකි. හිස්කබල, මොළයේ පිටත ආරක්‍ෂක ආවරණ වන මෙනින්ජීය පටල මෙන් ම ඉලෙක්ට්‍රෝඩ ස්ථානගත කිරීමට අවශ්‍ය ම ස්ථානය දක්වා වූ මොළයේ පටක ද සිදුරු කළ හැකි මයික්‍රොමීටර් 40ක් තරම් සිහින් විදිනයක් සහ රැහැන් – ඉලෙක්ට්‍රෝඩ පද්ධතිය සවි කිරීම සිදු කරන මයික්‍රොමීටර 50ක පමණ ප්‍රමාණයේ තුඩක් ද එකී රොබෝ යන්ත්‍රයේ පවතී.
නියුරෝන තුළ හට ගන්නේ මිලිවෝල්ට් ප්‍රමාණයේ අතිශයින් ම සුළු විද්‍යුතයක් බැවින් සවි කළ ඉලෙක්ට්‍රෝඩ මඟින් ග්‍රහණය කර ගන්නා සංඥා ප්‍රබලතාව අතින් අතිශයින් ම කුඩා ය. එබැවින් එම දුර්වල සංඥා වර්ධකයක් (Amplifier) වෙත යොමු කර ඒවායේ ප්‍රබලතාව ඔප්නංවා පරිගණකයක් නැත හොත් වෙනත් අදාළ යාන්ත්‍රික හෝ ඩිජිටල් උපකරණයක් වෙත යොමු කරයි. මේ වන විට පවතින තාක්‍ෂණය අනුව මේ දත්ත ගලනය බාහිර උපකරණ වෙත සම්ප්‍රේෂණය කිරීම සාමාන්‍ය දත්ත සම්ප්‍රේෂක රැහැන් මඟින් සිදු කළ ද අනාගතයේ දී zN1 සංවේදක’ (N1 sensors) ලෙසින් නියුරලින්ක් සමාගම විසින් හඳුන්වනු ලබන අපගේ හිස්කබලේ අස්ථිය තුළ ස්ථානගත කළ හැකි විශේෂිත උපාංගයක් මඟින් රැහැන් රහිත ව බාහිරින් පවතින උපාංගයක් වෙත සම්ප්‍රේෂණය කිරීමට තමන් අදහස් කරන බව පර්යේෂකයෝ පවසති. එසේ ම මොළයේ පටකවලට සිදු විය හැකි හානිය තවදුරටත් අවම කිරීමේ අරමුණින් මේ වන විට භාවිත වන සිදුරු විදීමේ ක්‍රමය වෙනුවට ඉදිරියේ දී ලේසර් තාක්‍ෂණය යොදා ගැනීමට ඔවුහු සැලසුම් කරමින් සිටිති.
Neural Lace
නියුරලින්ක් ව්‍යාපෘතිය මඟින් මේ වැඩි දියුණු කළ BMI තාක්‍ෂණික පෙරළියට අමතර ව, බොහෝ විට ඊටත් වඩා වැඩි බලපෑමක් ලෝකයා කෙරෙහි ඇති කළ හැකි හඳුන්වා දීමක් සිදු කිරීමට කටයුතු කරමින් සිටී. එනම් Matrix සහ Elysium වැනි විද්‍යා ප්‍රබන්ධ සිනමා පටවල දී අප දැක ඇති පරිදි නව දැනුම සහ දක්‍ෂතාවන් අපගේ මොළය තුළ ක්‍ෂණික ව පිටපත් කළ හැකි තාක්‍ෂණයයි. Neural lace යනු ස්කොට්ලන්ත ජාතික ප්‍රබන්ධ රචක ‘ඉයන් බෑන්ක්’ විසින් ලොවට හඳුන්වා දෙන ලද සංකල්පයකි. Neural laceහි ක්‍රියාකාරිත්වය ද BMI පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සමාන වන අතර ඒ මඟින් ඩිජිටල් අවකාශයේ පවතින දැනුම විශාල ප්‍රමාණයක් සුළු නිමේෂයකින් අපගේ මොළයේ ගබඩා කර ගත හැකි වන බැවින් එකී විශාල දැනුම් සම්භාරයක් ඉගෙනීමට ගත වන වසර ගණනක කාලය ඉතිරි කර ගැනීමට හැකියාව මිනිසාට ලැබෙනු ඇත. එය එසේ වුව හොත් අවිවාදයෙන් ම Neural Lace යනු මානව වර්ගයාගේ යෝධ ඉදිරි පිම්මක් වන අතර බොහෝ විට කාර්මික විප්ලවයට පසුව සිදු වන දැවැන්ත ම මානව විප්ලවය වීමට ද ඉඩ ඇත.
නියුරලින්ක් ශීඝ්‍රයෙන් අපව අනාගතය වෙත කැඳවා ගෙන යන මුත් ඉලෝන් මස්ක්ට අනුව ඔවුන් තවමත් පසු වන්නේ අපේක්‍ෂිත ප්‍රගතියට වඩා පිටුපසිනි. සත්ත්වයන් ආශ්‍රයෙන් සිදු කළ පරීක්‍ෂණ සාර්ථක මට්ටමක පැවතිය ද පරීක්‍ෂණ කටයුතු වේගවත් කිරීමේ ප්‍රතිඵල ලෙසින් අනවශ්‍ය ප්‍රමාණයක සත්ත්ව ජීවිත ප්‍රමාණයක් අහිමි වූ බව පැවසේ. ආරම්භක මුල් වසර ද්විත්වය තුළ දී පමණක් සත්ත්වයන් 1,500ක් පමණ මිය ගොස් ඇත. සත්ත්ව සංවිධාන විසින් නියුරලින්ක් ව්‍යාපෘතියට සහ ඉලෝන් මස්ක්ට එරෙහි නීතිමය ක්‍රියා මාර්ග ගෙන ඇත.
කෙසේ නමුත් වඳුරකුගේ මොළයේ චිපයක් සවි කර සාර්ථක සත්ව නියැදියක් නිර්මාණය කිරීමට පරීක්‍ෂකයෝ සමත් වූ හ. එම චිපයෙන් ලබා ගත් දත්ත මඟින් වඳුරා සරල පරිගණක ක්‍රීඩාවක් සිදු කරන අයුරු නියුරලින්ක් විසින් ප්‍රදර්ශනය කෙරිණි. වඳුරාගේ හිසෙහි එවැනි උපකරණයක් සවි කර ඇති බවක් බාහිරින් නො පෙනෙන තරමට ම සත්ත්වයා සාමාන්‍ය ය. සාර්ථක සත්ත්ව අත්හදා බැලීමකින් පසුව මිනිසා වෙත මේ තාක්‍ෂණය රැගෙන යෑමට බලධාරින්ගේ නීතිමය අවසරය ලැබෙන තෙක් නියුරලින්ක් බලා සිටී. ඔවුන් අපේක්‍ෂා කරන පරිදි ඉදිරි සය මස ඇතුළත එම අනුමැතිය ලැබෙනු ඇත. එසේ වුව හොත් ලබන වසරේ දී මානව වර්ගයාගේ නව යුගයක් උදා වීමට නියමිත ය.
මෙම තාක්ෂණය අපට හුදෙක් ම ඇඟිල්ලක් හෝ නො සොල්වා සිතිවිලි මඟින් පමණක් ම ක්‍රියා කරන ඩිජිටල් ලෝකයට දොරටු විවර කරනු ඇත. හදිසි අනතුරු නිසා, වෙනත් ස්නායු අකර්මණ්‍යතා නිසා දෑත් දෙපා අප්‍රාණික ව එක් තැන් වී සිටින මිනිසුන් හට දෑත් දෙපා ක්‍රියාකාරී මිනිසුන්ට වඩා වැඩි වේගයකින් පරිගණක ඇතුළු වෙනත් ඩිජිටල් උපකරණ භාවිත කිරීමට මෙය ඉඩ සලසනු ඇත. හඬ අහිමි මිනිසුන්ට යාන්ත්‍රික හඬක් හිමි වනු ඇත. කොටින් ම මිනිසාගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමක් දක්වා දියුණු වනු ඇත. වෙනත් ප්‍රදේශයක පැවැත්වෙන සජීවී ප්‍රසංගයක් හෝ ක්‍රීඩා තරගයක් එහි නො සිට වුව තමන් සජීවී ව එම ස්ථානයේ සිටිනා අයුරෙන් ම වෙනත් මාධ්‍යයක උපකාරයකින් තොර ව වුව රස විඳීමට ලැබීමට ඉඩ ඇත. එසේ ම කිසිදු රූප විකාශන මාධ්‍යයක් නොමැති ව දෑස් පියාගෙන ම සිනමා පටයක් රස විඳීමට ද හැකි වීමේ ඉඩ ඇත. බොහෝ විට වඩ වඩාත් දියුණු කළ හොත් භෞතික සංවේදන පවා පාලනය කළ හැකි අයුරෙන් මානව ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමට හැකියාව මිනිසාට ලැබෙනු ඇත. ඒ මේ සියලු සංවේදන අපගේ මොළයේ ඇති – නැති වන විද්‍යුත් ධාරාවන් නිසා හට ගන්නා සංසිද්ධි නිසාවෙනි. න්‍යායාත්මක ව සිතුව හොත් එවැනි තාක්‍ෂණයකින් මොළයේ රසායනික අසමතුලිතතා නිසා හට ගන්නා විෂාදය වැනි අසාමාන්‍ය මනෝභාවයන් යළිත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට හැකියාවක් ද ඇත. එහෙත් ප්‍රායෝගික ව එය කෙතරම් දුරකට සාර්ථක වේ ද යන්න පූර්ව නිගමනයකට එළැඹිය නො හැකි ගැටලුවකි. කීර්තිමත් MIT තාක්‍ෂණායතනයේ විශ්ලේෂකයන්ට අනුව නම් එය ඉටු නො කළ හැකි පොරොන්දුවක් වැනි ය. එවැන්නක් සාර්ථක වුව ද එය මේ තාක්‍ෂණය උපරිම භාවිතයක් වන බැවින් දැනට පවත්නා ප්‍රාථමික අවධිය එතැනට ළඟා වීම සඳහා තව බොහෝ වර්ධනය විය යුතු ය. කෙසේ හෝ මේ දක්වා ම නියුරලින්ක්හි මූලික ම පරමාර්ථය සායනික මට්ටමින් ස්නායු රෝගීන් සඳහා භාවිත කිරීම පමණකි. ඒ කෙසේ වෙතත් ව්‍යාපාරයක් ලෙසින් නියුරලින්ක් අතිශයින් ම සාර්ථක ය. ලබන වසරේ සිදු වෙතැ යි අපේක්‍ෂා කළ හැකි මිනිස් අත්හදා බැලීම සාර්ථක වුව ද නියුරලින්ක්හි විස්මය අත් විඳීමට නම් මේ සඳහා අවශ්‍ය පිරිවැය අධික වන හෙයින් එය මිනිසුන් අතර බෙදී යෑමේ විෂමතාව අවම වීමට බොහෝ කාලයක් බලා සිටීමට සිදු වනු ඇත.
කෙසේ වෙතත් නියුරලින්ක් සාර්ථකත්වය තුළින් අනාගතයේ යම් දිනක මානව බුද්ධිය සහ කෘත්‍රිම බුද්ධිය එකිනෙක අතිච්ඡේදනය වී මානව වර්ගයාගේ නව යුගයක් උදා වනු ඇති බැවින් නියුරලින්ක් ව්‍යාපෘතිය මේ ශත වර්ෂයේ මිනිසා විසින් සිදු කරන ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමක් යැ යි හැඳින්වීම වරදක් නැත.
රවිඳු සංකල්ප ගුණතිලක
වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලය