Home Features ස්පිල්බර්ග්ගේ විද්‍යා ප්‍රබන්ධ සිනමාව

ස්පිල්බර්ග්ගේ විද්‍යා ප්‍රබන්ධ සිනමාව

by Sathya

පසුගිය නොවැම්බර් මස 11 වැනි දින ඔහු තම 34 වැනි සිනමා නිර්මාණය The Fabelmans නමින් එළිදැක්වූයේ අර්ධ ස්වයං චරිතාපදාන කෘතියක් ලෙසිනි. ඉන් මසකුත් සතියකට පසු දෙසැම්බර් 18 වැනි දින ඔහු තම දිවියේ 76 වැනි වියට පා තැබී ය. එහෙත් ස්කොට් ජාතික නවකතාකරු ජේ. එම්. බැරී නිර්මාණය කළ පීටර් පෑන් නම් කල්පිත ළමා චරිතය මෙන් ම ඔහු ද තම දිවියේ දිගු කාලයක් ම මනසින් ගෙවා ඇත්තේ නිම නො වූ ළමා වියක ය.

ඔහුට තම ළමා වියෙන් ගැලවිය නො හැකි බවට ඔහුගේ නවතම සිනමා කෘතිය ද සාක්‍ෂි දරයි.

නමින් ස්ටීවන් ඇලන් ස්පිල්බර්ග් වන ඔහු සැබැවින් ම හොලිවුඩයේ විස්මයජනක කොලුවා වෙයි. (Wonder Boy of Hollywood). ලොව වාණිජමය වශයෙන් මෙතෙක් වඩාත් ම සාර්ථක වූ සිනමා අධ්‍යක්‍ෂවරයා ඔහු ය. එසේ වන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් තම සිනමා කෘතිවලින් උපයා ඇති ආදායම වන ඩොලර් බිලියන 10.64 ඉලක්කය වෙත මෙතෙක් ලොව වෙනත් සිනමාකරුවන් කිසිවෙකු ළඟා වී නොමැති හෙයිනි. තවත් සාර්ථක සිනමාකරුවකු වන ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ Avatar-2 විද්‍යා ප්‍රබන්ධ සිනමා කෘතිය මෙරට රිදී තීරය වර්ණවත් කරමින් ප්‍රදර්ශනය කෙරෙන සමයක විදුසරෙහි මේ සටහන ස්පිල්බර්ග්ගේ විiා ප්‍රබන්ධ සිනමාව දෙස ආපසු හැරී බැලීමකි. 1946 වසරේ දෙසැම්බර් මස 18 වැනි දින එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්තයේ සින්සිනාටි නගරයේ උපත ලද ස්ටීවන් ස්පිල්බර්ග් ගේ පියා වූයේ 2020 වසරේ තම 103 වැනි වියේ දී අභාවයට පත් අමෙරිකානු විදුලි ඉංජිනේරුවකු වූ ආර්නෝල්ඩ් ස්පිල්බර්ග් ය. මොහු 1959 වසරේ දී General Electric සමාගම වෙනුවෙන් GE225 නම් මේන් ෆ්‍රේම් පරිගණකය නිර්මාණය සඳහා දායක වූ ඉංජිනේරුවෙක් විය.

මේ ලිපිය ආරම්භයේ සටහන් කළ සිනමා  නිර්මාණ 34ට ඇතුළත් නො වන කුඩා පරිමාණයේ සිනමා පට කිහිපයක් ම තම 12 වැනි වියේ සිට ම නිර්මාණය කළ ස්ටීවන් ස්පිල්බර්ග් ඒ අතරට ඔහුගේ මුල් ම විද්‍යා ප්‍රබන්ධ සිනමා කෘතිය ද එකතු කිරීමට සමත් විය. හඳුනා නො ගත් පියාඹන වස්තු (UFO) සමග බැඳුණු අතුරුදහන් වීම් කිහිපයක් තේමාව කරගත් Firelight නම් එම සිනමා කෘතිය 1964 වසරේ එළි දක්වන විට ස්පිල්බර්ග්ගේ වයස අවුරුදු 17කි. මිනිත්තු 135ක ධාවන කාලයක් තිබූ මේ චිත්‍රපටය තම මවුපියන් ගෙන් ලද ඩොලර් 500ක මුදලින් නිර්මාණය කළ අතර එවකට ඔහු පදිංචිව සිටි ඇරිසෝනා ප්‍රාන්තයේ ප්‍රාදේශීය සිනමාහලක එක් දර්ශනයක් පමණක් පෙන්වූ ඉන් ලද ආදායම ඩොලර් 501ක් වූ බව ස්පිල්බර්ග් පවසයි.

“අපි ටිකට් එකක් වික්කේ ඩොලරයකටයි. එදා රෑ චිත්‍රපටය බලන්න 500ක් ඇවිත් සිටියා. කවුරු හරි එක් කෙනෙක් ඩොලර් දෙකක් ගෙවන්න ඇති කියල මට හිතෙනවා. ඒ නිසා අපිට එක ඩොලරයක ලාභයක් ලැබුණා”. ඔහු ඒ ගැන මතකය අවදි කළේ එලෙස ය.

Jaws

ගැටවර අවධියේ පටන් ම විවිධ පරිමාණයේ සිනමා පට නිර්මාණය කිරීම ඇරඹුව ද ස්පිල්බර්ග් ප්‍රථම වරට ලොව පුරා අවධානයට ලක් වන සිනමා අධ්‍යක්‍ෂවරයෙකු බවට පත් වන්නේ 1975 වසරේ තම 28 වැනි වියේ දී එළි දැක්වූ Jaws චිත්‍රපටයෙනි. මිනී කන මෝරෙකු පිළිබඳව අමෙරිකානු ලේඛක පීටර් බෙන්ච්ලි විසින් රචිත Jaws නවකතාව පාදක කරගත් මේ සිනමා කෘතිය එවකට වැඩි ම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් විය. ඇකඩමි සම්මාන තුනක් දිනාගත් මේ චිත්‍රපටය එම සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටය ලෙස ද නිර්දේශ වූ නමුත් හොඳ ම අධ්‍යක්‍ෂණය සඳහා නිර්දේශ නො වීම ස්පිල්බර්ග්ගේ අප්‍රසාදයට හේතු විය.

ස්පිල්බර්ග් නාමය විද්‍යා ප්‍රබන්ධ සිනමා අම්බරයේ දිලෙන තරුව ලෙස මුලින් ම ප්‍රභාවත් වන්නේ ඔහු විසින් ම තිර රචනය ලියා අධ්‍යක්‍ෂණය කළ Close Encounters of the Third Kind චිත්‍රපටයෙනි. අදින් 45 වසරකට ඉහත 1977 වසරේ දී එළි දැක්වුණු මේ සිනමා කෘතිය සඳහා පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සමග පෘථිවිවාසීන්ගේ සමීප හමුවක් තේමා කර ගැනිණි. හඳුනා නො ගත් පියාඹන වස්තු (UFO) හා සම්බන්ධ පර්යේෂණ රැසක් සිදු කර Close Encounters (සමීප හමුවීම්) යන අපූරු වර්ගීකරණය ලොවට දායාද කළ අමෙරිකානු තාරකා විද්‍යාඥ ජෝසෆ් ඇලන් හයිනෙක් විසින් එවැනි පිටසක්වළයන්ගේ මුණ ගැසීම් සඳහා ලබා දුන් ‘තෙවෙනි වර්ගයේ සමීප හමුවීම්’ යන නාමය ම තම සිනමා පටයේ නම ලෙස ස්පිල්බර්ග් යොදා ගත්තේ ය. එපමණක් නො ව පසුගිය සියවසේ හැලීගේ ධූමකේතුවේ ප්‍රථම ආගමනය සිදු වූ 1910 වසරේ ඉපිද, එහි දෙවෙනි ආගමනය සිදු වූ 1986 වසරේ දී දිවියෙන් සමුගත් එම තාරකා විද්‍යාඥයා තම සිනමා කෘතියේ තාක්ෂණික උපදේශකවරයා ලෙස ද ස්පිල්බර්ග් විසින් තෝරා ගන්නා ලදි. ලොව බොහෝ සිනමා විචාරකයන් සඳහන් කරන අන්දමට චිත්‍රපටයේ කූටප්‍රාප්ති අවස්ථාවේ ඇතුළත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් මුණගැසෙන උත්කර්ෂවත් මොහොත මෙතෙක් වෙනත් සිනමා කෘතියක නොමැති තරමේ නිරූපණයක් විය. එක්සත් ජනපදයේ වයොමින් ප්‍රාන්තයේ පිහිටි යක්‍ෂයාගේ කුලුන (Devil’s Tower) නම් දැවැන්ත යමහල් විදාරන ටැඹ මත සිදු වන අයුරින් රූගත කළ එම අවස්ථාවට ඇලන් හයිනෙක් පෙනී සිටින තත්පර කීපයක කැමියෝ දර්ශනයක් ද ඇතුළත් විය. අවසානයේ පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සමග ඔවුන් පැමිණි මවු යානයේ නැඟී පෘථිවියෙන් බැහැරට යනු පිණිස ඉදිරිපත් වන රෝයි නියරි නම් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන ලද්දේ Jaws සිනමා පටයේ සමුද්‍ර ජීව විද්‍යාඥයා ලෙස චරිතය රඟපෑ අමෙරිකානු නළු රිචඩ් ඩ්‍රේෆස් විසිනි.

Close Encounters of the Third Kind

එමෙන් ම පිටසක්වළ ජීවීන්ගේ හමුව වෙනුවෙන් සිනමා කෘතිය තුළ ප්‍රධාන කාර්යභාරයක් උසුලන ලා කොම්බෙ නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයාගේ භූමිකාව නිරූපණයට ස්පිල්බර්ග් විසින් තම ප්‍රියතම සිනමා අධ්‍යක්‍ෂවරයකු මෙන් ම ප්‍රංශ නව රැල්ලේ ප්‍රමුඛයකු වූ ප්‍රංශුවා ටෲෆෝ යොදාගන්නා ලදී. තම සිනමා කෘතියට පාදක වූ කතා පුවත එම නමින් ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ලෙස පළ කිරීමට ද ස්පිල්බර්ග් පසුබට නො වී ය.

Close Encounters of the Third Kind චිත්‍රපටයේ රංගනයෙන් දායක වන හයිනෙක්

50 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳ ම අධ්‍යක්‍ෂ ලෙස ප්‍රථම වරට ස්පිල්බර්ග් නාමය නිර්දේශ වන්නේ ද මේ සිනමා පටය වෙනුවෙනි. ගැටවර අවධියේ ඔහු නිර්මාණය කළ Firelight සිනමා කෘතියේ සිට ම පිටසක්වළ බුද්ධිමත් ජීවීන් ඇතැ යි විශ්වාස කරන ස්පිල්බර්ග් Close Encounters of the Third Kind  චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරවල පවා ‘අපේ අහස දෙස බලන්න, අප තනි වී නොමැත.’ : (Watch out our skies, we are not alone) යන පාඨය යොදා ගත්තේ ය. එපමණක් නො ව පෘථිවියෙන් බැහැර බුද්ධිය සෙවීම (SETI) පිණිස එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය පෝල් හොරොවිට්ස් දියත් කළ META ව්‍යාපෘතිය වෙනුවෙන් ස්පිල්බර්ග් තම මූල්‍ය දායකත්වය දැරී ය.

පිටසක්වළ බුද්ධිමත් ජීවය පිළිබඳ ස්පිල්බර්ග්ගේ නො සිඳුණු උනන්දුවෙහි ඊළඟ නිමැවුම් ඵලය වූයේ 1982 වසරේ දී ඔහු විසින් අධ්‍යක්‍ෂණය කර නිෂ්පාදනයට ද හවුල් වූ E.T. The Extra-Terrestrial නම් විද්‍යා ප්‍රබන්ධ සිනමා කෘතිය ය. අමෙරිකානු සිනමා හා රූපවාහිනි තිර නාටක රචිකාවක ව සිටි මෙලිසා මැතිසන් ගේ පිටපතකට අනුව E.T. චිත්‍රපටයේ ආකර්ෂණීය භූමිකාව වූයේ ආලෝක වර්ෂ තිස් ලක්‍ෂයක් ඈත ලොවක සිට පැමිණ පෘථිවියේ හුදෙකලා වුණු පාරභෞමික උද්භිද විද්‍යාඥයෙකි.

E.T.

තමා පැමිණි පිටසක්වළ යානය හදිසියේ ම පොළොවෙන් පිටත් ව යෑමෙන් තනි ව, ආගන්තුක ලොවට බියපත් ව සිටින ඊ. ටී. මුලින් ම එලියට් නම් දසවැනි වියේ පිරිමි දරුවෙකු සමග අතිශය හෘදයංගම මිත්‍ර සම්බන්ධතාවක් ඇති කර ගනියි. අවසානයේ තම මාතෘ ලොව වෙත යෑමට එලියට් සහ පවුලේ අය මෙන් ම ඔහුගේ මිතුරන්ගේ ද සහාය ලබා ගන්නා අන්දම සිනමා කෘතියේ කතා පුවතට ඇතුළත් වේ.

තම අසාමාන්‍ය ලෙස දිගු ඇඟිලිවල දිදුලන තුඩෙහි ඇති පාරභෞමික ශක්තියෙන් පරවුණු මල්වලට යළි ජීවය ලබා දෙන ඊ. ටී. එලියට් ගේ කුඩා කැපුම් තුවාල වහා සුව කරයි.

තම Close Encounters of the Third kind සිනමා කෘතියේ දැක්වෙන පිටසක්වළ ජීවීන්ගේ රුව සැලසුම් කළ ඉතාලි ජාතික විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග නිර්මාණකරුවෙකු වූ කාර්ලෝ රෑම්බෝල්ඩි ගේ සහාය ඊ. ටී. ගේ රුව නිමැවීම සඳහා ද ස්පිල්බර්ග් විසින් ලබා ගන්නා ලදි.

දිගු කළ හැකි සුවිශේෂි ගෙලක් තිබූ ඊ. ටී. වෙනුවෙන් ඒ ඒ අවස්ථාවලට ගැළපෙන රූගත කිරීම් සඳහා හිස් හතරක් නිර්මාණය කෙරුණි. ඉන් ප්‍රධාන හිස මෙකාට්‍රොනික් තාක්ෂණයෙන් චලනය කළ හැකි අයුරින් නිර්මාණය කෙරුණු අතර අනෙක්වා ඒ ඒ අවස්ථාවල දී මුහුණේ හැඟීම් නිරූපණය පිණිස යොදා ගන්නා ලදි. ඉතා අඟුටු සිරුරු තිබූ අමෙරිකානු වේදිකා නළු නිළි දෙදෙනකු මෙන් ම උපතින් ම පාද රහිත වීම නිසා සිය දැතින් ඇවිද ගිය දොළොස් වියැති පිරිමි දරුවෙකු ඒ ඒ දර්ශනවල දී ඊ. ටී. වෙනුවෙන් නිර්මාණය කළ ඇඳුමෙන් ආවරණය කර ඔවුන් මත ඊ. ටී. ගේ හිස සවි කෙරුණි. ඊ. ටී. ගේ ඇඳුමෙහි පපු පෙදෙසේ තිබූ සිදුරු තුළින් එතුළ සිටින ශිල්පියාට පිටත දැක ගත හැකි විණි. ඊ. ටී. ගේ රූකඩය නිර්මාණයට පමණක් වැය කළ මුදල ඩොලර් මිලියන 1.5ක් විය.

E. T. සිනමා කෘතිය ලද ආදායම එයට පෙර තිරගත ව ඉහළ ම ආදායම් වාර්තාව තබා තිබූ Star Wars චිත්‍රපටය ද අබිබවා ගිය අතර E. T. තැබූ වාර්තාව බිිඳ හෙළන ලද්දේ වසර 11කට පසු ස්පිල්බර්ග් විසින් ම නිර්මාණය කරන ලද Jurassic Park සිනමා පටය මඟිනි. 55 වැනි ඇකඩමි සම්මාන උළෙලේ දී E. T. සිනමා කෘතිය නිර්දේශ වූ සම්මාන නවයෙන් හොඳ ම දෘෂ්‍ය ප්‍රයෝග සඳහා වන සම්මානය ද ඇතුළු සම්මාන හතරක් දිනා ගැනීමට එයට හැකි විය.

මේ වන විට ඩොලර් බිලියනය ඉක්මවූ ආදායමක් ලබා ඇති සිනමා කෘති සියල්ලෙන් ම වඩාත් ම පැරණි නිර්මාණය වන Jurassic Park සිනමා පටය සඳහා ස්පිල්බර්ග් පාදක කර ගත්තේ කීර්තිමත් අමෙරිකානු ලේඛකයකු ව සිටි මයිකල් ක්‍රයිටන් විසින් 1990 වසරේ දී එම නමින් රචිත විද්‍යා ප්‍රබන්ධ නවකතාව ය.

Brachiosaurus, Tyrannosaurus, Velociraptor ඇතුළු ඩයිනොසෝරයන් රැසක් සහ ඔවුන් සමග නෂ්ට වී ගිය ආදි කල්පිත පරිසරය ජුරාසික යුගයේ පැවැති උiානයක් ලෙසින් 1993 වසරේ දී රිදී තිරය මත ප්‍රතිබිම්බනය කිරීමට මේ සිනමා කෘතිය තුළින් ස්පිල්බර්ග් සමත් විය. ජාන ඉංජිනේරු විiාව, ජෛව තාක්ෂණය සහ ක්ලෝනකරණයේ සත්‍ය මෙන් ම පරිකල්පනික හාස්කම් ලෙසින් ජනිත කළ දැවැන්ත උරගයන් ගෙන් සමන්විත ජුරාසික උයනෙහි හිමිකරු වන ජෝන් හැමන්ඩ් භූමිකාව නිරූපණය සඳහා මෙවර ස්පිල්බර්ග් තෝරා ගත්තේ ද කීර්තිමත් සිනමා අධ්‍යක්‍ෂවරයෙකි. ඒ අන් කවරෙකු වත් නො ව 55 වැනි ඇකඩමි සම්මාන උළලේ දී තම E.T. The Extra Terrestrial සිනමා කෘතිය පරදවමින් හොඳ ම චිත්‍රපටය මෙන් ම හොඳ ම අධ්‍යක්‍ෂණය සඳහා ද ඇකඩමි සම්මානය දිනාගත් Gandhi සිනමා කෘතිය අධ්‍යක්‍ෂණය කළ ඉංග්‍රීසි ජාතික සිනමාකරුවකු වූ රිචඩ් ඇටෙන්බරෝ ය.

Jurassic Park

සිනමා පටයේ ඇතුළත් වූ ඩයිනොසෝරයන් ප්‍රති නිර්මාණය කිරීම පිණිස ජෝර්ජ් ලුකාස්ගේ Industrial Light and Magic නම් සමාගම විසින් නිර්මිත පරිගණක ජනිත ප්‍රතිබිම්බ මෙන් ම ජීවමාන ප්‍රමාණයේ ඩයිනොසෝරයන්ගේ මෙකාට්‍රොනික් රූකඩයන් ද යොදාගැනිණි.

66 වැනි ඇකඩමි සම්මාන උළලේ දී නිර්දේශිත සම්මාන තුන ම දිනාගත් Jurassic Park සිනමා කෘතියේ සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ ස්පිල්බර්ග්ගේ එයට පෙර හා පසු සිනමා පට රැසක ම සංගීත සංයෝජනයෙන් දායක වූ 90 වැනි වියේ දැන් පසු වන ජෝන් විලියම්ස් විසිනි.

ස්පිල්බර්ග් සිනමා දිවිය තුළ විද්‍යා ප්‍රබන්ධකරණයට අයත් නිර්මාණ කිසිවක් වෙනුවෙන් හොඳ ම අධ්‍යක්‍ෂණය හෝ හොඳ ම චිත්‍රපටය ලෙස ඇකඩමි සම්මානයක් දිනාගත නො හැකි වීම සුවිශේෂි කරුණක් වෙයි. එහෙත් Jurassic Park චිත්‍රපටය ඇකඩමි සම්මාන තුනක් දිනාගත් 66 වැනි ඇකඩමි සම්මාන උළලේ දී ම ප්‍රථම වරට හොඳ ම චිත්‍රපටය මෙන් ම හොඳ ම අධ්‍යක්‍ෂණය සඳහා ද ස්පිල්බර්ග් ඇකඩමි සම්මානලාභියකු වන්නේ 1993 වසරේ දී ම වෙනත් ෂානරයකින් ඔහු එළි දැක්වූ Schindler’s List සිනමා පටය වෙනුවෙනි.

ස්වකීය යුදෙව් සම්භවය නිසා ම ළමා වියේ දී කොන් කිරීම් හා සමච්චලයට ලක් වුණු අත්දැකීම් රැසක් ඇති ස්පිල්බර්ග් අවසානයේ දී ඉහත ඇකඩමි සම්මාන දෙක ම ප්‍රථම වරට දිනාගන්නේ දෙවෙනි ලෝක යුද සමයේ නාසි ඝාතන කඳවුරකින් යුදෙව් රැඳවියන් දහසකට වැඩි ගණනක් මුදා ගැනීමේ සත්‍ය සිදුවීමක් පාදක කොට තැනූ තම නිර්මාණය වෙනුවෙනි. 1998 වසරේ දී ඔහු නිර්මාණය කළ Saving Private Ryan නම් යුද සිනමා කෘතිය වෙනුවෙන් දෙවෙනි වරට ද හොඳ ම සිනමා අධ්‍යක්‍ෂ ලෙස ඇකඩමි සම්මානය ලැබීමට ඔහුට හැකි විය.

The Lost World : Jurassic Park නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය 1997 වසරේ දී ස්පිල්බර්ග් විසින් රිදී තිරයට එක් කෙරෙන්නේ තම Jurassic Park චිත්‍රපටයට අනුබන්ධයක් ලෙසිනි. මේ දෙවෙනි කෘතියට පාදක වූයේ 1995 වසරේ දී ම මයිකල් ක්‍රයිටන් විසින් ලියන ලද  The Lost World නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව ය.

A.I.

විසි වැනි සියවසේ විද්‍යා ප්‍රබන්ධයේ මහ තිදෙනා (Big Three) ගෙන් දෙවැන්නා වන ආතර් සී. ක්ලාක් ශූරින් ප්‍රබන්ධ කළ HAL පරිගණකය ඇතුළත් වන 2001 විද්‍යා ප්‍රබන්ධයේ කතාව දිවෙන 2001 වසරේ දී ම ස්පිල්බර්ග් අමුතු ම ආරක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් එළි දැක්වීමට සමත් විය. පරිගණක ක්‍රමලේඛනයෙන් ආදරය කිරීමේ හැකියාව උරුම කර ගත් ළමා ඇන්ඩ්‍රොයිඩ් රොබෝවකුගේ කතා පුවත ඇතුළත් එම චිත්‍රපටය වන්නේ A.I. Artificial Intelligence සිනමා කෘතියයි. ඉංග්‍රිසි ජාතික විද්‍යා ප්‍රබන්ධකරුවකු වූ බ්‍රයන් ඇල්ඩිස් විසින් Harper’s Bazaar නම් අමෙරිකානු මාසික සඟරාවේ 1969 වසරේ දෙසැම්බර් කලාපයට ලියු ‘Supertoys Last All Summer Long’ නම් විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාව A.I. සිනමා කෘතිය සඳහා පාදක කර ගන්නා ලදි. 2001 සිනමා කෘතිය නිර්මාණය කළ ස්ටැන්ලි කුබ්රික් විසින් A.I. නිර්මාණය කිරීම ස්පිල්බර්ග් වෙත භාර කරනු ලැබූව ද එම නිර්මාණය දැකීමට කුබ්රික් වාසනාවන්ත නො වී ය. සිනමා පටය එළි දැකීමට දෙවසරකට පෙර 1999 වසරේ දී කුබ්රික් සිය දිවියෙන් සමුගෙන තිබිණි.

Minority Report අධ්‍යක්ෂණය කරමින්

2002 වසරේ දී ස්පිල්බර්ග් රිදී තිරයට දායාද කළ Minority Report නම් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටය සඳහා පාදක වූයේ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ ලේඛක පිලිප් කේ. ඩික් විසින් 1956 වසරේ දී එම නමින් ම ලියූ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවයි. අනාගත 2054 වසරේ සිදු වන කතා පුවතක් ඇතුළත් මේ කෙටි කතාව ප්‍රවීණ පරිවර්තක ප්‍රභාත් මිරිහාගල්ල විසින් ‘සුළුතර වාර්තාව’ නමින් සිංහලයට පරිවර්තනය කර මේ වසරේ දී විදුසර පුවත්පතේ පළ කර තිබේ.

පාරභෞමික දියුණු ජීවීන්ගේ පෘථිවි ආගමනය පිළිබඳව ස්පිල්බර්ග් 2005 වසරේ දී නිර්මාණය කළ චිත්‍රපටය එයට පෙර එම ගණයේ නිර්මාණ දෙකට වඩා වෙනස් වන්නේ එය විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ බැවිනි. War of the Worlds නම් මේ සිනමා පටයෙහි දැවැන්ත යුද අවි හා යන්ත්‍ර යොදා ගනිමින් සිදු කෙරෙන පිටසක්වළයන්ගේ පෘථිවි ආක්‍රමණයක් පසුබිම් වන කතා පුවතක් ඇතුළත් වෙයි. විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියවරු තිදෙනා ගෙන් එක් අයකු වූ ඉංග්‍රිසි ජාතික ලේඛක H.G. වෙල්ස් විසින් 1898 වසරේ දී එළි දැක්වුණු War of the Worlds නවකතාව මේ සිනමා පටයට පාදක විය.

War of the Worlds

මේ දක්වා ස්පිල්බර්ග් විසින් නිර්මාණය කරන ලද ප්‍රධාන පෙළේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතරින් අවසන් හා අට වැනි සිනමා කෘතිය වන්නේ 2018 වසරේ දී තිරගත වුණු Ready Player One සිනමා පටයයි. අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ ලේඛක අර්නස්ට් ක්ලයින් විසින් 2011 වසරේ දී එම නමින් ම ලියන ලද නවකතාව මෙයට පාදක කර ගැනුණි. අනාගත 2045 වසරේ පවතින ඩිස්ටෝපියානු ලෝකයක සැබෑ පරිසරයෙන් මිදී අතාත්වික යථාර්ථය තුළින් පලා යෑමේ කතා පුවතක් එහි අන්තර්ගත වේ.

සියවස් තුන් කාලකටත් වඩා වැඩි ආයු කාලයක් ගෙවා ඇති මේ කීර්තිමත් සිනමාකරුවා අතින් තවත් විද්‍යා ප්‍රබන්ධ සිනමා පට බිහි වනු නිසැක ය. ස්ටීවන් ස්පිල්බර්ග් විසින් වරෙක පවසා ඇති කියමනක් එයට සාක්ෂි දරයි. එනම් විද්‍යා ප්‍රබන්ධය තමන්ට තිබෙන විශාලතම වෙළෙඳපොළ බවයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

1 comment

Dilum January 8, 2023 - 11:09 pm

👍❤

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications