කෘත්‍රිම බුද්ධිය, ලෝකය මත පෙර නො වූ විරූ අනාගතයක් වර්තමානය මත ම මවන්නට සමත් ව තිබේ. කෘත්‍රිම බුද්ධිමය වැඩසටහන් හා රොබෝ භාවිතාවන් පිළිබඳ සංවාදශීලී මතවාදයන් මෙන් ම විසංවාදයන් ද ගොඩනැගෙමින් පැවතියේ අද ඊයේ මෙන් දැනෙන නුදුරු අතීතයක ය. එතැන් සිට මේ දක්වා දිග හැරෙමින් පවතින තාක්ෂණික උදාවේ ආශ්චර්යය මිනිසාට දැනෙන්නට ගත්තේ ක්‍රම ක්‍රමයෙන් කෘත්‍රිම බුද්ධි පාදක යෙදවුම් වෙළඳපොළට නිරාවරණය වීමත් සමග ය.
ගෙවී ගිය 2022 වසර කෘත්‍රිම බුද්ධි පාදක සිත්තර වැඩසටහන්වල උදාව සනිටුහන් කළ අද්විතීය අවුරුද්දක් ලෙස හැඳින්විය හැකි ය. Mid Journey, Open AI, Stable deffusion සහ Dall-e-2 වැනි එබඳු ක්‍රමලේඛ ඔස්සේ දිනකට ලක්ෂ සංඛ්‍යාත නිර්මාණ ඇfඳමින් පවතින්නේ සාම්ප්‍රදායික සිත්තරුන්ගේ දෙගිඩියාව මැද ය. ‘විදුසර’ පාඨකයන් නො වරදවා කියවන විද්‍යා ප්‍රබන්ධ පිටුව ද දැන් හැඩවන්නේ යතුරුලියනය කළ වදන් කිහිපයක් ඔස්සේ මේ යෙදවුම් මඟින් ස්වයංක්‍රීය ව ම ඇfඳන සිතුවමකිනි.
වසර නිමා වීමට මත්තෙන් තවත් සුවිශේෂ කෘත්‍රිම බුද්ධි වැඩසටහනක ආගමනය සිදු විය. ඒ Open AI සමාගමේ ස්වකීය සංවර්ධිත තාක්ෂණයක් වන GPT – 3 යොදා ගනිමින් සංවර්ධනය වෙමින් පවතින පාඨ නිර්මාපණ චැට්බොට් වැඩසටහනක් (chatbot) වන ChatGPT ය. පුද්ගලයෙකු සමග ඉතා සුමට ඉංග්‍රීසි බසින් ලියැවෙන වදන් මගින් සංවාදයේ යෙදෙන්නට එයට පුළුවන. ඉකුත් වසරේ අන්තර්ජාලය තුළ වැඩිපුර ම ජනප්‍රියත්වයට පත් ව තිබුණේ DALL – E සහ Mid Journey වැනි සමාගම්වල චිත්‍රණ යෙදවුම් ය. නමුත් මේ වන විට ඒවා අබිබවා වැඩිපුර ම කතාබහට ලක් වන තාක්ෂණික සමාගම බවට පත් වන්නට ChatGPT සංවර්ධනය කරන Open AI සමත් ව තිබේ.
Open AI ප්‍රවේශය
Open AI යනු කෘත්‍රිම බුද්ධිය ආශ්රිත පර්යේෂණ සහ නිපැයීම් වෙනුවෙන් කැප වී සිටින ඇමරිකානු සමාගමකි. සැන් ෆ්රැන්සිස්කෝවේ පිහිටා ඇති Open AI LP සමාගම Open AI Inc. නමින් ලාබ නො ලබන අනු ආයතනයක් ද පවත්වාගෙන යයි. 2015 දී එය ඇරඹුණේ සෑම් ඇල්ට්මන් (Sam Altman) සහ ඊලොන් මස්ක් (Elon Musk) ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ මුදල් ආයෝජනයෙනි. 2018 වසරේ දී මස්ක් එහි අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වූවත් එහි සිදුවන පර්යේෂණ කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමට අමතක කළේ නැත. 2019 වසරේ දී Microsoft සමාගම ද ඊට අමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයකින් දායක විය.
එය වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ DALL – E නම් වූ කෘත්‍රිම බුද්ධි පාදක සිත්තර වැඩසටහන හේතුවෙනි. අන්තර්ජාලය තුළ සුවිශාල උන්මාදයක් ඇති කිරීමට සමත් වූ එය යන්ත්‍රයක් සතු කලාකාමී හැකියාව ගැන වාද විවාද අලුත් කළේ ය.
GPT 3 යනු කුමක් ද?
GPT යනු මේ වන විට අන්තර්ජාලය තුළ වැඩිපුර ම කතාබහට ලක් වන කෘත්‍රිම බුද්ධි පාදක භාෂා මොඩලය යැයි කීම අතිශයෝක්තියක් නො වේ. GPT යන්නෙන් අදහස් කෙරෙන්නේ Generative Pretrained Transformer යන්නයි. මිනිසුන් සේ නිර්මාණශීලී ලෙස වදන් හැසිරවීමට ඊට හැකියාව තිබේ. එසේ ම ලිවීමේ බොහෝ ප්‍රභේද ද එය දනී. භාෂා පරිවර්තනය කිරීම මෙන් ම චැට්බොට් වැඩසටහන්වලට ඔබින ලෙස වදන් හැසිරවීම ද එයට කළ හැකි ය. අද වන විට ලෝකයේ ඇති බලවත් ම කෘත්‍රිම බුද්ධි පාදක භාෂා මොඩලය මෙයයි. බිලියන 175 කට අධික පරාමිතීන් සංඛ්‍යාවක් ද එහි අන්තර්ගත ය. මේ වන විට GPT – 3 තාක්ෂණය කැපී පෙනෙන ලෙස ඉහළින් ම යොදා ගැනෙන්නේ ChatGPT තුළ ය. GPT – 3 යනු Open AI සමාගම සැලසුම් කළ භාෂා මොඩල අතුරින් තුන්වැනි සංස්කරණයයි. නුදුරේ දී ම එහි සිව් වන සංස්කරණය ද එළි දකිනු ඇත.
මිනිසා යන්ත්‍රයකින් වෙනස් වන්නේ ඔහු හෝ ඇය සතු ව ඇති ප්‍රතිභාව තාක්ෂණිකව බලෙන් පෙවිය නො හැකි දෙයක් යැයි සිතූ නිසා ය. උපතෙන් ස්වාභාවික ව ලැබෙන සියුම් ගුණාංග ක්රමලේඛයකට ආරෝපණය කළ හැකි යැයි මිනිසා සිතුවේ නැත. නමුත් ක්‍රමලේඛය එන්න එන්නම සියුම් වන විට මේ තත්ත්වය වෙනස් වන බව දැන් පැහැදිලි ව පෙනෙන්නට ඇති කරුණකි.
ChatGPT යෙදවුමට නිව්ටන්ගේ තුන්වැනි නියමය සරල බසින් පහදා දෙන්නැයි කී විට ඒ සඳහා ගත වන්නේ තත්පර කිහිපයක් පමණි. ඒ හා සමාන ම කාලයක් වැය කර කවියක් ලියා දෙන්නැයි කී විට එය ද අකුරට ම ඉටු කර දීමට එය සමත් ය.
ක්‍රියාවලිය
GPT – 3 ක්‍රියා පටිපාටිය සරල ය. එය ඔබේ ඉල්ලීම්, ගැටලු – නො එසේ නම් – වදන් යොමුව භාරගෙන හැකි ඉක්මනින් ඊට පිළිතුරු සපයයි. සිදු වන්නේ එතරම් සරල දෙයක් වන නමුත් තාක්ෂණික වශයෙන් අවසන් ප්‍රතිදානය දක්වා සිදුවිය යුතු ක්‍රියාවලිය සංකීර්ණ ය.
සියල්ලට ප්‍රථමයෙන් මොඩලයට උගැන්වීම කළ යුතු ය. මෙහි දී වචන බිලියන 300ක් මොඩල පද්ධතියට ඇතුළු කිරීම සිදු වේ. පත පොතින්, වෙබ් පාඨයන්ගෙන් මෙන් ම දහස් සංඛ්‍යාත විකිපීඩියා ලිපිවලින් උකහා ගන්නා ලද තොරතුරු ගිගාබයිට් 570ක් පමණ ද ඒ සමග වේ.
මෙය ක්‍රියාත්මක වන්නේ තමා මීළඟට ප්‍රතිදානය කළ යුතු වචනය කුමක්දැ යි අනුමාන කරමිනි. නො එසේ නම් සම්භාවිතාව මත ය. මෙසේ තමා පරිශීලකයා වෙත පෙන්විය යුතු වාක්‍යය සම්පූර්ණ කිරීම සඳහා අවැසි වචනය තීරණය කළ හැකි පරිදි දියුණුවක් ලබන්නට මේ භාෂා මොඩලය කාලයක් තිස්සේ ලබා දුන් දත්ත අධ්‍යයනය කරමින් පුරුදු පුහුණු විය යුතු ය. මේ පුහුණු සමය තුළ තාක්ෂණඥ කණ්ඩායමේ නිරන්තර අධීක්ෂණය මේ වෙත යොමු වේ. ඔවුහු විවිධ ප්‍රශ්ණ ආදානය කරමින් නිවැරදි පිළිතුරක් ලබා දේ දැයි පරික්ෂා කර බලති.
උදාහරණයක් ලෙස ‘දහවල් කාලයේ දී අහසේ වර්ණය කුමක් ද?’ යනුවෙන් පැනයක් ආදානය කළේ යැයි සිතන්න. මෙහි දී පිළිතුර ලෙස ලැබිය යුත්තේ ‘නිල් පැහැය’ යන්න බව ඔවුහු දනිති. නමුත් මුල් කාලයේ දී මේ පිළිතුර ම ප්‍රතිදානය නොවන්නට ඉඩ තිබේ. එවිට ඔවුන් කළ යුතු වන්නේ නිවැරැදි පිළිතුර නැවත ඇතුළු කිරීමයි. මෙසේ කළ විට හාෂා මොඩලය සතු දැනුම කාලයත් සමග තර වේ.
අනතුරු ව දෙවන අදියරේ දී තාක්ෂණඥයන් විසින් පැනයක් අසා පිළිතුරු කිහිපයක් ද සපයනු ලැබේ. ඒ පිළිතුර කොතෙක් දුරට ගැලපේ ද යන්න වටහාගත හැකි පරිදි ඒ ඒ පිළිතුරට යම් ලකුණක් ද ලබා දෙමිනි. මින් භාෂා මොඩලයට යම් වදන් දෙකක වලංගුතාව සසඳා බලන අයුරු කියා දේ.
විද්‍යුත් ලිපියක් ඉංග්‍රීසි බසින් ලියන විට ලියමින් සිටින වැකිය ස්වයංක්‍රීය ව ම ඔබ වෙනුවෙන් සම්පූර්ණ කර දෙන යෝජනා තිරයේ දිස්වනු ඔබට නිරීක්ෂණය වී ඇතුවාට සැක නැත. එවැනි වැඩසටහන් ද ලියා ඇත්තේ මීට තරමක් සමාන – නමුත් සරල – ක්‍රමවේද අනුගමනය කරමිනි.
ඇත්ත වශයෙන් ම කිවහොත්, ChatGPT කිසිවක් දන්නේ නැත. එය රටාවන් තුලනය සහ තන්ත්රීය පුරෝකථනය කළ හැකි පරිද්දෙන් නිමවා ඇති කෘත්‍රිම බුද්ධි පද්ධතියකි. එය පෝෂණය වන්නේ අන්තර්ජාලයෙන් අවශෝෂණය කර ගන්නා පාඨ කොටස්වලිනි. පරිශීලකයාට පාඨයන් මගින් එය හා සංවාදයක් ගොඩනඟාගත හැකි ය. මුලින් කළ සංවාදයන්ගේ හරය මතක තබා ගනිමින් ඉදිරි සංවාදයන් ගොඩනගාගැනීමේ හැකියාව එය සතු ය.
ඇසිය හැකි ප්‍රශ්න
ඉකුත් වසරේ නොවැම්බර් මස අන්තර්ජාලය වෙත මුදා හරින ලදු ව මේ වන විට පරිශීලකයන් මිලියනයකට අධික පිරිසක් සමග පාඨමය සංවාදයේ නිරත වන්නට ChatGPT සමත් ව තිබේ. Open AI සමාගම මගින්ද මෙයින් විමසිය හැකි මාතෘකා කිහිපයක් යෝජනා කර ඇත. භෞතික විද්‍යාත්මක සංකල්ප සාමාන්‍ය ජනයාට තේරුම් යන පරිදි සරල ඉංග්‍රීසි බසින් පැහැදිලි කර දීම, උපන්දින සාදයක් සැරසීම පිළිබඳ උපදෙස් ලබා ගැනීම හා පරිගණක ක්‍රමලේඛයක ඇති දෝෂයක් නිරාකරණය කර ගැනීම එසේ යෝජිත ගැටලු අතර වේ.
අමානුෂික හෝ අසභ්‍ය හෝ නො වන ඕනෑ ම මාතෘකාවක් ඔස්සේ කෙටි පැදිපෙළක් ලියා දීමට පවා එය සමත් ය. එක හා සමාන විලාසයකින් උච්ඡාරණය වන වචන (rhyming words) භාවිත කරමින් එවැනි කවිවල එළි සමය රැකගන්නට ද එය දක්වන්නේ සුළු පටු දස්කමක් නොවේ.
ChatGPT උකහාගෙන ඇති විශේෂඥ දැනුම් සම්භාරය බොහෝ ක්ෂේත්රයන් ඔස්සේ විහිදී පවතී. ඔබ ‘කාන්තාවන්ගේ ආදරය දිනාගත හැක්කේ, සංවේදී ව සිටීමෙන් ද නැතිනම් දරදඬු ලෙස හැසිරීමෙන් ද?’ යනුවෙන් විමසීමක් යොමු කළහොත් ඉන් ලැබෙනු ඇත්තේ මෙවන් පිළිතුරකි.
“සමහර කාන්තාවන්ට සංවේදී පුද්ගලයින් වඩාත් ආකර්ෂණීය හා සිත් ඇදගන්නාසුළු විය හැකියි. තවත් සමහරු දරදඬු, තමාව බලපෑමකට නතු කරන්නට මාන බලන අයට කැමති වෙන්න පුළුවනි. සාමාන්‍යයෙන් නම් ඔබේ සහසම්බන්ධය තුළ අවංක ව හා නිහතමානී ව හැසිරෙන්න පුළුවනි නම් ආදරය දිනාගන්නට වටිනා ම දේ වෙන්නේ එයයි.”
දුර්වලතා
මහජන පරිශීලනයට අවකාශය සලසා දුන්න ද ChatGPT තවමත් සංවර්ධනය වෙමින් පවතින්නකි. Open AI සමාගම පවසන්නේ ඇතැම් අවස්ථාවල දී මෙය සපයන පිළිතුරු මුළුමනින් ම වුව ද දෝෂ සහගත විය හැකි බවයි.
GPT – 3 මොඩලය සිත් ඇඳ බැඳ තබා ගන්නට සමත්, විස්මය උපදවන සුළු යමක් බව අවිවාදිත ය. නමුත් එයට ද වැරදී යා හැකි තැන් තිබෙන බව සිහි තබාගත යුතු ය. 2021 වසරට පසු ව සිදු වූ බොහෝ සිදුවීම් ගැන දැනුමක් එය සතු නොවේ. මූලික අදියරයන්හි දී පරිශීලනය සඳහා ලබා දුන් තොරතුරු 2021 දක්වා සිදු වූ දෑ සමග සබැඳීම ඊට හේතුවයි.
ඔබ ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා කවුරුන් දැ යි ඉන් විමසා සිටියහොත් ලැබෙන්නේ අසම්පූර්ණ පිළිතුරකි. ඉන් බොහෝ විට කියැවෙන්නේ “2021 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ගෝඨාභය රාජපක්ෂයි. ඔහු තවමත් එහි ජනාධිපති දැ යි මා දන්නේ නැහැ. ඇතැම්විට තත්ත්වය වෙනස් ව තිබෙන්නට ඉඩ තිබෙනවා” යනුවෙනි.
ඇතැම් අවස්ථාවල දී එය ඔබ පවසන දෑ වරදවා වටහාගන්නට ද ඉඩ තිබේ. යොමු කරන පැනයේ කොන්දේසි වැඩි ගණනක් අන්තර්ගතත ව තිබේ නම් එහි මීළඟ පිළිතුර ද පැටලිලි සහගත විය හැකි ය. ඇසූ පැනයේ ඇතැම් කොටස් නො සලකා හැර කොටසකට පමණක් අදාළ පිළිතුර ලබා දේ.
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නම් – ගම්, වයස, පදිංචිය හා රැකියාව ආදී එකිනෙකාට අනන්‍ය වූ කොන්දේසි බොහෝ ගණනක් ස්පර්ෂ වන පරිදි ප්‍රශ්නයක් යොමු කළහොත් GPT භාෂා මොඩලය වික්ෂිප්ත ව යා හැකි ය. එවන් අවස්ථාවල දී අදාළ පුද්ගලයන්ගේ විස්තර පටලවමින් ප්‍රතිදානයන් නිකුත් කිරීමට ඉඩ ඇත.
මෙවැනි තාක්ෂණික ගැටලු කාලයත් සමග නුදුරේ දී සිදුවන නව GPT සංස්කරණ ඔස්සේ නිරාකරණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ය.
සදාචාරය හා කෘත්‍රිම බුද්ධිය සහ නුදුරු අනාගතය
දිනෙන් දින නව්‍යකරණයට ලක් වන තාක්ෂණික ලෝකයත්, සදාචාරය පිළිබඳ ගැටලුත් එක ළඟ සරන සහචරයන් දෙදෙනෙකු මෙනි. කෘත්‍රිම බුද්ධිය පාදක කර ගැනෙන තාක්ෂණික යෙදවුම්වලට ද මේ තත්ත්වය වලංගු ය. මෙවැනි යෙදවුමක් මහජනයා වෙත මුදාහැරීමේ දී ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නට ද සිදු වේ.
මොඩලය පෝෂණය වන්නේ අන්තර්ජාලයෙන් වීම නිසා එහි ඇති පක්ෂග්රාහී මෙන් ම පටු අදහස් ද එක සේ උකහාගැනීම නො වැළැක්විය හැක්කකි. රටක පවතින දේශපාලන තත්ත්වය ගැන කියවා දැන ගන්නා ChatGPT අතින් ඉඳහිට දේශපාලඥයන් ගැන ගෙතූ උපහාසාත්මක කතාවක් ලියැවෙන්නට පුළුවන. එවන් අවස්ථා ප්‍රසිද්ධියට පත් වූ විට උපහාසය අපහාසයක් ලෙස දැක ගල් මුල් ප්‍රහාර එල්ල වන්නට ද ඉඩ ඇත.
අන්තර්ජාලය පාරිශුද්ධ තැනක් නොවේ. සත්‍යතාව තහවුරු කළ නො හැකි තොරතුරු මෙන් ම කුමන්ත්‍රණ මතවාදයන් ද එහි ගහණ ය. එවැනි දෑ සත්‍යාපනයකින් තොර ව පැවසීම සමාජය අගතියට පත් කිරීමක් ලෙස ද යමෙකු දකින්නට පුළුවන. ඉදිරි සංස්කරණවල දී මේ ගැන වඩාත් ගැඹුරින් සිතන්නට Open AI සමාගමට සිදු වනු ඇතැයි ඇතැම් විද්වත්හු සඳහන් කරති.
ChatGPT මගින් සිය අභ්‍යාසයන් කරවා ගන්නා සිසුහු ද සිටිති. මෙවැනි භාෂා මොඩලයන්ගේ ආගමනයත් සමග මේ වන විටත් බටහිර රටවල සිසුන් සිය නිබන්ධන කෘත්‍රිම බුද්ධියට භාර දෙන තත්ත්වයක් ඇති වී තිබේ. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ මෙයට නම් විසඳුමක් ගෙන ඒම අනිවාර්ය බව ය. නිව්යෝක් නගරයේ ඇති පාසල් පද්ධතිය මෙයට පිළියම් යොදනු වස් සිය පරිගණක හරහා ක්ය්එඨඡඔ වෙත ප්‍රවේශ වීම අවහිර කර ඇත. ඒ ගුරුවරුන්ටත් අදාළ වන පරිදි ය.
පසුගිය මාසයේ ChatGPT ගැන ලියැවුණු The Atlantic පුවත්පත් වාර්තාවේ සිරස්තලය සටහන් වී තිබුණේ “The End of High-School English” හෙවත් “උසස් පාසල් ඉංග්‍රීසියේ නිමාව” යනුවෙනි. The Education Week වෙත ලිපියක් සම්පාදනය කළ එක් ගුරුවරියක කියා තිබුණේ මෙය කැල්කියුලේටරය සහ විකිපීඩියාව තරමට ම සාර්වත්රික (සෑම තැන්හි ම පවත්නා) ප්‍රයෝජනවත් යමක් වනු ඇති බව ය. නමුත් ඇගේ ද අදහස වී තිබුණේ සිය වෘත්තීමය යහළු මිත්‍රාදීන්ට ‘කලින් ගෙදර යන්නට’ සිදු වන බව ය.
සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ChatGPT වෙත පැවරිය හැකි භූමිකාව ගැන ද මේ වන විට කතිකාවත් ඇති වී තිබේ. එක්සත් ජනපදයේ ඩේරක්සල් සරසවියේ වෛද්‍ය ඉංජිනේරු පීඨය විසින් කළ නවතම අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ ඇල්ෂයිමර් රෝග ලක්ෂණ කලින් හඳුනාගැනීමට ද මේ කෘත්‍රිම බුද්ධි පාඨ ලියන්නා යොදාගත හැකි බව ය.
ඇල්ෂයිමර් රෝගය හඳුනා ගැනෙන්නේ පුද්ගලයෙකුගේ දීර්ඝ කාලීන සෞඛ්‍ය ඉතිහාසය පිළිබඳ කෙරෙන අධ්‍යයනයකින් සහ තවත් දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙන භෞතික සහ ස්නායුවේදීය පරීක්ෂණ ගණනාවකින් අනතුරු ව ය. මතකය හීන වී යාම, කථනයේ දී ව්‍යාකරණ සහ උච්ඡාරණ විධි ගිලිහී යාම ආදී රෝග ලක්ෂණ පෙන්වන මේ රෝගී තත්ත්වයට නිශ්චිත ඖෂධයක් නොමැති හෙයින් කල් තියා ම හඳුනා ගැනීම රෝගියාට මෙන්ම, වෛද්‍යවරුන්ටත් පහසුවකි. මේ රෝග ලක්ෂණ පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි පරිගණක ක්‍රමලේඛ පිළිබඳ පර්යේෂකයන් උනන්දු වූයේ මේ නිසා ය.
මෙහි දී පර්යේෂකයන් කළේ පුද්ගල හඬපට සාම්පල කිහිපයක් GPT – 3 වෙත අසන්නට දී රෝග ලක්ෂණ නිවැරදි ව හසු කරගත හැකි දැයි නිරීක්ෂණය කිරීම ය. ලැබුණු ප්‍රතිදාන මඟින් තහවුරු වූයේ මේ භාෂා මොඩියුලය ඇල්ෂයිමර් රෝගයේ මුල් රෝග ලක්ෂණ 80%ක නිරවද්‍යතාවයකින් යුතු ව හඳුනාගන්නට සමත් වූ බවයි.
පරීක්ෂණයකට දෙකකට සාර්ථක ව මුහුණ දුන් පමණින් මිනිසෙකුගේ රෝගී – නිරෝගී බව තීරණය කිරීම ක්‍රමලේඛිත යෙදවුමක කර මත තැබිය නො හැකි ය. ChatGPT සාධනීය ලෙස භාවිත කරමින් රෝග නිෂ්චය කරගැනීම පිළිබඳ තව තවත් පරීක්ෂණ සහ අත්හදා බැලීම් සිදු කළ යුතු ව පවතී. එයට තවත් දුර ගමනක් ඇත. ඒ කෙසේ වෙතත් මහා පරිමාණ චිත්‍රය දෙස බැලූ විට ChatGPT මහාර්ඝ නිමැවුමක් බැව් අවිවාදිත ය.
අදහස් – උදහස් මැද යන කෘත්‍රිම බුද්ධිමය චාරිකාව තව ම ඇරඹුණා පමණ ය. නුදුරු අනාගතයේ – ඇතැම් විට උදා වූ මේ නව වසරේ ම – කෘත්‍රිම බුද්ධියේ අනුහසින් බිහිවන තව තවත් චමත්කාරජනක බොහෝ දෑ අත්විඳින්නට අපට හැකි වනු ඇත.
සත්‍ය හෙට්ටිආරච්චි