මීට පෙර අවසන් වරට අමුත්තාගේ සම්ප්‍රාප්තිය සිදු වී ඇත්තේ අදින් වසර 50,000කට තරම් ඉහත දී ය. වත්මන් මිහිතලය මත වියළි, කර්කශ මරු කතරක් වූ අප්‍රිකානු සහරාව එදා තෙතමනයෙන් සපිරි සාරවත් බිමක් ව පැවතිණි. අද දවසේ පෘථිවියේ ගොඩබිමෙහි වෙසෙන දැවැන්තයන් වන නූතන අලි ඇතුන්ගේ ආදි පූර්වජයන් වූ ලෝම මැමත් සතුන් පා සටහන් තැබූ එකල මිහිමත විසූ අපේ පරිණාමීය ඥාතින් වූ නියැන්ඩතාල් මානවයන් ද ඇතැම් විට රාත්‍රි අහස් ගැබේ අමුත්තා පියවි ඇසින් දකින්නට ඇත.
එදා මෙදා තුර ගත වූ වසර 50,000ක කාලයක් ඇවෑමෙන් නැවත වරක් මේ දිගු කාලීන අමුත්තා හිරු මඬල වෙත ළඟා වෙමින් සිටී.
උදා වූ 2023 වසරේ පළ වන මුල් විදුසර කලාපය තුළින් ලෝ වැසි සැමට සුබ නව වසරකට ආසිරි ගෙනෙමින් තබන මේ ලුහුඬු සටහන අපව බැහැ දැකීමට කලාතුරකින් පැමිණෙන අභ්‍යවකාශ අමුත්තකුගේ වතගොත විමසා බැලීමකි.
ඒ අන් කවරකු වත් නොව C/ 2022 E 3 (ZTF) යනුවෙන් නම් ලද දිගු ආවර්තී ධූම කේතුවයි.
සූර්යයා වටා එක් පරිභ්‍රමණයක් සිදු කිරීම පිණිස වසර 50,000ක් තරම් වන දිගු කාලයක් ගන්නා මේ ධූමකේතුව එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවල පිහිටි පැලෝමාර් නිරීක්ෂණාගාරයේ මීටර් 1.2 Samuel Oschin දුරේක්ෂයට අනුබද්ධ නවතම කැමරාවක ආධාරයෙන් සිදු කරන ලද Zwicky Transient Facility (ZTF) නමැති පුළුල් ක්ෂේත්‍ර තාරකා විද්‍යාත්මක සමීක්ෂණය මඟින් මුල් වරට සොයා ගන්නා ලද්දේ ගෙවී ගිය 2022 වසරේ මාර්තු මස 02 වැනි දිනයේ දී ය. ඉහත අවකාශ වස්තු සමීක්ෂණය එනමින් නම් කර ඇත්තේ එක්සත් ජනපදයේ කැල්ටෙක් ආයතනයෙහි තම දිවියෙන් වැඩි කලක් සිය පර්යේෂණ කාර්යයන් සිදු කළ ස්විස් ජාතික තාරකා විද්‍යාඥයකු වූ Fritz Zwickyගේ නමිනි.
C / 2022 E 3 (ZTF) ධූමකේතුව ද ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ධූමකේතුවල තිඹිරිගෙය ඌට් වලාව (Oort Cloud) වේ. විවිධ වායු මිදී ඝන වීමෙන් සෑදුණු අයිස්වලින් සමන්විත ග්‍රහාංශු (Planetestimals) ට්‍රිලියනයක් පමණ අඩංගු ඌට් වලාව සූර්යයාගේ සිට නක්ෂත්ර විද්‍යා ඒකක 2,000 සිට 200,000ක දුරින් හිරු වටා පිහිටයි (නක්ෂත්ර විද්‍යා ඒකකයක් (1 AU) පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට සමාන වේ.).
ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥයකු වූ ජෑන් ඌට් විසින් ප්‍රථම වරට සෛද්ධාන්තික ව හඳුන්වා දෙන ලද මේ වලාවට අයත් ග්‍රහාංශු සමහරක් විවිධ ගුරුත්වාකර්ෂණ බලපෑම් හේතුවෙන් සෞරග්‍රහ මණ්ඩලය තුළට චලිත වීම ධූමකේතුවක උපතට හේතු වේ.
ZTF සමීක්ෂණය මඟින් C / 2022 E 3 (ZTF) ධූමකේතුව ද ඇතුළු ව මෙතෙක් ද සොයාගෙන තිබෙන ධූමකේතු සංඛ්‍යාව 10ක් වෙයි. පසු ගිය වසරේ මාර්තු මස 02 වැනි දින මේ අලුත් ම ධූමකේතුව සොයාග (0 න්නා විට එය අලුයම අහසේ Aquila (රාජාලියා) තාරකා මණ්ඩලය තුළින් ප්‍රථම වරට දිස් විය. එවිට එය පිහිටියේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 640ක් එනම් නක්ෂත්ර විද්‍යා ඒකක 4.3ක් (4.3 AU) දුරිනි. ඒ වන විට ධූමකේතුවේ දෘෂ්‍ය දීප්ති විශාලනය + 17.3ක් විය. ආරම්භයේ දී දී එය ග්රහකයක් ලෙස හඳුනා ගත්ත ද පසුව පරීක්ෂණ කණ්ඩායම් තුනක් විසින් සිදු කළ නිරීක්ෂණවලින් එය ධූමකේතුවක් බව හඟවන කොමාවක් අනාවරණය කර ගන්නා ලදි.
කීර්තිමත් ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ ෆ්‍රෙඩ් විස්ල් විසින් ධූමකේතුවල ස්වභාවය පිළිබඳ ව ඉදිරිපත් කරන ලද ‘කිළිටි හිම බෝල’ (Dirty Snowballs) කල්පිතයට අනුව ධූමකේතුවක් යනු මිදුණු වායුමය අයිස් සහ දූවිලිවලින් සමන්විත මධ්‍ය න්‍යෂ්ටියක් ඇති වස්තුවකි. එය ඌට් වලාවෙන් ඉවත් ගමන් කරන තම පථයේ සූර්යයා වෙත ළං වන විට එහි ඇති මිදුණු වායු ඌර්ධවපාතනය (ඝන අවස්ථාවේ සිට ද්‍රව නො වී කෙළින් ම වායු අවස්ථාවට පත් වීම) වීමෙන් න්‍යෂ්ටිය වටා එම වායු හා දූවිලි අඩංගු වලාවක් ලෙස කොමාවක් නිර්මාණය වේ. ධූමකේතුවක හිස ලෙස හඳුන්වන්නේ මේ න්‍යෂ්ටිය සහ එය වටා ඇති කොමාව ය.
ධූමකේතුව තව දුරටත් තම කක්ෂයේ හිරුට ළං වන විට සූර්ය කිරණ වැදීමෙන් කොමාවේ අඩංගු වායු හා දූවිලි අංශු සූර්යයාට විරුද්ධ දිශාවට තල්ලු වී යාමෙන් ධූම කේතුවක ඇති විය හැකි විසිතුරු ම දසුන වන දූවිලි සහ වායු වලිගයන් හට ගනී.
C / 2022 E 3 (ZTF) ධූමකේතුවේ සූර්ය සමීපකය හෙවත් සූර්යයාට වඩාත් ම සමීප වන පිහිටුම වෙත එය ළඟා වීමට නියමිත ව ඇත්තේ 2023 වසරේ ජනවාරි මස 12 වැනි (හෙට) දිනයේ දී ය. ඒ අනුව හෙට දිනයේ සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 166.39ක දුරකට එනම් නක්ෂත්ර විද්‍යා ඒකක 1.112ක් තරම් හිරුට ළං වන එය ඉන් පසු සූර්යයාගෙන් කෙමෙන් ඈත් වන ආපසු ගමන අරඹනු ඇත.
හෙට දිනයේ දී එහි පිහිටීම උතුරු කිරීටය (Corona Borealis) තරු රටාවේ පවතී. එනිසා ම C / 2022 E 3 (ZTF) ධූමකේතුව අපේ පෘථිවියට වඩාත් ම සමීප වන දිනය යෙදී ඇත්තේ එය සූර්යයාගෙන් ඈතට යන ආපසු ගමනේ දී ය.
මෙවැනි ම අවස්ථාවක් අවසන් වරට 0 හැලීගේ ධූමකේතුවේ 1986 වසරේ ආගමනයේ දී ද සිදු විය. එවර එම වසරේ පෙබරවාරි මස 09 වැනි දින සූර්ය සමීපකය වෙත එළඹුණු හැලීගේ ධූමකේතුව පෘථිවියට වඩාත් ම සමීප වීම 0 සිදු වූයේ ඉන් මාසයකටත් පසු අප්‍රේල් මස 11 වැනි දිනයේ දී එහි ආපසු ගමනේ දී බව මෙරට තාරකා විද්‍යා ලෝලීන්ගේ මතකයේ ඇත.
එලෙසින් ම 2023 නව වසරේ පැමිණෙන C / 2022 E 3 (ZTF) ධූමකේතුව ද පෘථිවියට වඩාත් ම සමීප වීම සිදු වනු ඇත්තේ ලබන පෙබරවාරි මස 01 වැනි දිනයේ දී ය. ඒ අනුව එදින පෘථිවියට කිලෝමීටර මිලියන 42ක් එනම් නක්ෂත්ර විද්‍යා ඒකක 0.284ක් දුරට ළඟා වන ධූමකේතුව සහ පෘථිවිය අතර දුර ප්‍රමාණය, චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර මෙන් 109 වාරයක් වනු ඇත.
පසු ගිය නත්තල් සමයේ දී ධූමකේතුව පැවතියේ පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 187ක් තරම් දුරිනි.
ඛගෝලය තුළ ධූමකේතුව පැමිණි මඟ
පසු ගිය 2022 වසරේ මැයි මස 31 වැනි දින ධූමකේතුව M 27 නමින් හැඳින්වෙන ඩම්බෙල් නිහාරිකාවට අංශකයක් සමීප ව ගමන් කළේ ය. අංශකයක් ලෙස සැලකෙන්නේ දිගහරින ලද අතේ සුළැඟිල්ලේ කෙළවර පෙනෙන පළලයි. පසු ගිය වසරේ ජූනි මස 17 වැනි දින වන විට ධූමකේතුව Cygnus (හංසයා) තරු රටාවට අයත් Albireo නම් ද්විත්ව තාරකාවට අංශක 1/4ක් සමීප පැමිණ තිබුණි. සතියකට පසු ජූනි මස 24 වැනි දින එය M 56 නම් ගෝලීය තරු පොකුරට අංශක 1/4ක් ඈතින් පිහිටි අතර ජූලි මස 04 වැනි දින M 57 නම් Ring නිහාරිකාවට අංශක 1/2ක් සමීප ව ගමන් කළේ ය.
අගෝස්තු මස 23 වැනි දිනය වන විට ධූමකේතුව M 13 නම් හර්කියුලීස් ගෝලීය තරු පොකුරට අංශක 2.5ක් දකුණින් පැවතුණි. පසු ගිය සැප්තැම්බරය වන විට එය දකුණු දෙසට යමින් උතුරු කිරීටය (Corona Borealis) තරු රටාවට ඇතුළු වූ අතර නොවැම්බර් මස දී එම තරු රටාව තුළින් ගමන් කරන විට දෘෂ්‍ය දීප්ති විශාලනය + 10ක් විය (ආකාශ වස්තුවක දෘෂ්‍ය දීප්ති විශාලනයේ අගය අඩු වන තරමට එහි ඇසට පෙනෙන දීප්තිය වැඩි වේ.). එවිට එහි කොමාව කොළ පැහැයෙන් දිස් වූ අතර කහ පැහැති දූවිලි වලිගය සහ අපැහැදිලි ව වායු (අයන) වලිගය දුරේක්ෂවලට හසු විය.
පසු ගිය දෙසැම්බර් මස මුල දී දුරේක්ෂ තුළින් දෘෂ්‍ය දීප්ති විශාලනය + 9ක අගයක් ගත් ධූමකේතුව එවිට උතුරු කිරීටය සහ Serpens (සර්පයා) තරු රටා දෙක අතර පිහිටියේ ය.
උතුරු දිශාවට T – හැරවීමකින් පසු උතුරු කිරීටය තරු රටාවට ඇතුළු වූ එය නත්තල් සමයේ දී එම තරු රටාව තුළින් නව වසරේ ජනවාරි 03 වැනි දිනය දක්වා ම ගමන් කර තිබුණි.
C / 2022 E 3 (ZTF) ධූමකේතුව පෘථිවියට සමීප වන පෙබරවාරි මස 01 වැනි දිනය වන විට එහි දෘෂ්‍ය දීප්ති විශාලනය +6 වනු ඇති බවට අනාවැකි පළ කර තිබේ.
“ධූමකේතුවල දීප්තිය පිළිබඳ ව නිවැරැදි අනාවැකි පළ කිරීම අපහසුයි. එහෙත් දීප්තිය +6 අගයට පැමිණිය හොත් එය පියවි ඇසට දැකිය හැකි වෙනවා.”
එක්සත් රාජධානියේ ග්‍රිනිච් රාජකීය නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥවරියක වන Tania de Sales එසේ පවසා තිබේ.
එක්සත් රාජධානියේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්යක්ෂ රොබට් මැසී සඳහන් කරන්නේ ධූමකේතුවේ දීප්තිය පිළිබඳ ඉහත අනුමානය නිවැරැදි වුව හොත් 2020 වසරේ පියවි ඇසට පෙනුණු NEOWISE ධූමකේතුවෙන් පසු පියවි ඇසින් ධූමකේතුවක් දකින ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවයි.
මේ මස මැද භාගයේ දී ධූමකේතුව Bootes (එඬේරා) තරු රටාවේ උතුරු කොටස හරහා ගමන් කර ජනවාරි 21 – 22 දිනවල මහ වලසා තරු රටාවට පහළින් රාත්‍රි අහසේ පවතී. මේ මාසය අවසානයේ දී එය කුඩා වලසා තරු රටාවේ කෙළවර ඇති පොලාරිස් තරුව අසලින් ගමන් කරනු ඇත. ඒ අනුව එය පෘථිවියට සමීපතම පිහිටුමේ දී ඛගෝලීය උත්තර ධ්‍රැවයට ආසන්න ව ජිරාෆ් (Camelopardalis) තරු රටාව තුළ පවතිනු ඇත. පෙබරවාරි මස 10 – 11 දිනවල අඟහරුගෙන් අංශක 1.5ක් – ඇතුළත පිහිටන එය එම මස 13 සිට 15 දක්වා Hyades තරු පොකුර ඉදිරියෙන් යාමට නියමිත ය.
ධූමකේතුව පියවි ඇසින් දැක ගැනීමේ වාසනාව නොමැති වන සේ එහි දීප්තිය වැඩි වීමක් සිදු නො වුණ හොත් අනිවාර්යයෙන් ම දෙනෙතියක් ආධාරයෙන් එය දැක ගැනීමේ අවස්ථාව නිසැක ලැබෙනු ඇත.
දුර්ලභ අවස්ථාව මඟහැරී ගිය හොත් C / 2022 E 3 (ZTF) ධූමකේතුව මීළඟ වාරයේ දැක ගනු ඇත්තේ වසර 50,000ක් අනාගතයේ එනම් ක්‍රි. ව. 52,023 වසරේ අනාගත පෘථිවි වාසීන් ය.
ප්‍රේමශාන්ත කුමාරසිරි