විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සමාජයක දියුණුව පිළිබඳ මිම්මක් ගත හැකි හරස්කඩකි. රටේ සතර දිග්භාගය නියෝජනය කරමින් පැමිණෙන, යොවුන් ජවයෙන් යුත් මෙම සමාජ කුලකයේ ආකල්ප රටේ අනාගතය ගමන් කරන දිශාව පිළිබඳ නිදර්ශකයක් ද වෙයි. දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායක නවකවධය අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මුල් බැසගෙනතිබිණි. එහෙත් ජනතාවට මේ වන විට පවතින සමාජ ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක් ඇති වී ඇත්තාක් මෙන් ම විශ්වවිද්‍යාල තුළ පවතින මේ තත්ත්වය ද වෙනස් විය යුතු බව විශ්වවිද්‍යාල තුළින් ම හඬ නැගෙමින් තිබේ. මේ ප්‍රවණතාවය ඉදිරියේ දී වඩාත් සාධනීය තැනකට විශ්වවිද්‍යාල රැගෙන යනු ඇති බව කාගේත් අපේක්ෂාවයි. මේ නවකවධය පිළිබඳ දැනට රටේ පවතින තත්ත්වය පිළිබඳ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය නීතිඥ ප්‍රතිහාමහානාමහේවා මහතා සමග කළ සංවාද සටහනකි.
නවකවධය ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ සෘණාත්මක පැතිකඩක් බවට පත් වී තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
අද වන විට ලංකාව තුළ උසස් අධ්‍යාපන ආයතනවල නවකවධය ගැටලුවක් ලෙස මතු ව ඇති බව අප පිළිගන්න ඕනේ. නවකවධය කියන්නේ කිසි සේත් ම පිළිගත හැකි දෙයක් නොවෙයි. මං ශ්‍රීපාලි මණ්ඩපයට පැමිණෙන විට මෙහෙත්නවකවධය පැවතුණා. නමුත් අපට හැකි වුණා ඒ තත්ත්වය වෙනස් කරන්න. විශ්ව විද්‍යාලය තුළ අප සාමකාමී පරිසරයක් ඇති කළේ සාකච්ඡා මාර්ගයෙන්. ශ්‍රීපාලියෙත් ප්‍රශ්න ඇති නො වුණා නො වෙයි. එතකොට අප කළේ කොමිටියක් හදල හැම පාර්ශ්වයක් ම කැඳවලා සාකච්ඡා කිරීමයි. මේ කොමිටිවල හිටියේ විශ්වවිද්‍යාලයයෙන් බාහිර අය. විදුහල්පතිවරු. එතකොට සමාජයේ වෙනත් පිළිගත් අය. විශ්වවිද්‍යාලයයට එන්නේ උසස් පෙළ හදාරපු දරුවන්. ඒ අය විවිධ සමාජ ස්තරවල අය. ඒ අයට විවිධ ප්‍රශ්න තිබෙන්න පුළුවනි. එතන දී ආචාර්යවරුන්ට කාර්යභාරයක් තිබෙනවා. ආචාර්ය මණ්ඩලය ශිෂ්‍යයන් සමග ඉන්නවා නම් මේ ප්‍රශ්න මතු වන්නේ නැහැ. ගුරුවරුන් දරුවන් එක්ක රැඳෙන්න ඕනේ. ඒ වගේ ම ගුරුවරු දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න නිමා කර ගන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න ක්‍රම තිබෙනවා. හැබැයි සමහරු ප්‍රශ්න විසඳන්න නිමා කර ගන්න කැමැති නැහැ. එසේ කැමැති නැති අය බොහෝ විට විවිධ දේශපාලන පක්‍ෂවලට අයත් ඒවායේ ක්‍රියාකාරකම්වල යෙදෙන අය. ඒ අයට වුවමනා ප්‍රශ්න මතු කරලා අවුල් සහගත තත්ත්වයන් ඇති කරන්න.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ලෙස හැඳින්වූවාට මේ අයත් පැමිණෙන්නේ පොදු සමාජයෙන් මේ නෙ. ඉතිං ඒ සමාජය තුළ වෛරය ක්‍රෝධය වගේ දේවල් තිබෙනවනෙ. හොඳ නරක කෝකත් තිබෙනවා. ඒ දේවල් පොදු සමාජය හරහා විශ්ව විද්‍යාලයයටත් එකතු වෙනවා. හැබැයි අපි උත්සාහ ගන්න අවශ්‍යයි විශ්වවිද්‍යාලය තුළ දී නීතිය රැකිය යුතු බව ශිෂ්‍යයන්ට අවබෝධ කර දෙන්න. අප හැම දෙනා ම නීතියට යටත් අප කාට වත් නීතිය කඩන්න බැහැ. නීතිය තුළ අප හැම දෙනා ම සමානයි. ජ්‍යෙෂ්ඨයිකියල කනිෂ්ඨයන්ට හිරිහැර කරන්න බැහැ. කිසිම ආගමක් පවා අන් මනුෂ්‍යයකුට හිරිහැර කිරීම අනුමත කරන්නේ නැහැ. යහපත් සමාජයක පුරවැසියන් අන් මනුෂ්‍යයකුට හිරිහැර කිරීම අනුමත කරන්නේ නැහැ. නවකවධයෙන් කායික හිරිහැර වගේ ම මානසික හිරිහැරත් සිදු වෙනවා.
සමහර ශිෂ්‍ය කණ්ඩායම් විශ්වාස කරනවා විශ්ව විද්‍යාලයයට එන නවකයන්ට යුද්ධ හමුදාවල වගේ ශාරීරික අභ්‍යාස දීල – පීඩන දීලයි බාර ගන්න ඕනෙ කියල. ඒක සම්පූර්ණ සාවද්‍ය මතයක්. ඒක අවශ්‍ය නැතුවා පමණක් නො වෙයි එය එසේ කරනවා නම් අපරාධයක්. මං කලිනුත් සඳහන් කළා විශ්වවිද්‍යාලයය කියන්නේ සමාජයේ ම කොටසක්. ඉතිංනවකවධය තුළ දී යම් කායික හිරිහැරයක් – අපහාසයක් – පහර දීමක් ගැටුමක් ඇති වනවා නම් එය සාමාන්‍ය අපරාධ නීතිය යටතේත් වරදක්. මීට අමතර ව නවකවධ පනත යටතේත් 1978 මානව හිමිකම් පනත යටතේත් වරදක්. ඒ පනත් යටතේ අමානුෂික වධහිංසාවලට කාට වත් භාජනය කළ නො හැකියි. අනෙක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් නවකයන්ට වධ දීලා පිළිගන්න හිතන්නේ හෝ මිලිටරි ක්‍රමයකට ඒ අයව හික්ම වන්න ඕනෙ හෝ කියා හිතන්නේ මොකට ද? මේ අය පළමු වසර දෙවැනි වසර තුන් වැනි වසර කියා වෙන් කළාට මේ දරුවො එක ම කුලකයේ අය. ඒ අය විශ්වවිද්‍යාල පරිසරය තුළ දිගු කලක් එකට ඉන්න ඕනෙ. හමු වී කතාබහ කරන්න ඕනෙ. එතකොට උපකාර කර ගන්න ඕනෙ.ඉතිං ඒ තත්ත්වය නො තකා ශිෂ්‍ය කණ්ඩායම් නීතිය ඉක්මවා කටයුතු කළ හොත් අධිකරණමය ක්‍රියා මාර්ග ගත යුතුයි.
ඇතැම් ශිෂ්‍ය කණ්ඩායම් තුළ පවතින මතයක් තමයි පොලීසියටවිශ්වවිද්‍යාලයයට එන්න බැහැ කියන එක. ඒ ගැන පවතින නීතිමය තත්ත්වය කුමක් ද?
පොලීසියටවිශ්වවිද්‍යාලයයකට එන්න නො හැකියි කියන මතයේ කිසි ම නෛතික පදනමක් නැහැ. ඒ මතය වැරැදියි. ඒත් පොලීසිය සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල ප්‍රශ්න විසඳන්න එන්නේ නැහැ. ඒ එන්න නො හැකියි කියා නීතියක් ඇති නිසා නො වෙයි විශ්වවිද්‍යාල තුළ ආරක්‍ෂක කටයුතු බලන්න – ගැටලු විසඳන්න වෙන ම ම පද්ධතියක් තියෙනවා. ඒ සඳහා මාෂල්වරු ඉන්නවා. හැබැයි අවශ්‍ය නම් පරිපාලනයට හැකියි පොලීසිය කැඳවන්න. ඒ වගේ ම සාමය කඩ වන අවස්ථාවක පොලීසියට මැදිහත් විය හැකියි.
ඔබ කථිකාචාර්යවරයකු හා පරිපාලකයකු ලෙස ලංකාවේ විශ්වවිද්‍යාල කීපයක මෙන් ම විදේශ විශ්වවිද්‍යාලවලත් අත්දැකීම් ලබා ඇති අයෙක්. මොනව ද නවකවධය පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම්. වෙනත් රටවලත් මේ වගේ කුරිරු නවකවධයක් පවතිනවා ද?
ලංකාවේ විශ්වවිද්‍යාලවල පවා හැම තැනක ම එක ම මට්ටමෙන් නැහැ. සමහර තැන්වල උග්‍ර ලෙස තියෙනවා. සමහර ස්ථානවල නැහැ. විදේශ රටවල් සැලකුව හොත් මේ තත්ත්වය බොහෝ වෙනස්. මං කලක් ජැමෙයිකාවේ තාක්‍ෂණ විශ්වවිද්‍යාලයයේ නීති පීඨාධිපතිවරයා ලෙස සේවය කළා. ඒ වගේ නීතිය පිළිබඳ දේශන පැවැත්වීමක් කළා. ඒ විශ්වවිද්‍යාලවල නවකවධය කියා දෙයක් නැහැ. හැබැයි නවකයන් සඳහා හඳුනා ගැනීම් හමු වැනි දේ තියෙනවා. ඒවායේ දී සතුටු වෙනවා මිස වධ දීමක් වෙන්නේ නැහැ. පළමු සති කීපයේ දී මේ හඳුනා ගැනීම් සිදු වෙනවා. සිංදු කීම් වැනි දේ නම් තියෙනවා. හැබැයි නවකවධයක් නැහැ. එහෙම නවකවධ මානසිකත්වයක් ඒ ළමයින්ගේ නැහැ. බොහෝ විට මේ පන්තිවලට (දේශනවල) එන්නේ රැකියා කරන ළමයි. ඒ අය එන්නේ රාත්‍රී දේශනවලට. උදේ රැකියාවලට යනවා. නවකවධදිදී ඉන්න වෙලාවක් හෝ අවශ්‍යතාවක් හෝ නැහැ. අනෙක් වැදගත් ම කරුණ නම් ඒ විශ්වවිද්‍යාලවල හොඳ ශිෂ්‍ය උපදේශන සේවාවක් පවතිනවා. ඉතා කුඩා ශිෂ්‍ය සංඛ්‍යාවකට පවා ශිෂ්‍ය උපදේශකයකු බැගින් ඉන්නවා. ඒක හරි වැදගත් දෙයක්.ගුරුවරු හා ශිෂ්‍ය උපදේශකවරු නිතර ම ශිෂ්‍යයන්ට සමීප ව ඉන්න ඕනෙ. විශේෂයෙන් ම ගුරුවරුන් විශ්වවිද්‍යාල දරුවන් තනි කරන්න හොඳ නැහැ. දරුවන්ට උපකාර අවශ්‍ය අවස්ථාවල දී උපකාර කරන්න ඕනෙ. එතකොට මේ ප්‍රශ්න සාමකාමී ව විසඳා ගත හැකියි. විදේශ විශ්වවිද්‍යාලවල, විශේෂයෙන් ම ජැමෙයිකාවේ මා ඉගැන්වූ තිබෙන තව විශේෂත්වයක් කිව යුතුයි. එය තමයි විශ්වවිද්‍යාලයයේ කවුන්සිලයට ශිෂ්‍ය සංගම් නියෝජිතයකු තෝරා පත් කර ගැනීම. ඒ කවුන්සිලය කියන්නේ විශ්ව විද්‍යාලයයේසංකථන සභාව. එය තීරණ ගැනීමේ බලය ඇති දේහයක්.
මෙවැනි අවස්ථාවක් ශිෂ්‍ය සංගම් නියෝජිතයකුට ලැබෙනවා කියන්නේ වැදගත් දෙයක්. එනම් තීරණ ගැනීම්වලට සහභාගී වන්නට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබෙනවා. අපේ රටේ සංකථන සභාවේ ශිෂ්‍ය නියෝජනයක් නැහැ. එසේ නියෝජනයක් පැවතියා නම් හොඳ බවයි මගෙ අදහස. එතකොට ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න ගැන එතන දී විවෘත ව කතා කරන්න තිබුණා.
රට තුළ විවිධ විශ්වවිද්‍යාලවල වරින් වර පැන නැඟෙන නවකවධයට අදාළ සිද්ධි හා මාධ්‍ය වාර්තා හරහා සමාජ්ය තුළ කතිකාවක් ගොඩනැගෙමින් තිබෙනවා නවකවධය සඳහා දැඩි නීති අලුතෙන් හෝ හඳුන්වා දිය යුතුයි කියා. ඒ ගැන ඔබේ අදහස?
මගේ අදහස නම් අලුත් නීති අවශ්‍ය නො වන බවයි. දැනට ඇති නීති ප්‍රමාණවත්. ඒවා බලාත්මක කරලා නිරවද්‍ය ව ක්‍රියාත්මක කරන්න ඕනෙ. විශ්වවිද්‍යාලයයට ඇතුළු වන දරුවන්ට කියා දෙන්න ඕනෙ නීතිය සැමට සමාන බව. අනෙක මේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්නවා නම් හුඟක් හොඳයි. ජ්‍යෙෂ්ඨ දරුවනුත් මේ ගැන හිතන්න ඕනෙ අනෙක් කෙනෙකුට මානසික ව කායික ව රිදවලා ලබන මිහිර මොකක් ද?
මං නැවතත් අවධාරණය කරන්නේ අපි ආචාර්යවරුන් විදිහට මේ දරු දැරියන් ව තනි නොකර ඔවුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඕනෙ. ඒ හරහා මේ නවකවධ ප්‍රශ්නයට විසඳුමක් ගෙන දිය හැකියි.
සාකච්ඡා කළේ
ආචාර්ය මනෝජ් රත්නායක