මහලු වීමත් සමග තමන්ගේ මතකය අඩු වන බව බොහෝ දෙනෙකු සඳහන් කළත් ඇල්සයිමර් රෝගය (Alzheimer’s disease) වැළඳුණු පුද්ගලයන්ගේ මතකය ඉතා ම ඉක්මනින් අඩු වී යයි. ඒ නිසා ම කලබලකාරී ව්‍යාකූල තත්ත්වයක් (confusion) ඔවුන් තුළ ඇති වේ. මේ අමතක වීමත්, ව්‍යාකූල තත්ත්වයත් නිසා ඔවුන් කලකිරීමටත්, පහසුවෙන් කෝප ගැනීමට මෙන් ම බියපත් වීමටත් ලක් වේ. මේ රෝගයට ලක් වූවන්ට බොහෝ විට අතීතයේ සිදු වූ වැදගත් සිදුවීම් පිළිබඳ හොඳින් මතක තිබෙන අතර වඩාත් මෑත කාලයේ සිදු වූ දේ පිළිබඳව අමතක වීම බහුලව සිදු වනු දැකගත හැකි ය.
මොවුන්ට අවස්ථාවට සුදුසු වචන තෝරා බේරා ගෙන කතා කිරීමට අපහසු ය. ඒ නිසා ම කතා කිරීමේ දී ගොත ගැසීම, දිගු නිහඬතාවය සහ එක ම දේ නැවත නැවත කීමත් දැක ගත හැකි ය. එසේ ම මේ රෝගීන්ට තමාගේ නිවස වැනි ඉතා සුපුරුදු පරිසරයක පවා අවශ්‍ය තැන් සොයා ගැනීම අපහසු වනු දැක ගත හැකි ය. උදාහරණයක් ලෙස වැසිකිළිය හෝ කුස්සිය සොයා ගැනීමට අපහසු වී වෙනත් කාමරයකට යෑම දැක්වීමට පුළුවන.
රෝග තත්ත්වය වර්ධනය වීමත් සමග ම එදිනෙදා කටයුතු වන කඩමණ්ඩියට යෑම, ඉවුම් පිහුම් කිරීම පමණක් නො ව මුහුණ කට සෝදා තම ඇඳුම් පැළඳුම් ඇඳ ගැනීමට ද අපහසු තත්වයක් ඇති වේ. අන් අය සමඟ කතාබහ කිරීම අපහසු වන අතර ඒ නිසාම තමා අවට පරිසරය පිළිබඳ අවධානය නැති වී යයි. මේ නිසා ඔවුන් වඩ වඩාත් මානසික අවපීඩනයට ලක් වනු දැකගත හැකි ය.
එහෙත් මෙවැනි රෝග ලක්ෂණවලට ඇල්සයිමර් රෝගය පමණක් නො ව රුධිර සංසරණ පද්ධතියේ රෝග තත්ත්ව, අංශභාග රෝගය මෙන් ම ඖෂධවල අනිසි ප්‍රතිඵල ද හේතුකාරක විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය.
ඇල්සයිමර් රෝගය යනු කුමක් ද?
වර්ෂ 1907 දී මුල්වරට ජර්මානු ජාතික ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ඇලෝඉස් ඇල්සයිමර් (Alois Alzheimer) මෙම රෝගය මුල්වරට හඳුන්වා දුන්නේ ය. මෙහි දී මොළය තුළ ඇමිලොයිඩ් (amyloid) ප්‍රෝටීන තැන්පත් වීම සහ ස්නායුවල තන්තු එකිනෙක පැටලී ගැටිති ඇති වීම සිදු වේ. මොළය පුරා ම මේ තත්ත්වය ඇති වුවත් වඩා දරුණු ලෙසින් මොළයේ සිතීමේ මධ්‍යස්ථානය ලෙසින් සැලකෙන හිපොකැම්පසය (hippocampus) මේ තත්ත්වයට ලක් වීම නිසා මතකයට හානි සිදුවීම වැනි රෝග ලක්ෂණ පහළ වේ.
කල් ගත වීමේ දී මොළයේ ස්නායු සෛලවලට හානි සිදු වී ඒවා විනාශ වේ. මේ නිසා මොළයේ ස්නායු පටක ප්‍රමාණය අඩු වී මොළය ප්‍රමාණයෙන් කුඩා වන අතර මොළයේ ඇති තරලවලින් පිරි කුටීර (ventricules) ප්‍රමාණයෙන් විශාල වේ. මේ අවස්ථාවේ දී මොළයේ ස්කෑන් පරීක්ෂණයක් මඟින් තත්ත්වය හඳුනාගත හැකි වුවත් මුල් අවස්ථාවේ දී එවන් ලක්ෂණ දක්නට නො ලැබෙන බැවින් රෝග තත්ත්වය ස්කෑන් පරීක්ෂණ මඟින් හඳුනාගැනීම අපහසු ය.
ශ්‍රී ලංකාව තුළ ඇල්සයිමර්ස් රෝගීන් පිළිබඳව සංඛ්‍යා ලේඛන සොයා ගැනීමට නොමැත. එහෙත් විශේෂඥ වෛද්‍යවරුන් සමග කළ සාකච්ඡාවල දී මෙවැනි රෝගීන් නිතර ප්‍රතිකාර ගැනීම සදහා යොමු වන බව දැන ගන්නට ලැබිණි. එසේ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳව නිරන්තරයෙන් අපට අසන්නට ලැබේ. එක්සත් රාජධානියේ දත්තවලට අනුව වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් ගෙන් 14 දෙනෙකු ගෙන් එක් අයෙකුට ද, වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් ගෙන් පස් දෙනෙකු ගෙන් එක් අයෙකුට ද ඇල්සයිමර්ස් රෝගය ඇති බව දැක්වේ.
තවත් බැරෑරුම් අවස්ථාවක් වනුයේ ඉතා අඩු එනම් අවුරුදු 30 හෝ හතළිහේ දී මේ තත්ත්වයට ලක්වන පුද්ගලයන් ද හමු වීම ය.
රෝග තත්ත්වයට ජානමය බලපෑමක් ඇති බව හෙළි වී ඇති අතර ජාන කීපයක් ම ඒ සඳහා බල පැවත්වන බව සොයාගෙන ඇත. විශේෂයෙන් ම Apolipoprotein E මේ රෝගයට ඉතා කිට්ටු සබඳතාවයක් දක්වන බව දැන් පැහැදිලි වී ඇත. අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ට්‍රෝල් පුමාණයක් තිබීම ද මේ සඳහා හේතු විය හැකි බව හෙළි වී ඇත. එසේ ම දුම්පානය සමග ද කිට්ටු සබඳතාවයක් ඇති බව පැහැදිලි වී ඇත.
මේ නිසා අධි රුධිර පීඩනය පාලනය කරගැනීම, කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කර ගැනීම සහ දුම් පානයෙන් වැළකීම මේ රෝග තත්ත්වය වළක්වාලීමට පිටිවහලක් වන්නේ ය.
මතකය අහිමි dementia රෝගියෙකු රැක බලා ගැනීම
තම පවුලේ අයකු හෝ මිතුරෙකු ඇල්සයිමර් රෝගයට ලක් වී මතකය අහිමි වීම කණගාටුදායක අවස්ථාවකි. බොහෝ විට තමන් හෝ තම පවුලේ අයකු මේ රෝග තත්ත්වයට බදුන් වී ඇතැ යි පිළිගැනීමට බොහෝ දෙනා මැලිකමක් දක්වති. අනෙක් අතට මෙවැනි රෝග තත්ත්වයක් අප සමාජය තුළ පැහැදිලි හඳුනාගැනීමක් නොමැති නිසා එය මානසික ආබාධයක් ලෙසින් සලකා සමාජීය වශයෙන් කොන් කිරීමකට ලක් වන අවස්ථා ද දැක ගත හැකි ය.
මතකය අහිමි යමෙකුගේ චර්යා රටාවන් බෙහෙවින් වෙනස් වන බැවින් ඔවුන් බලා කියා ගැනීම ඉතා ම බැරෑරුම් කටයුත්තකි. විශේෂයෙන් ම ලෝකයේ දියුණු රටවල මේ සඳහා ඇති විශේෂ සායන සහ පහසුකම් (උදාහරණ ලෙසින් උපදෙස් ලබා ගැනීම සඳහා ඇති දුරකතන පහසුකම් හෝ උදව් කරුවකු නිවසට පැමිණ හදිසි අවස්ථාවල දී අවශ්‍ය උපදෙස් ලබා දීම) අප රට තුළ වර්ධනය වී නොමැති බැවින් බොහෝ විට මේ කර්තව්‍යයට මුහුණ දීමට සිදු වන්නේ රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට ය. මෙවන් වාතාවරණයක් තුළ එවැනි රෝගියෙකු රැකබලා ගැනීම එතරම් පහසු කටයුත්තක් නො වේ. එසේ වුව ද රෝගියාගේ සුවසෙත සඳහා මේ කාර්යය ඉටු කිරීම අපගේ වගකීමකි. ඒ සඳහා වැදගත් වන කරුණු කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු.
රෝගය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම
නිවසේ සියලු දෙනා ම රෝගය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මේ රෝගීන්ට අප බොහෝ දෙනකු
සාමාන්‍යයෙන් සිතාමතා පුරුද්දක් වශයෙන් ඉටු කරන බොහෝ දේ සිදු කිරීමට අපහසු ය. ඔවුනට කතාබහ කිරීමට සුදුසු වචන සොයා ගැනීම අපහසු වන නිසා ඔවුන් දක්වන අදහස් අපැහැදිලි ය. මේ නිසා ඔවුහු කෝපයට සහ කණගාටුවට පත් වෙති. එහෙත් නිවැසියන්ට මේ තත්ත්වය පිළිබඳ හොඳ දැනීමක් ඇති විට රෝගියාට සහනදායි අයුරින් කටයුතු කිරීමේ හැකියාව අපට ලැබෙනු ඇත.
රෝගියාට තම අනාගතය පිළිබඳ විශ්වාසනීයභාවය ඇති කිරීම
මතකය අහිමි වී යන අය ගෙන් බොහෝ දෙනා තුළ මුල් කාලයේ දී ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇත. එහෙයින් ම ඔවුන් අනාගතයේ දී තමන්ට අත් විය හැකි ඉරණම පිළිබඳව කණගාටුවට පත් වීම සිදු වේ. මේ නිසා මේ රෝගීන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසනීය භාවය ඇති කිරීම ඉතා ම වැදගත් ය. එසේ නො කළ හොත් ඉතා ඉක්මනින් ඔවුන් මානසික අවපීඩනයට වේ.
නිසි පරිදි ඖෂධ ලබා දීම
මතකය අඩු වීම පාලනය කිරීමට ලබා දෙන ඖෂධ මෙන් ම ඔවුන්ගේ වෙනත් රෝග සඳහා ලබා ගන්නා ඖෂධ නිසි ආකාරයෙන් මේ රෝගීන්ට ලබා දීම ඉතා ම වැදගත් කරුණකි. ඔවුන් ඒ ඖෂධ නිසි පරිදි පාවිච්චි කරන බව සනාථ කර ගැනීම වැදගත් වන අතර පසුකාලීන ව ඔබ ඉදිරියේදී ම එම ඖෂධ රෝගීන්ට ලබා දීම කළ යුතු වේ. එසේ ම මේ රෝගීන් නියමිත කාලාන්තරයකට අනුව වෛද්‍යවරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගැනීම ද වැදගත් වේ. විශේෂයෙන් ම අලුත් රෝග ලක්ෂණයක් පහළ වූ විට ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට උපකාරී වේ.
රෝගියා අවට පරිසරය ආරක්ෂාකාරී ලෙස සකස් කිරීම
රෝගියාට පහසුවක් වන ආකාරයට නිවස සහ අවට පරිසරය සකස් කර ගැනීමෙන් හදිසි අනතුරු වළක්වා ගැනීමට පුළුවන. උදාහරණයක් ලෙස ඉහළ මාලයක සිටින රෝගියෙකුට පහත මාලයට පැමිණීම සඳහා පඩිපෙළ භාවිත කිරීමට සිදු වන බැවින්, ඔවුන්ට පහත තට්ටුවේ කාමරයක් සකස් කර දිය හැකි ය. තනි ව ම නිවසින් බැහැරට යෑම වැළැක්වීම සඳහා ගේට්ටුව අගුලු දමා තැබීම තවත් උදාහරණයකි.
හැකිතාක් දුරට සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට ඉඩ සැලසීම
සමහර අවස්ථාවල දී මතකය අඩු රෝගීන් ඔවුන්ගේ කාමරයට ම සීමා කර තැබීමට උත්සාහ ගන්නා අවස්ථා අප අත්දැක ඇත. එවැනි තත්ත්වයක දී රෝගියාගේ මොළය උත්තේජනය වීම සිදු වන්නේ අවම වශයෙන් බැවින් ඔවුන්ගේ රෝග තත්ත්වය ඉතා ඉක්මනින් දරුණු අතට හැරීමට ඉඩ ඇත.
මේ නිසා රෝගියා නිවෙසේ එදිනෙදා කටයුතුවලට හැකි පමණ සහභාගී කරගැනීම ඉතා වැදගත් වේ. පවුලේ සැමදෙනා සමග ඔවුන්ට ආහාර ගැනීමට සැලැස්වීම, නිදහසේ සතුටු සාමීචි කතාබහට ඔවුන් එකතු කර ගැනීම ද ඉතා ම වැදගත් ය. ඔවුන් අතින් සිදු වන අඩුපාඩු සහ අතපසුවීම් එතරම් සැලකිල්ලට නො ගත යුතු ය. කතාබහ කිරීමේ දී ඔවුන්ගේ අදහස් හෝ වචන නිසියාකාර ව යොදා නො ගන්නා අවස්ථාවල දී ඉතා සන්සුන් ව ඔවුන් සමග කතාබහ කතාබහ කිරීම වැදගත් ය. ආගමික වතාවත් සඳහා යොමු කරවීමත් මේ රෝගීන්ගේ මනස සන්සුන් කිරීමට ඉමහත් උපකාරයක් වෙයි.
මෙහි දැක්වූයේ මතකය අහිමි වන රෝගියෙකු රැකබලා ගැනීමේ දී වැදගත් වන ප්‍රධාන කරුණු කීපයක් පමණි. ඉතාම වැදගත් වන්නේ ඉවසීමෙන් සහ සන්සුන් ව කටයුතු කිරීම ය. මහලු, රෝගී සහ අපහසුතාවලට ලක් වූ අය හොඳින් රැක බලා ගැනීම අපගේ සංස්කෘතියේ ම අංගයක් වන බැවින් මෙවැනි රෝගීන්ට සහනයක් සැලසීමට කටයුතු කිරීම අපට අමුතු දෙයක් නො වේ.
ඇල්සයිමර් රෝගය සඳහා ප්‍රතිකාර
ඇල්සයිමර් රෝගය වැළඳුණු රෝගීන්ගේ ස්නායුවලට හානි සිදු වන බව අපි පැහැදිලි කෙළෙමු. මේ නිසා ස්නායු පුමාණය අඩු වන අතර ම ස්නායු අතර පණිවුඩ ගෙන යන රසායනයක් වන ඇසිටයිල්කෝලීන් (aacetylcholine) නිපදවීම ද අඩු වේ. මේ නිසා රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස සිරුරේ ඇසිටයිල් කෝලීන් ප්‍රමාණය ඉහළ නැංවීම යොදා ගැනේ. මේ සඳහා ඖෂධ ගණනාවක් ම ඇත. රෝගයේ මුල් අවස්ථාවේ දී ම මේ ඖෂධ භාවිතාවට ගත්තේ නම් රෝග තත්ත්වය දරුණු වීම ප්‍රමාද කර ගැනීමට හැකියාවක් තිබේ. මුල් අවස්ථාවේ දී ම ඖෂධ භාවිතාව මඟින් රෝගය මාස ගණනාවක සිට අවුරුදු දෙක තුනක් දක්වා ප්‍රමාද කර ගැනීමේ හැකියාව ඇත. ඒ මඟින් මේ රෝගීන්ගේ ජීවන තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර රෝගීන්ට මෙන් ම රෝගියා සමග වාසය කරන අයට ද රෝගය පිළිබද වැඩි අවබෝධයක් ලැබීම නිසා ඉදිරියේ දී ඇති වන ගැටලුකාරී අවස්ථා අඩු කර ගැනීමට ද මහඟු උපකාරයක් වේ.
ඇල්සයිමර්ස් රෝගය සදහා ප්‍රතිකාර නිර්මාණය කිරීමට බොහෝ පර්යේෂණ සිදු වෙමින් පවතී.
පසුගිය දා ලෙකැනෙමැබි (Lecanemab) නමින් හඳුන්වන නව ඖෂධයක් රුචිය ඇති කිරීම සඳහා බල පවත්වන ඇමිලොයිඩ ප්‍රෝටීන මොළයේ තැන්පත් වීම වළක්වාලීමට සමත් වන බව හෙළි විය. මේ ඖෂධ පිළිබඳ වැඩිදුර පර්යේෂණ සිදු වෙමින් පවතින අතර සොයා ගැනීම ඇල්සයිමර් රෝගය සඳහා වූ ප්‍රතිකාර ක්‍රමවල ප්‍රධාන සංධිස්ථානයක් වනු ඇතැයි සැලකේ.
අනෙක් ප්‍රධාන උපක්‍රමය වන්නේ රෝගය වළක්වාලීමට හැකි එන්නතක් නිපදවීම ය. මේ වන විට ඇමිලොයිඩ ප්‍රෝටීනයට එරෙහි විය හැකි එන්නතේ මූලික පර්යේෂණ සිදුවෙමින් පවතී. කෙසේ වුව ද මෙම ප්‍රතිකාර ක්‍රම එදිනෙදා සායනික වශයෙන් භාවිත කිරීමට අඩු වශයෙන් තවත් අවුරුදු කිහිපයක් ගත වනු ඇත. එබැවින් දැනට ඇති දැනුම යොදාගෙන රෝගය වළක්වාලීමට උපරිම අයුරින් කටයුතු කිරීම මෙන් ම රෝගයට ගොදුරු වූවන් මැනවින් රැක බලා ගැනීම ඉතා ම වැදගත් ය.
මතකයේ විස්තරය
මතකය අරුම පුදුම දෙයකි. යම් සිදුවීමක් දිගුකාලීන මතකයට යැවීමත්, අවශ්‍ය වූ විටෙක එය නැවත ලබා ගැනීමට හැකි වීමත් එහි ඇති විශේෂත්වයයි. අපට එවැන්නක් කළ නො හැකි වූයේ නම් සෑම දිනයක් සම්පූර්ණයෙන් ම අලුත් ම දිනයක් වනු ඇත. දැන් විද්‍යාඥයන් පිළිගන්නා අදහසට අනුව මතකය යනු ස්නායු සෛලවල එකිනෙක සමඟ ඇති සබඳතාවේ ප්‍රතිඵලයකි. අප ඉපදෙන විට මොළයේ ස්නායු සෛල බිලියන දහයක් පමණ වෙයි. මේවා එකිනෙක සමග ඒ වන විටත් සම්බන්ධතාවයන් ඇති කරගෙන ඇත. එනමුත් අප අලුත් දේ ඉගෙන ගන්නා විට තිබෙන සම්බන්ධතා වඩාත් දැඩි වීම හෝ අලුත් සම්බන්ධතා ඇති වීම සිදු වේ. මෙලෙස ඇති වන එක් සම්බන්ධතාවයක් එක කරුණක් පමණක් මතකයේ තබාගැනීමට සමත් වේ යැයි සැලකේ. මෙවැනි සම්බන්ධතා රැසක් එකවර භාවිතයට ගැනීමෙන් සංකීර්ණ සිදුවීමක් මතක තබා ගැනීමට හැකි වේ.
උදාහරණයක් ලෙස අපි කිරි එළදෙනක් ගැන සලකා බලමු. අපට එකවර ම කිරිවල සුවඳ, කිරිවල රසය පමණක් නොව උගේ පැටවා උම්බැ කියන හඬ ද ඇතුළු තවත් බොහෝ තොරතුරු මතකයට එයි. මේ තොරතුරු සියල්ල අපේ මොළයේ එක තැනක නො ව මොළය පුරා විවිධ ස්ථානවල ගබඩා වී ඇත. එහෙත් මොළයේ ඇති සම්බන්ධතාවල සංකීර්ණ බව නිසා මේ තොරතුරු සියල්ල එකවර ග්‍රහණය කර ගැනීමේ හැකියාව මොළය සතු ය.
එහෙත් මොළයේ සමහර ස්ථාන මේ සඳහා වඩා වැඩි දායකත්වයක් දරන බව පැහැදිලි වී ඇති කරුණකි. අලුතෙන් දිගුකාලීන මතකයන් සඳහා මොළයේ අභ්‍යන්තරයේ ඇති හිපොකැම්පස (hippocampus) ලෙස හඳුන්වන කොටස වැදගත් වන බව සනාථ වී ඇත. මේ පිළිබඳ ව කදිම උදාහරණයක් වන HM නමින් හැඳින් වූ රෝගියකු ගේ මොළයේ සිදු කෙරුණ ශල්‍යකර්මයක දී හිපොකැම්පසයට හානි සිදු විය. ඔහුට ශල්‍යකර්මයට පෙර සිදු වූ සිදුවීම් හොඳින් මතක තිබුණු අතර ශල්‍යකර්මයට පසු අලුතින් සිදු වූ සිදුවීම් මතක තබා ගැනීමේ හැකියාවක් නො විණි.
මොළයෙහි බාහිර පටක උත්තේජනය කිරීම මඟින් සමහර මතකයන් නැවත නැවතත් මතක් කිරීමට හැකි බව කැනේඩියානු ජාතික
ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වන වයිල්ඩර් පෙන්ෆීල්ඩ් පෙන්වා දීමෙන් අනතුරුව මතකය සඳහා මුළු මහත් මොළයේ ම සහභාගිත්වය අවශ්‍ය බව පිළිගැනිණි.
බොහෝ සත්ත්වයන්ට වඩා මිනිසාගේ මොළයේ බාහිර පටක ප්‍රමාණය වැඩි වීම මිනිසාගේ ප්‍රබල මතකයට හේතුවක් වන බව සමහර විද්‍යාඥයන්ගේ මතය වේ.
මොළයේ මධ්‍යස්ථයේ ඇති තැලමසය (thalamus) නමින් හඳුන්වන කොටසට හානි සිදු වූ විට යමක් මතකයට නැංවීමට අපහසු වන බව පෙනී ගොස් ඇත. ඒ අනුව අවශ්‍ය වූ විට දී මතකය එළිදැක්වීමට තැලමසය උපකාරී වන බව සැලකේ.
මොළයේ ස්නායු සෛලවලින් නිපදවන රසායන ද්‍රව්‍යයන් විශේෂයෙන් ම ඇසිටයිල් කෝලීන් මේ ස්නායු සෛල අතර ඇති සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යෑමට උපකාරී වන බව පැහැදිලි වී ඇත. ස්නායු සෛල විනාශ වී ගොස් මතකයට හානි සිදු වූ විට මේ රසායනයන් ඖෂධ වශයෙන් භාවිත කෙරෙන්නේ මේ නිසා ය.
මතකය දියුණු කරගත හැකි වේ ද?
මගේ මතකය මීට වඩා හොඳ වූවා නම් වඩාත් මැනවැ යි අප හැමට ම සිතුණු අවස්ථා එමට ය. ඇත්තෙන් ම අපේ මතකය තවදුරටත් වර්ධනය කර ගැනීමට නැත හොත් අමතක වීම් අඩු කර ගැනීමට හැකියාවක් ඇත. ඒ සඳහා විද්‍යාත්මක ව සනාථ වී ඇති උපක්‍රම කිහිපයක් පිළිබඳ ව සලකා බලමු.
නැවත නැවත යමක් කිරීම
පාඩම් කිරීම මේ සඳහා ඇති කදිම උදාහරණයකි. එක ම දෙය නැවත නැවත කිරීම මඟින් එය සිත තුළ හොඳින් තැන්පත් වෙයි. හොඳින් දන්නා දෙයකට සබඳතාවයක් ඇති කර ඒ මඟින් මතකය වඩාත් තහවුරු කර ගැනීමට පුළුවන. එලෙස ම පහසුවෙන් මතක ම තබා ගත හැකි දෙයකට සම්බන්ධතාවයක් ඇති කිරීමෙන් මතකය වර්ධනය වේ.
උදාහරණයක් වන්නේ දිසාවන් මතක තබා ගැනීමට අප භාවිත කරන “උපාලි ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන්” යන්න දැක්විය හැකි ය.
පෝෂ්‍යදායී ආහාර ගැනීම
මතකය වර්ධනය කිරීමට සමත් මැජික් ආහාරයක් හෝ විටමින් වර්ගයක් නොමැති නමුත් පෝෂ්‍යදායි ආහාර මොළයේ සෞඛ්‍යය රැක ගැනීමට උපකාරී වේ. විශේෂයෙන් ම කොළ ආහාර වර්ග, ඇට වර්ග මෙන් ම තෙල් බහුල මත්ස්‍ය සහ පලතුරු වර්ග මේ සඳහා වඩාත් සුදුසු වේ. එසේ ම අධික ලුණු සහ තෙල් සහිත ආහාර භාවිත කිරීමෙන් වැළකී සිටීම ද වැදගත් ය.
ව්‍යායාම
නිතර ව්‍යායාමවල යෙදීම මඟින් මොළයේ සෞඛ්‍යය ආරක්ෂා වන බව පැහැදිලි වී ඇති කරුණකි. ව්‍යායාම කිරීමේ දී මොළයේ රුධිර සංසරණය වැඩි වන අතර ඒ මඟින් මොළයේ සෛලවලට ඔක්සිජන් සහ පෝෂණය වඩාත් හොඳින් සැපයේ. එසේ ම ව්‍යායාම කිරීමේ දී සිරුර තුළ නිපදවන සමහර රසායනයන් මොළයේ සෛලවල පැවැත්ම සඳහා උපකාරී වන බව සොයාගෙන ඇත.
විවේකය සහ භාවනා කිරීම
නිසි පරිදි විවේක ගැනීම සහ පුරුද්දක් වශයෙන් භාවනාවේ යෙදෙන පුද්ගලයන්ගේ මතකය තීව්‍ර වන බව පර්යේෂණ මඟින් ඔප්පු ඇත. කලබලකාරී සහ ආතතියෙන් පෙළෙන පුද්ගලයන් මතකය පිළිබඳ ගැටලුවලට පහසුවෙන් ලක් වන බව පෙනී ගොස් ඇති කරුණකි.
නින්ද
සිරුරට අවශ්‍ය ප්‍රමාණයට නින්දක් නො ලැබෙන විට මතකයට හානි සිදු වන බව පැහැදිලි වී ඇති කරුණකි. නිදා ගන්නා කාලය තුළ දී මොළයේ ස්නායු සෛලවලට එකිනෙක අතර සම්බන්ධතා ඇති කිරීමට උපකාරී වන රසායන ද්‍රව්‍යයන් නැවත නිපදවා තැන්පත් කර ගැනීමට අවස්ථාවක් ලැබීම මෙයට හේතුවයි.
දිගුකාලීන රෝගවලට නිසි ප්‍රතිකාර ගැනීම
අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ අධික කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය වැනි දිගු කාලීන රෝග නිසි පරිදි පාලනය නො වූ විට මතකයට ඇති කරන බලපෑම අති මහත් ය. මෙවැනි රෝග නිසා මොළයට නිසි පරිදි රුධිරය සැපයීම සිදු නො වී ස්නායු සෛලවලට අවශ්‍ය පෝෂණය නො ලැබීම සඳහා හේතු වන බව සැලකේ.
සාමාජීය සබඳතා
වෙනත් පුද්ගලයන් සමග සම්බන්ධතා නො පවත්වා තනි ව ජීවත් වන පුද්ගලයන්ගේ මතකය ඉතා ම ඉක්මනින් පිරිහී යන බව පැහැදිලි වී ඇති තවත් කරුණකි. සෞඛ්‍යය රැකගැනීමට මෙන් ම දිගු කාලයක් ජීවත් වීමටත් සමාජ සබඳතා මහත් සේ උපකාරී වන බව පැහැදිලි වී ඇත.
මොළය උත්තේජනය කිරීම
හරස් පද ගැටලු විසඳීම සහ එවැනි වෙනත් ක්‍රීඩා සහ අභ්‍යාසවල යෙදීම මඟින් මොළය උත්තේජනය වන අතර ඒ නිසා මතකය පිරිහීම අඩු වන බව පෙන්වා දී ඇති තවත් කරුණකි. මෙවැනි ක්‍රියාකාරකම් මඟින් මොළය අභියෝගයට ලක්කරන අතර ඒ නිසා මොළය වඩාත් හොඳින් ක්‍රියාත්මක වන බව පෙන්වා දී ඇත.
දැන් මොළය උත්තේජනය කිරීම වෙනුවෙන් ම සකස් වූ පරිගණක ක්‍රීඩා නිර්මාණය වී ඇති අතර ඒවායින් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි බව පැහැදිලි වී ඇත.
විශේෂඥ වෛද්‍ය සෙත්සිරි විජේරත්න
එක්සත් රාජධානිය
ඡායාරූපය සුජාතා ජයරත්න
නිරූපණය නෝමන් පලිහවඩන