Home Features 2023 වසරේ අභ්‍යවකාශ ගවේෂණ 

2023 වසරේ අභ්‍යවකාශ ගවේෂණ 

by Sathya

උදා වූ 2023 නව වසර අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් කාර්යබහුල හා අවිවේකී වසරක් ලෙස දැනටමත් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මානව අභ්‍යවකාශ ගවේෂණයේ 66 වැනි සංවත්සරය යෙදෙන මේ වසරේ යෝජිත අභ්‍යවකාශ මෙහෙයුම් කිහිපයක් මේ සටහනෙන් දැක්වෙන අතර ඇතැම් විට ඉන් සමහරක මෙහි සඳහන් දින වකවානු වෙනස් වීමට ඉඩ ඇති බව ද සඳහන් කළ යුතු ය.

Space X Crew 6 මෙහෙයුම

ඇමෙරිකානු ප්‍රකෝටිපති ඉලොන් මල්ස්ගේ Space X සමාගමේ නිෂ්පාදිත, යළි භාවිතයට ගත හැකි Crew Dragon යානයක් මඟින් නාසා ආයතනය සමඟ ඒකාබද්ධ ව සිදු කෙරෙන සය වැනි වාණිජ අභ්‍යවකාශ චාරිකාව ලබන පෙබරවාරි මස මැද භාගයේ දී දියත් කිරීමට නියමිත ය. එමඟින් නාසා අභ්‍යවකාශගාමීන් ලෙස ස්ටීවන් බොවෙන් සහ වොරන් හෝබර්ග් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අභ්‍යවකාශයට පිවිසෙන දෙවැන්නා වන සුල්තාන් අලී නෙයාඩි ද, රුසියානු රොස්කොස්මොස් අභ්‍යවකාශ ඒජන්සියේ ඇන්ඩ්‍රි ෆෙව් ද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත යැවෙනු ඇත. දින 180ක කාලයක් ISSහි ගත කරන මෙහෙයුම ස්ටීවන් බොවෙන්ගේ සිවු වැනි අභ්‍යවකාශ චාරිකාව වුව ද, අනෙක් තිදෙනාගේ ම කුළුඳුල් අභ්‍යවකාශ සම්ප්‍රාප්තිය වීම විශේෂත්වයකි.

Polaris Dawn මෙහෙයුම

දින 5ක කාලයක් පෘථිවිය වටා කක්‍ෂගත වන පරිදි Space X මඟින් නිෂ්පාදිත Crew Dragon Resilience අභ්‍යවකාශ යානය පෞද්ගලික අභ්‍යවකාශ සංචාරයක් ලෙස සිවු දෙනකු කැටුව පිටත් ව යාමට නියමිත වන්නේ ලබන මාර්තු මාසයේ දී ය. කෝටිපති

ඇමරිකානු ව්‍යවසායකයකු වන ඡායෙඩ් අයිසැක්මන්ගේ දෙවැනි අභ්‍යවකාශ චාරිකාව මෙයයි. ඔහු සමඟ මංගල අභ්‍යවකාශගාමීන් ලෙස ඇමරිකානු ගුවන් නියමුවකු වූ ස්කොට් පොටීට් සහ සාරා ගිලිස් හා ඇනා මෙනන් යන ඇමෙරිකානු ඉංජිනේරුවරියෝ දෙදෙනා ද එක් වෙති. විසි නව වැනි වියේ පසු වන සාරා ගිලිස් පෘථිවිය වටා කක්‍ෂගත වන ළාබාල ම ඇමරිකානුවා ලෙස වාර්තාගත වනු ඇත. තව ද Polaris Dawn මෙහෙයුම මඟින් ද ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ඇවිදීම ලෙස බහිර් යානා ක්‍රියාකාරකම් (EVA) සිදු කිරීමට ද සැලසුම් කර තිබේ.

Space X Crew – 7 මෙහෙයුම

මේ වසරේ අගෝස්තු මාසයේ දී දියත් කිරීමට නියමිත ව ඇති මේ වාණිජ මෙහෙයුම මඟින් ද Crew Dragon යානයක් යොදා ගනිමින් ගගනගාමීන් සිවු දෙනකු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාමට සැලසුම් කර තිබේ. අභ්‍යවකාශ ගත වූ ප්‍රථම ඩෙන්මාර්ක් ජාතිකයා ලෙස 2015 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ඉංජිනේරු ඇන්ඩ්‍රියාස් මොගෙසෙන් සහ ජපන් ජාතික ශල්‍ය වෛද්‍ය සතෝෂි ෆුරුකාවා යන දෙදෙනාගේ දෙවැනි අභ්‍යවකාශ චාරිකාව වන්නේ මේ මෙහෙයුමයි. මෙහෙයුමේ ජාතික අනෙක් දෙදෙනා වන ඇමරිකානු ජැස්මින් මොබ්බෙලි සහ රුසියානු ජාතික කොන්ස්ටන්ටින් බොරිසොව් පළමු වරට අභ්‍යවකාශයට පිවිසෙන්නේ මේ මෙහෙයුම මඟිනි. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගත කෙරෙන දින 180ක කාලයකට සීමා වනු ඇත.

Starship කුළුඳුල් කක්‍ෂගත මෙහෙයුම

ලබන පෙබරවාරි මස දී Space X සමාගමේ පළමු Starship කක්‍ෂගත පරීක්‍ෂණ මෙහෙයුම දියත් කෙරෙන බව එහි නිර්මාතෘ ඉලොන් මස්ක් පසු ගිය ජනවාරි 07 වැනි දින ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කළේ ය. ඇමරිකානු ඇපලෝ සඳ තරණවල දී භාවිත කළ සැටර්න් V රොකටය මෙන් දෙගුණයකටත් වඩා බලවත් ප්‍රචාලනයක් සහිත Starship රොකටය මීටර් 120ක් (අඩි 394) උසැති වන අතර එහි විෂ්කම්භය මීටර් 9ක් (අඩි 30) වේ. ප්‍රචාලන ඉන්ධනය ලෙස යොදා ගැනෙන ද්‍රව මීතේන්වලට මිශ්‍ර කළ ද්‍රව ඔක්සිජන් සහිත මේ රොකටය ඉදිරියේ දී චන්ද්‍රයා සහ අඟහරු ලොව වෙත මිනිසුන් ගෙන යන මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත ව තිබේ.

JUICE මෙහෙයුම

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) දකුණු අභ්‍යවකාශ ප්‍රංශ ගයනාවේ පිහිටි ගයනා ඇමරිකාවට අයත් මධ්‍යස්ථානයෙන් ලබන අප්‍රේල් මාසයේ දී Jupiter Ice Moons Explorer (JUICE) නම් ග්‍රහලෝකාන්තර අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට නියමිත ය. එය අට වසරක දිගු ගමනකින් අනතුරු ව 2031 වසරේ ජූලි මස දී බ්‍රහස්පති ග්‍රහලොව වෙත ළඟා වනු ඇත.

සක්‍රීය යමහල් විදාරණ සිය ගණනක් සිදු වන බහිර් පෘථිවි අපායක් බඳු අයෝ ඇතුළු ගැනිමීඩ්, කැලිස්ටෝ සහ යුරෝපා යන බ්‍රහස්පති ලොවේ විශාල ම චන්ද්‍රයන් සිවු දෙනා පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් සිදු කිරීමට මේ JUICE මෙහෙයුමෙන් අපේක්‍ෂා කෙරේ. අනතුරු ව 2034 වසරේ දී යානය සෞරග්‍රහ මණ්ඩලයේ විශාලත චන්ද්‍රයා වන ගැනිමීඩ් වටා කක්‍ෂගත වීමට නියමිත ය. ඒ අනුව අපේ පෘථිවි චන්ද්‍රයා හැර සෞර ග්‍රහ මණ්ඩලයට අයත් වෙනත් උප ග්‍රහයකු වටා කක්‍ෂගත වන ප්‍රථම අභ්‍යවකාශ යානය වනු ඇත්තේ වර්ග මීටර් 85ක සූර්ය පැනල කට්ටලයකින් බල ගැන්වෙන JUICE යානයයි.

dearMoon මෙහෙයුම

මේ වසරේ චන්ද්‍රයා වටා කක්‍ෂගත කෙරෙන පෞද්ගලික චන්ද්‍ර සංචාරක මෙහෙයුමක් වන මෙයට Space X Starship යානයක් දින 6ක කාලයක් පුරා යොදා ගැනීමට සැලසුම් කර තිබේ. නව දෙනකුගෙන් සමන්විත මේ චන්ද්‍ර කක්‍ෂගත සංචාරය මඟින් ජපාන ජාතික බිලියනපති ව්‍යවසායක යුසාකු මයිසාවා දෙවැනි වරට අභ්‍යවකාශයට පිවිසීමට අපේක්‍ෂා කරයි. එහෙත් ස්ටීව් අයෝකි, ටිම් ඩොඩ් හා බ්‍රෙන්ඩන් හෝල් යන ඇමරිකානුවන් තිදෙනා ඇතුළු චෙක් ජාතික යෙමි A. D., අයිරිෂ් ජාතික රයනන් ඇඩම්, බ්‍රිතාන්‍ය ජාතික කරීම් ඉලියා, ඉන්දියානු රූපවාහිනී නළු දේව් ජෝෂි හා දකුණු කොරියානු ගායක චෝයි සෙයුන්-හයන් යන අනෙක් කලා ශිල්පීන් අට දෙනාගේ ම කුළුඳුල් අභ්‍යවකාශ තරණය වනු ඇත්තේ මේ මෙහෙයුමයි.

XRISM මෙහෙයුම

මේ වසරේ දී ජපාන ගුවන් අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වන JAXA ආයතනය මඟින් පෘථිවිය වටා කක්‍ෂගත කිරීමට නියමිත ව තිබෙන X – කිරණ ප්‍රතිබිම්බන සහ වර්ණාවලීක්‍ෂ මෙහෙයුම කෙටියෙන් දැක්වෙන්නේ XRISM යනුවෙනි. එමඟින් විශ්වයේ නිර්මාණය, චක්‍රාවාටවල න්‍යෂ්ටි සහ අඳුරු පදාර්ථය පිළිබඳ ව X – කිරණ ආධාරයෙන් වසර 3ක කාලයක් පුරා පරීක්‍ෂා කර බැලීමට සැලසුම් කර තිබේ. මෙහෙයුමේ කක්‍ෂගත යානයට 45 cm විෂ්කම්භයක් සහිත X – කිරණ දුරේක්‍ෂයක් ඇතුළත් වේ.

TEMPO මෙහෙයුම

පෘථිවි වායුගෝලයේ පහළ ම ස්තරය වන අප වෙසෙන පරිවර්තී ගෝලයේ දූෂණයට හේතු වන විමෝචනයන් අධීක්‍ෂණය කරනු ලබන Tropospheric Emission Monitoring of Pollution (TEMPO) මෙහෙයුම නාසා ආයතනය මඟින් දියත් කිරීමට නියමිත ව ඇත්තේ ද 2023 වසරේ දී ය. එමඟින් ප්‍රධාන වශයෙන් ම උතුරු ඇමරිකා මහාද්වීපයට ඉහළ වායුගෝලයේ ඇමරිකා මහාද්වීපයට ඉහළ වායුගෝලයේ දූෂණය මැනීමට සැලසුම් කර තිබේ.

චන්ද්‍රයාන් – 3 මෙහෙයුම

චන්ද්‍රයා මතට තම ධජය ගෙන ගිය සිවු වැනි රට බවට 2008 වසරේ දී වාර්තා තැබූ ඉන්දියාවට අයත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) මඟින් මේ වසරේ දී චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානය දියත් කිරීමට නියමිත ව ඇත.

චන්ද්‍රයාගේ දක්‍ෂිණ ධ්‍රැවයට ආසන්නයෙන් ගොඩබැස්වීමට සැලසුම් කර තිබෙන මේ මෙහෙයුමට ලෑන්ඩරයක් (පතිත යානයක්) සහ සඳ මත ගමන් කළ හැකි රෝවරයක් ඇතුළත් වේ. මේ රෝවරයෙහි භූ කම්පන මානයක් සහ වර්ණවලිමානයන් අඩංගු ය.

AX – 2 මෙහෙයුම

සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන Axiom – 2 නම් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුම Axiom Space යන අභ්‍යවකාශ යටිතල පහසුකම් සපයන පෞද්ගලික ඇමරිකානු සමාගමෙන් සිදු කෙරෙන්නකි. එහි අණ දෙන නිලධාරිනිය ලෙස දින 665ක වැඩි ම කාලයක් අභ්‍යවකාශයේ ගත කර තිබෙන ලොව එක කාන්තාව වන දැන් 62 වැනි වියේ පසු වන පෙගී විට්සන් ක්‍රියා කිරීමට නියමිත ය. පෘථිවිය වටා කක්‍ෂගත වූ වයස්ගත ම කාන්තාව වන ඇගේ සිවු වැනි අභ්‍යවකාශ චාරිකාව වනු ඇත්තේ මේ මෙහෙයුමයි. ජෛව රසායන විද්‍යා පර්යේෂිකාවක වන ඇය, මේ මෙහෙයුමට එක් වනු ඇත්තේ 63 වැනි වියට පා තැබීමෙන් අනතුරු ව ය. ඇය සමඟ ඇමරිකානු ගුවන් නියමුවකු හා මෝටර් රථ ධාවන ශූරයකු වන ජෝන් ෂොෆ්ටර් මෙන් ම තවත් සෞදි අරාබි ජාතිකයන් දෙදෙනෙක් ද මුදල් ගෙවා ප්‍රථම වරට අභ්‍යවකාශයට පිවිසෙති.

OSIRIS – REX මෙහෙයුම

නාසා ආයතනය විසින් 2016 වසරේ දී ගුවන් ගත කළ OSIRIS – REX අභ්‍යවකාශ යානය 101955 Bennu නම් පෘථිවි සමීප ග්‍රහකය වෙතින් ලබා ගත් ග්‍රෑම් 60ක පමණ සාම්පල ප්‍රමාණයක් ද රැගෙන ආපසු පෘථිවිය වෙත ළඟා වීමට නියමිත ව ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 24 වැනි දා ය. මෙය සාර්ථක වුව හොත් ග්‍රහකයක සාම්පල පෘථිවියට රැගෙන පැමිණි ප්‍රථම ඇමෙරිකානු අභ්‍යවකාශ යානය ලෙස එය වාර්තාවක් තබනු ඇත. මෙයට පෙර 25143 Itokawa සහ 162173 Ryugu යන ග්‍රහක දෙකෙන් සාම්පල රැගෙන විත් ඇත්තේ පිළිවෙළින් හයබූසා සහ හයබූසා – 2 යන ජපාන අභ්‍යවකාශ යානා යුගලය මඟිනි.

PSYCHE මෙහෙයුම

මේ වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින නාසා ආයතනය මඟින් දියත් කිරීමට සැලසුම් කර තිබෙන Psyche අභ්‍යවකාශ යානයේ ඉලක්කය වනු ඇත්තේ 16 Psyche නමැති මේ වන විට දන්නා බරැති ම හා විශාලත ම M – වර්ගයේ ග්‍රහකයයි. කිලෝමීටර් 220ක පමණ විෂ්කම්භයක් සහිත ග්‍රහකය වෙත 2029 වසරේ අගෝස්තු මස දී ළඟා වීමට නියමිත ව තිබෙන Psyche යානය මාස 21ක කාලයක් ග්‍රහකය වටා කක්‍ෂගත වෙමින් එය පිළිබඳ ව අධ්‍යයනය කිරීමට අපේක්‍ෂා කෙරේ. මෙය ලෝහමය ග්‍රහකයක් (M වර්ගයේ) වෙත අභ්‍යවකාශ යානයක් යැවෙන ප්‍රථම අවස්ථාවයි.

EUCLID මෙහෙයුම

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) මේ වසරේ දී දියත් කරනු ලබන අධෝරක්ත කිරණ අභ්‍යවකාශ දුරේක්‍ෂයක් EUCLID මෙහෙයුමට ඇතුළත් වේ. එය පෘථිවිය වටා සය වසරක කාලයක් කක්‍ෂගත කිරීමට නියමිතය. ජ්‍යාමිතියේ පියා ලෙස පිළි

ගැනෙන ග්‍රීක ජාතික ගණිතඥ යූක්ලිඩ්ගේ නමින් නම් කර තිබෙන මේ දුරේක්‍ෂය මගින් විශ්වය ප්‍රසාරණය වන ත්වරණය මැනීමෙන් අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථය පිළිබඳ ව අධ්‍යයනය කෙරෙනු ඇත.

ප්‍රේමශාන්ත කුමාරසිරි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications