Home Features The Last of Us යථාවක් විය හැකි ද?

The Last of Us යථාවක් විය හැකි ද?

by Sathya

අහස දෙදරුම් කවමින් ඇදී එන්නේ හෙලිකොප්ටර් යානා ය. යුද ගුවන් යානා නගර ගිනිබත් කෙරෙන බෝම්බ අත්හරිමින් සිටියි. ජනී ජනයා වික්ෂිප්ත වී හිස් හැරුණු අත දිව යති. අසල ගෙයක සිට පාරට දිව එන්නේ විරූපී ව ගිය මහලු කතකි. මාවත මතින් දිව යන ඇතැමෙක් ඇගේ ග්‍රහණයට නතු වෙති. ඇගේ මුවින් නික්මෙන නැවුම් දිලීර අංකුර පොදියක් ග්‍රහණයට නතු අසරණයාගේ මුව තුළින් සිරුරට ඇතුළු වෙයි. 

මේ අන් කිසිවක් නොව The Last of Us නමැති පරිගණක ක්‍රීඩාව පාදක කරගනිමින් තැනුණු HBO නාලිකා එකතුවේ එනමින් ම යුතු නවතම ටෙලි කතා මාලාවයි. 

මළ – නො මළ කඩඉම මත ජීවිතය රඳවාගෙන හැකිතාක් සිය වර්ගයා බෝ කරන්නට අවිඥාණික ව මෙහෙයවෙන ‘සොම්බි’ මිනිසුන් ගැන ගෙතෙන කතන්දර හොලිවුඩ් මෙන් ම කොරියානු නිර්මාණ ප්‍රවාහයන් තුළ නො මැකෙන සලකුණක් ඉතිරි කර ඇති බව නො රහසකි. නමුත් එවැනි ව්‍යසනයක් සැබැවින් ම සිදු විය හැකි ද? 

බොහෝ ටෙලි හෝ සිනමා හෝ නිර්මාණවල එන ‘සොම්බි’ රෝගවලට වගකිව යුතු වන්නේ ව්‍යාධිජනක වයිරසයකි. The Last of Us එහි වගකීම භාර දෙන්නේ දිලීර වෙතටයි. 

The Last of Us පරිගණක ක්‍රීඩාව තනන්නට පුරෝගාමී වූ දෙපළ පසු කලෙක පවසා ඇත්තේ මෙවැනි නිර්මාණයකට වස්තු බීජය පහළ වූයේ BBC නාලිකාවේ වාර්තාමය වැඩසටහන් මාලාවක් වන Planet Earth නරඹමින් සිටි මොහොතක බව ය. කුහුඹුවෙකුට ආසාදනය වී උගේ මනස යටත් කරගෙන ඌ ඇවිදින රූකඩ කුහුඹුවෙකු බවට පත් කරන දිලීරයක් පිළිබඳව එහි එක් කොටසක විස්තර විණි. Planet Earth ප්‍රදර්ශනය වූ 2006 වසර වන විට මේ දිලීරය Cordyceps ලෙස හඳුන්වනු ලැබූවත්, ඉන් පසු ව කළ වඩාත් විස්තීර්ණ වූ ජානමය පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇති පරිදි දැන් එය බහුල වශයෙන් හැඳින්වෙන්නේ Ophiocordyceps unilateralis නමිනි. 

මේ වන විට Ophiocordyceps කාණ්ඩයට අයත් පරපෝෂී දිලීර විශේෂ සියයකට වඩා හඳුනාගෙන තිබේ. ඒවා අතුරෙන් තිස් පහක් පමණ ම කෘමි සතුන්ගේ හැසිරීම් රටාවට අයහපත් ලෙස බලපාන බව තහවුරු කරගෙන තිබේ. නිව් යෝක් උද්භිත උද්‍යානයේ උද්භිත විද්‍යාඥ João Araújo පවසන පරිදි තවත් එවැනි කෘමි මනස්තලයන් වෙනස් කර දැමිය හැකි දිලීර සිය ගණනක් ඇතැයි සැලකෙන්නේ විදු ඇසෙන් වසන් වී ය. 

Ophiocordyceps විවිධ කෘමි සතුන් ඉලක්ක කරමින් සිය පැවැත්මේ අභිලාෂය ඉටුකර ගනිති. කුහුඹුවන්ට අමතරව සමනලුන්, සලබයන්, කුරුමිණියන් මෙන් ම මකුළුවන් වැනි වෙනත් සෙසු කෘමින් ද ඒවායේ ඉලක්ක බවට පත්‍ වේ. 

කුහුඹුවකු වෙත ආසාදනය වන පරපෝෂී දිලීරය ඌ තුළ ක්‍රියාත්මක වෙමින් කුහුඹුවාගේ ස්වකීය හැසිරීම් රටාව අඩපණ කර දමා සිය ගොදුරේ සිරුර අභ්‍යන්තරයේ ස්වකීය ආධිපත්‍යය පතුරුවා හරියි. මනස නතු කරගන්නා දිලීරය අනතුරුව සිදු කරන්නේ සිය ධාරකයා ගසක ඉහළින් ම ඇති අත්තකට නැඟ ගැනීමට පෙලඹවීමයි. ඉන්පසු ගසේ අත්ත තරයේ සපා කාගන්නට බලකෙරෙන අතර කුහුඹුවා මරණය දකී. ටික දිනකින් දිලීරය වඩ වඩාත් වර්ධනය වී මළ කුහුඹුවාගේ හිස පලාගෙන පිටතට අංකුරයක් වැඩෙන්නට සලස්වා දිලීරයේ බීජාණු ගසේ ඉහළ ම තැනක සිට අවට විසුරුවා හරී. ඒ තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් තවත් රූකඩ ධාරකයන් බිලී බා ගැනීම සඳහා ය. 

Ophiocordyceps වෙත ගොදුරු වී මියගිය කුහුඹුවෙක්

ඇමරිකාවේ යුටා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්යවරයෙකු මෙන් ම යුටා ප්‍රාන්ත ජාතික ඉතිහාස කෞතුකාරයේ දිලීර විද්‍යාව පිළිබඳ භාරකාරයෙකු ලෙස ද කටයුතු කරන Bryn Dentinger පවසන්නේ Cordyceps දිලීරවලට මෙසේ කෘමි සතුන්ගේගේ මනස හැරවීමේ හැකියාව කෙසේ ලැබුණේ  දැයි විද්‍යාඥයින් පවා තවමත් හරිහැටි වටහා ගන්නට සමත් ව නොමැති බවයි. ඒ පිළිබඳව තවමත් පවතින්නේ නිෂ්චිත වශයෙන් සනාථ කර නො ගත් මතවාදයන් ය.

‘මාංශපේෂීන්වලට කෙරෙන භෞතිකමය බලපෑමක් මෙහි දී සිදු වන බවයි පෙනෙන්නට තිබෙන්නේ. බොහෝවිට මොළය වෙත සිදු කෙරෙන වැඩිපුර වර්ධනයක් උන්ගේ හැසිරීම් රටාව කෙරෙහි බලපාන්න පුළුවන්.’ Dentinger සඳහන් කරයි. ‘නමුත් ධාරකයා වෙත රසායනික ප්‍රහාරයක් එල්ල වනවා වන්නටත් වැඩි ඉඩකඩක් පවතිනවා. ශරීරයට එල්ල වන රසායන අණුවක්, ප්‍රෝටීනයක් හෝ වෙනත් යමකිනුත් මොළය අයථා ලෙස හැසිරවෙන්නට පුළුවන්.’ ඔහු NPR වෙබ් අඩවියට පවසා තිබිණ. 

හොඳ HBO ප්‍රේක්ෂකයෙකු ද වන Dentinger යථා ලෝකයෙන් කතා මාලාව වෙන් වන වෙනස්කමක් ද පෙන්වා දෙයි. එනම් මේ පරපෝෂී දිලීර කෘමියාගේ මුව තුළින් සිරුරට ඇතුළු නොවීමයි. එසේ ම කතා මාලාවේ පෙන්වා දෙන පරිදි ආසාදිත කෘමීන් එක් ව ජාලයක් සේ සම්බන්ධ වන්නේ ද නැත.

එසේ ම මෙවැනි දිලීර මඟින් මිනිසුන්ට හානියක් සිදු නො වන බව විද්‍යාඥයෝ සඳහන් කරති. ඊට හේතුව මේවා ‘සුපිරි විශේෂ සුවිශේෂී’ හෙවත් ‘Super species specific’ වීම බව ‘සොම්බි කුහුඹුවන්’ අධ්‍යයනයේ නිරත ව සිටින නෙදර්ලන්තයේ Utrecht විශ්වවිද්‍යාලයේ චැරිස්සා ඩි ‍බෙකර් සඳහන් කරයි. කෘමීන් මෙන් නොව මිනිසාට ඇත්තේ සංකීර්ණ මෙන් ම විශාල වූ ද ශරීරයකි. එසේ ම අපගේ ශරීර උෂ්ණත්වයට අනුගත ව ඔරොත්තු දීමට ද ඊට නො හැකි ය. 

නමුත් මේ නො හැකියාව බිඳ දමන විද්‍යාත්මක ව පිළිගත හැකි ඇඟ කිලිපොලන පිළියමක් ද කතා මාලාවෙන් ම පෙන්වා දී තිබේ. එනම් ඉහළ යන ගෝලීය උෂ්ණත්වයයි. ඉහළ යන ගෝලීය උෂණත්වය හමුවේ ඊට ඔබින ලෙස හැඩගැසීම ජීවීන් සතු පරිණාමීය දායාදයකි. ඇතැම් විට දිලීර මේ මඟ තෝරාගනු ඇත. එසේ වුවහොත් යම් දිනෙක මිනිසාගේ ශරීර උෂ්ණත්වයේ වුව අඩපණ නොවී ක්‍රියාත්මක වීමේ හැකියාව ඔවුන් සතු වනු ඇත. කැට තබා කිව නො හැකි නමුත්, එඑලෙස සිය පැවැත්මේ කඩඉමක් පනිනා දිලීර අතර මේ දිලීර විශේෂ ද තිබීමේ සම්භාවිතාවක් තිබේ. 

ජපානයෙන් හමු වූ නිශ්චිත ව හඳුනාගෙන නොමැති Ophiocordyceps විශේෂයට අයත් දිලීරයකට බිලි වී මියගිය Camponotus කුහුඹුවෙක්

‘සොම්බීන්’ බවට පත් නො කළ ද දිලීර ආසාත්මිකතා මිනිස් සෞඛ්‍ය කෙරෙහි අනර්ථකාරී ලෙස බලපාන බව සැලකිය යුතු කරුණකි. දිලීර ආසාත්මිකතා හේතුවෙන් වසරකට මිලියන 300ක පමණ ජනකායක් රෝගී වෙති. ඉන් මිලියන 1.5ක් පමණ ම මියයති. ඊට හේතුව වන්නේ දිලීර ආසාත්මිකතාවකට ප්‍රතිකාර කිරීම අපහසු වීමයි. දිලීර සෑදී තිබෙන්නේ ද මිනිස් ශරීරය නිර්මාණය වී ඇති යූකැරියෝටික් (eukaryotic) සෛලවලිනි. එබැවින් මිනිස් සෛලවලට ද සැලකිය යුතු හානියක් කර නො ගෙන දිලීර ආසාත්මිකතා සුව කිරීම අපහසු ය. 

වඩාත් සිත් ගන්නාසුළු කරුණ නම් මෑත කාලීනව දිලීර ආසාත්මිකතා වැඩි වශයෙන් වාර්තා වීමයි. පසුගිය වසරේ අග භාගයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිනිස් සෞඛ්‍යය තර්ජනයට ලක් කරන දිලීර ඇතුළත් කරමින් ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කරන ලදී. ඒ ආසාත්මිකතා ඇති කරන දිලීර පෙන්වා දෙමිනි. ඒ අතර Ophiocordyceps unilateralis  නැත්තේ ඉන් මෙතෙක් මිනිස් ආසාදනය වීම් වාර්තා වී නොමැති නිසා ය. එනමුත් පොදුවේ ගත් කල මෑත කාලීන ව දිලීර ආසාත්මිකතාවල වැඩි වීම පෙර සඳහන් කළ උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි ‘හැරීමේ’ එක් පියවරක් විය හැකි බව පර්යේෂකයෝ තර්ක කරති. 

‘මිනිසුන් දිලීර ආසාත්මිකතාවන්ට ලක් වනවා වැඩි වශයෙන් අපට දකින්නට ලැබෙන්නේත් ඒ හේතුව නිසා වන්නට පුළුවන්. නමුත් අදවන තුරු ම ඒ අතර cordyceps නැහැ. කොහොම නමුත් අනාගතයේ එහෙම වෙන්න වුණත් යම් ඉඩක් තිබෙනවා. නමුත් මේ මොහොතේ එහෙම වෙන්න ඉඩක් නැහැ.’ Dentinger, NPR වෙබ් අඩවියට පවසා තිබේ. 

විද්වතුන් පවසන්නේ විය හැකි සම්භාවිතාවක් තිබුණත්, දැනට එවැනි අවදානමක් නොමැති බව ය. එනිසා The Last of Us සැහැල්ලු සිතින් නැරඹීමේ හැකියාව අපට ඇත. එය දැනටමත් දිලීර පිළිබඳ ප්‍රේක්ෂක උනන්දුව ඇති කරවීමට සමත් ව ඇති බැව් නො රහසකි. ‘The Last of Us යථාර්ථයක් විය හැකි ද?’  මැයෙන් විද්‍යා ක්ෂේත්‍රෙය් සිටින පර්යේෂකයන්, විද්‍යාඥයන්  පවා අන්තර්ජාලය ඔස්සේ සිය අදහස් හුවමාරු කරගන්නා තැනට පත් ව තිබේ. එය යහපත් ප්‍රවණතාවකි. නො දකින පැතිකඩ නිරාවරණය කර සමාජයීය කතිකාවත් ඇති වීමට ජනප්‍රිය ධාරාවේ සිනමාකරණය අද්විතීය බලපෑමක් එල්ල කරන බව පෙන්වා දීමට මෙය කදිම උදාහරණයකි. 

‍සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications