Home Features ඔහායෝ දුම්රිය අනතුර

ඔහායෝ දුම්රිය අනතුර

by Sathya

ඇමරිකා එක්සත් ජනපදයට දුම්රිය පීලි පැනීම් සාමාන්‍ය දෙයකි. මේ වසරේ ගත වූ මාස දෙකක කාලය ඇතුළත එරට පීලි පිනූ දුම්රිය ගණන 12 කි. සාමාන්‍යයෙන් එරට වසරකට පීලි පනින දුම්රිය 1000 ඉක්මවයි. ඉකුත් පෙබරවාරියේ 3 වැනි දා ද දුම්රියක් පීලි පැනීමට ලක් වූයේ ය. නමුත් එය අනෙකුත් දුම්රිය අනතුරුවලට වඩා වෙනස් වන්නේ ඉන් පරිසරයට සිදු වූ මිල කළ නො හැකි හානිය නිසා ය. 

එය අධිබලැති එන්ජින් තුනකින් අදිනු ලැබූ එය ගැල් රථ 150කින් යුතු සැතපුම් දෙකකට ආසන්න දුරකට විහිදුණු භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රවාහන දුම්රිය සමාගම් අතර පතාක යෝධයෙකු වූ Norfolk Southern සමාගම එකී දුම්රියටත්, එය ගමන් ගන්නා දුම්රිය මාර්ගයටත් හිමිකම් කීවේ ය. සැතපුම් දහස් ගණනක් වූ එහි ගමන් මඟ ඇඳී තිබුණේ ඉලිනොයිස්හි මැඩිසන් නගරයේ සිට පෙනිසිල්වේනියාවේ කොන්වේ දක්වා ය. ඔහායෝ ප්‍රාන්තය පසු කර පෙනිසිල්වේනියාවට ඇතුළු වන සීමාවට ළං වන විට රාත්‍රිය එළී තිබුණි. හරියට ම රෑ 8.54ට එය පීලි පැනීමකට ලක් විය. ඒ ඔහායෝ ප්‍රාන්තයේ ඊස්ට් පලස්ටීන් (East Palestine) නගරය අසබඩ දී ය. දුම්රිය මාර්ගය ගිනි ගත්තේ ය. 

දුම්රිය පීලි පැන්නේ ඇයි?

National Transportation Safety Board දුම්රිය අනතුරට හේතුව සොයා පරීක්ෂණ පවත්වමින් සිටියි. දරුණු දුම්රිය අනතුරු මෙන් ම ගුවන් අනතුරු පිළිබඳ ද පරීක්ෂණ මෙහෙයවන ඉන් අවසන් සවිස්තරාත්මක වාර්තාවක් එළියට එන්නට ඇතැම්විට වසර ගණනක් ගතවේ. කෙසේ නමුත් ඔවුන් දැනට හඳුනාගෙන ඇති පරිදි සියල්ල ඇරඹී තිබෙන්නේ ගැලක එකිනෙකට සමාන්තර රොද දෙකක් යා කෙරෙන ඇක්සලයක කැඩී යාමෙනි. එකී ගැල් රථය යටින් ගින්නක් දැල්වෙමින් තිබූ බව සේලම් හි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියක ආධාරයෙන් අනාවරණය කරගත හැකි විය. 

විෂ රසායනික

පසු දාට පහන් වී ගින්න තව තවත් දලු ලා වැඩෙන විට ගැල් 150 අතුරෙන් 20ක අන්තරායකර රසායනිකයන් බහා තිබූ බව අනාවරණය විය. Norfolk Southern සමාගම ප්‍රසිද්ධියට පත් කළ දුම්රිය බඩු ලැයිස්තුවට අනුව වයිනල් ක්ලෝරයිඩ්, බියුටල් ඇක්‍රිලේට්, එතිල්හෙක්සිල් ඇක්‍රිලේට් සහ එතිලින් ග්ලයිකෝල් මොනොබියුටිල් යනු ඒවා ය. වහා ගිනි ඇවිළෙන සුළු ද වූ මේවා රැගත් ගැල් රථ පිපිරී ගියහොත් ඉන් විසි වී යන මරණීය සුන්බුන් කොටස් සැතපුමක් දක්වා වුව විසි වී යා හැකි බව හෙළි විය. 

පාලිත මුදාහැරීම

ඇමරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සිය (Environmental Protection Agency – EPA) අනතුරට පසු දා ම වාතයේ සහ ජල මූලාශ්‍රයන්ගේ ගුණාත්මකතාවය පිරික්සා බැලීමේ කටයුතු ඇරඹුවේ ය. ඔවුන් ලද ප්‍රතිඵල

 සතුටුදායක වූයේ නැත. අවට ජල මූලාශ්‍ර ඉන්ධන පැල්ලම් ඉහිරී ගිය විටෙක මෙන් පටලයකින් වැසී ඇති බව නිරීක්ෂණය විය.  

දුම්රිය මාර්ගය පිරිසිදු කර පිළිසකර කිරීම Norfolk Southern සමාගම වෙතට ම පැවරුණි. ඔවුහු වැඩ ඇරඹිය හැකි ක්‍රම දෙකක් ඉදිරිපත් කළහ. ඉන් එකක් වූයේ ගිනි ගන්නා ගැල්වලට එතැන ම දැවී යන්නට ඉඩ දී සිදු විය හැකි සුවිශාල පිපුරුම වළක්වා ගැනීමයි. දෙවැන්න විෂ රසායනිකයන් එක්කොට කෙරෙන පිපුරුමක් ඔවුන් විසින් ම සිය අධීක්ෂණය යටතේ සිදු කිරීමයි. බලධාරීන් විසින් එය හඳුන්වනු ලැබුවේ Controlled release හෙවත් ‘පාලිත මුදාහැරීමක්’ ලෙසිනි. ඔහායෝ ආණ්ඩුකාර මයික් ඩිවයින් සහ පෙනිසිල්වේනියා ආණ්ඩුකාර ජෝෂ් ෂපිරෝගේ අනුමැතිය දෙවැනි සැලැස්ම කෙරේ හිමි විය. 

පාලික මුදාහැරීමෙන් ඇති වූ කළු පැහැති ඝන දුමාරය

පෙබරවාරි 06 වැනි දා පිපුරුම් කම්පනයක් ද සමග දහනය කිරීමේ ක්‍රියාවලිය ඇරඹුණි. එම ක්‍රියාවලිය තුළින් කළු පැහැති ඝන දුමාරයක් අහසට විහිදී වායුගෝලයට නිරාවරණය වනු දැකගත හැකි විය. ඔහායෝ ආණ්ඩුකාරවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාලිත මුදාහැරීමේ ක්‍රියාවලියේ දී විෂ රසායන ද්‍රව්‍යවලට ගිනි තැබීමක් සිදු කෙරෙන බැවින් ආශ්වාසයේ දී මරණීය තත්ත්වයන් ඇති කළ හැකි ධුමාරයක් ඇති වන බව ය. පවතින දේශගුණ තත්ත්වය සලකා බැලීමේ දී අදාළ ක්‍රියාවලිය සිදු කෙරෙන විට රතු පිහියෙන් දක්වන ලද ආසන්නතම ප්‍රදේශ තුළ රැඳී සිටින්නන් මරණ අවධානමක් වෙත තල්ලු වන බැවින් වහා ම නගරය අත්හැර ආරක්ෂිත කඳවුරු වෙත යන ලෙස ඔහු ජනයාගෙන් ඉල්ලා සිටියේ ය. යළි නිවෙස් වෙත පැමිණිය හැකි වාතාවරණයක් උදා වන්නේ කවදා දැයි දළ අදහසක් හෝ නො ලැබ ප්‍රදේශවාසීන්හට සිය නිවෙස්වලින් බැහැර වන්නට සිදු විය. 

සෞඛ්‍ය ගැටලු සහ පාරිසරික බලපෑම්

දෙ දිනකට පසු ආණ්ඩුකාරවරයා යළිත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නිවෙස් අතැර ගිය පදිංචිකරුවන්ට යළිත් එහි පැමිණිය හැකි බව ය. නමුත් ආපසු පැමිණි පදිංචිකරුවන්ගෙන් විවිධ රෝග ලක්ෂණ මතුවන්නට පටන් ගත්තේ ය. හිසේ කැරකිල්ල, වමනය පහවීම මෙන් ම හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඒ අතර වෙයි. ඇතැම් නිවෙස් ජනෙලවල කළු පැහැති තිමිර පටලක් බැඳී තිබේ. ප්‍රදේශවාසීහු සිය නිවෙස් තුළ කර්කෂ ගන්ධයක් දැනෙන බවත්, දිවගට තිත්ත රස දැනෙන බවත් චෝදනා කරති. 

වයිනල් ක්ලෝරයිඩ්, බියුටල් ඇක්‍රිලේට් සහ එතිල්හෙක්සිල් ඇක්‍රිලේට්වලට කෙරෙන දිගු කාලීන නිරාවරණය වීම් මිනිසුන්ගේ අක්මාව හානි වීම කෙරේ බලපායි. කෙටිකාලීන නිරාවරණය වීම් හේතුවෙන් හිසේ කැක්කුම සහ කරකැවිල්ල ඇති විය හැකි ය.

Norfolk Southern සමාගම විසින් එවන ලද තත්ත්ව විශ්ලේෂණ කණ්ඩායම් ගෙන් ගෙට ගොස් පවත්නා තත්ත්වය පිරික්සා බලති. ඔවුන් පවසන්නේ සෞඛ්‍යය හානි විය හැකි තත්ත්වයක් ඒ අවට නොමැති බවයි. නමුත් ඔවුන් ද Norfolk Southern සමාගමේ ම නියෝජනයක් වීම නිසා ඔවුන්ගේ තත්ත්ව පරික්ෂාවන් පිළිබඳ ද විශ්වාසය තැබීමට පලස්ටයින් වාසීහු මැලි වෙති. 

ඊස්ට් පලස්ටයින්හි ජන ජීවිතය මේ වන විට මුළුමනින් ම වියවුල් ව ගොසිනි. 4000කට වැඩි ජනගහනයක් සිටින ඊස්ට් පලස්ටයින්හි බොහෝ දෙනා සත්ත්ව ගොවිපොළවල් පවත්වාගෙන යාම සිය ජීවිකාව කරගෙන සිටින අයයි. සිය සත්ත්ව ගොවිපොළවලට ද මින් සිදු විය හැකි බලපෑම ගැන ඔවුහු සාධාරණ දෙගිඩියාවකින් පසු වෙති. ගොවිපොළ සතුන් මෙන් ම සුරතල් සතුන් කිහිප දෙනෙකු ම රෝගී වී ඇති බව ද වාර්තා විය. 

අනතුරින් අවට පරිසරය හා වායුගෝලයට නිරාවරණය වූ රසායනික සංයෝග සතුන් කෙරේ දරුණුවට බලපායි. ඔවුන්ගේ වකුගඩු හා අක්මාවට හානි පැමිණවීමට ඒවාට ගතවන්නේ සාපේක්ෂව අඩු කාලයකි.  

ඔහායෝ ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුව පෙබරවාරි 14 වැනි දා පවසා සිටියේ දුම්රිය අනතුර හා සම්බන්ධ රසායනික හේතුවෙන් ජලජ ජීවීන් 3500ක් පමණ මියයන්නට ඇති බව තමන් අපේක්ෂා කරන බව ය. ඉකුත් 23 වැනි දා ඔවු නිකුත් කළ නවතම යාවත්කාලීන කළ දත්තවලට අනුව රසායනික  හේතුවෙන් කිලෝමීටර 8ක් දක්වා දිවෙන ආසන්න ජල මූලාශ්‍රයන් පදනම් කරගත් ජලාශ්‍රිත සතුන් 43,700ක් පමණ මේ වන විට මිය ගොස් තිබේ. EnviroScience නම් ස්වාධීන පරිසර සංවිධානය විසින් කෙරුණු හානි තක්සේරුවකින් සල්ෆර් රන්, ලෙස්ලි රන්, බුල් ක්‍රීක් සහ නෝ(ර්)ත් ෆෝ(ර්)ක් ලිට්ල් බීවර් ක්‍රීක් යන කුඩා අතු ගංගා හතර අසබඩ ම ම දහස් ගණන් සත්ත්ව මළ සිරුරු නිරීක්ෂණය කරන ලදී. වැඩිපුර ම මියගොස් සිටියේ minnow ලෙසින් හැඳින්වෙන මෙරට තිත්තයාට සමානකම් දක්වන කුඩා මසුන් විශේෂයයි. ප්‍රමාණයෙන් විශාල මත්ස්‍යයින්, උභය ජීවීන් මෙන් ම මිරිදිය කකුළු විශේෂ ද අතරින් පතර මැරී සිටිනු දක්නට ලැබුණි. CBS නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ඔහායෝ ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ මේරි මර්ට්ස් පවසා තිබුණේ ඔවුන් මියගොස් තිබුණේ දුම්රිය පීලි පැනීම සිදු වූ විගසින් ම බවයි. 

රත් වූ වොෂිංග්ටනය 

කොතැනක හෝ බොහෝ පිරිසකගේ ජීවිතවලට බලපාන යම්කිසි ඛේදවාචකයක් සිදු වූ විටෙක දී ඇමරිකානු ජනාධිපතිවරයා එහි සංචාරයක නිරත වී සුවදුක් සොයාබැලීම සාමාන්‍ය සිරිත ය. නමුත් ජෝ බයිඩන් මේ වන තුරුත් ඊස්ට් පලස්ටයින් වෙත ගියේ නැත. අවම වශයෙන් උපජනාධිපති කමලා හැරිස් හෝ එහි නො ගියේ කුමක් නිසා දැයි ඇතැම්හු ප්‍රශ්න කරති. රිපබ්ලිකන් පක්ෂය සහ ජෝ බයිඩන් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂය අතර මේ වන විට උග්‍ර වාග් සංග්‍රාම ඇවිළෙමින් තිබේ. 

හිටපු රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊස්ට් පලස්ටයින් වෙත ගියේ ය. ඒ ට්‍රම්ප් සන්නාමය යටතේ බෝතල් කළ පානීය ජලය ද සමග ය. දුම්රිය අනතුරෙන් සිදු වන හානිය අවම කරගන්නට බයිඩන් පාලනය දැක් වූ අසමත්කම හේතුවෙන් ට්‍රම්ප්ට හොඳ පිළිගැනීමක් එහි දී ලැබුණු බව නො කිව මනා ය. නමුත් ඔහු ද එතැනට ගියේ ‘දේශපාලනය’ කිරීමට මිස සැබෑ පිවිතුරු හදකින් නො වන බව පෙනී ගියේ ‘Trump’ ලෙස සඳහන් කැප් තොප්පි ද බෙදා දුන් නිසා ය. 

ට්‍රම්ප්ට ද මෙහි ඇති වගකීමෙන් පැන යාමට නො හැකි වන්නේ ඔහුගේ පාලන සමය තුළ සිදු වූ දුම්රිය වාර සඳහා වන ආරක්ෂණ නියාමන ක්‍රමවේදය අහෝසි කිරීම හේතුවෙනි. ඔබාමා-බයිඩන් පාලන සමය තුළ ගෙන එනු ලැබූ දැඩි දුම්රිය නියාමන නීති රාමුව ගලවා දැමුවේ ඔහු ය. අහෝසි කර දමනු ලැබූ නීති රීති අතර අන්තරායකර රසායන ප්‍රවාහනය කෙරෙන දුම්රියට විශේෂිත වූ තිරිංග පද්ධතියක් ද අඩංගු ව තිබුණි. ධවල මන්දිරය සඳහන් කරන්නේ එය අහෝසි නො කළේ නම් මේ අනතුර සිදු නො වන බවයි.  

ඇතැමුන් මේ දුම්රිය අනතුර හඳුන්වන්නේ ‘ඇමරිකාවේ චර්නොබිල්’ ලෙසයි. සෝවියට් සමූහාණ්ඩුවේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිපුරුමෙන් සිදු වූ ඛේදවාචකයට අහලකින් තැබීමට හෝ නො හැකි වුවත් මෑත කාලීන ඇමරිකාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර සහ රසායන ද්‍රව්‍ය ඉහිරීම ලෙස මෙය හඳුනාගත හැකි ය.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications