Home Features ට‍ොරීනෝ පරිමාණය

ට‍ොරීනෝ පරිමාණය

by Sathya

මෑතක දී සොයාගැනුණු 2023DW ග්‍රහකය 2046 වසරේ ආදරවන්තයින්ගේ දිනයේ දී පෘථිවිය සමග ඝට්ටනය විය හැකි බව ඉකුත් දා නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනු ලැබුණා. ආසන්න වශයෙන් කිලෝමීටර 50 ක විශ්කම්භයකින් යුතු මෙය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 18ක් දුරින් පිහිටන අතර පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව ලෙස සඳහන් වන්නේ 625න් 1යි. ග්‍රහකය තව තවත් පෘථිවියට ළඟා වන අතරේ එහි ගමන් පථය වඩාත් නිරවද්‍ය ව දැනගන්නා තෙක් ම මේ සම්භාවිතාව එහි මෙහා විය හැකියි. දැනට හැඳින ඇති පරිදි ටොරීනෝ පරිමාණයට අනුව එයට ලැබී ඇති අගය වන්නේ 1 යි.

ටොරීනෝ පරිමාණය ග්‍රහකයක ඝට්ටනය වීමට ඇති අවදානම වර්ගීකරණය කිරීම සඳහා දැනට බහුලව යොදා ගැනෙන ක්‍රමවේදයයි. එසේ ම එහි ඇති අවදානම් මට්ටම සාමාන්‍ය මහජනයාට ද තේරුම් යන සේ සන්නිවේදනය කළ හැකි වීම ද විශේෂත්වයක්. එමඟින් යම් ග්‍රහකයක් ඝට්ටනය වීමට ඇති සම්භාවිතාවත්, එය සතු චාලක ශක්තියත් සංයෝජනය කරමින් විය හැකි ගැටුමක ප්‍රබලත්වය පෙන්වා දෙනවා. ඇතැම් විට යම් ග්‍රහකයකට ගණනය කෙරෙන ටොරීනෝ අගය වැඩි විය හැකියි. බොහෝ විට එය සිදු වන්නේ කාලයත් සමග ක්‍රමිකවයි.

ටොරීනෝ පරිමාණය (Torino Scale) හඳුන්වා දෙන ලද්දේ ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙකු මෙන් ම ග්‍රහ විද්‍යාඥයෙකු ද වූ මහාචාර්ය රිචඩ් පී. බින්සල් (Richard P. Binzel) විසින් 1995 වසරේ දී යි. ඔහු එවක මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ (MIT) පෘථිවි, වායුගෝලීය සහ ග්‍රහලෝක විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඔහු විසින් 1995 දී පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවක දී ටොරීනෝ පරිමාණයේ මුල් ම සංස්කරණය ඉදිරිපත් කරනු ලැබුණා. ඔහු එහි දී එය හඳුන්වා දී තිබුණේ Near-Earth Orbit Hazard Index ලෙසයි. ‘උවදුරු දර්ශකය’ හෙවත් ‘Hazard Index’ යන කෙටි යෙදුමෙන් ද හැඳින්වූ එය තවත් හොඳින් පිරියම් කර 1999 දී ඉතාලියේ, ටියුරින් (Turin) නුවර දී පෘථිවියට ආසන්න වස්තූන් (Near Earth Objects – NEOs) සම්බන්ධයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර සමුළුවට ඉදිරිපත් කෙරුණා. සංස්කරණය කරන ලද පරිමාණයට එහි දී මනාපය හිමි වූ අතර NEOs මඟින් පෘථිවියට හෙළන උවදුරු ගැන කෙරෙන පර්යේෂණ කටයුතු වෙනුවෙන් සමුළුවෙන් ඉටුවන සේවය සිහිවීම පිණිස එය ‘ටොරිනෝ පරිමාණය’ ලෙස නම් කිරීමට ද එහි දී පියවර ගැනුණා. ටොරීනෝ යනු ඉතාලි භාෂාවෙන් ටියුරින් නුවර හඳුන්වන නමයි.

ටොරීනෝ පරිමාණය සිය මැනීම් කටයුතු සඳහා 0 සිට 10 දක්වා වූ පාඨාංක යොදාගන්නවා. 0 මඟින් පෘථිවිය සමග නො ගැටී යන ග්‍රහකයක් හෝ පෘථිවියට කඩා වැටුණත් කිසි හානියක් නො කරන, නො සලකා හැරිය හැකි කුඩා කොටස් නියෝජනය කෙරෙනවා. අංක 10 මඟින් ගෝලීය ව්‍යසනයක් ඇති කළ හැකි ග්‍රහකයක ඝට්ටනය නියත වශයෙන් ම සිදු වන බව තහවුරු කෙරෙන අවස්ථා නියෝජනය කෙරෙනවා. මේ පරිමාණය භාවිතා කළ හැක්කේ වසර සියවසක කාල සීමාවකින් මෙහා ඇති ඝට්ටනය වීම් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට පමණයි.

ටොරීනෝ පරිමාණය සිය පාඨාංක වඩාත් පැහැදිලි ව නිවේදනය කිරීම සඳහා වර්ණ කේත ක්‍රමයක් යොදා ගන්නවා. එය සුදු, කොළ, කහ, තැඹිලි සහ රතු පැහැයන්ගෙන් සමන්විතයි. එහි අන්තර්ගතය මෙසේ දැක්විය හැකියි.

උවදුරක් නැත (සුදු)

0 – ඝට්ටනයක සම්භාවිතාව බොහෝ විට ශුන්‍ය හෝ ශුන්‍ය ලෙස ගෙන නො සලකා හැරිය හැකි ය. වායුගෝලයේ දී දැවී යන උල්කාෂ්ම සහ වෙනත් ප්‍රපංචයන් මෙන් ම කලාතුරකින් අනතුරක් ඇති කරන උල්කාපාත කඩා වැටීම් ද ඇතුළත් වේ.

සාමාන්‍යයි (කොළ)

1 – අසාමාන්‍ය මට්ටමක උවදුරක් ඇති නො කර අසලින් ඇදී යා හැකි බවට උපකල්පනය කෙරෙන ග්‍රහකයක් නිරීක්ෂණය කෙරේ. වත්මන් ගණනය කිරීම් මඟින් ඝට්ටනයක් සිදු වීම අතිශය විරල බව පෙන්නුම් කෙරෙන අතර මහජනයාගේ අවධානයට හෝ සැලකිල්ලට හෝ ලක්වීමට හේතුවක් පැන නො නඟී. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත.

විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටියි (කහ)

2 – පුළුල් කරන ලද නිරීක්ෂණයන් මඟින් අතිශය අසාමාන්‍ය නො වන නමුත් වඩා ආසන්නයෙන් ඇදී යා හැකි බව පෙනී යයි. තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ලැබිය යුතු වුව ද සැබෑ ඝට්ටනයක් සිදු වීම අතිශය විරල බැවින් මහජනයාගේ අවධානයට හෝ සැලකිල්ලට හෝ ලක්වීමට හේතුවක් පැන නො නඟී. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත.

3 – තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටින සමීප ඇදීයාමකි. වත්මන් ගණනය කිරීම් මඟින් 1% හෝ ඊට වැඩි සම්භාවිතාවක ඝට්ටනයක් සිදුවිය හැකි ය. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත. ඇදී යාම නියමිත ව ඇත්තේ දශකයකට අඩු කාලයක දී නම් මහජනයාගේ හා මහජන නිලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටී.

4 – තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටින සමීප ඇදීයාමකි. වත්මන් ගණනය කිරීම් මඟින් 1% හෝ ඊට වැඩි සම්භාවිතාවක කලාපීය ව්‍යසනයක් ඇති කළ හැකි ඝට්ටනයක් සිදුවිය හැකි බව පෙනේ. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත. ඇදී යාම නියමිත ව ඇත්තේ දශකයකට අඩු කාලයක දී නම් මහජනයාගේ හා මහජන නිලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටී.

තර්ජනීයයි (තැඹිලි)

5 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති කලාපීය ව්‍යසනයක් ඇති කළ හැකි සමීප ඇදී යාමකි. මේ මට්ටමේ ඇති බොහෝ වස්තූන් ද 0 මට්ටම දක්වා පහළ වැටීමට ඉඩ ඇති නමුත් යම් හෙයකින් ඝට්ටනයක් සිදු වේ ද යන්න නිර්ණය කර ගැනීම තකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය අවශ්‍ය ය. හමුවට ඇත්තේ දශකයකට අඩු කාලයක් නම් අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දිය හැකි පරිදි රාජ්‍ය මට්ටමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම සුදුසු ය.

6 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති ගෝලීය ව්‍යසනයක් ඇති කළ හැකි සමීප හමුවකි. මේ මට්ටමේ ඇති බොහෝ වස්තූන් ද 0 මට්ටම දක්වා පහළ වැටීමට ඉඩ ඇති නමුත් යම් හෙයකින් ඝට්ටනයක් සිදු වේ ද යන්න නිර්ණය කර ගැනීම තකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය අවශ්‍ය ය. හමුවට ඇත්තේ දශකයකට අඩු කාලයක් නම් අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දිය හැකි පරිදි රාජ්‍ය මට්ටමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම සුදුසු ය. ඝට්ටනයට ඇති අවස්ථා වියැකී යෑමෙන් මේ මට්ටමේ ඇති ඇතැම් වස්තූන් 1 හෝ 2 හෝ මට්ටම්වලට පහත බැසිය හැකි ය.

7 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති ගෝලීය ව්‍යසනයක් මේ සියවස තුළ ඇති කළ හැකි සුවිශාල වස්තුවක් සමග ඉතා සමීප හමුවකි. ඉදිරි සියවසක කාලය තුළ ඇතිවන එවැනි උවදුරකට මුහුණ දීය හැකි පරිදි ‍ජාත්‍යන්තර මට්ටමේ සැලැස්මක් තැනීම ඇරඹීම සුදුසු ය. ඝට්ටනයක් නියත වශයෙන් ම සිදු වේ ද යන්න නියත වශයෙන් ම තහවුරු කරගැනීම සඳහා වහා ම ක්‍රියාත්මක විය යුතු ය.

තහවුරු කරන ලද ඝට්ටන (රතු)

8 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම මත වන ගැටීමකින් හෝ මුහුදුබඩ ප්‍රදේශයක නම් බොහෝ විට සුනාමියකින් හෝ හානි ඇති කිරීමට සමත් ය. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 100කට වතාවක් සහ 10,000කට වතාවකි.

9 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම මත වන ගැටීමකින් පෙර නොවූ විරූ කලාපීය ව්‍යසනයකුත්, සාගර ගෑටීමකින් මහා පරිමාණයේ සුනාමි තත්ත්වයක් ඇති කිරීමට සමත් ය. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 10,000කට වතාවක් සහ 250,000කට වතාවකි.

10 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම හෝ සාගර ඝට්ටනයක් වේවා ඉන් සිදුවන ගෝලීය දේශගුණික ව්‍යසනය ජීවයේ පැවැත්ම සහමුලින් ම අනතුරේ හෙළනු ඇත. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 250,000කට වතාවකි.

‍මෙතෙක් පෘථිවිය මුහුණ දුන් දරුණුතම ග්‍රහක ගැටුම වන ඩයිනොසෝරයන් පවා මිහිපිටින් අතුගා දමන්නට සමත් වූ ‘චික්සලබ් ඝට්ටනය’ පසුවන්නේ රතු වර්ණයට අයත් 10 වැනි මට්ටම තුළයි.
1908 දී හටගත් ‘තුංගුස්කා ඝට්ටනය’ ටොරීනෝ පරිමාණයට අනුව 08 වැනි මට්ටමේ පසුවනවා.
2046 දී පෘථිවිය සමග සමීප මුණගැසුමකට එන 2023ෘඋ ග්‍රහකය දැනට පසු වන්නේ 1 වන මට්ටමේයි. එය තවත් ආසන්නයට එන විට යාවත්කාලීන කෙරෙන ගමන් පථ දත්තවලට අනුකූල ව ‘පොතේ හැටියට’ 0 මට්ටමට වැටෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications