Home Features මන්දාකිණි බුදින මහා ආකර්ෂකය

මන්දාකිණි බුදින මහා ආකර්ෂකය

by Sathya

ක්ෂීරපථ මන්දාකිණියෙන් දුර විශ්වයේ, ඈත ඉමක අන්ධකාරය තුළ යෝධ රාක්ෂයෙකු වැඩ වාසය කරයි. කෙමෙන් අන් සියල්ල ද කිසි දාක වළකාලිය නො හැකි පරිද්දෙන් අන්ධකාරය වෙත ඇදගන්නා ඔහු කුස පුරවා ගන්නේ තරු සිය මිලියන ගණනකින් යුත් මන්දාකිණි පිටින් ගිල ගැනීමෙනි. පසුගිය වසර බිලියන ගණන පුරා අප රැගත් ක්ෂීරපථය ද ඔහුගේ කෑම මෙනුවට එකතු වෙමින් තිබුණි. ඔබ මේ සටහන කියවන්නට මිඩංගු කරන තත්පරයේ දී පවා අපි ඔහු වෙත ඇදී යමින් සිටිමු.

විද්‍යාඥයන් මේ මෘගයා හඳුන්වන්නේ ‘The Great Attractor’ හෙවත් ‘මහා ආකර්ෂකය’ නමිනි. සැබැවින් ම කිවහොත් එය ගුරුත්ව අසාමාන්‍යතාවකි (Gravitational Anomaly). දළ වශයෙන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 220කට ඔබ්බෙන් පිහිටා ඇතැයි උපකල්පනය කෙරෙන මෙහි ඝනත්වය අපගේ සූර්යයා මෙන් ක්වොඩ්රිලියන ගුණයකි.

ප්‍රශ්නාර්ථයක්

විශ්වයේ කොස්මික් ක්ෂුද්‍ර තරංග පසුබිම (Cosmic Microwave Background – CMB) පිළිබඳ මුලින් ම සිතියමක් පිළියෙළ කෙරුණේ ‘70 දශකයේ ය. එහි දී සිදු කෙරුණු අධ්‍යයනයන් මඟින් අප වෙසෙන ක්ෂීරපථ මන්දාකිණියේ එක් පසක් අනෙක් පසට වඩා උෂ්ණත්වයෙන් වැඩි බව නිරීක්ෂණය විය. එම උෂ්ණත්ව වෙනස ඉතා සුළු එකක් වුවත් එතෙක් කල් නො දැන සිටි යම් සුවිසල් දෙයක් සිදු වෙමින් තිබෙන බව වටහා ගන්නට හොඳින් ම සෑහුණි. අපගේ මන්දාකිණිය අපත් රැගෙන තත්පරයට කිලෝමීටර 600ක ප්‍රවේගයකින් ඇදී යන බව එනයින් පෙනී ගියේ ය. නමුත් විය යුතු ව තිබුණේ එක් තැනක් වෙත ඇදී යාම නොව, විශ්වයේ ප්‍රසාරණයත් සමඟ ඇත් වීම ය. උදාහරණයක් ලෙස අප අසල්වැසි ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙන් ඈත් ව යා යුතු ව තිබුණත් සැබැවින් ම එකිනෙක ළං වන අතර තවත් වසර බිලියන 4කින් පමණ එකිනෙක ගැටීමට නියමිත ය. මේ අබිරහස් සංසිද්ධියට හේතුව කුමක් දැ යි නිශ්චිත ව කියන්නට හැකියාවක් විද්‍යාඥයන්ට ද නො වූයෙන් විදු ඇස ඉදිරියේ ඉතිරි වූයේ යෝධ ප්‍රශ්නාර්ථයකි.

ක්ෂිරපථයට පැයට කිලෝමිටර 600ක තරම් ප්‍රවේගයක් ලැබීමට හේතුව සොයමින් විද්‍යාඥ සිත් සතන් කරක් ගැසුවේ ය. මුලින් ඔවුන් සිතුවේ එය අප ද අයත් Virgo සුපිරි පොකුරේ ගුරුත්ව බලපෑමට හසු වීම නිසා වන චලනයක් ලෙසයි. මන්දාකිණි 1300කින් පමණ සමන්විත වුවත් Virgo සුපිරි පොකුර ද මේ සා සුවිසල් වෙනස් චලිතයක් ඇති කරන්නට සමත් නො වන බව පසු ව තේරුම් ගියේ ය. තරු පොකුරු ස්වභාවයෙන් ම සංකෝචනය වන නිසා අප Virgo පොකුර තුළට ඇදුණත් ඇදෙන්නේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය සමග මුහු වන සංසිද්ධියට ම සමාන්තර ව ය. සමස්තයක් වශයෙන් ගත් කල ක්ෂිරපථයේත්, එය ඇසුරු කරමින් පිහිටි තවත් මන්දාකිණි දස දහස් ගණනකත් අසාමාන්‍ය චලිතය පැහැදිලි කළ හැකි කිසිදු වගකිව යුත්තෙක් හමු වූයේ නැත.

නාසය යට ම සැඟවී සිටියා

මෙය යම් යෝධ වස්තුවක ඇති ගුරුත්වය නිසා සිදු වන ඇද ගැන්මක් විය හැකැයි අදහස් ඉදිරිපත් වුව ද එය මෑතක් වන තුරු ම එය තහවුරු කරගත හැකි නො වීය. ඒ අපගේ ම මන්දාකිණිය දර්ශන පථය අවුරන බැවිනි. රාත්‍රී අහසේ එදෙස දර්ශන තලය සහමුලින් ම අවහිර කරන්නට ක්ෂීරපථයේ තැටියත්, සෙන්ටෝරස් තාරකා රාශියත් සමත් වෙයි. එනිසා විද්‍යාඥයන් ක්ෂීරපථයේ මේ පෙදෙස හඳුන්වන්නේ ‘Zone of Avoidance’ නමිනි. මෙම කලාපය අපට පෙනෙන විශ්වයේ දර්ශනයෙන් 20%ක් ම කපා හරී. එනිසා ඉන් එහා ඇති දෑ දෘශ්‍ය ආලෝක පරාසයන් යටතේ නිරීක්ෂණය කළ නො හැකි ය. නමුත් රේඩියෝ තරංග හා එක්ස් කිරණ යොදාගෙන ‍යම් තාක් දුරකට හෝ මෙය විනිවිද දැකීමට අවකාශය ලැබුණි. මහා ආකාර්ෂකය ගැන මුලින් ම ඉඟි පළ වූයේ එසේ ය. 1986 දී එහි පිහිටුම වඩාත් නිවැරැදි ව සොයාගැනුණු අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 150ත් 250ත් අතර දුරකින් පිහිටන බව නිර්ණය කෙරුණි.

ලැනියාකියාවේ මූලය

අපගේ අසල්වාසී මන්දාකිණිය වන ඇන්ඩ්‍රෝමීඩා චක්‍රාවාටය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ මිලියන 2.5කට එපිටිනි. එයත් තවත් මන්දාකිණි 30කට අධික සඛ්‍යාවකුත් ළං ව පිහිටන අතර එවන් මන්දාකිණි ගොනුවක් Local Group යනුවෙන් හැඳින්වේ. අප අයත් Local Group එක ඇන්ඩ්‍රොමීඩා කාණ්ඩය හෝ M31 කාණ්ඩය ලෙස හැඳින්වේ. මෙවැන් කාණ්ඩවලට අයත් චක්‍රාවාට ගුරුත්වය අතින් එකිනෙක බැඳී පවතී. එවැනි තරු පොකුරු ගණනාවක් එක් වී සුපිරි පොකුරක් නිර්මාණය කරයි. ලැනියාකියා (Laniakea) යනු අප අයත් සුපිරි පොකුරයි.
මන්දාකිණි සියක් දහසකින් පමණ යුතු ලැනියාකියා සුපිරි පොකුරේ ගුරුත්ව කේන්ද්‍රය ලෙස සැලකෙන්නේ මෙම මහා ආකර්ෂකයයි.

පදාර්ථයක මූලික ම ගුණාංගය වන්නේ එය සතු ගුරුත්වයයි. එක් ස්කන්ධයකට තවත් ස්කන්ධයක් ආකර්ෂණය වීම ස්වභාවයයි. විශ්වය තැනුණේ මහා පිපුරුමෙන් පසු ඉහිරී ගිය ලොකු කුඩා පදාර්ථ එකිනෙක සංයුක්ත වීමෙනි. කුඩා පදාර්ථ ලොකු පදාර්ත වෙත ද ඒවා වඩාත් විශාල පදාර්ත වෙත ද ආකර්ෂණය විණි. සියල්ල එසේ තිබිය දී ක්ෂීරපථය ද ඇතුළු ඇන්ඩ්‍රොමීඩා තරු පොකුර ද මහා ආකර්ෂකය දෙසට ඇදී යමින් තිබේ. මේ නිසා ම මහා ආකර්ෂකය යම් වස්තුවක් නොව, එක්තරා වපසරියක සිට ඇදී ඇදී ඒන වස්තූන්ගේ ලක්ෂ්‍යය පිහිටන අවකාශය ලෙස ද හඳුන්වා දිය හැකි ය. එය සියලු පදාර්ථයන් අවසානයේ එකට රැස්වෙන බේසම් අඩියක් වැනි ය.

මතවාද ගොන්නක්

මහා ආකර්ෂකය ගැන පවතින තවත් මතවාද වේ. ඉන් එකකි, එය අඳුරු පදාර්ථයන්ගේ ගොනු වීමකි යන්න. අධි-ඝනත්වයකින් යුතු වීම නිසා අතිශය ප්‍රබල ගුරුත්ව ඇදීමක් උරුම වී ඇති පෙදෙසක් යනුවෙන් ද තවත් මතවාදයකි. ඇතැම් විද්‍යාඥයන් සඳහන් කරන්නේ කෙදිනක හෝ විශ්වයේ අවසානය එයින් ඇරඹෙනු ඇති බව ය. විශ්වයේ ප්‍රසාරණය යම් කලෙක – අදින් වසර ට්‍රිලියන ගණනකට පසු – මන්දනය වී නැවතී ගොස් මහා ආකර්ෂකය වඩා සංකෝචනය වන්නට පටන්ගනු ඇතැයි ඔවුන් සතු ව මතයක් තිබේ. එයට අනුව ක්‍රමයෙන් එය මුළු මහත් විශ්වය ම ගිල දමන, මළුමනින් ම හිස් අවකාශය පමණක් ඉතිරි කරමින් තැනෙන විශාලතම කළු කුහරය බවට පරිවර්තනය වුව ද විය හැකි ය. අනතුරුව එය ද එය විසින් ම ගිලා ගෙන හුදු ශුන්‍යත්වයක් පමණක් ම ඇති කරනු ඇත. නමුත් මේ කිසිවක් තව ම නිෂ්චිත ව සිදු වේ යැයි සනාථ වී නැත. ‍

අපට තර්ජනයක් තිබේ ද?

කෙසේ වෙතත් මහා ආකර්ෂකයෙන් පෘථිවියට හෝ පෘථිවි ජීවයට හෝ එරෙහි ව බරපතල තර්ජනාංගුලියක් පැණවෙන්නේ නැත. හේතුව එය වෙතට අප ඇදගනු ලැබීමට තවත් වසර බිලියන 13ක පමණ කාලයක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවිනි. එබඳු කාලයක් තුළ දී ලැනියාකියා සුපිරි පොකුර ද බිඳ වැටෙමින් තිබෙනු ඇත. තරු පොකුරු බොහෝ කාලයක් එක් ව පැවතුණත්, සුපිරි පොකුරු වසර බිලියන ගණනක ඇවෑමෙන් විසිරී යාම සාමාන්‍ය සංසිද්ධියකි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අප මහා ආකර්ෂකය විසින් ගිලගනු ලැබීම නියත වශයෙන් ම සිදු වන්නක් නම් දැනට අප අදගනු ලබන ප්‍රවේගය නො සෑහෙන බවයි. එය නියමිත ප්‍රෙව්ගයෙන් 20% ක් තරම් අවම බව ය.

කෙසේ නමුත් මහා ආකර්ෂකය විශ්වයේ සුලමුල සොයන්නට මානව වර්ගයාට ලබා දෙන බිය මුසු උත්තේජනය නම් අද්විතීය බව අමුතුවෙන් කිව යුතු නැත.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications