Home Features තුන්වෙනි බදාදා

තුන්වෙනි බදාදා

by Sathya

මේ ළමයි … ඔයාලට මතකද කලින් දවසෙ මම කිවුවා බබෙක් අම්මගෙ බඩ ඇතුලට එන්නෙ පොඩිම පොඩි තිතක් වගේ කියලා. හරි මතක නං කියන්න බලන්න අම්මගෙ බඩේ කොතනද බබා හැදෙන්නේ කියලා ?
අයියෝ ගර්භාශයේ නේ ටීචර්.
ඔයාලට මතකයි නේ ද ? හරි අපි එතන ඉඳන් කතාව පටන් ගමු.
ඔන්න පොඩි තිතක් වගේ, ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති සෛල කීපයක් හැටියට බබා එනවා ගර්භාශය ඇතුලට.
ටීච බබා එන්නේ කොහේ ඉඳන් ද ?
ආ හොඳ ප්‍රශ්නයක්…හැබැයි ඒක මම ඔයාලට කියන්නේ තව ටික දවසකින්.
හරි ආයෙත් අපි අපේ කතාවට යමු. ඔය පොඩි තිතක් වගේ ගර්භාශය ඇතුළට එන බබා සති හතලිහක් ම එතන ඉන්නවා. ඒ සති හතලිහේ බබා ටික ටික ලොකු වෙනවා. අන්තිමට එයා පොඩි නංගියෙක් හරි මල්ලියෙක් හරි වෙනවා. ඔයාලා දැකලා තියෙනවා නේද අලු‍තෙන් ඉපදුණු බබාලා. සති තිස් හතක් විතර වෙනකොට මේ බබා අන්න ඒ වගේ වෙනවා.
බබාට ඉපදුනාට පස්සේ මේ ලෝකේ ජීවත් වෙන්න ඕන කරන මොළය, හදවත, වකුගඩු, පෙනහලු‍, අක්මාව වගේ හැම අවයවයක් ම මේ කාලය ඇතුලේදී හිමින් හිමින් හැදෙනවා.
එහෙම හැදෙන්න ඕන කරන හැම දෙයක් ම හැම අමුද්‍රව්‍යයක් ම බබාට යන්නේ බබාගේ අම්මගේ ඉඳලා. ඒ විතරක් නෙවෙයි බබාට හුස්ම ගන්න ඕන කරන ඔක්සිජන් පවා යන්නේ අම්මගේ ඇඟේ ඉඳලා. අන්න ඒ දේවල් ගමන් කරන්න බබාගේ පෙකනියේ ඉඳලා අම්මාගේ ගර්භාශයට පොඩි බටයක් වගේ එකක් හැදෙනවා. අන්න ඒකට තමයි අපි පෙකණි වැල කියන්නේ.
බබාට උවමනා දේවල් එනවා වගේම බබාගේ ඇඟේ හැදෙන බබාගේ ඇඟට උවමනා නැති අපද්‍රව්‍ය ටික බබාගෙන් එළියට අරන් යන්නෙත් මේ පෙකණි වැල දිගේ තමයි. ඒ දෙකම කරන්න බබාගේ ඉඳලා අම්මටයි, අම්මගේ ඉඳලා බබාටයි ලේ ගෙනියන රුධිර නාල මේ පෙකණිවැල ඇතුලේ තියෙනවා. මෙන්න මේ පෙකණිවැළ බබා ඉන්න ගර්භාශයේ ඇතුළ් පැත්තේ බිත්තියට හයි වෙන තැනට තමයි අපි කියන්නේ වැදෑමහ කියලා.
දැන් ඔයාලට තේරෙන්න ඕන බබෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක් වෙනදාටත් වඩා හොඳින් කෑම කන්න ඕන ඇයි කියලා. මොකද අර බබාට තමන්ට ඕන කරන පෝෂණය ගන්න වෙන කිසිම විදිහක් නෑ. මෙතන ඉන්න දුවලත් කවදා හරි දවසක අම්මා කෙනෙක් වෙන නිසා මේක හොඳින් මතක තියාගන්න ඕන.
බබා තමන්ගෙ ඇඟ ඇතුලේ ඉන්න සති හතලිහ ඇතුලත බබාගේ වැඩීමට ඕන කරන හැම දෙයක් ම හරියටම ලැබුණොත් තමයි අපිට නිරෝගී බබෙක් ලැබෙන්නේ. අන්න ඒ නිසා ඒ කාලය ඇතුළත වෛද්‍ය උපදෙස් අරගෙන හරියටම කෑම ගන්න එක වැදගත්.
ඒ විතරක් නෙවෙයි අම්මා කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න ගෑණු කෙනෙක්ට එයාගෙ උසට හරිලන බරක් තියෙන්න ඕන වගේම ඇඟේ යකඩත් හොඳින් තිබුනොත් තමයි එයාට අපි අර කියපු සති 40 ක ගර්භණී කාලය නිරෝගීව ගෙවන්න පුලු‍වන් වෙන්නේ. අන්න ඒ නිසා ගෑණු ළමයි දැන් ඉඳන් ම තමන් ගේ පෝෂණය ගැන උනන්දු වෙන්න ඕන.
ඒ විතරක් නෙවෙයි, පිරිමි ළමයි දැන් ඉඳන් ම තමන්ගේ අක්කලා නංගිලා හරියට කෑම කනවද කියලා හොයලා බලන්න ඕන. මොකද එයාලා තමයි කවදා හරි අම්මලා වෙන්නේ. තේරුණා ද ?
ඔව් ටිචර්.
ඔන්න බබා මුලින් ම පොඩි තිතක් වගේ ඉඳලා ටික ටික ලොකු වෙනවා. මුල්ම කාලෙ එයාව බබෙක් කියලා පේන්නෙත් නෑ. පොඩි ගුලියක් වගේ. ඔන්න සති තුන හතරක් යනකොට බබාගෙ මොලය ඒ වගේම ස්නායු පද්ධතිය හැදෙන්න පටන් ගන්නවා.
ආ අමතක වුණා නෙ. බබා ගර්භාශය ඇතුලේ ඉන්න මුළු කාලයම ඉන්නේ වතුර පිරුණු මල්ලක් ඇතුලේ. එතකොට එළියේ වෙන ගැස්සීම් වගේ දේවල් එයාට දැනෙන්නේ නෑ. ඔන්න ඔය වතුර බෑග් එකත් හැදෙන්න පටන්ගන්නේ ඔය කාලෙ.
එහෙනම් අපි අදට මෙතනින් නවත්තනවා. ලබන බදාදා හවස ට ආයෙත් අපි මෙතෙන්ට ම එකතු වෙනවා. හරි නේ ?
හරි..

වෛද්‍ය නුවන් තොටවත්ත

MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications