Home Features අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධි භූමිකාව

අධ්‍යාපනයේ කෘත්‍රිම බුද්ධි භූමිකාව

by Sathya

ChatGPT නමැති චැට්බොට් පද්ධතිය මහජනයාට විවෘත වීමත් සමඟ ම පාහේ ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ පාසල් සිය පරිගණක මඟින් අදාළ වෙබ් පිවිසුම වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අවහිර කළේ සිසු සිසුවියන්ට මෙන් ම ගුරුවරුන්ට ද ඊට ගොඩවැදිය නො හැකි වන පරිද්දෙනි. පාසලේ දී පැවරෙන පැවරුම් ChatGPT මාර්ගයෙන් ඉටුකර ගැනීමට හැකියාව තිබීම ඊට හේතුවයි. විශ්වවිද්‍යාල සිසුන් නම් සිය පැවරුම් සඳහා ChatGPT හැකි උපරිමයෙන් යොදාගන්නට මැලි වන්නේ නැත.
OpenAI සමාගමේ ChatGPT, Microsoftහි Bing මෙන් ම Google සමාගමෙන් නිකුත් වන්නට නියමිත, ChatGPTටත් වඩා අතිශය බලවත් බවට සැලකෙන Bard විසල් භාෂා මොඩලය ද අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපාන ආකාරය විවිධ විය හැකි ය. ඉන් ක්ෂේත්‍රය කෙරෙහි අවදානමක් මෙන් ම ඵලදායී අවස්ථාවන් පොදියක් ද දායාද වන බව අමතක නො කළ යුතු ය. ලොව වටා අධ්‍යාපනවේදීන් අතර කෘත්‍රිම බුද්ධියේ අධ්‍යාපනික භූමිකාව ගැන පුළුල් කතිකාවක් ‍ගොඩනැ‍ඟෙමින් පවතින්නේ එනිසා ය.
දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි කෘත්‍රිම බුද්ධිය ඵලදායී ව යොදාගත හැකි ආකාරය ගැන සංකල්පයන් දක්වන මේ ලිපිය සම්පාදනය වන්නේ බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනවේදිනියක සහ පර්යේෂිකාවක වන Jo Adetunji විසින් The Conversation වෙත සකසන ලද ලිපියක් අනුසාරයෙනි.

වෙන් වෙන් ව උපදෙස් / Differentiated instruction

ගුරුවරුන්ගේ මුඛ්‍ය කෘත්‍යයක් වන්නේ එක් එක් සිසුවාට අවැසි වන පරිදි උපදෙස් ලබා දීමයි. පොදුවේ ගත් විට ඇතැම් සිසුන්ගේ බුද්ධි මට්ටම් සම තලයක නො පවතින බැවින් ඔවුන්ට වෙන් වෙන් ව අවධානය යොමු කළ යුතු වේ. නමුත් යුරෝපීය රටවල නම් එක් පන්තියක සිසූන් 20 ‍පමණ සිටින බැවින් (ශ්‍රී ලංකාවේ නම් මේ අගය 40 ද ඉක්මවන අවස්ථා එමට ය.) එසේ කිරිම අකාර්යක්ෂම සේ ම ක්‍රමවත් ද නො වේ.

නමුත් කෘත්‍රිම බුද්ධි පද්ධතියක් මඟින් එය කරන්නට පිළිවන. සිසුවාට පැවරෙන පැවරුම සාර්ථක ව ඉටු වේ ද, ඔහු හෝ ඇය ඒ සඳහා ගත කරන කාලය කෙතරම් ද යන්න එමඟින් පහසුවෙන් ගණනය කළ හැකි ය. අධ්‍යාපනික ගැටලු කෙරෙහි යම් දරුවෙක් අසමත් ස්වභාවයක් පෙන්නුම් කරයි නම් ඔහුට හෝ ඇයට වැඩි අවධානයක් ලබා දේ. එසේ ම අදාළ ගැටලු විසඳා ගැනීමට ඉඟි සහ හෝඩුවාවන් ද ඉන් ලබා දිය හැකි ය. පැවරුම් සාර්ථක ව ඉටුකරන සිසූන්හට ක්‍රමානුකූල ව වඩා සංකීර්ණ සහ අභියෝගාත්මක ගැටලු සහිත පැවරුම් ලබා දීම ද මෙහි දී කළ හැකි ය.

ගුරුවරයෙකු සතු තත්කාලීන ප්‍රතිචාරයන් දැක්වීමේ හැකියාව පන්තියේ සිසූන් සංඛ්‍යාව මත රඳා පවතින නිසා මේ සංකල්පයන්ගෙන් පෝෂණය වූ යෙදවුම් අනාගත පන්තිකාමර තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.

බුද්ධිමත් පෙළපොත් / Intelligent textbooks

කැලිෆෝර්නියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවිය මඟින් “Inquire” නමින් යුතු නවීන මෘදුකාංගයක් සකසා ඇත. iPad ටැබ්ලට් පරිගණකවලට ස්ථාපණය කළ හැකි එය දරුවන්ට කියැවීම සඳහා පාඩම් මාලා පාඨමය වශයෙන් සමීප කරයි. දරුවා සමීප ව නිරීක්ෂණය කරන එය අපහසු වචනවල අර්ථය සරල බසින් ද දක්වන අතර අවශ්‍ය තැන් හයිලයිට් කිරීමට සහ විවරණ යෙදීමට පහසුකම් ද සපයා දේ. අන්තර් ක්‍රියාකාරී ලෙස (interactive) කටයුතු කළ හැකි අතුරු මුහුණතක් එය සතු ය. මෙවැනි මෘදුකාංග හැඳින්වෙන්නේ ‘බුද්ධිමත් පෙළපොත්’ හෙවත් Intelligent textbooks යනුවෙනි.

බුද්ධිමය පෙළපොත්වලට සිසුවාකියැවු පරිච්ඡේදයන්ට අදාළ වන සේ ප්‍රශ්න ද අවසානයේ විමසිය හැකි අතර ඉන් පාඩම පිළිබඳ සිසුවාගේ අවධානය මෙන් ම මතකය ද වර්ධනය කරයි. පාඨමය අන්තර්ගතයන්ට අමතර ව විෂයානුබද්ධ රූප සටහන්, වීඩියෝ පට මෙන් ම හඬ පට ද ඉන් වඩාත් කා වදින සේ සමීප කළ හැකි ය.

වැඩිදියුණු කළ ඇගයුම් / Improved assessment

ඇගයීමක පරමාර්ථය වන්නේ උගන්වන දෙය සිසුවා සැබැවින් ම උගෙන ඇත් දැයි පරික්ෂා කර බැලීමයි. ඇගයීමක් හෝ පරීක්ෂණයක් විවිධ රූපාන්තරවලින් එයි. බහු වරණ ප්‍රශ්න, කෙටි පිළිතුරු ප්‍රශ්න, රචනා ප්‍රශ්න මෙන් ම සිතියම් සලකුණු කිරීම් ආදිය ඒ අතර වේ. පසුගිය සියවස පුරාවට ම ඇගයීම්වල හැඩය වෙනස් ව ඇත්තේ ඉතා ම සුළු වශයෙන් බව විද්වත් පිළිගැනීමයි. ඇතැම් විට ඒවා ඒකාකාරී ස්වභාවයෙන් යුතු අතර තවත් විටෙක සිසුවෙකුගේ මනෝ භාවයට කුරිරු ලෙස බලපානක් ද විය හැකි ය. කෘත්‍රිම බුද්ධියේ උපයෝගීත්වයෙන් එහි මුහුණුවර වෙනස් කළ යුතු වන්නේ එනිසා ය.

මේ සඳහා විසඳුමක් ගෙන ආ හැකි මූලාකෘති ව්‍යාපෘතියක් හාවර්ඩ් විශ්වවිද්‍යාලය Reach Every Reader නමින් යුතු ව පවත්වාගෙන යයි. එසේ ම ‍ෆ්ල‍ොරීඩා ප්‍රාන්ත සරසවිය සහ මැසචුසෙට්ස් තාක්ෂණායතනය (MIT) දරුවන් සහ දෙමාපියන් අතර සිදු කළ හැකි පරිදි අධ්‍යාපනික ක්‍රීඩා නිර්මාණය කරයි. සත්‍ය ජීවිතයේ පවතින චරිත සහ සිද්ධීන් මත පදනම් වූ role-play ගණයට වැටෙන ළමා සෙල්ලම් ද ඊට ඇතුළත් ය. ප්‍රාථමිත ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීමට මෙන් ම ඔවුන්ගේ අධ්‍යාපනික මට්ටම ගැන තක්සේරුවක් ලබා ගන්නට ද ඉන් හැකියාව ලැබේ.

Duolingo යනු එක්සත් ජනපදය පදනම් කරගෙන ඇති සමාගමකි. එය කෘත්‍රිම බුද්ධිය සහ යන්ත්‍ර
ඉගෙනීම (machine learning) උපයෝගී කරගෙන විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ රාජ්‍ය ආයතනවල ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය පරික්ෂා කර බැලිය හැකි ක්‍රමවේදයක් අත්හදා බලමින් සිටියි. මෙමඟින් පවත්වන ඇගයීම් ඇරඹෙන්නේ බොහෝ සරල ප්‍රශ්නාවලියකිනි. අැගයීමට ලක් වන්නා ලබා දෙන පිළිතුරුවල නිරවද්‍යතාව මත ක්‍රමානුකූල ව සංකීර්ණ ප්‍රශ්න විමසන්නට එය පෙළඹෙයි. එමඟින් සිසුවාගේ හැකියාවන් සහ දුර්වලතාවන් වඩාත් සූක්ෂ්ම ලෙස ග්‍රහණය කරගන්නට හැකියාව ලැබේ.

පෞද්ගලීකරණය වූ ඉගෙනුම / Personalized Learning

මෙතැන පෞද්ගලීකරණය වූ ඉගෙනුම යනුවෙන් හැඳින්වෙන්නේ පෞද්ගලික පාසල් හෝ විශ්වවිද්‍යාල මඟින් ලබන අධ්‍යාපනය නොවේ. සිසුවාගේ සිතැඟි සහ ඉලක්ක මතින් දිවෙන අධ්‍යාපන ක්‍රමවේදයකි. තමාගේ කැමැත්ත හා අභිප්‍රාය අනුව ඉගෙන ගන්නේ කුමක් ද යන්න තීරණය කිරීම සිසුවා සතු ය. ගුරු භූමිකාව මෙතැන දී පහසුකම් සපයන්නෙකුගේ තැනට පත් වීම සිදු වේ. කෘත්‍රිම බුද්ධියේ ආගමනයත් සමඟ එක් එක් සිසුවාට අනන්‍ය වන පරිදි උපදෙස් හා මාර්ගෝපදේශ ලබා දීම එකී පද්ධතිවලට බැර කළ හැකි ය. විවිධ තත්ත්වයන්ට හැඩගැසෙන පරිදි සංවර්ධනය කෙරෙමින් පවතින කෘත්‍රිම බුද්ධ පද්ධතීන් (AI Adaptive learning systems) සිසු සිසුවියන්ගේ අවශ්‍යතා ඉක්මණින් හඳුනාගන්නා අතර ඔහුගේ හෝ ඇයගේ සාර්ථකත්වය වෙනුවෙන් කිසිඳු මානව ගුරුවරයෙකුට කළ නො හැකි තරම් සූක්ෂ්ම ලෙස උපකාර කරනු ඇත.

වර්ථමානයේ කල එළි බසිමින් තිබෙන විවිධ සමාගම්වල Chatbot පද්ධතීන්වලට අසන ලද පැනයකට වඩාත් ස්වභාවික අයුරකින් පිළිවදන් දීමේ හැකියාව පවතී. එය ශ්‍රව්‍යමය හෝ පාඨමය හෝ වේවා ChatGPT සිට Alexa, Siri දක්වා ම අද වන විටත් එදිනෙදා ජීවිතයට බද්ධ ව පවතින ක්‍රියාවලියකි. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ම හැඩගස්වන ලද chatbot පද්ධතීන් මඟින් ඒ ඒ සිසුවාට විශේෂ වූ උපදෙස් හා උපකාරයන් ලබා දිය හැකි වනු නො අනුමාන ය.
මේ කිසිවකින් ගුරුවරයා යන චරිතය කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රතිස්ථාපනය විය යුතු ය කියා පැවසෙන්නේ නැත. මතු යම් දිනෙක එසේ සිදු වන්නේ දැයි නිශ්චිත ව කිව හැක්කේ ද නැත. නමුත් තාක්ෂණය නමු වූ විසල් යෝධයා පීලි පැනීමේ ද අවදානමක් ඇති හෙයින් මිනිස් ගුරුවරයා එහි ද අත්‍යාවශ්‍ය චරිතයක් වනු ඇත.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications