පසුගිය ජූනි 16 වැනි දා Polar Prince නම් වූ පර්යේෂණ නෞකාව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ශාන්ත ජෝන්ස් වරායෙන් ගැඹුරු අත්ලාන්තික් සාගරය වෙත ගමන් ඇරඹුවේ ය. ඒ OceanGate සමාගමේ ‘ටයිටන්’ (Titan) නම් වූ ගැඹුරු සාගර තරණ සබ්මැරීනය ද සමඟ ය. එහි ඉලක්කගත ඉම වූයේ කිලෝමීටර 435ක් දුරින් අත්ලාන්තිත් සයුරේ ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් පැවති ඉසව්වයි. දින දෙකක ඇවෑමෙන් ජූනි 18 වැනි දා නෞකාව සුන්බුන් සහිත ප්‍රදේශයට ළඟා විය. නැවට ඉහළින් 19 වැනි දාට පහන් වූයේ ටයිටැනික් නටඹුන් සමීප ව සියැසින් දැක බලාගැනීමේ වික්‍රමාන්විත ගවේෂණ චාරිකාවක බලාපොරොත්තු දල්වමිනි.
මුල් පැය කිහිපය
ගවේෂණය ඇරඹෙන්නට නියමිත ව තිබුණේ නැඟෙනහිර වේලාවෙන් පෙරවරු 4:00ට ය. නමුත් එය ප්‍රමාදයට ලක් වූ අතර ගවේෂක පිරිස Titan වෙත ඇතුළුවන විටත් පෙරවරු 7:30 වී තිබුණි. එක්සත් ජනපද වෙරළාරක්ෂක භටයන්ට අනුව හරියට ම පෙරවරු 8:00 ට අඩි 12,500ක් සාගර ජලකඳ යට සැතපෙන ටයිටැනික් බලා එය සිය ගමන ඇරඹුවේ ය. ඉලක්කය වෙත පිවිසීමට ගත වන පැය දෙකක කාලය පුරාත්, නිරීක්ෂණ කටයුතු අවසන් කර ආපසු මතුපිටට පැමිණෙන ගමනේත් ටයිටන්ගේ මව් යාත්‍රාව වශයෙන් Polar Prince රැඳී සිටින්නට නියමිත ව තිබුණි. නමුත් යමක් බරපතල ලෙස වැරදී ගොස් තිබුණි. ටයිටන්, ටයිටැනික් සොයා යන පැය දෙකකට ආසන්න චාරිකාවෙන් පැයකුත් විනාඩි 45ක් ගත වූ තැන සිය මව් යාත්‍රාව සමඟ වූ සන්නිවේදනය ඇණහිටියේ ය. මේ සන්නිවේදනය වනාහි දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය එකක් නො වීය. සෑම විනාඩි 15කට ම වතාවක් ටයිටන් වෙතින් සිය පිහිටුම පෙන්වා දෙමින් සංඥාවක් නිකුත්වීම ක්‍රියාපටිපාටිය විය. තවදුරටත් මේ සංඥා පැමිණියේ නැත. එසේ ම අවශ්‍යතාවය පරිදි ටයිටන් හා පෝලා ප්‍රින්ස් අතර කෙටි පාඨමය පණිඩුඩ හුවමාරුවක් කළ හැකි ව තිබුණ ද එය ද අවහිර වී තිබුණි. නැඟෙනහිර වේලාවෙන් පස්වරු 3:00 ට ටයිටන් සිය ආපසු ගමන නිමා කරමින් සාගර මතුපිටට පැමිණීමට නියමිත ව තිබුණි. නමුත් නියමිත වේලාව නික්මී පැයක් දෙකක් ගත ව ගියත් එය පැමිණියේ නැත. Polar Prince මේ බව වෙරළාරක්ෂක අංශවලට දැනුම් දෙන්නේ ඒ අනුව ය.
කාලය සමග සටනක්
ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා වූ තීරණාත්මක සාධකය වූයේ කාලයයි. ගත වන කාලයත් සමග ටයිටන්හි සිර වී සිටින්නන්ගේ ස්වසනය සඳහා වූ ඔක්සිජන් මට්ටම පහළ යන බැවිනි. අත්ලාන්තික් රළ අතර මෙහෙයුම් ක්‍රියාන්විතය සිදු වෙමින් පවතින අතරේ මුලින් පැය 96කට සරිලන පරිදි තිබූ වාතය 20 දා ශ්‍රී ලංකාවට මධ්‍යම රාත්‍රිය වන විට පැය 40කට සීමා වි තිබුණි. මෙසේ වාතය ඉතිරි ව පවතින කාල සීමාව ප්‍රකාශයට පත් කෙරුණේ මුහුද තුළ හෝ මතුපිට අවතැන් වී ඇති සබ්මැරීනය තුළ මගීන් පස් දෙනා ම ජීවග්‍රහයෙන් සිටින බව උපකල්පනය කරමිනි. එවැනි කාල රාමුවක් සෝදිසි මෙහෙයුම් නිවැරදි හා තාර්කික මාවතක තබා ගැනීමට උපකාරී වේ.
දියෙන් සහ ගුවනින් දින හතරක් පුරා අඛණ්ඩ සොදිසි මෙහෙයුමක් දියත් විය. ටයිටන් නිර්මාණය කර තිබුණේ පැය 24ක කාලයක් නො කඩවා මුහුද යට පැවතියහොත් ස්වයංක්‍රීය ව ම දිය මතුපිටට එසැවෙන ලෙසට ය. එනිසා ඒ වන විටත් එය සාගරය මතුපිටට පැමිණ තිබිය හැකි වීම ද එක් සම්භාවිතාවක් විය. මතුපිටට පැමිණි විටක දී එයට රේඩියෝ ට්‍රාන්ස්මීටර සහ GPS සංඥා මාර්ගයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව පැවතුණි. සෙවුම් ආලෝක ධාරා, සැනෙලි විදුලි පහන් (strobe lights) සහ රේඩාර් පරාවර්තකයන් එය සතු වූයෙන් ඒවා මාර්ගයෙන් ද ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත යම් ඉඟියක් ලබා දීමේ හැකියාව පැවතුණි. නමුත් ටයිටන් සුදු පැහැයෙන් යුතු වූ නිසා සහ අයහපත් කාලගුණ තත්ත්වය හා දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් එය අභියෝගාත්මක කටයුත්තක් විය.
‘කනෙක්ටිකට් මෙන් දෙ ගුණයක වපසරියකින් යුතු’ අභිරුචිත සාගර කලාපයට අයත් කිලෝමීටර 4ක් පුරා විහිදුණු ගැඹුරු සාගරයේ ද මෙහෙයුම් ක්‍රියාත්මක විය. රේඩියෝ තරංග සහ GPS ජලය තුළින් ගමන් නො කරන බැවින් මේ සඳහා ඇති එක ම විසඳුම වන්නේ සෝනාර් සහ සෝනාර් බෝයාවන් ය. යුද නෞකා සතුරු සබ්මැරීන හඳුනා ගැනීම සඳහා අනුගමනය කරන්නේ ද මේ ක්‍රමවේදයයි. නෞකාවල තිබූ දුරස්ථ මෙහෙයුම් යානා ද (remotely operated vehicles – ROV) සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේ ය.
සෝදිසි මෙහෙයුම සඳහා දායක වූ නෞකා පහත පිරිදි පෙළගැස්විය හැකි ය.
Polar Prince – ටයිටන් සබ්මැරීනය දියත් කළ පර්යේෂණ නෞකාව
Deep Energy – 3000m දක්වා ගැඹුරකට ගමන් කළ හැකි ROVs දෙකක් සහිත වාණිජ නළ එළුම් නෞකාවකි
Atlantic Merlin – 4000m දක්වා ගැඹුරකට ගමන් කළ හැකි වින්ච් පද්ධතියක් සහිත කැනේඩියානු සැපයුම් නෞකාවකි. ROVs සහිත නමුත් කෙතරම් ගැඹුරකට මෙහෙයවිය හැකි ද යන්න නො දනී.
Skandi Vinland – උප සමුද්‍රීය නෞකාවකි. ROVs සහිත නමුත් කෙතරම් ගැඹුරකට මෙහෙයවිය හැකි ද යන්න නො දනී.
L’Atalante – ප්‍රංශයට අයත් නෞකාවකි. ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහෙයුමට සම්බන්ධ විය. ටයිටැනික් නටඹුන් ඇති ගැඹුරෙහි මෙහෙයවිය හැකි ROV යානයක් සහිත ය.
Horizon Arctic – ආධාරක උපාංග සහ ටයිටැනික් නටඹුන් ඇති ගැඹුරෙහි මෙහෙයවිය හැකි ROV යානයක් පටවන ලද වාණිජ නෞකාවකි.
Glace Bay – අසම්පීඩන කුටීරයක් සහ සූදානමින් පසු වන වෛද්‍යාධාර සහිත කැනේඩියානු නාවික හමුදාවට අයත් නෞකාවකි.
John Cabot – කැනේඩියානු වෙරළාරක්ෂකයින් විසින් මෙහෙයවනු ලබන සෝනාර් පරිලෝකන පහසුකම්වලින් සමන්විත විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.
Ann Harvey – කැනේඩියානු වෙරළාරක්ෂකයින්ට අයත් සැහැල්ලු අයිස්කඩනයකි.
Terry Fox – කැනේඩියානු වෙරළාරක්ෂකයින්ට අයත් අධිබර අයිස්කඩනයකි.
ගුවනින් අත් හරින ලද සෝනාර් බෝයාවන් මඟින් 20 දා සාගරයේ එක්තරා කලාපයක් පදනම් කරගෙන නැඟෙන ශබ්ද තරංග කිහිපයක් ග්‍රහණය කරගන්නට සමත් විය. යමකට තට්ටු කරන අයුරින් විනාඩි තිහක කාල විරාමයක් සහිත ව නැඟුණු ඒ හඬ සබ්මැරීනය තුළ සිර වී සිටින්නන් එහි ඇතුළත සිට බඳට රිද්මයානුකූල ව පහර දෙමින් තමන් සිටින ඉසව්ව ගැන ඉඟියක් දෙන්නට උත්සාහ කරන බව ද සැලකිල්ලට ගැනුණි. නමුත් ජලය තුළ ශබ්ද තරංග ගමන් ගන්නේ වායුගෝලීය වේගයට වඩා වැඩි වේගයකින් වීම නිසාත් හඬ ග්‍රහණය කළ ප්‍රදේශය තුළ එය පැමිණි නිශ්චිත මූලය සොයාගැනීම අසීරු විය.
අවසානය
ජුනි 22 දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසුවරු 4:30 ට පමණ ගණනය කර තිබූ පරිදි සබ්මැරීනයේ පැවතිය යුතු වාතය නෂ්ට ව ගියේ ය. එදින ම ටයිටැනික් නටඹුන් සහිත සාගර පත්ල වෙත Horizon Arctic වෙතින් පහත් කෙරුණු ප්‍රංශයේ නිෂ්පාදිත Odysseus 6K නියමු රහිත දුරස්ථ මෙහෙයුම් යානය මඟින් ටයිටැනික් නැවේ ඉදිරිපස කොටසේ සිට අඩි 1,600ක් ඈතින් මුහුද පත්ලේ වැටී තිබූ ටයිටන්ගේ පසුපස කොටස (tail cone) සොයාගැනුණි. සුළු මොහොතකට පසු ව ප්‍රකාශයට පත් පරිදි සබ්මැරීනයේ තවත් ප්‍රධාන කොටස් පහක් කැබලී වී ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව පෙනී ගියේ ටයිටන්ගේ පීඩන කුටීරය බිඳවැටීමකට ලක් ව අන්තර් විදාරණයක් (implosion) ඇති වී ඇති බවයි. එනයින් මගීන් සියලු දෙනා මිය ගිය බව ඔවුන්ගේ පවුලේ අය දැනුවත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත හෙළි කිරීමට වෙරළාරක්ෂක කමාන්ඩර්වරයා වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් John Mauger කටයුතු කළේ ය.
පෘථිවිය මතුපිට අප වාසය කරන්නේ වර්ග අඟලකට රාත්තල් 15ක පීඩනයක් යටතේ ය. ටයිටැනික්ගේ නටඹුන් විසිර ඇති, ටයිටන් පිවිසි අඩි 12,000කට එහා ගැඹුරේ දී සමුද්‍රික පීඩනය එමෙන් 350 ගුණයක් වේ. එය වර්ග අඩියක් මතට රාත්තල් 6,000ක පීඩනයක් ඇති කරයි. මෙම පීඩන ඔරොත්තු දීමට මිනිසෙකුට සිතීමට වත් හැකි යමක් නො වන අතර එවන් ගැඹුරු සාගර මට්ටමක යාත්‍රා කළ හැක්කේ ද ටයිටේනියම් වැනි පීඩනය මනා ලෙස දරාගත හැකි වූ ලෝහයකින් නිර්මිත සබ්මැරීනවලට පමණි. මගීන්ගේ සුවපහසුව තකා ඒවායේ අභයන්තරය වායුගෝලීය පීඩනයට සමාන කළ යුතු අතර මගීන් සහ අධික පීඩනයකින් යුතු ව රෞද්‍ර ලෙස බලා හිඳිනා මහා ජල කඳත් අතරින් ටයිටේනියම් බිත්තිය පැවතිය යුතු ය. එය හැඳින්වෙන්නේ ‘පීඩන කුටීරය’ නමිනි.
එහි සිදු වන යම් දුර්වලතාවක් හෝ බිඳවැටීමක් නිසා පිටත ඇති පීඩනය සෑම දිශාවකින් ම ඇතුළතට කඩා වැදීම සිදු වේ. එය සිදු වන්නේ පිපුරුමක් ආකාරයෙන් ව්‍යුහය ඇතුළට හැකිලී බිඳී යාමෙනි. මෙය ඇතුළතට සිදු වන පිපුරුමක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය සඳහා implosion හෙවත් අන්තර් විදාරණය යන වදන විද්‍යාත්මකව යොදා ගැනේ.
එවන් අධික පීඩනයකට යටත් ව සිදු වන අන්තර් විදාරණයක් සිදු වන්නේ පැයට සැතපුම් 1,500ක වේගයකින් බව CNN වෙත අදහස් දැක්වූ හිටපු නාවික නිලධාරී Aileen Martin සඳහන් කර තිබේ. එයට ගත වන්නේ මිලි තත්ත්පර කිහිපයක් පමණි. Martin සඳහන් කළේ මිනිස් මොළයට සිදු වන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට අවම වශයෙන් තත්පරයෙන් හතරෙන් එකක කාලයක් ගත වන බවයි. මිලිතත්ත්පර කිහිපයක් ගණනක් ඇතුළත සමස්ත ව්‍යුහයම පුපුරා ගොස් අධික පීඩනයට නතු වන බැවින් මගීන් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමටත් පෙර මියයන්නට ඇති බව ය ඔහු පවසන්නේ. එය වේදනාවකින් තොර ක්ෂණික මරණයකි.
මේ අනුව පෙනී යන්නේ ටයිටන් සිය අවසාන සංඥාව මව් යාත්‍රාව වෙත එවා මොහොතකට පසු එය විනාශ වන්නට ඇති බව ය. සෝදිසි මෙහෙයුම් ඇරඹෙන්නට ද පෙර මගීන් සියලු දෙනා වෙත මරණය ළඟා වූ බව ය. මේ බව සනාථ කළ හැකි ටයිටන් අතුරුදන් වූ දිනයේ ම සාගර අභ්‍යන්තරයේ වූ අන්තර් විදාරණයකට සම කළ හැකි පිපුරුමක ශබ්දයක් ග්‍රහණය කරගන්නට ඇමරිකානු නාවික හමුදා ව සමත් ව තිබෙන බව දැන් හෙළි වී තිබේ. වහා ම එම තොරතුර සෝදිසි මෙහෙයුමේ ප්‍රධානීන් වෙත යැවූ බවත් එය සෝදිසි මෙහෙයුමේ අවධානය යොමු විය යුතු කලාපය තවත් පටු කිරීමට උපකාරී වූ බවත් නිලධාරීහු පැවසූහ. මුල දී එම ශබ්දය ‘විස්තර කළ නො හැකි’ කාණ්ඩය යටතේ වර්ගීකරණය තිබුණි.
වැරදුණේ කොතැන ද?
වැරදුණේ කොතැන දැ යි කරුණු හෙළි කර ගැනීම සඳහා තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. ගලවා ගැනීමේ මෙහෙයුමකින් පලක් නොමැති බව හෙළි වූ මොහොතේ සිට එය වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම වෙනුවෙන් කෙරෙන විමර්ෂණයක් බවට හැරුණි. තවත් සුන්බුන් හඳුනාගැනීම සහ ඒවා සිතියම් ගත කිරීම සඳහා ද මුල් ම සුන්බුන් කැබැලි සොයා ගත් Odysseus 6හි සහ එහි ම නිවුන් සහෝදරයෙකු වැනි වූ Vector 6000 ROVහි ද සහයෝගය ලබා ගැනේ.
1997 දී තිරගත වූ Titanic චිත්‍රපටය වෙනුවෙන් සහ සිය ගවේෂණාත්මක සංතෘප්තිය වෙනුවෙන් 33 වතාවක් ටයිටැනික් සුන්බුන් වෙත කිමිදී ඇති, එමෙන් ම 2012 දී මරියානා අගාධයට ද ගමන් කළ චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ඛේදනීය අන්තර් විදාරණය ගැන CNN වෙත අදහස් දක්වමින් කියා සිටියේ ටයිටැනික් අනතුරේ සහ ටයිටන් මුහුණ දුන් අනතුරේ යම් සමානතාවක් ද තිබෙන බව ය.
‘මම හිතනවා මෙතන විස්මය දනවනසුලු ව්‍යංගාර්ථයක් තිබෙනවා කියා. ටයිටැනික් ගිලී ගියේ සඳ නැති, දෘශ්‍යතාවය දුර්වල රැයක ලැබුණු අනතුරු ඇඟවීම් නො සලකා, අයිස් ගහන ප්‍රෙද්ශයක් තුළින් උපරිම වේගයෙන් යාත්‍රා කරන්නට එහි කපිතාන්වරයා තීරණය කළ නිසයි. සබ්මැරීනයේ ප්‍රමිතිය සහතික කරන ලද්දක් නො වීම හේතුවෙන් නැඟුණු අනතුරු ඇඟවීම් නො තකා හැරීම නිසා සිදු වීම් දෙකෙහි සමාන බවක් තිබෙන බව මම හිතනවා.’ කැමරන් පැවසුවේ ය.
ඔහු නිවැරදි ය. OceanGate සමාගමේ ටයිටන් නම් වූ මෙම ගැඹුරු සාගර තරණ යාත්‍රාව පිළිබඳ විද්වතුන් අවධානය යොමු කළේ කලකට ඉහත දී ය. ටයිටන්ගේ සුරක්ෂිත බව පිළිබඳ සිය කුකුස පළ කළ OceanGate සමාගමේ සේවය කළ සුරක්ෂිතතාව භාර නිලධාරියාව ඉන් පහ කිරීමට සමාගම කටයුතු කර තිබුණි.
2018 දී OceanGate වෙත ලිපියක් ලියමින් ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් ඉල්ලා සිටියේ එහි සුරක්ෂිතතාව තහවුරු කරන ලෙසට ය. Marine Technology Societyහි සභාපතිත්වය උසුලන William Kohnen පෙන්වා අඩි 12,000ක් යටට පිවිසිය හැකි සබ්මැරීන ලෝකයට ම ඇත්තේ 10ක් බවත්, ඒවා අතුරින් තත්ත්ව සහතික කිරීමකින් තොර ව පැවති එකම යාත්‍රාව ටයිටන් බවත් ය.
ටයිටන් මුහුණ දුන් ඉරණමත් සමග අනාගතයේ ගැඹුරු සාගර තරණය පිළිබඳ දැඩි නීති රෙගුලාසි හඳුන්වා දෙන්නට සිදු වනු ඇති බව විද්වතුන් පෙන්වා දෙන විද්‍යාත්මක සත්‍යයකි.
සත්‍ය හෙට්ටිආරච්චි