වසර 46,000කට පසු හිමායනයෙන් අවදි වූ නෙමටෝඩාවන්ගේ කතාව
මිහිතල පුරාණයේ හටගත් සිදු වීම් අත් විඳි බොහෝ සාක්ශ්‍යකරුවන් දැන් නශ්ට ව ගොසිනි. නමුත් ඇතැමෙක් ගල්ගැසී, කාලයාගේ අනවරත ගමන දෙස නෙත් හෙළා බලා හිඳිති. සයිබීරියාවේ පුරාතණ හිම තට්ටු මෙන් ම ඉහළ යන ගොලීය උෂ්ණත්වයෙන් බැට කමින් උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවල පවතින ග්ලැසියර ද ඊට උදාහරණ ය. මිනිසාගේ පහළ වීමට වසර මිලියන ගණනකට පෙර නිද්‍රාගත වූ ප්‍රාග් ඓතිහාසික ක්ෂුද්‍රජීවීන් සහ විෂබීජ තවමත් ඒවා තුළ තැන්පත් ව පවතී. මනා සිහි කල්පනාව ඇති අයෙකු ග්ලැසියරයක් දිය වී ගලා එන ජලය සුපිරිසිදු යැයි සිතා පානය නො කරන්නේ එබැවිනි.
මේ බව වඩවඩාත් අවධාරණය කරමින් ඉකුත් වසරේ ආක්ටික් වෘත්තයේ උතුරට වන්නට පිහිටි මිදී ගිය හේසන් විලෙහි නිද්‍රාශීලී ව වාසය කළ මාරක ව්‍යාධිකාරක බැක්ටීරියාවන් ගණනාවක් ම හඳුනාගන්නට විද්‍යාඥයින් සමත් විය. ඉන් දස මසක් පිරෙන තැන ඉකුත් ජූලි 27 දා හිම තට්ටු යට නිද්‍රාශීලී ව වසර 46,000ක් ගත කළ නෙමටෝඩා පණුවකු යළි සක්‍රීය තත්ත්වයට පත් කළ බවට අධ්‍යයනයක් PLOS Genetics ජර්නලයේ පළ වී තිබුණි.
මෙම නව නෙමටෝඩා විශේෂය (සොයාගැනුණු අනුපිළිවෙළ වශයෙන් ගත් කල) සොයා ගැනුණේ 2018 දී සයිබීරියාවේ නිත්‍ය තුහින පොළොව මතුපිට සිට අඩි 130ක් ගැඹුරේ දී කළ කැණියමකිනි. උන් Panagrolaimus kolymaensis ලෙස විද්‍යාත්මක ව හැඳින්වේ. මෙලෙස ගොඩගත් පස් ස්ථර කොටසේ වූ ශාකමය පදාර්ථ රේඩියෝකාබන් දින නිර්ණයකට භාජනය කිරීමෙන් අනතුරුව වසර 46,000ක් පැරැණි බව සොයාගෙන තිබේ.
‘රේඩියෝ කාබන් දින නිර්ණය නිසැකයෙන් ම නිරවද්‍යයි. අපි දැන් දන්නවා ඔවුන් වසර 46,000ක් පැවත ආ බව’ අණුක සෛල ජීව විද්‍යාව සහ ජාන තාක්ෂණ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සෛල ජෛව විද්‍යාඥයෙකු මෙන් ම අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන Teymuras Kurchalia සඳහන් කර තිබුණි.

පර්යේෂකයන් සඳහන් කරන්නේ යම් හෙයකින් හෝ එහි වයස එහා මෙහා වීමට ඉඩ ඇත්තේ වසර දහසකින් පමණක් බව ය. එහි අදහස නම් මෙම අන්වීක්ෂීය පණුවා සිය දිගු නින්දෙහි නිමග්න ව සිටින්නේ ප්ලයිස්ටොසීන යුගයේ සිට බව ය. මේ විශේෂයේ නෙමටෝඩාවකුගේ සාමාන්‍ය ආයුකාලය මාස දෙකකි! එනම් හිමායන ක්‍රියාවලියට නො එළඹියේ නම් උගේ මරණය ද සිදු වනු ඇත්තේ ද අදින් වසර 46,000කට ඉහත දී ය.
‘ඌ මෙතරම් කාලයක් සුරැකි ව පැවතියේ කොහොම ද කියන එක අතිශය පුදුමාකාරයි. මේ තනි ජීවියා ; ඔවුන් සොයාගත් මුල් ම පණුවා ඒ තරම් අතිශය දුර ඈත අතීතයක සිට ජීවතුන් අතර සිටියා’ North Carolina විශ්වවිද්‍යාලයේ අභිසෘතීය විද්‍යා අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන Gregory Copenhaver පවසා තිබුණේ මේ අද්විතීය සිදු වීම පිළිබඳ සිය මවිතය පළ කරමිනි.
විද්‍යාඥයන් බොහෝ කලකට ඉහත හඳුනාගෙන ඇති පරිදි ඇතැම් අන්වීක්ෂීය ජීවීන් විසින් කර්කශ පාරිසරික තත්ත්වයන් යටතේ සිය ජීවිත ගමනේ ගලා යෑම උවමනාවෙන් ම නතර කරගනු ලබයි. ඒ තම සිරුරේ ක්‍රියාකාරිත්වය බාහිර ව ග්‍රහණය කරගත නො හැකි පිරිමාණයේ සියුම් නිද්‍රාශීලී බවක ගිල්වමිනි. මෙම ක්‍රියාවලිය විද්‍යාත්මක ව cryptobiosis හෙවත් අර්ධ ජීවනය යනුවෙන් හඳුන්වනු ලැබේ. සයිබීරියාවෙන් ගොඩගත් පස් සාම්පලවල හමු වූ නෙමටෝඩාවන් ද සිටියේ මෙකී අවධිය ගත කරමිනි.

පර්යේෂණයට නායකත්වය සැපයූ ජර්මනියේ Cologne සරසවියෙහි සත්ත්වවිද්‍යා අධ්‍යයනායතනයේ විද්‍යාඥ Philip Schiffer පවසන්නේ එකී පණුවා නැවත වතාවක් සක්‍රීය තත්ත්වයකට ගෙන ඒම අතිශය සරල ක්‍රියාවලියක් මත රඳා පැවති බව ය. ඔවුන් සිදු කර තිබුණේ ගල් වූ පාංශු කොටස් දිය කර හැරීම ය. එතුළ වූ නෙමටෝඩාවන් තැම්බී විනාශ වී නො යන පරදි උණුසුම සැපයීමට ඔවුන් පරෙස්සම් සහගත වී තිබුණි. අනතුරුව නෙමටෝඩාවන් යළි සක්‍රීය වූ බව ප්‍රදර්ශනය කරමින් දඟලමින් සිටිනු නිරීක්ෂණය කරගත හැකි විය. අනතුරුව පර්යේෂකයන් සිදු කළේ ඔවුන්ට විද්‍යාගාර දීසියක් තුළ වැඩෙන්නට පහසුකම් සපයා දීමයි. ආහාර වශයෙන් සපයා දුන් බැක්ටීරියා මතින් වැඩී ප්‍රජනනයෙන් වර්ගයා බෝ කිරීමට ද ඔවුන් පටන්ගෙන තිබුණි.
අධ්‍යයනයට පාත්‍ර වූ මුල් ම නෙමටෝඩා පණුවා දැන් මියගොසිනි. නමුත් එකී නෙමටෝඩාවාගෙන් පැවත එන තවත් පරම්පරා 100ක් පමණ සාර්ථක ලෙස දැඩි කරන්නට පර්යේෂකයෝ සමත් ව සිටිති.
නෙමටෝඩා පණුවන් ප්‍රජනනය කරන්නේ කෞමාරෝද්භවය හෙවත් parthenogenesis නම් අලිංගික ප්‍රජනන ක්‍රියාවලියට අනුකූල ව ය. මෙම පර්යේෂණය අතරතුර දී පර්යේෂකයන් වඩාත් කුහුලකින් පසු වූයේ නෙමටෝඩාවන් දිවි රැකගෙන එතරම් කලක් සිටියේ කෙසේ ද යන්න ගැන නොව, ඔවුන් සිය නිද්‍රාශීලී තත්ත්වයට පිවිසුණේ කෙසේ ද යන්න ගැන ය.
පසු කාලීන ව බිහි වූ ජනිතයන් යොදාගෙන සිදු කළ අත්හදාබැලීම් මඟින් පර්යේෂකයන් සොයාගත්තේ
C. elegans නෙමටෝඩාවන් විශේෂය හිමායනය වීමෙන් දිවි රැකගැනීමට සමත් බව සහ අධි ශීතනය වීමට පෙර මඳ උණුසුම් පාරිසරික තත්ත්ව යටතේ අවදි වන බව ය. මේ හිමායන අවධියේ දී උන්ගේ සිරුරුවලින් ට්‍රිහේලෝස් (trehalose) නම් සීනිමය ද්‍රාවයක් වෑස්සෙන්නට ගනියි. එහි අරමුණ වන්නේ හිමායන කාල පරිච්ඡේදය අතරතුර දී ඔවුන්ගේ DNA, සෛල සහ ප්‍රෝටීන වියෝජනය වී යෑම වැළැකීම ය.
මෙම අධ්‍යයනයේ සම කර්තෘවරයකු වන Planck Institute for Molecular Cell Biology and Genetics හි මහාචාර්ය Teymuras Kurzchalia පෙන්වා දෙන්නේ මෙකී හිමායන ක්‍රියාවලියට කමටහන් දෙමින් නිකුත් වන ප්‍රෝටීන මොනවා දැ යි අනාවරණ කරගැනීම වෛද්‍ය විද්‍යාවේ අභිවෘද්ධිය සඳහා ඉවහල් වනු ඇති බව ය. ඒ සඳහා දැනටමත් පර්යේෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.
පර්යේෂකයන් පිළිතුරු දැනගැනීමට කුහුලින් පසුවන තවත් පැනයක් වන්නේ හිමායනයේ නිමග්න ව සිට යළි අවදිවීමට කාලය සීමාකාරී සාධකයක් වේ ද යන්නයි. සති කිහිපයක කාල පරිච්ඡේදය තුළ ඉපිද, ජීවිතය ගෙවා දමා, මිය යාමට නියම වී ඇති සත්ත්ව විශේෂ සිය ජීවන පරාසය සියවස් ගණනින් හෝ සහශ්‍රක ගණනින් විස්තාරණය කරන පසුබිමක පරිණාමයේ සහ තුරන් ව යාමේ භූමිකාව කුමක් වනු ඇත් ද යන්න ද ඉදිරියේ දී පිළිතුරු සොයාගත යුතු දහසකුත් එකක් පැන අතරට එක් වී තිබේ.

කෙසේ නමුත් මෙහි ඇතැම් තැන් පිළිගැනීමට නොහැකි බව අධ්‍යයන ක්‍රියාවලියෙන් පරිබාහිර ඇතැම් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ජීව විද්‍යාඥ Byron Adams එවැන්නෙකි. ‘ඔවුන් විස්තර කරන සතුන් වසර 40,000ක් තිස්සේ ගල් ගැහිලා දිවි රැකගත් බව විශ්වාස කරන්න මාත් කැමතියි. මම ඔට්ටු අල්ලන මනුස්සයෙක් නම් එහෙම දෙයක් ඇත්තට ම වෙන්න පුළුවන් කියලා ඔට්ටුවක් වුණත් අල්ලනවා.’ ඔහු පවසයි.
නමුත් ඔහු පෙන්වා දෙන්නේ අධ්‍යයනයේ දී වයස මැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ අදාළ පස් ස්ථරයේ වූ ශාකමය කොටස් පමණක් බවයි. ඉන් නෙමටෝඩාවන්ගේ සැබෑ වයස නිරූපණය නොවන්නට ද ඉඩකඩක් තිබෙනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි පස් සාම්පලය පොළොවේ සිට ඉහළට ගැනීමේ දී මතුපිට පොළොවේ රැඳී සිටි නූතන නෙමටෝඩාවන්ට එය නිරාවරණය වුණා වන්නටත් ඉඩ තිබේ. 2018 දී මෙකී පස් සාම්පලය ලබාගන්නා විට ද මේ ගැන තර්ක විතර්ක නැඟී තිබුණි.
මේ සැකය පිරිමසාලනු වස් Adams යෝජනා කරන්නේ ඒ ප්‍රදේශය අවටින් මතුපිට සාම්පල කිහිපයක් ලබාගෙන, ඒවායේ සිටින නෙමටෝඩාවන් අධ්‍යයනයට භාජනය කළ යුතු බවයි. ඉන් හමුවන නෙමටෝඩා විශේෂ අතර නිත්‍ය තුහින තට්ටුවට යටින් හමු වූ උක්ත නෙමටෝඩා විශේෂය නො පවතී නම් මේ සැකය දුරු වී යනු ඇත.
සත්‍ය හෙට්ටිආරච්චි