ඔබ දැන් සිටින්නේ කාර්යාලයීය කාර්යබහුල තත්ත්වයක යැයි මඳකට සිතන්න. එමට වැඩ කන්දරාවක යට වී සිටින මොහොතේ ඔබේ ජංගම දුරකථනය නද දෙන්නට ගන්නවා. ඇමතුම ගැන විපිළිසර ව මඳකට හිස ඔසවන ඔබ දකින්නේ ඒ ඔබේ සමීපතමයෙකු බවයි. තමා අතිශය තීරණාත්මක හදිසි මුදල් අවශ්‍යතාවක වැටී සිටින බවත් හැකි විගසින් තම ගිණුමට එය බැර කරන ලෙසත් එහා කෙළවරේ සිටින සමීපතමයා ඉල්ලා සිටිනවා. ඔබට එම කටහඬේ යම් අමුත්තක් දැනෙනවා. වචන උච්චාරණයේ සහ ඇතැම් වචන අතර විරාමයන්ගේ යම් වෙනසක් ඇති බව ඔබට දැනී නො දැනී යන්නට ගත් නිසා ඔබ යළිත් දුරකථන තිරය දෙස බලා ඇමතුම එන්නේ ඔහුගේ හෝ ඇයගේ සුපුරුදු අංකයෙන් ම බව තහවුරු කර ගන්නවා. දෙපැත්තේ ම ඇති කාර්යබහුලත්වය සලකා බලන ඔබ ඔහු හෝ ඇය එවන ගිණුම් අංකයට අදාළ මුදල එක ඇසිල්ලෙන් බැර කරනවා. ඇමතුමේ නම හිමි සැබෑ ම සමීපතමයා මේ ගැන හාංකවිසියක් වත් නො දන්නා බව ඇඟට හීන් දාඩිය දමමින් තේරුම් යන්නේ තවත් පැය කිහිපයකට පසු මුදල ලැබුණේ දැයි අසන්නට ඇමතුමක් ගත් විටයි.
අපට තවමත් ආගන්තුක යැයි සැලකිය හැකි මෙවැනි ගණයේ සංවිධානාත්මක සොරකම් ඇමරිකාව තුළ නම් ඉයවහා ගොස් ඇති බව සඳහන්. 2019 දී බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ සමාගමක් ඉලක්ක කළ අපරාධකරුවෝ එහි මව් සමාගමේ සිට එන ඇමතුමක් ලෙස අඟවා ප්‍රධානියාගේ හඬ අනුකරණය කර ඩොලර් දෙ ලක්ෂ හතළිස් තුන් දහසක් කොල්ල කනු ලැබුණා. ඩීප්ෆේක් තාක්ෂණ උපයෝගී කරගෙන අනුකරණය කරගන්නා කටහඬ මඟින් 2022 වසර තුළ දී පමණක් එරට සිදු වී ඇති වංචා ප්‍රමාණය දහස් ගණනක් ලෙස සඳහන්. ඇමරිකාවේ පමණක් ඉකුත් වසරේ දී මෙලෙස තාක්ෂණික වශයෙන් වෙස් ගන්වන ලද කටහඬ මඟින් සමීපතමයෙකු හෝ වශ්වාස කළ හැකි අයෙකු ලෙස පෙනී සිටිමින් වංචා සහගත ලෙස පැහැරගත් මුදල්වල මුළු එකතුව ඩොලර් මිලියන 11ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.
2022 කෘත්‍රිම බුද්ධියේ මල්ඵල නෙළාගත් වසරක් ලෙස හඳුනාගත හැකියි. MidJourney වැනි කෘත්‍රිම බුද්ධි අනුසාරයෙන් සිතුවම් අඳින යෙදවුම් මෙන් ම ChatGPT වැනි විසල් භාෂා මොඩල සීග්‍රයෙන් ප්‍රචලිත වන්නට ගත්තා. මේ වන විට යම් පුද්ගලයෙකුගේ කටහඬ සාම්පලයක් මඟින් ඔහුගේ හෝ ඇයගේ කටහඬෙහි ඇති ගුණාංග උකහාගෙන එය අනුකරණය කළ හැකි යෙදවුම් ද මේ වන විට ප්‍රචලිත තලයකට පැමිණෙමින් සිටිනවා. මේ යෙදවුම් අනුයුක්ත කරමින් පවත්වාගෙන යන වෙබ් සේවාවලින් ඔබ පවසන දෑ වෙනත් පුද්ගලයෙකුගේ ස්වරයට මාරු කළ හැකියි.
එක් පරිශීලකයෙකු ට්විටර් සටහනක් තබමින් වීඩියෝ පටයක් ද පළ කර තිබුණේ කෘත්‍රිම බුද්ධිය මඟින් නිපැයුණු තමාගේ ම කටහඬ උපයෝගී කරගෙන සිය බැංකු ගිණුමට ප්‍රවේශ විය හැකි බව පෙන්වා දෙමින්. ජෝසෆ් කොක්ස් නම් ඔහු සිය කටහඬ පරිද්දෙන් ම වෙස් ගැන්වූ කෘත්‍රිම බුද්ධි පාදක කටහඬ යොදාගෙන බැංකුව නො මඟ යවා තිබුණා. ඔහු පෙන්වා දෙන්නේ එමඟින් ගිණුමේ ශේෂය වෙත මෙන් ම මුදල් ගනුදෙනු සිදුකළ හැකි අදියරට පවා පහසුවෙන් රිංගිය හැකි බවයි.
මේ විෂය පථය කෙරෙහි ප්‍රාමාණික දැනුමැත්තන් පවසා සිටින්නේ බලාපොරොත්තු නො වූ මොහොතක තම සමීපතමයන්ගේ නමින් යුතු ව එන ඇමතුම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. ඩීප්ෆේක් තාක්ෂණය අවභාවිතා කරන පහරන්නන් බොහෝ විට ඉලක්කගත පුද්ගලයන්ගේ සමීපතමයන් ලෙස පෙනී සිටින්නට වෑයම් කරනවා. ඒ ඔවුන් බලපෑම් කරන්නට යන්නේ ඔබේ හිතේ ඇති දුර්වලතම තැනට වීම නිසයි. බැංකුව ලෙස පවසා එන දුර ඇමතුම්වල යම් අසාමාන්‍ය ගතියක් පෙනී යන්නේ නම් ඇමතුම විසන්ධි කර දුරකථනයේ සුරැකිව තබා ඇති හෝ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අංකයට අැමතුමක් යොමු කර ඒ පිළිබඳ විමසා තහවුරු කරගන්නා ලෙස ද ඔවුන් The Conversation වෙත ලිපියක් සම්පාදනය කරමින් සඳහන් කරනවා.
දැනට තවමත් මූලක අවධියක ඇති මේ තාක්ෂණයෙන් වෙස් ගන්වන ලද කටහඬක් සැබෑ කටහඬකින් වෙන් කර හඳුනා ගැනීම සාවධාන අසන්නෙකුට කළ නො හැකි යමක් නො වූ වත් ඔහු හෝ ඇය ඉන්නා පාරිසරක තත්ත්වය මත එවැනි සූක්ෂ්ම තැන් මඟහැරී යන්නට පුළුවන්. ඩීප්ෆේක් තාක්ෂණයේ නැඟීමත් සමඟ ඉදිරියේ දී එවැනි කඩතොලු ද වැසී යනු ඇති අතර නො මඟ යැවීම් වෙන් කර හඳුනාගැනීම ද සංකීර්ණ අඩියකට වැටෙනු ඇති.
සත්‍ය හෙට්ටිආරච්චි