ඇතැම් පුද්ගලයෝ මරණයේ මුවවිට අද්දරට ගොස් යළිත් ජීවිතය බේරා ගනිති. මරණාසන්න අවස්ථාවේදී අත්දුටු දේ පිළිබඳව ඔවුහු පසුව ප්‍රකාශ කරති. මේ අත්දැකීම හැඳින්වෙන්නේ මරණාසන්න අත්දැකීම් (Near Death Experiences) යනුවෙනි.මරණය අද්දර?
මරණාසන්න අත්දැකීම් ගැන මුලින්ම ක්‍රමවත් අධ්‍යයනයක් කළේ ඇමරිකානු ජාතික මානසික රෝග වෛද්‍යවරයෙක් වූ රේමන්ඩ් මූඩි විසිනි. ඒ 1975 වසරේදීය. එම අධ්‍යයන අඩංගු කොට ඔහු Life after Life කෘතිය එළිදැක්වූ අතර එය සිංහල භාෂාවටද පරිවර්තනය වී ඇත. වර්තමානයේ මේ ගැන ක්‍රමවත් අධ්‍යයනයන් සිදු කිරීමේ ප්‍රමුඛයා වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ මනෝ වෛද්‍ය බෲස් ග්‍රේන්ය. මේ අත්දැකීම්වල විශේෂත්වය වන්නේ ඒවායේ දක්නට ලැබෙන අපූර්ව සමානත්වයයි. ශ්‍රී ලංකාවේද මීට සර්වසම සිද්ධි රාශියක් වාර්තා වී ඇත.
මරණාසන්න අත්දැකීම් සම්බන්ධ ප්‍රධාන විවාදය මේවා හුදෙක් මනසේ ඇතිවන මනෝ භ්‍රාන්ති තත්ත්වයන්ද (Hallucinations) නැතහොත්, සැබෑවටම විඥානය ශරීරයෙන් ඉවත් වීමේ ස්වාභාවයක්ද යන්නයි. මෙහිදී ඔවුන් ලබන අත්දැකීම් භාවනා කිරීමෙන් උසස් තලවලට පත් වූ විට ලබන අත්දැකීම් වලට බොහෝ සමාන බව පැවසේ.
මරණාසන්න අත්දැකීම් ප්‍රධාන ලෙසම වාර්තා වන්නේ හදවත නතර වී නැවත කෙටි කාලයක් තුල හදවත පණ ගැන්වුණ රෝගීන් සහ ශල්‍යකර්ම වලදී සිහි නැතිකිරීමේදී සංකූලතාවලට ලක්වූ රෝගීන් වැනි විශේෂ කොටසක් තුලයි. මෙහිදී මෙම අත්දැකීම් හුදෙක් මනෝ භ්‍රාන්ති නොවන බවට ප්‍රධාන සාක්ෂිය වන්නේ ඔවුන් තමන්ගේ ශරීරය බැහැර සිට දැකීමත්, රෝගියා සිහිසන් නොමැතිව සිටින අවස්ථාවේ අවට මෙන්ම ඈත සිදුවන සිද්ධි ඉතාම නිරවද්‍යව විස්තර කිරීමයි.
වෛද්‍ය බෲස් ග්‍රේන්ට අනුව මෙම සිද්ධි අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් 10 පහත පරිදි වේ.
- වේදනාව රහිත වීම සහ සහනදායී හැඟීමක් දැනීම
- ශරීරයෙන් ඉවත්ව යන බව දැනීම සහ ශරීරයට ඉහළින් පාවෙමින් සම්පූර්ණ ශරීරය දර්ශනය වීම
- සාමාන්‍ය තත්ත්වයට වඩා මනස පැහැදිලිව සහ වේගයෙන් ක්‍රියා කරන බව දැනීම
- අඳුරු උමගක් තුලින් පාවී යන ආකාරයක් දැනීම
- ඉතාම දීප්තිමත් ආලෝකයක් දර්ශනය වීම
- ඉතාම ප්‍රබල මට්ටමින් ආදරය වැනි හැඟීමක් දැනීම
- ඉතාම සංකීර්ණ දැනුම ඉබේම විඥානයට ලැබෙන බව දැනීම
- තමන්ගේ කලින් ජීවිතයේ තොරතුරු ඉතාම විස්තරාත්මකව අනුපිළිවෙලින් දර්ශනය වීම
- සමහර අනාගත සිද්ධි ගැන ඉඟි ලැබීම
- මිය ගිය ඥාතීන් දර්ශනය වීම
මෙම කරුණු වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ වෙබ් පිටුවේ සාරාංශ කර ඇත. මෙම කරුණු අනුව සාධනීය උපකල්පන කිහිපයක් ගොඩනැඟීමේ හැකියාව ඇත. විඥානය මොළයේ නිර්මාණයකට වඩා ඊට පිටතින් මොළය ඇසුරු කරගෙන සීමිත පරාසයක ක්‍රියා කරන ක්වොන්ටම් ක්ෂේත්‍රයක් විය හැකි බවට මෙය යම් සාක්ෂියක් සපයයි. එනම් සැබෑවටම මොළය නම් ජෛව ක්වොන්ටම් යන්ත්‍රය මඟින් විඥානය සීමිත පරාසයකට සහ අනන්‍යතාවයකට නතු කර ඇති බවයි. එසේම සමහර හැඟීම් පවා මොළයේ නිර්මාණයකට වඩා විශ්වයේ ඇති නිශ්චිත ගති ලක්ෂණ සහිත පැවැත්මක් බවයි. මතකය යනු මොළය ඇසුරේ පවතින සංරචකයකට වඩා මොළය විසින් නිර්මාණය කර ක්වොන්ටම් ක්ෂේත්‍රයේ පවත්වා ගන්නා තත්ත්වයක් බවටද උපකල්පනය කළ හැකිය. මරණාසන්න අත්දැකීමකට මුහුණු දුන් හාවර්ඩ් සරසවියේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුද මේ අදහස දරයි. එසේම කාලය පිළිබඳ මායාකාරී හැඟීම ලබා දෙන්නේද මොළය මඟින් බවට මෙම තොරතුරු ඉඟියක් සපයයි. ඒ අනුව මරණාසන්න අත්දැකීම් විශ්වය යනු විඥානය මඟින් ප්‍රතිනිර්මාණය කරන තත්ත්වයක් ය යන මතයට ධනාත්මක සාක්ෂියක් සපයයි. මෙම අත්දැකීම් ලෝකය පුරා එකම ආකාර වීමත්, මේවා ගැන කිසිදා අසා නොතිබූ අය එක සමාන අත්දැකීම් ලැබීමත් මරණාසන්න අත්දැකීම්වල නිරවද්‍යතාවයට සාක්ෂි වේ.
මරණාසන්න අත්දැකීම් යනු යථාර්තයකට වඩා මොළය විසින් ඇති කරන මායාවක් බව මීට ප්‍රතිවිරුද්ධ මතයක් දරන්නන්ගේ ප්‍රධාන විවේචනයයි. නමුත් වෛද්‍ය බෲස් ග්‍රේසන්ට අනුව සමහර මරණාසන්න අවස්ථාවල මොළයේ රුධිර සැපයුම වෙනසක් නොවුණු අවස්ථා වලත් මෙම අත්දැකීම් ලැබී තිබේ. ඔහු ඉදිරිපත් කරන කල්පිතය වන්නේ මොළයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අවහිර වූ විට මොළය මඟින් විඥානයට ඇති කළ සීමා ඉවත් වීමෙන් මෙම තත්ත්වය ඇති වන බවයි. භාවනා කිරීම සහ මොළයේ ප්‍රතිග්‍රාහක මත ක්‍රියා කරන ඖෂධ වලින් ඇති කරන මීට සමාන අත්දැකීම් වල ක්‍රියාවලියද එයම විය හැකි බව ඔහුගේ අදහසයි. එසේම මොළයට හානි වූ අවස්ථාවක වඩාත් ඉහළ ත්‍රීවතාවයෙන් මතකය, සංවේදන සහ හැඟීම් අත්දැකීමද ඒවා හුදෙක් මනසේ මායාවන් නොවන බවට සාක්ෂි වේ. අනෙක් අතට මොළයේ භෞතික රසායනික විභවය ඉක්මවා ගොස් ඇති කරන එම සංවේදන, ඒවා මොළය ආශ්‍රයේ ඇති වීමකට වඩා මොළයේ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වූ විට පූර්ණ තීව්‍රතාවයෙන් අත්දකින තත්ත්වයන් බවට උපකල්පනය කළ හැකිය.
මේ සම්බන්ධව තවදුරටත් ලෝකය පුරා ගවේශණ සිදු වේ. වර්ජිනියා විශ්වවිද්‍යාලය මේ වනවිට ලොව පුරා මෙම අත්දැකීමට මුහුණ දුන් වෛද්‍යවරුන් මේ සම්බන්ධ සායනික පරීක්ෂණයක් සඳහා ඇතුලත් කර ගනියි. ඒ අනුව අනාගතයේ මේ විෂය සම්බන්ධ වඩාත් සවිස්තර පැහැදිලි කිරීම් බලාපොරොත්තු විය හැකිය. භෞතික, විඥාන ලෙස බෙදා තිබූ අන්තයන් අතර පරතරය මෙවැනි ප්‍රබල නිරීක්ෂණ නිසා අඩු වෙමින් පවතී. එසේම විද්‍යාඥයන් මීට පෙර Pseudoscientific ලෙස වර්ග කර තිබූ නිරීක්ෂණ නැවත ගවේශණය කිරීම ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මිනිස් ඉන්ද්‍රිය සීමාවෙන් පිටත ඉතාම සියුම් ක්‍රියාවලි, විද්‍යාගාරයක් තුළ ප්‍රතිනිර්මාණය දැනට ඇති තාක්ෂණය තුල ප්‍රායෝගිකව අපහසු වේ. Case series මඟින් ඒවා ගවේශණය ඊට ඇති එක් විසඳුමකි.
විශේෂඥ වෛද්‍ය විපුල බටදූවආරච්චි
වෛද්‍ය පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය