පසුගිය දා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන් 292ක් සහ යා සහිත UL303 අංක දරණ එයාර්බස් 330 වර්ගයේ ගුවන් යානය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට ගොඩබාන අවස්ථාවේදී ඒ ආසන්න ප්‍රදේශයේ දේපළ වලට හානි සිදුවූ බවත් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.
කිලෝමීටර් පහක පමණ දුරක් ඔස්සේ මෙම හානි සිදුවී ඇත. ඇතැම් නිවාස ඇතුළු සමහර ගොඩනැගිලි වල වහල සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මාධ්‍ය වාර්තා වල දැක්වෙන අන්දමට එම ගුවන් යානය අඩි 800 ක පමණ උසකින් එම අවස්ථාවේ ගමන් කොට ඇති අතර යානය එක්වරම අඩි 2000 ක් තරම් උසකට එසවීමට නියමුවා කටයුතු කල අවස්ථාවේ භූමියේ දේපළවලට මෙම අලාභ හානි සිදුවී ඇති බව පැවසේ.
ගුවන් යානා වාතය තුළ ගමන් කරන විට වාතයේ සුළිධාරා ඇති වන අතර ඒවා Vortex ලෙස හැඳින්වේ 01රූපය. මෙම සුළිධාරා නිසා ඇතැම්විට ගුවන් යානා පියාසර පථයන්හි ඇති නිවාස වල වහල හා, තදින් සෙවිලි නොකළ උළු වලට හානිවිය හැකිය. එලෙසම ගුවන් යානා වාතයේ ගමන් කරන විට ඇතිවන කැළඹීම් හෙවත් Wake Turbulence නිසා ද දේපල හානි සිදුවේ. ප්‍රබල ගුවන් යානා එන්ජින් වලින් වේගයෙන් පිටවන වාතය (Jet wash) ද ඒ ආකාරයෙන්ම හානිකර තත්ත්ව ඇති කරයි.
ඉහත සඳහන් කළ සුලිධාරා ඇතිවන්නේ ගුවන් යානයේ පියාපත් කෙළවරවල් (Wingtip) වාතය කපාගෙන යාම නිසාය. මෙලෙස ජනිත වන සර්පිලාකාර වායු කේතු ගුවන් යානාව ගමන් කිරීමෙන් මිනිත්තු කීපයකට පසුද එම පථය තුළ රැදී පවතී. සෙමින් ගමන් කරන ගුවන් යානයක් නිසා ඇතිවන සුළිධාරා සුළු වේලාවකින් මැකී යා හැකි වුවද ගුවන් යානය භූමියට ආසන්නව ගමන් කිරීමේදී ඇතැම් විට මෙම සුළිධාරා පොළොව මට්ටමට ළගා වී ගුවන් යානයේ පථය ඔස්සේ භූමියේ ඇති නිවාස ඇතුලු ගොඩනැගිලිවලට හානි පැමිණවිය හැකිය.
ගුවන්තොටුපළවල් ආශ්‍රිතව විශේෂයෙන් ධාවන පථයේ එක් කෙළවරක සිට දෙපසට අංශක 10 ක් වූ කිලෝමීටර් හයක් ආවරණය වන භූමි වපසරිය තුළ ඇති ගොඩනැගිලි ගුවන් යානා වලින් සිදුවන හානි වලට ලක්වීමට වැඩි අවස්ථාවක් ඇති බව හඳුනාගෙන ඇත. එමෙන්ම බොහෝවිට ගුවන් යානා ගොඩබෑම් සිදුවන අන්තයේ මෙලෙස වාත ප්‍රවාහ හා සුළිධාරා හානි වැඩිපුර ඇතිවීමක් දක්නට ලැබේ. මීට හේතු වන්නේ ගොඩබෑම් අවස්ථාවේදී ගුවන් යානා වල උන්නතාංශය අඩුවීමේ සීඝ්‍රතාව (Rate of Descent)වැඩි වෙමින්, භූමිය සමග සමීප කාලය වැඩි වීම ය. මෙවැනි සිදුවීම් නිතරම වෙනත් රටවල ඇතැම් ගුවන්තොටුපළ ආශ්‍රිතව අසන්නට ලැබෙන අතර එම හානි සදහා නිසි වන්දි ලබාදීමේ ක්‍රමවේද ද සකසා ඇත.
සාමාන්‍යයෙන් ගුවන් යානයක් සිය ගොඩබෑම් අවතීර්ණ (Approach) පියාසැරිය අතරතුර විවිධ හේතූන් නිසා මෙලෙස ගොඩබෑම අත් හැර නැවත ඉහළට පියාසර කිරීම (Go around) කරනු ලබයි. ඇතැම් විට ගුවන් පාළක මධ්‍යස්ථනය විසින් කරනු ලබන විධාන වලට අනුවද ගුවන් යානා වලට Go around කිරීමට සිදුවේ. එමෙන්ම ගුවන් නියමුවාගේ අභිමතය පරිදි ද Go around කිරීමට හැකිය. මේ සදහා යානාවේ යාන්ත්‍රික ගැටලු, ක්ෂණිකව සිදුවන කාලගුණයේ වෙනස්වීම් හෝ නිසි ගොඩබෑම් පථයේ නියමුවාට යානය පවත්වාගත නොහැකි වීම වැනි කාරණා හේතුවිය හැකි අතර තවදුරටත් යානය ගොඩබෑම අනාරක්ෂිත යැයි නියමුවාට හැගෙන ඕනෑම අවස්ථාවක යානය Go around කිරීමට නියමුවාට අවස්ථාව ඇත.
මෙලෙස Go around කිරීමේදී නියමුවා කළ යුත්තේ එයාර්බස් මාදිලියක යානයක් නම්, එන්ජින් වල බලය පාලනය කරන Throttle එක To/Ga ( Takeoff/ Go around) නම් අවස්ථාවට ගෙන ඒමයි. එවිට යානය පොළොවේ සිට ගුවන් ගත කිරීමේදී එන්ජින් මගින් ජනිත කෙරෙන ජවයට සමාන තරම් ජවයක් ක්ෂණිකව ජනිත කෙරේ. එමගින් නැවත ඉහළට යානය ඔසවා ගෙන ගුවන් පාලක මැදිරියේ උපදෙස් මගින් නිවැරදිව නැවත ගොඩබැස්වීමට නියමුවාට උත්සාහ කළ හැකිය.
ගුවන් යානයක් සාමාන්‍ය නිවැරදි ගොඩබෑම් පථයට වඩා තරමක් පහළින් ගමන් කල හොත් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය.
තුෂාන් රණතුංග
ඡායාරූප: ටී.කේ.ජී.කපිල