Home Features න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්…?

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත්…?

by Sathya

රුසියාව විසින් යුක්‍රේන දේශසීමා උල්ලංඝනය කරමින් රට තුළට හමුදා ආක්‍රමණයක් දියත් කරනු ලැබීමත් සමග ලෝක දේශපාලන භූ සිතියම ගිනියම් වන්නට ගත්ත‌ා. යුක්‍රේනයත් රුසියාවත් නො නිමි යුද්ධයක පැටලී සිටින අතරේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානයගත රාජ්‍යයන්ගේ යුදාධාර හිමිවන්නේ යුක්‍රේනයටයි. වැඩි ම න්‍යෂ්ටික අවි ප්‍රමාණයකට උරුමකම් කියන ලෝක බලවතුන් දෙපළ ඇවිළෙන යුද්ධයක ප්‍රතිවාදී ව සිටගෙන තිබෙන වාතාවරණය මත පෙර නො වූ විරූ ලෙස න්‍යෂ්ටික යුද්ධයක මන්දාරම ගැන යළි යළිත් බිය පළ වෙමින් තිබෙනවා. එවන් නිමේෂයක උදාව සිදු වුවහොත් අවසානයේ අත් වනු ඇති ඉරණම කුමක් දැ යි යන්න බොහෝ දෙනා විපිළිසර වන මාතෘකාවක්. විවිධ වෘත්තිකයන් හා ප්‍රාමාණික විද්වතුන් තම තම නැණ පමණින් න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුවහොත් එහි මුහුණුවර කෙසේ වනු ඇත් දැ යි අදහස් පළ කරමින් සිටිනවා.

මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අධ්‍යයනය කරන මහාචාර්ය Max Tegmark මේ පිළිබඳ වඩාත් නිරවද්‍ය දත්ත මත පිහිටන පරිගණක සමර්පණයක් නිපදවන්නට සමත් වී තිබුණා. ඔහු සහ කණ්ඩායම දැනට නිල ලත් ආරංචි මාර්ගවලින් සහ රාජ්‍යයන් මඟින් හෙළිකර ඇති න්‍යෂ්ටික වැඩ පිළිවෙළවල්වල දත්ත මේ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. ඉන් රුසියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික යුද්ධයක් හටගතහොත් දිග හැරෙන සිදුවීම් දාමය කරළියට ගෙන එනවා. එය වීඩියෝ පටයක් ලෙසින් ඔබට Future of Life Institute හි නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

න්‍යෂ්ටික අවි ඉලක්කගත කිරීම්, මිසයිල ගමන් ගන්නා ප්‍රක්ෂේප පථයන්, විද්‍යුත්චුම්භක ස්පන්දනයන් සහ සමූලඝාතක පිපුරුම් මඟින් ඉහළ නැඟෙන කාබන් දුමාරයේ ව්‍යාප්තිය ආදී සියලු සංධිස්ථානයන් මෙහි දී අවධානයට බඳුන් වී තිබෙනවා.

න්‍යෂ්ටික යුද්ධයක් ඇවිලී ගිය පසු එහි ‘පළමු වෙඩි මුරය තැබුවේ’ කවුරුන් ද යන වග වැදගත් වන්නේ නැහැ. ඒ එයින් යම් පමණකට හෝ ආරක්ෂාවක් සලසා ගැනීම වෙනුවෙන් අනෙක් පාර්ශ්වයට ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නිරායාසයෙන් ම සිදු වන බැවිනුයි. මෙහි දී රුසියාවේ පැත්තෙන් පළමු ප්‍රහාරය දියත් වන අවස්ථාවක් උපකල්පනය කෙරී තිබෙනවා.

රුසියාවෙන් මුල් මිසයිල කිහිපය ගුවනට නැගීමෙන් විනාඩි 10කට පමණ පසු ඇමරිකාව විසින් ඒ බව කල්තිහා හඳුනාගන්නා අතර සැණෙන් ප්‍රතිප්‍රහාර එල්ල කෙරෙනවා. මේ සඳහා බොහෝ විට නොර්වේ රාජ්‍යයට බටහිරි ස්ථානගත කර ඇති ඇමරිකානු සබ්මැරීනවල බැලිස්ටික් මිසයිල යොදාගනු ඇතැයි උපකල්පනය කෙරෙනවා. තවත් විනාඩි කිහිපයක ඇවෑමෙන් උතුරු කැනඩාවට ඉහළින් ඇදී එන රුසියානු මිසයිල ඇමරිකානු භූමිය මතට පතිත වීම ඇරඹෙනවා. මෙසේ පුපුරා යන මුල් ම ප්‍රහාර කිහිපයෙන් සුවිශාල බලයක් ජනිත කෙරෙන විද්‍යුත්චුම්භක ස්පන්දනයන් ඇති කෙරෙන්නේ පුළුල් වපසරියක පවත්නා ඉලෙක්ට්‍රොනික උපාංග මෙන් ම ජාලගත විදුලි සැපයුම් ද කර කරමින්. ඉන් පිට කෙරෙන විද්‍යුත්චුම්භක ස්පන්දනය මීටරයට වෝල්ට් දස දහසක තරම් බලසම්පන්න වනු ඇති.

ඉන් පසු සිදුවන පහරදීම්වලින් ඉලක්ක වන්නේ ප්‍රතිවාදියාගේ න්‍යෂ්ටික අවි පාලය කිරීමේ විභවය සහිත යුදමය මෙහෙයුම් මධ්‍යස්ථාන සහ මිසයිල දියත් කිරීමේ ගොඩනැඟිලියි. මේ සඳහා භූමියේ සිට තවත් භූමියකට පහර දිය හැකි අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල යොදාගැනෙනු ඇති අතර එවැන්නකට ගමනාන්තයට ළඟා වීම සඳහා පැය බ‌ාගයක පමණ කාලයක් වැය වනවා.
ඉන්පසු දෙරට විසින් ප්‍රතිවාදියාගේ ප්‍රධාන නගර වෙත පහර දීම සිදු වනවා. ඒ ඒවායේ ඇති මිලිටරිමය මර්මස්ථාන අඩපණ කිරීමේ අරමුණින්. එසේ ම පස්චාත් යුද සමය තුළ අදාළ නඟර යළි නැඟී සිටීම වැළැක්වීම ද එහි අතුරු අරමුණක්.

NATO සංවිධානයේ සාමාජික රාජ්‍යයන් අත්සන් තබා ඇති North Atlantic Treaty ගිවිසුමෙහි එන 5 වැනි වගන්තිය ප්‍රකාර ව එහි සාමාජික රටක් වෙත එල්ල කෙරෙන ප්‍රහාරයක් අනෙකුත් සාමාජික රටවල් තමන් සියලු දෙනා වෙත එල්ල කළ ප්‍රහාරයක් ලෙස සැලකිය යුතුයි. එවැනි අවස්ථාවක ප්‍රහාරකයාට එරෙහි ව ඒකාබද්ධ ආත්මාරක්ෂණ ක්‍රියාන්විත (collective self-defence) දියත් කිරීමට ඔවුන් බැඳී සිටිනවා. මේ අතරින් බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය සහ තුර්කිය යන රටවල ඇමරිකාව විසින් සිය උපායමාර්ගික න්‍යෂ්ටික අවි රඳවා තබා ඇති අතර ප්‍රංශයට සහ එක්සත් රාජධානියට ස්වකීය න්‍යෂ්ටික අවි පවතිනවා. එනිසා වෙනත් දෙසකින් ඇදී ඒමට නියමිත ප්‍රතිප්‍රහාර කල් තියා වැළැක්වීමේ අරමුණින් රුසියාව මුල් ප්‍රහාරයත් සමඟ ම එක්සත් රාජධානියටත් ප්‍රංශයටත් පහරදෙනු ඇතැයි උපකල්පනය කෙරෙනවා.

බොහෝමයක් උතුරු ඇමරිකානු හා යුරෝපීය නගර මැදින් ගිනිකුණාටු හමා යන්නට පටන්ගන්නවා.සැඩ සුළං හේතුවෙන් ගින්න තව තවත් වර්ධනය වී නතු වන ඕනෑ ම දෙයක් ගිනිබත් කරමින් පැතිර යනු ඇති අතර වීදුරු සහ ඇතැම් ලෝහ ඉදිකිරීම් දිය වී යාම ඇරඹෙනවා. මං මාවත්වල අතුරා ඇති තාර වහා ගිනිගන්නාසුලු දියරයක් බවට හැරවෙනවා.

නමුත් න්‍යෂ්ටික අවි හරඹයේ දිග පළල එතැනින් නිම වන්නේ නැහැ. මේ තාක් සිදු කෙරී ඇති සමපදස්ථ විමර්ෂණයන්ට ද ලක් වූ අධ්‍යයනයන් මඟින් අනාවරණ වී ඇත්තේ මෙවන් සිදු වීම් දාමයක ඇති භයානක ම අඩිය වන්නේ පිපිරීම්, විද්‍යුත්චුම්භක ස්පන්දන සහ විකිරණශීලීත්වය නො වන බවයි. ලෝ සත වැඩියෙන් ම බිය විය යුතු වන්නේ ඉන් පසු උදාවන නිහැඬියාව රජයන සමයටයි. න්‍යෂ්ටික කුණාටු මඟින් ඇති කෙරෙන කළු පැහැති ඝණ කාබන් දුමාරය කෙමෙන් පැතිරී ගොස් න්‍යෂ්ටික සිසිරය (nuclear winter) ඇති වන්නේ එවිටයි. එවැන්නකට මඟ පෑදෙන්නේ විනාශ වී යන සියල්ලෙන් ම නැඟෙන දුම් රොටු වායුගෝලයට මුසු වීමත් සමගයි.

හි‍රෝෂිමාවට නාගසාකියට හෙළුණු පරමාණු බෝම්බ මඟින් ද ගිනිකුණාටු තත්ත්වයක් හට‍ගෙන තිබුණා. නමුත් මැක්ස් ‍පෙන්වා දෙන්නේ එදා හෙළුණු පරමාණු බෝම්බවලට වඩා වත්මනේ ඇති හයිඩ්‍රජන් බෝම්බ වඩා බලවත් බැවින් සහ එවැනි බෝම්බයක් හිරෝෂිමා නඟරයේ වූ ජනගහනය මෙන් පනස් ගුණයක් වෙසෙන මොස්කව් වැනි මහා නගරයකට අත් කරන ඉරණම ලොමුදැහැගැන්වෙනසුලු බවයි. එවැනි අවස්ථාවක දී ජපානය මුහුණ දුන් ඉරණම අඟුටුමිටි කර දමන සුවිශාල ගිනි කුණාටු සහ ස්තරගෝලය තෙක් ඉහළ යන දුම්රොටු ඇති වනවා. ක්‍රමයෙන් හිරු එළියෙන් රත් වන එය වැහි වලාකුළු ඇතිවන සීමාවට ද ඉහළින් අටල්ලක් සේ වසර ගණනාවක් යනතුරු රැඳී පවතිනවා. එතරම් ඉහළ උන්නතාංශයකින් හමා යන සුළං ප්‍රවාහයන්ගේ ඇති වේගය නිසා ම එය උතුරු අර්ධගෝලය වැඩි වශයෙන් ආවරණය කරනවා.
මෙවැනි අවස්ථාවක දී හිරු එළිය යථා පරිදි පතිත නො වීම හේතුවෙන් පෘථිවිය මත උෂ්ණත්වය පහත වැටෙනවා. මෙලෙස ම අදින් වසර මිලියන 65කට පෙර සිදු වූ ග්‍රහක ඝට්ටනයකින් විසි වී ගිය දුහුවිල්ල හිරු එළිය අවහිර වීමේ විපාකය වින්දේ එවක මිහිමත රජයූ ඩයිනෝසෝරයන්.

අධ්‍යයනයන් පෙන්වා දෙන පරිදි න්‍යෂ්ටික සිසිරයේ දී උදා වන ග්‍රීෂ්ම ඍතුවක වුව ද උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20කින් පමණ පහළ යනු ඇතැයි උපකල්පනය කෙරෙනවා. න්‍යෂ්ටික පුපුරුම්වල ඍජු බලපෑමෙන් ගැලවී දිවි ගැටගසාගන්නට සමත් වන ජනගහනයෙන් ද බිලියන 5 ක පමණ පිරිසක් මේ සමය තුළ කුසගින්න හේතුවෙන් මිය යනු ඇති බව මෑතක දී ප්‍රකාශයට පත් කළ පර්යේෂණ පත්‍රිකාවක් පෙන්වා දෙනවා. ඒ අතර ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, රුසියාව සහ චීනයේ වෙසෙන ජනකායෙන් 99% ක් ම ඒ අතර සිටිනු ඇතැයි සැලකෙන්නේ න්‍යෂ්ටික සිසිරයේ වැඩි බලපෑම උතුරු අර්ධගෝලයේ ප්‍රහාරයන්ට නතු වූ රටවලට දැනීම හේතුවෙන්. පවත්නා මන්දාරම හේතුවෙන් කෘෂිකර්මාන්තය දීර්ඝ කාලීන ව අඩාල වී යාම එයට ප්‍රධානතම ම හේතුවයි.

න්‍යෂ්ටික යුද්ධයකින් සහ ලොවට ම අන්ධකාරය ගෙන එන න්‍යෂ්ටික සිසිරයෙන් කී දෙනෙකු දිවි ගැටගසා ගනී දැ යි නිෂ්චිත ව පැවසීම කිසිවකුට කළ නො හැක්කක්. නමුත් Max Tegmarkගේ අධ්‍යයනය පෙන්වා දෙන පරිදි එවැනි යුද්ධයකින් ජය ලබන්නෙකු සිටිනු ඇත්තේ නැහැ. අවසානයේ පරාජය භාරගෙන මරණය වැළඳගන්නට සිදු වනු ඇත්තේ සමස්ත මානව වර්ගයාටයි.

කෙදිනක හෝ න්‍යෂ්ටික යුද්ධයක් සිදු වීම වැළැක්වීම සඳහා ගතයුතු පියවර අතර සමාජයීය දැනුම්වත් කිරීම් ද වැදගත් තැනක පසු වනවා. Future of Life ද මෑත කාලීන ව මේ සඳහා විශාල දායකත්වයක් දක්වා තිබෙනවා. මේ පිළිබඳ මහජනයා තුළ දැනුම වැඩි කිරීමේ සහ ලෝක නායකයන් අතර ගෝලීය ක්‍රියාමාර්ග ගැන මනා සම්භාෂණයක් ඇති කිරීමේ අරමුණින් එය ඇ. ඩො. මිලියන 4ක පර්යේෂණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

න්‍යෂ්ටික යුද්ධයකින් පිපිරී යන දේශපාලන සහ සමාජයීය ව‍ටපිටාව ක්‍රම ක්‍රමයෙන් බොහෝ කලක පටන් ගොඩනැ‍ඟෙන්නක්. මහජනතාව දැනුවත් කිරීම මඟින් එවැනි අර්බුදකාරී වාතාවරණ යටතේ වුව මනා සිහියෙන් අනාගතය ගැන සිතා කටයුතු කිරීමට ලෝක නායකයන් පෙළඹවීම කළ හැකියි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications