Home Features දොළොස්වෙනි බදාදා

දොළොස්වෙනි බදාදා

by Rashi

ඔන්න ළමයි අද අපි ඉගෙන ගන්නවා කලින් දවසේ කියපු ද්විතීක ලිංගික ලක්ෂණ ගැන. වැදගත් ම දේ තමයි අපි දැනගෙන ඉන්න ඕනෙ මේ වෙනස්කම් හරිම ස්වාභාවිකයි කියලා. ඒ කියන්නේ කවුරුවත් ම ඒ ගැන බය වෙන්න කලබල වෙන්න ඕනෙ නෑ. මේ හැම වෙනස්කමක් ම වගේ වෙන්නෙ වයසත් එක්ක අපේ ඇඟේ හෝමෝන වල වෙන වෙනස්කම් නිසා. දැනට ඔයාලා හෝමෝන කියන්නේ ඇඟේ හැදෙන රසායනික දේවල් තෙරුම් ගත්තාට කමක් නෑ.
අපි මුලින් ම බලමු අපිට පෙනෙන දැනෙන වෙනස්කම් මොනවද කියලා.
මේ කාලෙට එනකොට ගැහැනු පිරිමි දෙගොල්ලන්ගෙම උස බර දෙකම වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ටිකක් වේගයෙන් උස යනවා. පොඩි කාලෙ වගේ නෙවෙයි ඇඳුම්, සපත්තු එහෙමත් හරිම ඉක්මනින් මදි වෙලා අලු‍ත් ඒවා ගන්න වෙනවා. ටිකක් වැඩිපුර දාඩිය දාන්න පුලු‍වන්.
ඒ වගේම තමයි මුහුණේ කුරුලෑ එන්න පුලු‍වන්. ඒ වගේම කිහිල්ලේ, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ රෝම වැවෙන්න පටන් ගන්නවා. දැනටමත් ඔයාලගෙන් සමහර අයට මේ වෙනස් කම් තේරිලා ඇති.
ඔන්න පිරිමි ළමයි ගත්තොත් එයාලගේ මූණේ රැවුල එන්න පටන් ගන්නවා. පපුව හරියෙත් රෝම වැවෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම කටහඬ වෙනස් වෙලා ටිකක් රළු වෙන්න පුලු‍වන්. ඒ වගේම උරහිස් පළල් වෙනවා.
ඒ විතරක් නෙවෙයි එයාලගේ ලිංගේන්ද්‍රියත් ටික ටික ප්‍රමාණයෙන් විශාල වෙන්න පටන් ගන්නවා.
ගැහැණු ළමයෙක් ගත්තොත් එයාගෙ පැහැදිලිවම පේන වෙනසක් තමයි පපුව ඉස්සරහට නෙරා ඒම. ඒ කියන්නේ පියයුරු වර්ධනය වීම. වයසින් වැඩෙනකොට සොබාදහමෙන් හැම ගැහැණු කෙනෙක් ම දරුවෙක් ලැබෙන්න සුදුසු විදිහට වෙනස් කරනවා. ඒ වෙනස්කම් වලින් එකක් හැටියට තමයි දරුවෙකුට කිරි දෙන්න පියයුරු වැඩීම සිද්ධ වෙන්නේ.
ඊට අමතරව ගෑණු ළමයින් ගේ උකුල පළල් වෙන එක දකින්න පුලු‍වන්. ඒ වගේම මේ කාලයේදී ගැහැණු ළමයින්ගේ යෝනි මාර්ගයේ  ශ්‍රාවයන් නිකුත් වීම පටන් ගන්නවා. ඒ කියන්නේ යෝනි මාර්ගය තෙත් වෙන්න පටන් ගන්නවා.
ගැහැණු ළමයි පිරිමි ළමයි දෙගොල්ලන්ගේ ම මේ වෙනස්කම් වෙන්නේ ඊලඟ පරම්පරාව හදන්න සූදානම් කරන්න. ඒ කියන්නේ ගැහැණු ළමයෙක් නම් ගර්භණී වෙලා දරුවෙක් මේ ලෝකෙට ප්‍රසූත කරන්නත්, ඒ දරුවා කිරි දීලා රැක බලා ගන්නත්.
පිටින් මේ වගේ වෙනස්කම් වෙද්දී ඇඟ ඇතුලෙත් සෑහෙන ලොකු වෙනස්කම් වෙන්න පටන් ගන්නවා.  ඒ වෙනස් කම් ගැන හරියට දැනගන්න නම් අපි ගැහැණු අයගෙයි පිරිමි අයගෙයි ප්‍රජනක පද්ධති ගැන දැනගන්න ඕන.
ඔයාලට තේරෙන්න ඕන ගැහැණු පිරිමි කාගෙ වුණත් අනික් හැම පද්ධතියක් ම, ඒ කියන්නේ ආහාර ජීරණ පද්ධතිය, ස්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය වගේ හැම එකක් ම ගොඩාක් දුරට සමානයි. තවත් තේරෙන්න කිවුවොත් ඔයාලා අහලා තියෙනවා නේද වකුගඩු බද්ධ කරනවා කියලා එකක්. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ගේ වකුගඩු ලෙඩ වුණාම අපිට පුළුවනි වෙන කෙනෙක් ගේ වකුගඩුවක් අර වකුගඩුව ලෙඩ වුණු කෙනාට බද්ධ කරන්න. අන්න ඒ වගේ වෙලාවට අපිට කිසිම වෙනසක් නැතුව ගැහැණු කෙනෙක් ගේ වකුගඩුවක් පිරිමි කෙනෙකුටත් පිරිමි කෙනෙකුගේ වකුගඩුවක් ගැහැණු කෙනෙකුටත් බද්ධ කරන්න පුලු‍වන්. ඒවා ඒ තරම් සමානයි.

ගැහැණු අයටයි පිරිමි අයටයි වෙනස් පද්ධති වලට තියෙන්නේ ඔන්න ඔය ප්‍රජනක පද්ධතිය. ගැහැණු අයගේ ප්‍රජනක පද්ධතිය පිටතින් වගේම ඇතුලෙනුත් පිරිමි අයගේ ප්‍රජනක පද්ධතියට වඩා වෙනස්.
ඉතින් අපිට අපේ පාඩම මෙතනින් එහාට තේරුම් ගන්න නම් මෙන්න මේ ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති ගැන හොඳට ඉගෙන ගන්න වෙනවා.
එහෙම නම් හැමෝම ඒකට ලෑස්ති වෙලා එන්න. ඊලඟ දවසේ පුලු‍වන් හැමෝම ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති වල රූපයක් අරන් එනවා නම් ලේසි වෙයි.
එහෙනම් අපි අදට මෙතනින් නවත්තමු.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications