Home Features දහතුන්වෙනි බදාදා

දහතුන්වෙනි බදාදා

by Rashi

ඔන්න ළමයි අද ඉඳන් දවස් කීපයක් අපි ගැහැණු සහ පිරිමි ප්‍රජනක පද්ධති ගැන ටිකක් විස්තර ඇතුව ඉගෙන ගන්නයි යන්නේ. හැබැයි මතක තියා ගන්න, තමන්ගෙ ප්‍රජනක පද්ධතිය ගැන විතරක් නෙවෙයි, විරුද්ධ ලිංගිකයින්ගේ ප්‍රජනක පද්ධතිය ගැනත් හොඳින් ඉගෙන ගන්න ඕන.  ඒ කියන්නේ ගැහැණු ළමයි පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැනත්, පිරිමි ළමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැනත් හොඳින් ඉගෙනගන්න ඕන.
ඉතින් අපි ඉස්සර වෙලාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන ඉගෙන ගමු.
ස්ත්‍රී උනත් පුරුෂ උනත් ප්‍රජනක පද්ධතියක් හැදිලා තියෙන්නේ බාහිර සහ අභ්‍යන්තර කියලා කොටස් දෙකකින්. ඒ කියන්නේ පිටතින් බැලු‍වම පෙනෙන කොටස් සහ ඇඟේ ඇතුලතින් තියෙන අපිට නොපෙනෙන කොටස්.
ගැහැණු කෙනෙක් ගේ ලිංගාශ්‍රිත ප්‍රදේශය දිහා බැලු‍වොතින් අපිට විවර ඒ කියන්නේ සිදුරු තුනක් දකින්න පුලු‍වන්. ඉස්සරහින් ම තියෙන්නේ මූත්‍රා මාර්ගය. ඒ කියන්නේ අපි මූත්‍රා පිටකරන විවරය.
පිටිපස්සෙන් ම තියන්නේ ගුද මාර්ගය. ඒ කියන්නේ මළපහ පිටකරන විවරය.
ඔන්න ඔය විවර දෙකට අතර මැද තමයි යෝනි මාර්ගය තියෙන්නේ. යෝනි මාර්ගය සම්බන්ද වෙන්නේ ගර්භාශයේ යට කෙලවරට.
එතකොට දැනටමත් ඔයාලා දන්නවා යෝනි මාර්ගය හරහා තමයි ශුක්‍රාණු ගර්භාශය ඇතුලටත් දරු ප්‍රසූතියේ දි දරුවෙක් ගර්භාශයේ ඉඳන් එළියටත් එන්නේ. ලිංගිකව පරිණත වෙච්ච ගැහැණු කෙනෙක්ගේ යෝනි මාර්ගයේ තියෙන ග්‍රන්ථිවලින් යෝනි මාර්ගයට ශ්‍රාවයන් පිට කරනවා. ඒ නිසා යෝනි මාර්ගය තෙතට සහ ලිස්සන සුලු‍ස්වභාවයකින් තමයි තියෙන්නේ.
හරි දැන් අපි බැලු‍වොත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇඟ ඇතුලේ තියෙන කොටස් ගැන ඔයාලා දැනටමත් ගර්භාශය ගැන දන්නවා. ගර්භාශය කියන්නේ සෙන්ටිමීටර 5 ක් විතර දිග 7 ක් විතර උස 4ක් විතර පළල ඇතුලේ කුහරයක් තියෙන පොඩි අවයවයක්. ඒක තියෙන්නේ බඩේ යට හරියට වෙන්න.
ටීචර්, ඔච්චර පොඩි අවයවයක් අස්සෙ අච්චර ලොකු බබෙක් ඉන්නේ කොහොමද?
ආ මම ඒත් හිතුවා ඇයි ඔය ප්‍රශ්නය පරක්කු කියලා. ගර්භාශය ඇතුලේ බබෙක් ටික ටික ලොකු වෙන්න පටන් ගත්තාම ගර්භාශයත් ඊට ගැලපෙන්න ටික ටික ලොකු වෙනවා. තව පුදුම දෙයක් කියන්නද?
ගර්භාශයට ලේ ගෙනියන රුධිර නාලය තියෙනවා නේද? ඒක හැදිලා තියෙන්නේ හරියට ටෙලිෆෝන් වයර් එකක් වගේ දඟර ගැහිලා. ඉතින් ඒකට ඇදෙන්න පුලු‍වන්. ඒ නිසා ගර්භාශය ටික ටික ලොකු වෙනකොට මේ රුධිර නාලය කැඩෙන්නේ නැතුව ටික ටික දිග ඇරිලා දිගටම ගර්භාශයට ලේ ටික සපයනවා.
ගර්භාශයේ ඉහල කෙලවරේ දෙපැත්තට පැලෝපීය නාල කියලා නාල දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ නාල දෙක කෙලවරේ පොඩි ඇඟිලි වගේ නෙරුම් තියෙනවා. අන්න ඒ ඇඟිලි වගේ කොටස් වලට ලඟින් තියෙනවා ඩිම්බ කෝශ.
කෝශයක් කියන්නේ මොනවා හරි දෙයක් පිරිලා තියෙන දෙයක් නේ. ඉතින් මේ ඩිම්බ කෝශ ඇතුලේ තමයි ඩිම්බ තියෙන්නේ.
ඔයාලට මතකයි නේ අපි බබාලා හැදෙන හැටි ගැන ඉගෙන ගනිද්දී කියනවා බබෙක් හැදෙන්නේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙලා කියලා. අන්න ඒ ඩිම්බ හැදෙන්නේ මේ ඩිම්බ කෝශ ඇතුලේ.
ගැහැණු ලමයෙක් ඉපදෙන කොටම මේ ඩිම්බ කෝශ ඇතුලේ මෝරපු නැති ඩිම්බ ගොඩාක් තියෙනවා. ඒවා එකින් එක හිමින් හිමින් මෝරලා ඩිම්බකෝශයෙන් එළියට එනවා.
එහෙම එළියට එන එකට කියන්නේ ඩිම්බ මෝචනය වෙනවා කියලා. එහෙම එළියට එන ඩිම්බය අර පැලෝපීය නාල වල තියෙන ඇඟිලි වගේ කොටස්වලින් පැලෝපීය නාලය ඇතුලට ගන්නවා. ඊට පස්සෙ හිමින් හිමින් මේ ඩිම්බය පැලෝපීය නාලය දිගේ ගර්භාශය පැත්තට එනවා.
ඉතින් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය දැනට ඔයාලා ඔය මූලික දේවල් ටික මතක තියාගන්න. අපි ඉස්සරහට ඉගෙනගන්න දේවල් තෙරුම් ගන්න මේ දැනුම හරියටම තියෙන්න ඕන.
ඒ ඒ දේවල් ඉගෙන ගන්නකොට අපි මේ දේවල් ආයෙ ආයෙ මතක් කරගමු.
හරි නේද?
හරි ටීචර්..

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications