Home Features පහලොස්වෙනි බදාදා

පහලොස්වෙනි බදාදා

by Rashi

ඔයාලට මතකයි නේද එදා අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ බාහිරින් පෙනෙන කොටස් ගැන කතා කලා. ඔන්න අද අපි ඒකෙ අභ්‍යන්තරව ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන කොටස් ගැන ඉගෙනගන්නයි යන්නේ.
අපි එදා කිවුවා වෘශණ කෝශ ඇතුළේ තියෙන වෘශණ වල තමයි ශුක්‍රාණු නිපදවෙන්නේ කියලා. ඔයාලා වයසින් ටික ටික වැඩෙනකොට, ඒ කියන්නේ අර අපි කියපු ද්විතීක ලිංගික ලක්ෂණ පහල වෙන වයස එනකොට වෘශණ වල ටික ටික ශුක්‍රාණු නිපදවෙන එක පටන් ගන්නවා. වයසින් පරිණත වෙනකොට මේ නිපදවෙන ශුක්‍රාණු ප්‍රමාණයත් ටික ටික වැඩි වෙනවා. ඔයාලාගේ ඇඟේ තියෙනවා ටෙස්ටොස්ටෙරෝන් කියලා හෝමෝනයක්. අන්න ඒකෙන් තමයි වෘශණ වල ශුක්‍රාණු නිපදවෙන එක පාලනය කරන්නේ.
මෙන්න මේ වෘශණ දෙකට සම්බන්ද වෙලා තියෙනවා පොඩි බට දෙකක්. ඒ බට වලට කියන්නේ ශුක්‍ර නාලිකා කියලා. ඉතින් වෘශණ වල නිපදවෙන ශුක්‍රාණු ඔන්න ඔය බට දෙක දිගේ ඇවිත් ශුක්‍ර ආශයිකා කියන තැන් වල ගබඩා කරලා තියනවා.
ශුක්‍රාණු පිට කරන්න ඕන වුනාම මෙන්න මේ ගබඩා කරලා තියෙන ශුක්‍රාණු බට දෙකක් දිගේ ඇවිත් අර ශිෂ්ණයේ මැදින් වැටිලා තියෙන නලයට වැටෙනවා, ඒ නලය දිගේ තමයි ශුක්‍රාණු එළියට එන්නේ.
තවත් දෙයක්. අපේ මූත්‍රාශයේ තියෙන මූත්‍රා එලියට එන්නෙත් ශිශ්ණය මදින් තියෙන මේ නලය දිගේ ම තමයි.
ඔයාලට මතකද අපි එදා කිවිවා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ, ඒ කියන්නේ හයිය බටයක් වගේ වෙන්නේ ස්නායු වලින් එන පණිවිඩ නිසා කියලා. ඉතින් මූත්‍රා මාර්ගයත් පුරුෂ ලිංගය එක්ක සම්බන්ධ නිසා මූත්‍රාශය අවට තියෙන ස්නායුත් පුරුෂ ලිංගය එක්ක සම්බන්ධයි. ඉතින් මූත්‍රාශය පිරිලා තියෙන වෙලාවට මූත්‍රාශය අවට ස්නායු වලිනුත් ශිශ්ණයට පණිවිඩ එන නිසා ඒ වෙලාවටත් ඒක ප්‍රාණවත් වෙන්න පුලුවන්.
අන්න ඒ නිසයි සමහර දවස් වල උදේට නැගිටිනකොට මූත්‍රා කරන්න කලින් පිරිමි ළමයින්ගේ ලිංගේන්ද්‍රිය හයිය බටයක් වගේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ ගැන කිසිම බයක් ඇති කරගන්න ඕන නෑ.
අන්න ඒ නිසයි ගැහැණු අයට මූත්‍රා මාර්ගයක් සහ යෝනි මාර්ගයක් වෙන වෙනම තිබ්බාට පිරිමි අයට එහෙම වෙන වෙනම දෙකක් නැත්තේ.
තවත් දෙයක්. මේ ශුක්‍රාණු වලට ගලාගෙන යන්නත් පීනන්නත් වතුර වගේ දෙයක් තියෙන්න ඕනෙ. අන්න ඒ දියර ශ්‍රාවය කරන්නත් ප්‍රජනක පද්ධතියේ වෙනම ග්‍රන්ථි තියෙනවා.
පුරස්ථ ග්‍රන්ථිය කියන්නේ අන්න එහෙම ග්‍රන්ථියක්. ඉතින් පිරිමි කෙනෙක් තමන්ගේ ශුක්‍රාණු පිටකරන කොට ඒ ශුක්‍රාණු පිට වෙන්නේ මේ ග්‍රන්ථි වලින් එකතු වෙන දියරයත් එක්කමයි. එතකොට අපි ඒවාට ශුක්‍ර තරලය කියලා කියනවා.  එතකොට ශුක්‍රාණු වලට ලේසියෙන් යෝනි මාර්ගය දිගේ පීනලා ගර්භාශය ඇතුලට යන්න පුලු‍වන්.
පිරිමි කෙනෙක් එක සැරේකට ශුක්‍රාණු සහිත තරලය මිලිලීටර තුනක් විතර පිට කරනවා. ඒ එක මිලිලීටරයක ඇහට නොපෙනෙන ශුක්‍රාණු මිලියන තිහක් විතර තියෙනවා. ඒ කියන්නේ මිලිලීටර් තුනේ ශුක්‍රාණු මිලියන අනූවක් විතර තියෙනවා.
ඔයාලා ශුක්‍ර තරලය අණ්වීක්ෂයකින් බැලු‍වොත් ඔයාලට පුලු‍වන් ශුක්‍ර තරලයේ පීනන ශුක්‍රාණු බලාගන්න.
ඔන්න ඔය ශුක්‍රාණු මිලියන අනූවක විතර ප්‍රමාණයෙන් එක ශුක්‍රාණුවක් තමයි ගර්භාශය ඇතුලට ගිහින් අර අපි එදා කියපු ඩිම්බයත් එක්ක එකතු වෙන්නේ.
තවත් පොඩි දෙයක්. ඩිම්බයක් එක්ක එකතුවෙලා බබෙක් හදන්න ඕන එකම එක ශුක්‍රාණුවක් වුණත් ඒ වැඩේ වෙන්න නම් අඩුම තරමින් ශුක්‍ර තරලය එක මිලිලීටරයක ශුක්‍රාණු 3 000 000 වත් තියෙන්න ඕන. හැබැයි එක එක හේතු නිසා සමහර පිරිමි අයගේ වෘශණ වල ශුක්‍රාණු නිපදවෙනවා අඩුයි. ඒ අයගේ ශුක්‍රාණු මිලිලීටරයක හොඳ ශක්තිමත් පීනන්න පුලු‍වන් ශුක්‍රාණු එච්චර ප්‍රමාණයක් නෑ. අපි එහෙම කෙනෙක් ගේ ශුක්‍ර තරලය ටිකක් අණ්වීක්ශයකින් බැලු‍වොත් අපිට පුලු‍වන් ඒක එහෙමද කියලා හොයාගන්න. අන්න ඒ නිසා එයාලා ගැහැණු කෙනෙක් එක්ක ලිංගිකව එකතු වුණාට එයාලාගේ ශුක්‍ර තරලය යෝනි මාර්ගයට ඇතුල් කලාට ගැහැණු කෙනා ගර්භනී වෙන්නේ නෑ. අන්න ඒකත් ඔයාලා දැනගන්න ඕන කාරණයක්.
ඔන්න දැන් ඔයාලා ගැහැණු පිරිමි දෙගොල්ලගෙම ප්‍රජනක පද්ධති ගැන දැනගන්න ඕන හැම කාරණයක් ම වගේ දන්නවා. මේ දැනුමත් එක්ක ඔයාලට පුලු‍වන් අපි ඉස්සරහට ඉගෙන ගන්න දේවල් හොඳින් තේරුම් ගන්න.
එහෙනම් අදට පාඩම ඉවරයි.

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications