ඔන්න ළමයි අද අපි ගැහැණු අයගේ ආර්තව චක්‍රය ගැන තව ටිකක් ඉගෙන ගන්නයි යන්නේ. මුලින්ම මම කියන්නං ඇයි අපි ඒකට ආර්තව චක්‍රය එහෙමත් නැත්නම් ඔසප් චක්‍රය කියලා කියන්නේ කියලා. චක්‍රයක් කියන්නේ හරියට රෝදයක් කරකැවෙනවා වගේ එකම දේ ආයෙ ආයෙත් වෙන නිසා.
ඔන්න ඩිම්බයක් පිටවෙනවා. ඒ ඩිම්බය සංසේචනය වුනේ නැත්නම් විනාස වෙලා යනවා. එතකොට අර දවස් ගාණක් තිස්සේ හිමින් හිමින් ගර්භාශ බිත්තිය ඇතුල් පැත්තේ හැදුනු රුධිර නාල කැඩිලා ඒ ලේ ටික පිටවෙලා යනවා. ඒකට අපි ආර්තවය, නැත්නම් මෙන්සස් හැදෙනවා කියලා කියනවා. එහෙම දවස් කීපයක් ලේ පිටවෙලා ඉවර වුනාම ආයෙමත් ගර්භාශ බිත්තියේ ඇතුල් පැත්තේ රුධිර නාල හැදෙන්න පටන් ගන්නවා. එහෙම හැදිලා ඉවර වෙනකොට ආයෙමත් ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවෙනවා. ගෑණු ලමයෙක් වැඩිවියට පත් වෙච්ච දවසේ ඉඳන් ඕක ඔහොම රවුමට රවුමට වෙනවා. අන්න ඒ නිසයි අපි මේ ක්‍රියාවලියට ආර්තව චක්‍රය එහෙමත් නැත්නම් ඔසප් චක්‍රය කියලා කියන්නේ.
ඔයාලට හිතෙනවා ඇති ඇයි මේක මෙහෙම හැම මාසෙකටම සැරයක් වෙන්නේ කියලා. එහෙම වෙන්නේ කොයි වෙලාවක හරි ඩිම්බය පිටවෙන වෙලාවටම ශුක්‍රාණුවකුත් ගර්භාශය ඇතුලට ආවොත් ඒ ගැහැණු කෙනාව ගර්භනී කරන්න. මොකද ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වෙලා ගර්භාශ බිත්තිය ගාවට එනකොට ගර්භාශ බිත්තිය ලෑස්ති වෙලා හිටියේ නැත්නම් ඒ හැදෙන සෛල ගුලියට එතන තැන්පත් වෙන්න බෑ. ඒ කියන්නේ බබෙක් හැදෙන්නේ නෑ.
මතකද මම ඔයාලට කිවුවා සොබාදහම හැම වෙලාවෙම බලන්නේ ඊලඟ පරම්පරාව හදන්න කියලා. ඒ නිසා තමයි ගර්භාශ බිත්තිය හැම වෙලාවකම ලෑස්ති වෙලා ඉන්නේ. ඩිම්බයක් පිටවෙන කාලෙ එනකොට ගර්භාශ බිත්තියත් හොඳින් රුධිර නාල වලින් පිරිලා ලෑස්ති වෙලා ඉන්න්වා.
දැන් අපි තව වැදගත් දෙයක් ඉගෙන ගන්න තමයි යන්නේ. අපි ඔච්චර වෙලා ඉගෙන ගත්ත ආර්ථව චක්‍රයේ ඒ ඒ දේවල් සිද්ද වෙන දවස් ගැන ඉගෙන ගන්න. මේ ටික හරියට දැනගෙන ඉන්න එක හරියට වටිනවා.
සාමාන්‍යයෙන් ආර්තව චක්‍රය එක වටයක් වෙන්න ගතවෙන කාලය දවස් විසි අටයි. ඒ කියන්නේ එක සැරයක් මෙන්සස් හැදිලා ආයෙත් සැරයක් හැදෙන්න දවස් විසි අටක් යනවා.
ඔන්න අපි හිතමු මාසෙ පලවෙනිදා ගෑණු ලමයෙකුට මෙන්සස් හැදුනා කියලා. එයාට ආයෙමත් මෙන්සස් හැදෙන්නේ විසි අට වෙනිදා. තේරුණා නේද ?
මෙන්සස් හැදුනාම, ඒ කියන්නේ ඔසප්වීම පටන් ගත්තම ඒක දවස් තුනක් හතරක් පහක් වගේ තියෙනවා. ඒ කියන්නේ පලවෙනිදා මෙන්සස් හැදුනොත් තුන්වෙනිදා, හතරවෙනිදා එහෙමත් නැත්නම් පස් වෙනිදා වෙනකොට ඒක ඉවර වෙනවා.
ඊට පස්සෙ ආයෙත් හිමින් හිමින් ගර්භාශ බිත්තිය ඇතුල් පැත්තේ අපි අර කියපු රුධිර නාල වැඩෙන්න පටන් ගන්නවා.
ඔසප් චක්‍රයේ දා හතර වෙනි දවසේ, ඒ කියන්නේ පලවෙනිදා මෙන්සස් හැදුනා නම් දා හතර වෙනිදා තමයි ඩිම්බ කෝශයෙන් ඩිම්බයක් පිටවෙන්නේ. ඔන්න ඒ වෙනකොට ඒ කියන්නේ දා හතර වෙනිදා වෙනකොට ගර්භාශ බිත්තිය ඇතුල් පැත්ත වහගෙන රුධිර නාල හැදිලා ඉවරයි. ඒ කාලෙදි ගර්භාශය ඇතුලට ශුක්‍රාණුවක් ආවොත් ඩිම්බයත් එක්ක එකතු වෙලා බබෙක් හැදෙනවා. එහෙම නැති වුණොත් විසි අට වෙනි දවසෙන් පස්සෙ ආයෙමත් ඒ රුධිර නාල කැඩිලා ගිහින් ඔසප් වීම, ඒ කියන්නේ යෝනි මාර්ගයෙන් ලේ පිටවීම වෙනවා. සාමාන්‍යයෙන් එක සැරයක් මෙන්සස් හැදුනාම මිලිලීටර් විස්සත් අනූවත් අතර ලේ ප්‍රමාණයක් පිටවෙනවා කියලා ගණන් බලලා තියෙනවා
ඔන්න ඕකට තමයි ඔසප් චක්‍රය කියන්නේ.
දැන් ඔයාලට තේරෙන්න ඕන මෙන්සස් හැදුනාම පිටවෙන්නෙත් අපිට තුවාලයක් වුනාම ගලනවා වගේම අලුත් සාමාන්‍ය රුධිරය කියලා. සමහරු මේ ගැන හරියට දන්නේ නැති නිසා ඒ අය හිතනවා මේ යන්නේ පරණ ලේ, එහෙමත් නැත්නම් කුණු ලේ කියලා. එහෙමනම් දැන් ඔයාලට තේරෙන්න ඕන ඔසප් වීමකදී පිටවෙන්නේ අපේ ඇඟේ තියෙන සාමාන්‍ය ලේ ම තමයි කියලා.
අන්න ඒ නිසා මෙන්සස් හැදුනා කියලා ඔයාලා එදිනදා කරන කිසිම වැඩක් නවත්තන්නවත්, කිසිම තැනකට නොයා ඉන්න වත් වුවමනා නෑ. අපි පුරුදු වෙන්න ඕන ඒ දවස් වලට තියෙන අපහසුතා වලට පිළියම් හොයාගෙන සාමාන්‍ය විදිහට එදිනදා වැඩකටයුතු කරන්න.
ඒ ගැන මම ඔයාලට ඊලඟ දවසෙදි කියලා දෙන්නම්.
හරි නේද ?
හරි ටීචර්.