අපි වියළි කළාපයට විනෝද ගමනක් යනවිට සිහිල් සුළං රැල්ලක් සමග පරිසරයේ සුන්දරත්වය විදින්නට යන්නේ වැවක් ලගටය. බොහෝ විට අප මෙම වැවේ සුන්දරත්වය විඳින්නේ වැව් බැම්මේ ඇති ගසක සෙවනේ නැතහොත් වැව් තාවුල්ලේ සිටය. නමුත්, වසර දෙදහස් පන්සීයකට ආසන්න පැරණි වාරි ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් වන අපහට ”වැව” යනු තවත් එක් ඉදිකිරීමක් පමණක් නොව, එය තිරසර බව වර්ධනය කරන පාරිසරික සංකල්පයකි. නිරිත දිග මෝසම් සහ ඊසාන දිග මෝසම් වැසි වලින් සශ්‍රීක වන මේ පොළෝ තලය වියළි කාලයේදී කෘෂිකර්මාන්තයට මෙන්ම එදිනෙදා පරිභෝජනයට ජලය එක් රැස් කරගැනීමට වැව මහෝපකාරී විය. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඈත අතීතයේ පටන් වැව හා බැඳුණු පරිසර පද්ධතියෙන් නියඟය වැනි ආපදා වලට ප්‍රතිරෝධීව තිරසාර පරිසර පද්ධතියක් පැවති ආකාරය ගැනයි.
ඈත අතීතයේ අප රටේ ජීවනාලිය වූයේ ජනතාවට බත සැපයීමට දායක වූ වාරි පද්ධතියයි. දුඹුරුවන්ව නිස්සාරව පැවති වියළි කලාපය නීල වර්ණයෙන් සහ කොල පාටින් සිත්තම් කිරීමට එයට හැකි විණි. අදටත් විශාල ජනතාවකට ජීවන මාර්ග සපයමින් ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනාලිය බවට පත්වී ඇත්තේ මෙම වාරි පද්ධතිය හෙවත් වැව් පද්ධතියයි. වැසි කාලවලදී ලැබෙන ජලය එක්රැස් කර වියළි කාලවලදී භාවිතා කිරීමට වැව් පද්ධති අතීතයේ පටන් බිහි විය.
සැබැවින්ම ‘වැව’ යනු ශ්‍රී ලාංකීය මුතුන් මිත්තන් විසින් ස්වභාවික ජල ධාරවන් හරහා වැව් බැම්මක් බැඳ ඉදිකල නිර්මාණයක් පමණක් නොව එය තිරසාර සංවර්ධනය උදෙසා වූ උදාර සංකල්පයකි. එය ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ යන තිරසාර සංකල්පය ලෙස දැක්විය හැකිය.
මෙම ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ යන සංකල්පය සොබා දහම හා මුසුවුනු ආගමික පසුබිමකින් හෙබි ඉතාමත් සශ්‍රීක කෘෂිකාර්මික පසුබිමකින් හෙබි වීම එහි තිරසාර බවේ සංකේතයක් ලෙස දැක්විය හැකිය. එලෙසම එය වර්තමානයේ පවතින ක්ෂණික වැසි , ගංවතුර හා නියං තත්ව , සුළි සුළං වැනි තත්ත්ව වලට එරෙහිව නැගී සිටීමට කදිම සංකල්පයකි.
ලොව පැරැණි දේශයන් ගෙන් එකක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ වැව් පද්ධතිය සංකීර්ණය. එය එක් ගම් දනවුවකට ගැලපෙන වැව් පමණක් නොව කුළු වැව් හා මහ වැව් වලින් සමන්විත වැව් පද්ධතියකින් සමන්විතය.
‘කුළු වැව්’ පද්ධතිය ‘එල්ලංගා වැව්’ පද්ධතිය ලෙසද විටෙක හැඳින්වෙන අතර එය පැරණි වාරි ශිෂ්ඨාචාරයේ විශිෂ්ඨ ක්‍රම වේදයක් ලෙස දැක්විය හැකිය. එය වැව ආශ්‍රිත ඉහළ ජල ධාරා ප්‍රදේශවල ජලය ඉතිරි කරගෙන පහළ ජල පෝෂිත ප්‍රදේශ වලට ලබා දීමේ දේශීය සංකල්පය මුල් කරගත්තකි. මෙම එල්ලංගා වැව් පද්ධතීන්ගේ විශේෂත්වය වන්නේ වැව ආශ්‍රිත ප්‍රදේශයේ පමණක් නොව වැව් පද්ධතිය අඩංගු වන මුළු පදේශයේම භූගත ජල මට්ටම ඉහළ ගොස් එය සශ්‍රීක වීමයි. එය මානව වර්ගයාට මෙන්ම සත්ත්ව ප්‍රජාවටද මහගු පිටුවහලක් වන්නේය. ඉතා අධික වර්ෂාවකදී එම වර්ෂා ජලය මහා වැව් කරා ක්ෂණිකව ගලා ඒමට පෙර කුළු වැව් පිරී ඒවායින් ඉහළ පෝෂක ප්‍රදේශ සශ්‍රීක වීම සිදු වෙයි.
එලෙස වැසි ජලය ක්‍රමාණුකූලව මහා වැව් කරා ගලා ඒම නිසා මහා වැව් ගොඩ වීමද අවම වේ. එබැවින් මහා වැව්වල ධාරිතාව උපරිම මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වෙයි. මෙම එල්ලංගා පද්ධතිය ඉතාමත් පරිසර හිතකාමී පරිසර පද්ධතියක මූලාරම්භයද වෙයි. වනාන්තර තුල පවතින කුළු වැව් වලින් පෝෂණය වන වන සතුන් ග්‍රාමීය ප්‍රදේශ වලට ජලය සොයා ඒම අඩුවීම මගින් වන සතුන්ගේ නිදහස රැකීම මෙන්ම මානව වර්ගයා හා වන සතුන් අතර සිදු වන ගැටුම්ද අවම වේ.
කුළු වැව් මෙන්ම අනෙකුත් වැව් වලටද වැසි ජලය ලැබෙන ප්‍රදේශය ‘ධාරා ප්‍රදේශය’ හෙවත් ‘ඉහත්තාව’ ලෙස හැදින්වේ. ඉහළ ධාරා ප්‍රදේශයන්ට ලැබෙන වැසි ජලය ස්වාභාවික දිය පහරවල් හෝ ඇළ මාර්ග දිගේ කුඩා වැව්වලට පැමිණේ. සාමාන්‍යයෙන් මෙම ධාරා ප්‍රදේශ උස් බිම් හෝ කඳුවලින් වටවූ ප්‍රදේශයකින් වටවී ඇත. මෙම ධාරා ප්‍රදේශය තුල ඇති වන ගහනය මෙන්ම එහි ඇති ශාක ප්‍රජාවද වැව පෝෂණය කිරීම සදහා මහඟු කාර්යයක් ඉටු කරයි.
ධාරා ප්‍රදේශයේ සිට වැවට ජලය ගලා ඒමට පෙර එය ‘පැන්නුම’ හරහා ගලා එයි. පැන්නුම යනු වැවට එන ජල පහරේ වේගය පාලනය කිරීම සඳහා ගල් බැම්මක් හෝ බාධකයක් යොදා ගනිමින් වැවට ඉහලින් කරන නිර්මාණයකි. තවද එය වැව තුලට එන ජලයේ පෙරනයක් ලෙසද භාවිතා වෙයි. එමගින් වැව තුලට රොන් මඩ එකතු වීම හා කුණු එකතු වීම අවම වීම සිදු වෙයි. වැවට ඉහලින් රොන් මඩ එකතු වීම වැළැක්වීමට ඇති තවත් උපක්‍රමයක් වන්නේ ‘ගොඩවල’ යි. මෙමගින් රොන්මඩ මගින් වැව ගොඩවීම අවම වන අතර වැවෙහි කල්පැවැත්ම හා ධාරිතාවයද වැඩි කරයි. වැසි ජලය ගංගා ඇළ දොළ දිගේ පැමිණ පැන්නුම හා ගොඩ වල හරහා වැවට ඇතුල්වන තැන හඳුන්වන්නේ ‘ඇතුල්වාන’ ලෙසය.
වැවෙහි ඉහළ ප්‍රදේශයේ දෙපසට වන්නට උස් බිම් ප්‍රදේශයක් ලෙස ‘ඉස්වැටි’ නැතහොත් ‘පෝටාවැටි’ පවතී. එහි ප්‍රධානතම කාර්යය වන්නේ ඛාදනය වූ රොන්මඩ හා පස් වැව තුලට ඒම වැලැක්වීමයි. එලෙසින් වැව දෙපස පෝටා වැටි පැවතීම මගින් වැවෙහි ජල පෘෂ්ඨයෙහි වර්ගඵලය අඩුවීම සිදුවේ. එමගින් වැව් පෘෂ්ඨය මතින් ජලය වාෂ්පීභවනය වීම අවම වී වැඩි ජල ප්‍රමාණයක් ආරක්‍ෂා කර ගත හැකි වේ. ‘වැව් තාවුල්ල’ හෝ ‘වැව් ඉස්මත්ත’ බොහෝ විට භාවිතා වූයේ හේන් වැවීම සඳහාය. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු උත්සව වැනි සංස්කෘතිකමය හා සාම්ප්‍රදායික උත්සව සිදු වූයේ මෙම වැව් තාවුල්ලේය. මෙම වැව් තාවුල්ලේ හෝ වැව් ඉස්මත්තේ භුගත ජල මට්ටම ඉතා ඉහළ අගයක පවතින බැවින් මෙම ප්‍රදේශ ඉතා සුව පහසු සිසිලසක් ගෙන දෙන ප්‍රදේශ වේ.
වැවක් යනු ඉතා විශාල ප්‍රදේශයක ජලය විහිදී පවතින ප්‍රදේශයකි. එබැවින් වැවක ජලය වාෂ්පීභවනය වීම ඉතා වැදගත් මෙන්ම අවම කල යුතු සාධකයකි. සුළගේ වේගය වැඩිවත්ම වැවෙහි ජල පෘෂ්ඨය මගින් ජලය වාෂ්පීභවනය වීම වැඩිවීම ඉතා වැදගත් මෙන්ම අවම කල යුතු සාධකයකි. සුළගේ වේගය වැඩිවත්ම වැවෙහි ජල පෘෂ්ඨය මතින් ජලය වාෂ්පීභවනය වීම වැඩි වීම නිසා වැව් තලය මත සුළගේ වේගය අවම කිරීමට පැරැණ්නන් සොභා දහමේ පිහිට පැතුවේ ඉතා අපූරු ලෙසය. ‘ගස් ගොම්මන’ නම් වූ ප්‍රදේශයක වැඩුනු ඉතා උස් හා විශාල ගස් මගින් වැවට ඉහලින් හමන සුළංධාරාව තරමක් ඉහලින් හමා යාමට සලස්වයි. එවිට වැව මගින් වාෂ්පීභවනය වන ජල ප්‍රමාණය අඩු වී වැවෙහි ජලය සුරැකිව තබයි.
‘කළිඟු බැම්ම’ යනු පැරණි වාරි ශිෂ්ඨාචාරයේ වැවක තිබූ තවත් අංගයකි. වැව් පිටිය තුලවූ උස් බිම් දෙකක් යා කර පිටවානට සමාන්තරව ඊට ඉහළින් මෙය ඉදි කර ඇත. වැව වාන් දමන අවස්ථාවේදී මෙම කළිඟු බැම්ම යටවන අතර මෙමගින් වැවෙහි ජලය ආරක්‍ෂා වනවා මෙන්ම පිටවානෙහි ස්ථායීතාවයට මෙන්ම ආරක්ෂාවටද රුකුලක් වෙයි.
තවද මෙම කළිඟු බැම්ම මගින් වැව තුල තවත් කුඩා වැවක් නිර්මාණය වෙයි. එමගින් මෙම වැව තුල තවත් කුඩා වැවක් නිර්මාණය වෙයි. එමගින් වැව තුල පවතින ජලයේ පෘෂ්ඨ වර්ගඵලය අවම වී වාෂ්පීභවනය අඩුවේ.
වැව් බැම්මට පහළට වන්නට ඇති රක්‍ෂිත ප්‍රදේශය ‘කට්ටාකඩුව’ ලෙස හැදින්වෙයි. වැව තුලෙහි පවතින ජලයේ අඩංගු ලවණ හා අනෙකුත් හානිකර අංශු පහළ පිහිටි කුඹුරු කරා ගලා යාම අවම කරන පෙරනයක් ලෙසද මෙය භාවිතා වෙයි.
සහල් යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන අතර වී යනු ලංකාවේ බහුලව වගා කරන කෘෂිකාර්මික බෝගයයි. එලෙසම වැව ආශ්‍රිතව අනෙකුත් බෝග වර්ගද වගා කරනු දැකිය හැකිය. ‘ගංගොඩ’ යනු වැවට පහලින් අමතර බෝග වගා කරන ප්‍රදේශයයි. එය ඉතා සශ්‍රීක ප්‍රදේශයක් වන අතර ගම්මු එහි වගා කල බෝග පරිභෝජනය කලහ.
වැවක ජලය පිට කිරීම ගැන සලකා බලන විට ඒ සඳහා සොරොව් වර්ග කිහිපයක්ම භාවිතා විය. ඉන් බහුලව භාවිතා වූ දෙකක් නම් බිසෝ කොටුව හා කැට සොරොව්වයි. ඉතා ඉහළ පීඩනයකින් පිටව යන ජල කඳෙහි පීඩනය අඩු කර ඉන් සිදු වන හානිය අවම වන සේ ජලය පිට කිරීම බිසෝ කොටුවේ ප්‍රධාන අරමුණ වූ අතර කැට සොරොව්ව භාවිතා වූයේ වැවක ජලය ඉහළ මට්ටමකින් තබා ගැනීමටය. එම තාක්ෂණික උපක්‍රම පිළිබද තව දුරටත් පර්යේෂණ කරමින් පවතින අතර වාරි ක්‍ෂෙත්‍රයේ පැරැණ්නන් විසින් සිදු කර තිබෙන නිර්මාණ විශ්මය ජනකය.
එලෙසම වැවක් හෝ අමුණක් යනු ගලා යන ගඟක් හෝ ඇලක් හරහා ජල මට්ටම පාලනය කෙරෙන නිර්මිතයකි. සාමාන්‍යයෙන් වැවක හෝ අමුණක ඉහල කොටසේ ජල මට්ටම ඉහල උස් අගයක පවතින අතර පහල ජල මට්ටම පහල අගයක පවතී. එවිට වැවෙන් හෝ අමුණෙන් ඉහල ප්‍රදේශ වල භූගත ජල මට්ටම ඉහල යන අතර එම ප්‍රදෙශ වල ළිං, ඇල දොළ වැනි ජල මූලාශ්‍ර වල ජල මට්ටමද ඉහලට එසවීම සිදු වේ.
පුරාණ ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ඨාචාරය සොබා දහමට මෙන්ම ශාක හා සත්ත්ව ප්‍රජාවට ඉතා හිතකර ලෙස ගොඩ නැගුණු එකකි. වැවක් නිර්මාණය කිරීමේදී එහි ස්වාභාවික පාරිසරික විද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගත්තා මෙන්ම ඉතා දියුණු තාක්ෂණික උපක්‍රමද භාවිතා විය. වැව් බැම්ම, රලපනාව, සොරොව්ව, පිටවාන යන ව්‍යුහයන් සැලකීමේදී ශ්‍රී ලාංකික වාරි තාක්ෂණයේ විශිෂ්ඨ බව පැහැදිලි වේ. එහෙත් වර්තමානයේදී අප විසින් නිර්මාණය කරනු ලබන වැව්වල මෙම පාරිසරික පද්ධතිය ක්‍රියාත්මක වන්නේදැයි සිතා බැලිය යුතු කරුණකි. එදා නොතිබූ පාරිසරික ගැටලු රාශියකට අප අද මුහුණ දී ඇත්තේ එබැවිනි.
අපගේ පැරණි වැව් පද්ධතිය හා සොබා දහම ඉතා මැනවින් බද්ධ වූ පද්ධතියකි. සොබා දහමට අනුගත වෙමින් පැවති අපගේ වාරි පද්ධතිය මගින් කාළගුණ විපර්යාසවලට එරෙහිව නැගී සිටීමට තරම් ශක්තිමත් වූ අතර මෑත කාලීනව සිදු වූ මානව ක්‍රියාකාරකම් නිසා සිදු වීමට යන විපත ගැන සිතිය යුතු කාලය එළඔ ඇත. එලෙසම එම කාළගුණ විපර්යාසවලට අනුගත වීම හෝ වලක්වා ගැනීම උදෙසා මානව වර්ගයා ලෙස අපට කල හැකි දේ ගැනද සිතා බැලීම ඉතා වැදගත් වේ.
මේ අනුව පැහැදිලි වනුයේ වැව යනු පරිසරය සංරක්‍ෂණය කර ගැනීමට තිබෙන්නා වූ ප්‍රබල සාධකයක් බවයි. එය මත පදනම් වූ අනෙක් පාරිසරික පද්ධතිද එම අයුරින් පවත්වාගෙන යාමෙන් වර්තමානයේ උදා වී තිබෙන්නා වූ පාරිසරික හා ආර්ථික ගැටලු බොහොමයකට නිරායාසයෙන්ම පිළිතුරු ලබා ගැනීමටද හැකියාව ලැබීමත් සතුන් සහ මිනිසුන් අතර පවතින ගැටුම් වළක්වා ගැනීමටත් වැව හා සබැඳි පාරිසරික පද්ධතිය ඉතාමත් දායක වේ. එයට හේතුව වැව ප්‍රදේශයේ ජනතාවට පමණක්නොව එම පරිසරයේ වෙසෙන සතා සිවුපාවන්ටද අයත් අනර්ඝ වස්තුවක් බැවිනි. එනම් මේ තුළ පවතින්නේ තිරසාරත්වයකි.
ජනක ප්‍රියන්ත වික්‍රමසූරිය
වාරිමාර්ග ඉංජිනේරු