මිනිසා අනෙකුත් සතුන්ට වඩා ඉහළ බුද්ධියකට හිමිකම් කියන්නේ පරිණාමීය ව දායාද වූ සංකීර්ණ මොළයකට උරුමකම් කීම මතයි. ගලින් ගල ගටවා ගිනි පුළිඟුවක් දල්වා ගත් මානවයාගේ සිට අඟහරු ජනපදකරණය කරන්නට සැරසෙන නූතන මිනිසා දක්වා අප රැගෙන එන්නට මූලික ම සාධකය වූයේ එයයි.
අදින් වසර ගණනකට පෙර මිනිස් මොළය තුළ තැන්පත් කෙරෙන චිප වැනි කුඩා පරිගණක විද්‍යා ප්‍රබන්ධයට පමණක් සීමා වී තිබුණා. The Matrix, Ready Player One සහ කවුරුත් ආදරයෙන් වැලඳගත් Avatar වැනි අනාගතවාදී සිනමාපට එවැනි තාක්ෂණයක භාවිතයේ විය හැකියාවන් අප ඉදිරියේ දිග හැරියා. උද්දීපනය වී ඇති බොහෝ නව තාක්ෂණික විප්ලවයන් මෙන් එය ද දිනෙන් දින අප ඉදිරියේ යථාවක් වෙමින් පවතිනවා.
සංකීර්ණ ස්නායු රෝගාබාධයන්ට පත් මිනිසුන්ගේ මොළයට පරිගණක චිපයක් බද්ධ කරමින් එදිනෙදා ජීවිතය පහසු කරවීම මෙන් ම යම් කලක දී අන් පුද්ගලයන් සමඟ සිතෙන් පමණක් අදහස් හුවමාරු කරගත හැකි ලොවක බිහි වීම අරමුණු කරගත් බිලියනපති ව්‍යවසායක ඊලෝන් මස්ක්ගේ Neuralink සමාගම විසින් අත්හදා බැලෙන ස්වකීය මොළ චිපය පළමු වතාවට මිනිසකුගේ මොළයකට බද්ධ කෙරුණේ ඉකුත් ජනවාරි මාසයේ දී යි. මිනිස් මොළයේ එක් FDA (Federal Drug Authority) අනුමැතිය පරිදි මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ Noland Arbaugh නම් පුද්ගලයා යොදා ගැනුණා. දරුණු රිය අනතුරකට ගොදුරු වීමෙන් නෝලන්ඩ්ගේ උරහිසෙන් පහළ කොටස මුළුමනින් ම පැවතියේ අක්‍රීය තත්වයේ යි. පසුගිය දා X (පෙර twitter) ඔස්සේ සජීව ලෙස සම්බන්ධ වෙමින් ඔහු සිය සිතැඟිවලින් පරිගණක තිරයේ ‘කර්සරය’ එහා මෙහා ගෙන යමින් චෙස් පරිගණක ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු ලෝකයාට නිරාවරණය කළා.
ඒ අතරතුර අදහස් දක්වමින් නෝමන්ඩ් කියා සිටියේ සිතා සිටියාට වඩා මොළ චිපය තැන්පත් කළ සැත්කම පහසු මෙන් ම වේදනාවෙන් තොර අත්දැකීමක් වූ බවයි. චෙස් ක්‍රීඩාවට අමතර ව සිය මොළයේ තැන්පත් කළ Neuralink චිපයේ ආධාරයෙන් Civilization VI පරිගණක වීඩියෝ ක්‍රීඩාව ද එක දිගට පැය අටක කාලයක් ක්‍රීඩා කළ බව ඔහු සඳහන් කරනවා. කෙසේ නමුත් මේ තාක්ෂණය තවමත් සර්ව සම්පූර්ණ නො වන බව ඔහු පිළිගෙන තිබුණා. ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධ ව ගැටලු කිහිපයක් ද ගත වූ මාස කිහිපය තුළ ඉස්මතු වූ බවයි.
පවුමේ කාසියක ප්‍රමාණයෙන් යුතු Neuralink මොළ චිපය හිස් කබලට ඇතුළතින් සවි කළ පසු මොළයේ සිදු වන නියුරෝන ක්‍රියාකාරිත්වය හැඳිනගෙන ඒ අනුව රැහැන් රහිත සංඥාවක් පිටත ඇති ග්‍රාහකයක් වෙත සම්ප්‍රේෂණය කරනවා. සිතැඟිවලට අනුව පරිගණකයක් හැසිරවීමේ ‘සුපිරි බලය’ මිනිසෙකු වෙත හිමි වන්නේ එලෙසයි.
Neuralink චිපය මිනිසුන් යොදාගනිමින් අත්හදා බැලීමට FDA අනුමැතිය හිමි වූයේ ඉකුත් වසරේ මැයි මාසයේ දී යි. පසුගිය ජනවාරියේ නෝමන්ඩ් සැත්කමට භාජනය කිරීමට පෙර මේ කටයුත්ත සඳහා යොදා ගැනුණේ ප්රයිමේටාවන් සහ ඌරන්. මෙහි දී චිපය තැන්පත් කෙරුණු වඳුරන් හට එය උපකාරයෙන් Pong පරිගණක ක්‍රීඩාවේ සරල අදියරක නියැලීමේ හැකියාව ලැබී තිබූ බව ද ඊලෝන් මස්ක් පෙර ඔහුට ම අයත් X සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර තිබුණා. කෙසේ නමුත් එම අවධිය Neuralink සමාගමට රෝස මල් යහනාවක් වූයේ නැහැ. සැත්කම් මඟින් චිප පළඳවනු ලැබූ වඳුරන් වේදනා විඳ මිය යාමේ සිද්ධීන් වාර්තා වූයේ ලොව පුරා සත්ත්ව අයිතීන් සුරැකීමේ සත්ත්ව සංවිධානවල හද සසල කරමින්. මේ පිළිබඳ ඇත්ත සැඟවීම ගැන ඊලෝන් මස්ක් ද විවේචනයටත් ගර්හාවටත් ලක් වුණා. 2023 ඔක්තෝබර් 04 දා විදුසර පුවත්පතේ පළ වූ “නියුරලිංක් කඩ වන පොරොන්දුවක් ද?” මැයෙන් යුතු ලිපියෙන් අප මේ ගැන දීර්ඝ විග්රහයක නියැළුණා. Neuralink ආන්දෝලනයේ සැඩපහර යටතේ වුවත් සිය අරමුණ වෙත ළඟා වන ගමන මඟ නවතා නැති බව දැන් පැහැදිලියි. නෝමන්ඩ්ගේ අනාගතය නියුරලිංක් තව දුරටත් කඩ වන පොරොන්දුවක සිර කර නො තබනු ඇති බව අනාගතවාදීන්ගේ අදහසයි.
සත්‍ය හෙට්ටිආරච්චි