Home Features චීනය, රුසියාව සහ බිල් නෙල්සන්

චීනය, රුසියාව සහ බිල් නෙල්සන්

by Rashi

පසුගිය දිනෙක NASA ප්‍රධානී බිල් නෙල්සන් එරට කොංග්‍රස් මණ්ඩල අතුරු කමිටුවක් ඉදිරියේ කරුණු ගෙන හැර පාමින් සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයට මහජන චීනය සමඟ අභ්‍යවකාශ තරගයකට අවතීර්ණ වන්නට සිදු වී ඇති බවයි. චීනය සිවිල් අභ්‍යවකාශ මෙහෙයුම් ලේබලය අලවාගෙන සිදු කරන්නේ මිලිටරිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ දැරීම බවට ඔහු චෝදනා එල්ල කළා. ඔහු සඳහන් කළේ මින් මතුවට අභ්‍යවකාශ විෂයෙහි ලා චීනයේ හැසිරීම ගැන අවධානයෙන් පසු වීම වොශිංග්ටනය පරම රාජකාරියක් කරගත යුතු බවයි.

ඔහු පැවසූ දෑ ගැන විවරණයක යෙදීමට මත්තෙන් එම ප්‍රකාශවල ඇති බරපතළකම අප වටහා ගත යුතුයි. චීනයේ බොහෝ මෙහෙයුම්වල තිබෙන රහසිගත ස්වභාවය මේ සියල්ලට හේතු කාරක වූ බව පැහැදිලියි. පසුගිය වසර 10ක කාලය ඇතුළත චීනය අභ්‍යවකාශ මෙහෙයුම්වලින් ලබා ඇති ප්‍රගතියත්, ඒවායේ ඇති රහසිගත ස්වභාවයත් මෙවැනි ප්‍රතාශයන් සඳහා ඉන්ධන සපයා ඇති බව පෙනෙන්නට තිබෙනවා.

බිල් නෙල්සන් කරුණු ඉදිරිපත් කරන්නේ 2025 වසර සඳහා NASA ආයතනයට වැය ශීර්ෂය වෙන් කිරීම සඳහා පත් කෙරුණු කොංග්‍රස් මණ්ඩල මුදල් විසර්ජන අනුකමිටුව ඉදිරියේ දීයි. මෙවැනි ප්‍රකාශ වසරක් පාසා මේ කමිටුවේ සිදු කිරීම ගැන බිල් නෙල්සන්ට ඉතිහාසයක් තිබෙනවා. පසුගිය වසරේ අනුකමිටුව ඉදිරියේ අදහස් දක්වමින් ඔහු කීවේ දකුණු චීන මුහුදේ තිබූ දූපත්වලට චීනයෙන් සිදු වූ දේ ම සඳටත් සිදු විය හැකි බවයි. නිශ්චිත හිමිකාර රාජ්‍යක් නො තිබුණත් චීනය ද ඇතුළු තවත් රටවල් ගණනාවක් අයිතිවාසිකම් කියූ දකුණු චීන මුහුදටත්, තායිවානයටත්, ඉන්දුනීසියානු අර්ධද්වීපයටත් මායිම් වෙමින් පිහිටි දකුණු චීන මුහුදු දූපත් මත බලහත්කාරයෙන් මිලිටරිමය කඳවුරු ස්ථාපනය කිරීමට චීනය කටයුතු කළේ වැලි පුරවමින් අලුත් දූපත් ද ඒ වටා ඉදි කරමින්. ගෝලීය සම්මුතීන්ට පටහැනි ව ගනු ලබන ආක්‍රමණශීලී තීන්දු තීරණ මත ලෝකය ඉදිරියේ හිතුවක්කාරයෙකු ලෙස හංවඩු ගැසී සිටින චීනය අභ්‍යවකාශ තරණයෙහි ලා තරගකාරී තලයකට නැඟී සිටීම ගැන බටහිර කඳවුරුවලට හීන් දාඩිය දැමීම සාධාරණ දෙයක් වුවත් චීනය හුදෙක් අභ්‍යවකාශය මිලිටරීකරණය කිරීමේ ක්‍රියාන්විතයක යෙදී සිටින බව පුල පුලා පැවසීමට තරම් බරපතළ තත්ත්වයක් උද්ගත ව තිබේ ද යන්න මීළඟට විමසා බැලිය යුතු කාරණාවයි.

චීනය මේ පසු කරමින් සිටින්නේ ස්වකීය අභ්‍යවකාශ තරණයේ ලා ස්වර්ණමය යුගයයි. මින් පෙර කවම දාකටත් වඩා දැන් එරට අභ්‍යවකාශ ක්ෂේත්‍රය සක්‍රීය වෙමින් තිබෙනවා. 2011 වසරේ ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය විසින් සම්මත කරගැනුණු වුල්ෆ් පනත මඟින් NASA ආයතනයට ඉන් මතුවට චීනය සමඟ කිසිඳු සහයෝගීතාවක් ඇති කර ගැනීම තහනම් කර දැමුණෙන්, චීනයට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොඩවැදීමේ මාවත සහමුලින් ම වැසී ගියා. එයට චීනය පිළිතුරු දුන්නේ 2022 වන විට තමන්ගේ ම කියා අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමෙන්. චීනය හුදකලා කිරීමට ගත් උත්සාහයන් පාරාවළල්ලක් වෙමින් පවතින සමයක ඇමරිකන් විරෝධී රුසියාවත් ජාත්‍යන්තර සහයෝගීතාවන්ගෙන් කෙමෙන් ඈත් වී චීනය සමඟ අත්වැල් බැඳගන්නට පටන්ගෙන තිබෙනවා. ඒ සඳ මත දෙරට එක් ව ඉදිරි දශකයේ දී චන්ද්‍ර නැවතුම්පොළක් හා එහි බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ද ඉදිකිරීමේ පිඹුරුපත් අතුරමින්.

ලොව පවතින භූ දේශපාලන සිතියමේ විචල්‍යතාවන් මැද ඇමරිකාව ප්‍රමුඛ බල කඳවුරට චීනයේත් රුසියාවේත් අභ්‍යවකාශ ගමන තර්ජනයක් සේ පෙනී යාම වැළැක්වීමට නො හැකියි. ඒවායේ මිලිටරිමය අරමුණු ගැබ් ව තිබුණත් නැතත්, හුදෙක් විද්‍යාවේත් මනුශ්‍ය වර්ගයාගේත් චිරස්තිථිය උදෙසා ම පමණක් ක්‍රියාවට නැංවුණත් ඇමරිකාවේ වපරැසට ලක් නො වී සිටීමේ හැකියාවක් තිබේ ද යන්න සැක සහිතයි.

නෙල්සන් කී දෑ අතර ඇති තවත් වැදගත් කරුණක් නම් තමා අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රමුඛස්ථානය ඇමරිකාවෙන් ගිලිහී නො යනු ඇති බව තමා විශ්වාස කරන බවයි. එහෙත් ඇමරිකාව යථාර්ථවාදී විය යුතු බවත් චීනය සිය අභ්‍යවකාශ වැඩපිළිවෙළේ උන්නතිය තකා මුදල් පොම්පකරමින් සිටින බවත් ඔහු අවධාරණයෙන් යුතු ව කියා සිටියේ ඇමරිකාව පෙරමුණේ තබා ගත යුතු නම් NASA ආයතනයේ වැය ශීර්ෂ තර කිරීම නුවණට හුරු බව ව්‍යංගයෙන් අඟවමින් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු වන්නේ නැහැ. වටහා ගත යුතු කරුණ නම් මේ සියලු ප්‍රකාශ සිදු කෙරුණේ 2025 වසර සඳහා මූල්‍යමය ප්‍රතිපාදන වෙන් කෙරෙන මුදල් විසර්ජන අනුකමිටුවේ දී බවයි. තේ කෝප්පයේ මෝරෙකු සිටින බව පෙන්වීම එවන් අවස්ථාවක දී වාසි දායක විය හැකියි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications