මෑත කාලීන ඉතිහාසය තුළ තමා සතු සියලු ම ග්ලැසියර ක්ෂය වී ගිය පළමු වැනි රට වෙනිසියුලාව විය හැකි බව පසුගිය දා නිවේදනය කෙරුණා. ඒ එරට ඉතිරි ව පැවැති එක ම ග්ලැසියරය ද ග්ලැසියරයක් ලෙස තවදුරටත් සැලකීමට නො හැකි වන තරමට ක්ෂය වී ඇති බව නිරීක්ෂණය වීමත් සමඟයි.
දකුණු ඇමරිකානු මහාද්වීපයේ පිහිටා ඇති වෙනිසියුලාව කලකට ඉහත දී ග්ලැසියර හයකට හිමිකම් කීවා. ඒ සියල්ල පිහිටා තිබුණේ අන්දීස් කඳු වැටිය ආශ්‍රීත ව මුහුදු මට්ටමේ සිට මීටර 5,000ක් ඉහළින් පිහිටන Sierra Nevada de Mérida කඳු පන්තිය මුල් කරගෙනයි. 2011 වන විට ඉන් පහක් ම අතුරුදන් ව ගොස් තිබුණා. එදා සිට මේ දක්වා ම වෙනිසියුලාව සතු එක ම ග්ලැසියරය ලෙස පැවතියේ එරට දෙ වැනියට උසැති ම කඳු ශිඛරය වන Pico Humboldt කඳු මුදුනේ පිහිටා තිබූ Humboldt ග්ලැසියරය පමණයි. එය වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ La Corona ග්ලැසියරය ලෙසයි. International Cryosphere Climate Initiative (ICCI) ජාත්‍යන්තර සංවිධානය සිය X ගිණුම ඔස්සේ සටහනක් තබමින් පසුගිය දා නිවේදනය කළේ එය තව දුරටත් ග්ලැසියරයක් ලෙස හැඳින්වීමට නො හැකි තරමට කුඩා වී ඇති බවයි. මේ හේතුවෙන් එහි වර්ගීකරණය ග්ලැසියර තත්ත්වයේ සිට “අයිස් තට්ටුවක්” (Ice Field) දක්වා පහත වැටී තිබෙනවා.
විද්‍යාඥයන් විශ්වාස කළේ අවම තරමින් ලා කොරෝනා ග්ලැසියරය තවත් දශකයක කාලයක් සුරැකි ව පවතිනු ඇති බවයි. මේ සියලු අපේක්ෂාවන් මැද වෙනිසියුලාව දේශපාලන අර්බුදයක කරවටක් එරුණා. පැවති වියවුල් සහගත දේශපාලන විගඩම් මැද ග්ලැසියරයේ තත්ත්වය විමසා බැලෙන ව්‍යාපෘති වසර ගණනක් තිස්සේ අඩාල වන්නට ගත්තා. එහි ප්‍රතිඵලය වූයේ ග්ලැසියරය වසර ගණනක් යන තෙක් ලොවට මඟහැරී යාමයි. සැලකිය යුතු විරාමයකට පසු යළි ඇරඹුණු නිරීක්ෂණයන්ගෙන් හෙළි වූයේ විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව ඇස් මනා පිට වාෂ්ප වෙමින් පවතින බවයි. සිතා සිටියාට වැඩි වේගයකින් එය ක්ෂය වෙමින් පැවතියා. මේ වන විට ලා කොරෝනා ‘ග්ලැසියරය’ හෙක්ටයාර 2ක් දක්වා පටු වූ වපසරියකට කොටු වී පවතිනවා.
යම් අයිස් ස්කන්ධයක් ග්ලැසියරයක් ලෙස නම් කිරීම සඳහා එය සතු විය යුතු අවම විශාලත්වය පිළිබඳ නිශ්චිත කඩඉම් මිම්මක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් එක්සත් ජනපද භූ විද්‍යා ආයතනයේ (US Geological Survey) නිර්දේශයන්ට අනුව එම අගය අවම තරමින් හෙක්ටයාර 10ක් වත් විය යුතු වනවා. මේ නිර්දේශ භූමි ප්‍රමාණය හා සසඳන කළ ලා කොරෝනාවේ වත්මන් වර්ග ප්‍රමාණය අනුපාතයක් ලෙස 5:1ක්!
ලන්ඩන් යුනිවසිටි කොලීජියේ පෘථිවි පද්ධති පිළිබඳ මහාචාර්ය Mark Maslin සඳහන් කරන්නේ “දළ වශයෙන් පා පන්දු පිටි දෙකක් තරමට සීමා වී ඇති අයිස් තට්ටුවක්” යනු ග්ලැසියරයක් නො වන බවයි. BBC වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ග්ලැසියරයක් නම් එය නිම්නයක් වසා දමමින් පැතිරී තිබිය යුතු බවයි. “ඒ නිසා වෙනිසියුලාවට දැන් කොහොමට වත් ග්ලැසියරයක් නැහැ.” Maslin සඳහන් කරනවා.
පසුගිය දෙසැම්බරයේ වෙනිසියුලානු රජය විසින් Humboldt ග්ලැසියරය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් නිවේදනය කර තිබුණා. ඉන් යෝජනා කෙරුණේ උෂ්ණත්ව ආවරක බ්ලැන්කට්ටුවක් මඟින් එහි ඉතිරි වී ඇති අයිස් තට්ටුව ආවරණය කිරීමයි. එමඟින් අයිස් තට්ටුව දිය වීමේ ක්‍රියාවලිය ආපස්සට හැරවිය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබුණා. නමුත් එරට දේශගුණ විද්‍යාඥයන් එය අනුමත කළේ නැහැ. ඊට හේතු දෙකක් ඔවුන් සතු ව තිබුණා.
පළමු වැන්න නම්, එවැනි බ්ලැන්කට්ටුවක් එලීම මඟින් සංවේදී පරිසර කලාපය ප්ලාස්ටික් අංශු මඟින් දූෂණයට ලක් වීමයි.
දෙ වැන්න එවැනි ආවරණයකින් අයිස් තට්ටුව තැම්බීමකට ලක් ව ග්‍රීෂ්ම ඍතුව උදා වන විට අයිස් තට්ටුවේ ක්ෂය වීම වඩාත් වේගවත් අඩියකට පෙරළීමයි. ග්‍රීෂ්ම ඍතුවේ ඉහළ යන උෂ්ණත්වයට ග්ලැසියර මුහුණ දෙන්නේ ඒ වෙත පතිත වන හිරු එළිය පරාවර්තනය කරමින්. එයට අයිස් තට්ටුව පිටතට නිරාවරණය වී පැවතිය යුතුයි.
ග්ලැසියර හිතු මනාපේ වියැළෙන්නට හැර යළි වගා කළ හැකි මාන පඳුරක් මෙන් නො වෙයි. එහි ඇති අයිස් දිය වී යන්නට පටන් ගත් පසු නිරාවරණය වන භූමිය සැලකිය යුතු කලක් හිරු එළියෙන් නැහැවී පවතින විට එහි උෂ්ණත්වය ඉහළ ගොස් යළි කාලාන්තරයකට ඒ මත අයිස් තට්ටු මිදීම වළක්වනවා.
මීළඟට ග්ලැසියරවලින් හරණය වනු ඇත්තේ ඉන්දුනීසියාව, මෙක්සිකෝව සහ ස්ලෝවැකියාව බව දේශගුණ විද්‍යාඥයන් පුරෝකථනය කරනවා. දැනට ගොනු වී ඇති දත්ත පෙන්නුම් කරන්නේ 2100 වන විට ලොව ඇති ග්ලැසියර අතරින් 20% – 80% අතර ප්‍රමාණයක් තුරන් ව ගොස් පවතිනු ඇති බවයි.
සත්‍ය හෙට්ටිආරච්චි