අපේ සදාතන අසල්වැසි යටත්වැසියා වූ සඳ මත කාලය ගත වන්නේ පෘථිවියට වඩා වැඩි වේගයකින්. පෘථිවියේ ගත වන කාලයට වඩා මයික්‍රෝතත්පර 58.7ක් වේගයෙන් සඳ මත කාලය ගලා යනවා. බැලූ බැල්මට ඔබට මෙය මහා අරුමයක් දනවන තරමේ පරස්පරයක් නො වූ වත් එය හා අභ්‍යවකාශ යානයක් සමමුහුර්ත කිරීමේ දී ඇති වන අපහසුතාවන්ට විද්‍යාඥයන් නිරන්තරයෙන් මුහුණ දෙනවා. 1950 දශකයේ සිට මේ දක්වා සිදු වන චන්ද්‍ර මෙහෙයුම් මේ තත්ත්වය යටතේ විඳ දරාගත හැකි වුවත් චන්ද්‍රයා ජනපදකරණයට ලක් වන නුදුරු අනාගතයේ දී නම් නිශ්චිත වශයෙන් කාලය සටහන් කළ හැකි ප්‍රමිතියක අවශ්‍යතාවය පැන නඟින බව ඔවුන් වටහාගෙන තිබෙනවා.
ඉකුත් දා ඇමරිකාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කාර්යාලය හෙවත් US Office of Science and Technology Policy (OSTP) මඟින් NASA ආයතනය වෙත යැවුණු අභ්‍යන්තර ලියවිල්ලකින් කියැවෙන්නේ ඇමරිකාව තුළ ඇති අනෙකුත් ප්‍රමිති සංස්ථා සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ ද එක් ව චන්ද්‍රයා මත දී වේලාව සටහන් කළ හැකි ආකාරයේ නව ප්‍රමිතියක් හඳුන්වා දීමේ වගකීම NASA ආයතනය වෙත පැටවෙන බවයි. Coordinated Lunar Time (LTC) ‘හෙවත් සමකක්ෂීය චන්ද්‍ර වේලාව’ ලෙස දැනට හැඳින්වෙන මෙම චන්ද්‍ර කාල ගණන ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා NASA ආයතනයට 2026 තෙක් කල් ලැබී තිබෙනවා. ඒ 1972න් පසු මිනිස් පහසක් නො ලද චන්ද්‍රයා වෙත 2026 දී ආටමිස් 03 මඟින් යළිත් මිනිසුන් ගොඩබැසීමේ අරමුණ පෙරදැරි වයි.
OSTP නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට අදහස් දක්වා ඇති පරිදි චන්ද්‍රයා මත වේලාව ගණනය කිරීමේ ඒකීය ප්‍රමිතියක් ඇති කර නො ගන්නේ නම් එහි යැවෙන යානා අතර සන්නිවේදනය මෙන් ම නුදුරේ එහි පිහිටුවීමට බලාපොරොත්තු වන චන්ද්‍ර නැවතුම්පොළ හා පෘථිවිය අතර ද සම්බන්ධතාවය පවත්වා ගැනීම අභියෝගාත්මක කටයුත්තක් වනවා. . “මඳක් සිතා බලන්න ලෝකයේ ඔරලෝසු එකම ක්‍රමයකට අනුගත වෙලා නොතිබුණොත් එදිනෙදා ජීවිතය කෙතරම් අභියෝගාත්මක වේ වි ද කියලා.” ඔහු සඳහන් කරනවා. LTC සමඟ චන්ද්‍රයා වෙත යැවෙන මෙහෙයුම් මෙන් ම එහි ඉදිවන ජනාවාස අතර ද සන්නිවේදන කටයුතු මනා ලෙස සමමුහුර්ත වනු ඇති බවට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.
පෘථිවිය මත ඔරලෝසු ක්‍රියාත්මක වන්නේත්, වේලා කලාප ස්ථාපනය වී ඇත්තේත් Universal Coordinated Time (UTC) හෙවත් විශ්වීය සමකක්ෂීය වේලාව නම් වූ ප්‍රමිතියට අනුගත වයි. ලෝකයම ආවරණය වන පරිදි පිහිටුවා ඇති පරමාණුක ඔරලෝසු ජාලයක් මත එය රඳා පවතිනවා. මේ සඳහා අතිශය නිරවද්‍ය සහ සූක්ෂ්ම ලෙස පරමාණුවක අනුනාද සංඛ්‍යාතය මත ක්‍රියාකරන ඔරලෝසු 400ක් යොදා ගැනෙනවා. ඔබේ පරිගණකයේ, ස්මාර්ට් දුරකතනයේ සටහන් වන වේලාව තීරණය කරන්නේ එමඟින් ලබාගන්නා ගණනය කිරීම් මඟින්.
සඳ මත අනන්‍ය ප්‍රමිතියකින් යුතු ව වේලාව සටහන් කිරීමට හැකි පරිදි LTC ස්ථාපනය කිරීමට නම් එහි ද පරමාණුක ඔරලෝසු තැන්පත් කිරීමට සිදු වනවා. NASAහි ඉහළ පෙළේ සන්නිවේදන සහ යාත්‍රණ නිලධාරියෙකු වන Kevin Coggins සඳහන් කරන්නේ සඳ මත ස්ථාපනය කරන පරමාණු ඔරලෝසුවක ක්‍රියාකාරිත්වය සිදු වනු ඇත්තේ පෘථිවිය මත දී ක්‍රියා කරනවාට වඩා වෙනස් වේගයකින්.
කෙසේ නමුත් චන්ද්‍රයා මත බලපැවැත්වෙන පරිදි ජාත්‍යන්තර කාල රාමුවක් සැලසුම් කිරීම NASA ආයතනයට තනි ව කළ හැක්කක් නො වන බව අවිවාදිතයි. එය කළ හැකි වන්නේ OSTP අභ්‍යන්තර ලියැවිල්ලේ ද දක්වා ඇති පරිදි ජාත්න්තර එකඟත්වය මතයි. Artemis Accords සම්මුතිය සඳහා අත්සන් කළ රටවල් මෙහි දී සක්‍රීය දායකත්වයට නම්මවා ගැනීම අතිශය වැදගත් බව විශේලේෂකයන් පෙන්වා දෙනවා. මේ වන විට Artemis Accords සඳහා එකඟත්වය පළ කර ඇති රාජ්‍යයන් සංඛ්‍යාව 36ක්. වාණිජමය මෙන් ම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ද ඇමරිකාව හා කරටකර තරගයට අවතීර්ණ ව සිටින චීනය සහ රුසියාව එයට මෙතෙක් එකඟත්වය පළ කර නොමැති වීම ද සැලකිය යුතු තත්ත්වයක්.
සත්‍ය හෙට්ටිආරච්චි