අප සවන් දීමට කැමති ගීත වර්ගීකරණය කළහොත් ඒ අතරින් බොහෝමයක් ශෝකී හැඟීම් දනවන ගීත බව රහසක් නොවෙයි. ඒත් අප ඒ ගීතවලට ආදරෙයි.
පර්යේෂකයින් මීට පෙර කල්පනා කළේ, ඒ ගීතවල දුක්බර සංවේදනය අත්විඳීම හරහා හෝ අදාළ සංගීත ඛණ්ඩයේ කලාත්මක බව අගය කිරීම හරහා අප චිත්තවේගීය වශයෙන් ධනාත්මක ආකාරයෙන් වෙනස් විය හැකි බවයි. නමුත් නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එබඳු සංගීතයකින් ඇති කරවන දුක්බර බව විඳීමෙන් ම අපට සතුටක් ලැබිය හැකි බවයි.
“මා අනුමාන කරන්නේ, නිශේධනාත්මක හැඟීමක අමුතු සතුටක් තිබෙනවා යන්න පිළිගැනීමට නො හැකි වීම මානව පැවැත්මේ කොටසක් බවයි. නමුත් ඇත්තට ම මම මේ සංගීත ඛණ්ඩයට කැමති එය මට දුකක් ගෙන දෙන නිසා යැ යි යමෙක් කිව්වොත් ඒක වැරදියි කියලා කියන්න කාටවත් බැහැ.’’ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් සරසවියේ එමරි ෂ්යුබර්ට් පවසනවා.
මේ සම්බන්ධ අධ්‍යයනයේ දී, ෂ්යුබර්ට් උපාධි අපේක්ෂකයින් 50 දෙනකුට කියා සිටියේ, ඔවුන් කැමති, නමුත් දුකක් දැනෙන, ලුඩ්විග් වැන් බීතෝවන්ගේ හා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත සංයෝජන ඇතුළත් සංගීත ඛණ්ඩවලට සවන් දෙන ලෙසයි. ඉන්පසු ඔවුන් එම සංගීත ඛණ්ඩයට සවන් දෙන අතරතුර, ඔවුන්ට දැනුණු හැඟීම් පිළිබඳ මාර්ගගත ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා දී තිබුණා. ඊළඟට, ෂ්යුබර්ට් සහභාගි වන්නන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් තෝරාගත් සංගීත කොටසේ ඇති ‘ශෝකය’ කෙසේ හෝ එයින් ඉවත් කළ හැකි යැ යි සිතීමට උත්සාහ කරන ලෙසයි. සමස්තයක් වශයෙන් ගත් කල, සහභාගි වන්නන් කියා සිටියේ එවිට එම සංගීත ඛණ්ඩයට තමන් තුළ ඇති ආකර්ශණය අඩු වන බවයි. 82% ක් වාර්තා කළේ ශෝකය ඔවුන්ගේ රසවින්දනයේ කොටසක් බවයි.
අධ්‍යයනයේ තවත් කොටසක දී, ෂ්යුබර්ට් සංගීත උපාධි අපේක්ෂකයින් 53 දෙනෙකුට කියා සිටියේ ඔවුන් කැමති සහ ඔවුන් සලිත කිරීම සිදුවන සංගීත ඛණ්ඩය හඳුනාගන්නා ලෙසයි. මේ අය වාර්තා කර ඇත්තේ අදාළ සංගීත ඛණ්ඩයට සවන් දීමේ දී එහි ආස්වාදනීය බව තිබිය දීත් තමන් ශෝකය අත්විඳි බවයි.
මේ අනුව ෂ්යුබර්ට් පවසන්නේ සහභාගි වූවන් ‘ශෝකය’ සහ ‘සලිත වීම’ යන චිත්තවේග මුසු කර ගනිමින් දුක හා සමස්ත සතුට අතර ඍජු සම්බන්ධයක් අත්විඳින බවයි.
නමුත් නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ ජොනා වුස්කොස්කි පවසන්නේ, කලාකරුවකු සිය සංගීත නිර්මාණය තුළ ප්‍රකාශයට පත්කරන ශෝකය ශ්‍රාවකයාට දැනෙන්නේ ශ්‍රාවකයා සහකම්පනයට (empathy) පත්වීම නිසා බවයි. එසේ ම, මිනිසුන් දුක්බර ගීතවල පද මාලා සමග බැඳීම, ඒවායින් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සීම නතර කිරීමටත්, ඔවුන් අත්විඳින හුදෙකලා බව අඩුවෙන් දැනීමටත් උපකාර කරන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙහෙම බලනකොට සාමාන්‍යයෙන් දුක් ගීතයක් ලෙස සැලකන නිර්මාණයක් එහි අන්තර්ගත ශෝකය ඉවත් කොට රස විඳින්නට අපට නො හැකි බවයි පර්යේෂකයන්ගේ අනුමානය.
(New Scientist ඇසුරෙනි.)
■ ප්‍රභාත් චින්තක මීගොඩගේ