Home FeaturesFuture වාතය උරා බොන කෘත්‍රිම චන්ද්‍රිකා

වාතය උරා බොන කෘත්‍රිම චන්ද්‍රිකා

by cmadurawala

ලොව වටා කක්ෂගත වූ කෘත්‍රිම චන්ද්‍රිකා අපට නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. අභ්‍යවකාශ යුගය පටන්ගත් දා සිට මේ දක්වා ඒවා මගින් සිදුවන්නේ සුවිශාල සේවයක්. කෙසේ නමුත් පෘථිවිය වටා කක්ෂගත වීමේ දී ඇතැම් ප්‍රයෝජනවත් කක්ෂයන් මගහරින්නට සිදු වී තිබෙනවා. ඉතා පහළ පෘථිවි කක්ෂය (Very Low Earth Orbit – VLEO) ඊට උදාහරණයක්. මෙය පිහිටන්නේ පෘථිවියෙන් සැතපුම් 95ත්, 250ත් අතරයි. වර්තමානයේ භාවිතයට ගැනෙන බොහෝ චන්ද්‍රිකා කක්ෂගත වී තිබෙන්නේ සැතපුම් 370 හෝ ඊට ඉහළින් ඇති කක්ෂවලයි. ඉතා පහළ පෘථිවි කක්ෂය නිරීක්ෂණ කටයුතු සහ සන්නිවේදනය සඳහා අතිශය ප්‍රායෝජනවත් කක්ෂයක් වුවත් එහි යැවෙන චන්ද්‍රිකා නිෂ්චිත කක්ෂයක පවත්වාගැනීම අපහසුයි. මෙයට හේතුව වන්නේ ඒ සඳහා සරිලන ප්‍රචාලන පද්ධතිවල හිඟකමයි. කක්ෂය පොළොවට ඉතා සමීපව පිහිටන නිසා ඇතිවන වායුගෝලීය ඝර්ශනයට ලක් ව මාර්ගයෙන් පොලා පැනීම නවතාගන්නට නිරන්තර ප්‍රචාලනයන් අවශ්‍ය වනවා. එනිසා මෙය අතිශය වියදම්කාරී කටයුත්තක් ද වනවා.

කෙසේ නමුත් Kreios Space ආයතනය පවසන්නේ මේ සඳහා කාර්යක්ෂම විසඳුමක් තමන් සතු බවයි. ඔවුන් මේ සඳහා පිළියමක් වශයෙන් විද්‍යුත් ප්‍රචාලන ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙමගින් ඉන්ධන භාවිතයකින් තොර ව VLEO කක්ෂය භාවිතා කළ හැකියි. එසේ ම ඔවුන් පවසන පරිදි මෙය දිනෙන් දින ගොඩ ගැසෙමින් පවතින අජටාකාශ කුණු ගොඩටත් පිළියමක් වනු ඇති.

ඔවුන් මේ නව ප්‍රචාලන පද්ධතිය හඳුන්වන්නේ ABEP නමින්. වා අවශෝෂක විද්‍යුත් ප්‍රචාලනය (Air-Breathing Electric Propulsion) යන්න එහි අර්ථයයි. VLEO කක්ෂය පිහිටන්නේ ඉතා පහළින් බැවින් එහි වාතය සුළු වශයෙන් පවතිනවා. ABEP චන්ද්‍රිකාවේ ඇති වා උමගක් මගින් වාතය උරාගන්නා අතර එය සම්පීඩනය කර ප්ලාස්මාවක් බවට පත් කෙරීම සිදු කෙරෙනවා. අනතුරුව විද්‍යුත් චුම්භක නොසලයක් මගින් එය පිටතට මුදා හැර ප්‍රචාලනය සිදු කෙරෙනවා. Kreios Space ආයතනය පවසන්නේ මේ ක්‍රමය භාවිතයෙන් VLEO ආශ්‍රිත චන්ද්‍රිකා මෙහෙයුම් වඩාත් ලාභදායී ව ඉටුකරගත හැකිවනු ඇති බවයි.

VLEO භාවිත කිරීම මගින් දැනට පෘථිවියෙහි ගැනෙනා චන්ද්‍රිකා ඡායාරූප මෙන් දහසය ගුණයක ගුණාත්මක බවකින් යුතු ඡායාරූප ගැනීමෙහි හැකියාව තිබෙනවා. 2024 වන විට සිය ප්‍රථම ABEP පද්ධතිය නිපදවීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් පවසන්නේ.

මෙම ක්‍රමවේදය පෘථිවියට පමණක් නොව, වායුගෝලයක් පවතින ඕනෑ ම ග්‍රහලෝකයක් වටා කක්ෂගත වන චන්ද්‍රිකාකට යොදාගත හැකි වනු ඇති. ඉන්ධන භාරයකින් තොර අනාගත ග්‍රහලෝක ගවේෂණ මෙහෙයුම් සඳහා මෙය ද වක්‍රාකාරයෙන් හෝ උපකාරී වනු ඇතැයි යන්න අපගේ පැතුමයි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications