Home FeaturesFuture වැරදි අංකයක් ඇමතූ ‘විශ්ව ඇමතුම’

වැරදි අංකයක් ඇමතූ ‘විශ්ව ඇමතුම’

by cmadurawala

“සම්භාවිතාවන් දෙකක් තියෙනවා. එක්කෝ අපි මේ විශ්වයේ තනිවෙලා. නැත්නම් එහෙම නෑ. ඒ දෙකම එක හා සමාන ව බිහිසුණුයි.” මේ කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ආතර් සී. ක්ලාක් මහතා කියූ වැකියක්. මෙතෙකැයි කියා ගණනය කළ නොහී තරම් තරු කිණිති ගහණ අනන්ත විශ්වය තුළ මිනිස් වර්ගයා හුදෙකලා වීමේ බිය දනවනසුළු හැඟීමත්, තවත් ලෝකාන්තර අසල්වාසීන් අප නො දැනුවත් ව හෝ පැවතීම නිසා හටගන්නා ආක්‍රමණික බුද්දිමතුන් ගැන බියත් එක ම උදෘතයකට ඈඳන්නට ඔහු සමත් වී තිබෙනවා.

පෘථිවියෙන් එපිට රේඩියෝ සංඥා මගින් සන්නිවේදනය කරගන්නා තාක්ෂණයක් සහිත බුද්ධිමත් පාරභෞමික ශිෂ්ටාචාර සෙවීම සඳහා Search for Extraterrestrial Intelligence – SETI ව්‍යාපෘතිය ඇරඹුණේ 80 දශකයේ දී යි. එතැන් සිට අද දක්වා ම එහි ක්‍රියාකාරිත්වය සක්‍රීයයි. පෘථිවියේ විවිධ රටවල ස්ථානගත කර ඇති සවන් අනන්ත විශ්වය දෙසට යොමුව පවතින්නේ කෙදිනක හෝ වෙනත් දියුණු ශිෂ්ටාචාරයකින් එවන රේඩියෝ සංඥාවක් ග්‍රහණය කරගැනීමේ බලාපොරොත්තුවෙන්.

මේ මස මුල් සතියේ චීනයේ පිහිටා තිබෙන Tianyan හෙවත් ‘අහස් ඇස’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Five-hundred meter Aperture Spherical radio Telescope – FAST රේඩියෝ දුරේක්ෂය මුළු ලෝකයේ ම අවධානය දිනාගන්නට සමත් වුණා. ඒ ඊට පාරභෞමික සම්භවයක් සහිත යැයි සැක සහිත සංඥාවක් ග්‍රහණය වූ බවට වාර්තා පළවීමත් සමඟයි.

දැනට ලෝකයේ ඇති විශාලතම රේඩියෝ දුරේක්ෂය වන්නේ මෙයයි. ඉන් උක්ත සිදුවීමට අදාල සංඥාව ග්‍රහණය කරගෙන තිබෙන්නේ වසර පහක් දිගට ඇදෙන ආකාශ සිතියම්ගත කිරීමකට අදාල මූලික ආවේක්ෂණ ක්‍රියාවලියක යෙදී සිටින අතරතුරයි. 2019 සිට 2022 මේ සිදුවීම වූ දින දක්වා FAST දුරේක්ෂයට හසු වූ අසාමාන්‍ය මූලාශ්‍රයන් පෙන්නුම් කෙරෙන සංඥා සංඛ්‍යාව තුනක්. මේවා පටු කලාප ප්‍රස්තරයන්ගෙන් යුතු වුණා. ගැඹුරු අභ්‍යවකාශයේ ඇති ස්වභාවික මූලාශ්‍රයන් මගින් මෙවැනි පටු කලාප ප්‍රස්තර රේඩියෝ සංඥා ජනනය වන්නේ නැහැ.

මේ පිළිබඳ මුලින් ම වාර්තා කර තිබුණේ චීනවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ නිකුත්වන නිල පුවත්පතයි. කෙසේ නමුත් පසුව ඔවුන් ඒ වාර්තාව සිය වෙබ් අඩවියෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබුණා. චීනය තුළ මෙන් ම මුළු ලෝකයේත් සමාජ මාධ්‍ය ජාලා මේ පුවතත් සමඟ ඇවිලෙන්නට පටන්ගද්දී, නිවැරදි පූර්ණ අධීක්ෂණයකට පෙර ම අවසන් තීරණයකට එළැඹීමේ අවධානම ගැන ඇතැම් විද්වතුන් සිය හඬ අවදි කළා. SETI ව්‍යාපෘතියේ වැදගත් භූමිකාවක් ඉටු කරන පර්යේෂක ඩෑන් වර්තිමර් පවසන්නේ ඔහුගේ අත්දැකීම්වලට අනුව මෙසේ හසුවන අස්වභාවික රේඩියෝ තරංගයන්ගේ මූලාශ්‍රය පෘථිවිය බවයි. ඒවා පිටසක්වළ ජීවීන් නොව, මිනිසා විසින් ම තැනූ රේඩියෝ සංඥා බවයි ඔහු සඳහන් කරන්නේ. රේඩියෝ දුරේක්ෂවල ඇති අධි සංවේදී අව-උෂ්ණත්ව රිසීවර මගින් ඇතැම් අවස්ථාවල දී ජංගම දුරකථන, ටෙලිවිශන්, රේඩාර් මෙන් ම කෘත්‍රිම චන්ද්‍රිකා මගින් හටගන්නා දුර්වල සංඥා පවා හසුකර ගන්නවා. පිටසක්වළ සංඥා දඩයමට පැමිණෙන නවකයන් අත්දැකීම් මඳකම හේතුවෙන් මේවා නිරවද්‍ය දත්තයන් සමඟ පටලවාගන්නට වැඩි ඉඩකඩක් පවතින බවයි ඩෑන් පවසන්නේ.

බීජිං නෝමල් විශ්වවිදයාලයේ ‘චීනයේ පාරභෞම ශිෂ්ටාචාර පර්යේෂණ කාණ්ඩයේ’ විද්‍යාඥ සැං ටොංජී (Zhang Tongjie) පවසන්නේ මේ සංඥා ත්‍රිත්වය පිළිබඳ වැඩිදුර විමර්ෂණ සිදුවෙමින් පවතින බවයි. ඒවා බොහෝ විට හුදු රේඩියෝ බාධාවන් (radio interference) පමණක් වන්නට ඉඩ ඇති බවයි ඔහු ද පවසන්නේ. ඒ අනුව පිටසක්වළ ජීවය පිළිබඳ උනන්දු බොහෝ දෙනා විශ්ව ඇමතුම පිළිබඳ දුටු සිහිනය මෙවරත් බොඳ වී යන්නට ආසන්නයි. කෙසේ නමුත් අනන්තය තෙක් විහිදී යන රාත්‍රී අහස දෙස බලා සිටින මොහොතක යළි යළිත් අප විශ්වයේ තනී වී ඇත්දැයි අප අපෙන් ම අසනු ඇති. ගතවන සෑම තත්පරයක් පුරා ම ඈත අහසට ඇහුම්කන් දී සිටින සුවිශාල ඇන්ටනා දීසියකට නුදුරු දිනෙක ම දියුණු, රේඩියෝ සංඥා භාවිත කරීමට තරම් අප හා තාක්ෂණික අතින් සමාන – නමුත් අප තරම් විනාශකාරී නොවන – ජීවීන් පිරිසක් කොඳුරනු ඇතැයි බොහෝ දෙනාගේ පැතුමයි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications