මෙය කියවන ඔබ රාත්‍රියේ දී ළා කොළ පැහැයකින් යුතු එළියක් විහිදුවමින් ඉගිලෙන කණාමැදිරියන් දැක ඇතුවාට සැකයක් නැහැ. කණාමැදිරියන් පමණක් නොවෙයි, තවත් සත්ත්ව විශේෂ, බැක්ටීරියාවන් හා ඇල්ගී විශේෂ මෙන් ම ඇතැම් ශාකවලට ද රාත්‍රියේ දී ආලෝකය නිකුත් කිරීමට හැකියාව තිබෙනවා. මෙය විද්‍යාත්මකව Bioluminescence හෙවත් ජෛව සන්දීප්තිය යනුවෙන් හැඳින්වෙනවා. රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නිසා හටගන්නා මෙය ගොදුර තමා වෙත ඈඳා ගැනීමට, විරුද්ධ ලිංගිකයෙකු ආකර්ෂණය කර ගැනීමට මෙන් ම පවතින ආලෝකය හමුවේ ඊට සමාන ආලෝකයක් නිකුත් කර වසන් වී ආරක්ෂාව සලසා ගැනීමට උපකාරී වනවා.
මෙසේ නික්මෙන ජෛව ප්‍රදීපන ආලෝකය එදිනෙදා කටයුතු ඉටුකර ගැනීමට අවශ්‍ය ආලෝකමත් පරිසරයක් සකසාගැනීම සඳහා තිරසර ක්‍රමවේදයක් වශයෙන් යොදා ගැනෙමින් පවතිනවා. ඒ ප්‍රංශයේ පිහිටි සමාගමක් මගින්. 2019 දී ඇරඹුණු Glowee සමාගම මෙහෙයවුණේ වටපිටාව එළිය කරගැනීම සඳහා ජෛව සන්දීප්තිය යොදාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අරමුණින්.
ඔවුන් මේ සඳහා යොදාගන්නේ Aliivibrio fischeri නම් වූ කරදිය වෙසෙන බැක්ටීරියා විශේෂයක්. මුහුදු ජලය තිබෙන පාරදෘශ්‍ය සිලින්ඩරාකාර නළ තුළ මේ බැක්ටීරියාවන් වැඩෙන්නට සැලැස්වෙනවා. ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ද එයට සැපයෙන අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස බැක්ටීරියාවන්ගේ ජෛව සන්දීප්ත ක්‍රියාවලිය ඇරඹෙනවා. මේ බැක්ටීරියාව මගින් ජනනය වන එළිය ළා නිල් පැහැයකින් යුක්තයි. එය ඉතා මනරම්, ඇස් නිවන ආලෝකයක්. පහන නිවා දැමීමට අවශ්‍ය නම් කළ යුත්තේ නළය වෙත දිවෙන ඔක්සිජන් සැපයුම නවතා දැමීමයි. එවිට බැක්ටීරියාවන් නිර්වායු තත්ත්වයකට පිවිසී ජෛව සන්දීප්තතාව නතර වනවා.
විකල්ප බලශක්ති උත්පාදන ක්‍රම තිබුණත් තවමත් වැඩි වශයෙන් විදුලිය අවශ්‍යතාවය සැපිරෙන්නේ ෆොසිල ඉන්ධන දහනය මගින්. එනිසා අපගේ කාමරය එළිය කරන විදුලි පහනෙන් පවා කාබන් පියසටහනට අගයන් එකතු කරනවා. එය සියයට සියයක් කාබන් විමෝචනයකින් තොර සුපිරිසිදු එළියක් නොවෙයි. Glowee සමාගම පවසන්නේ ජෛව සන්දීපනය උපයෝගී කරගත් පරිසර හිතකාමී ආලෝක ප්‍රභවයක් තනාගත හැකි බවයි.
2019 වසරේ දී ප්‍රංශයේ Rambouillet නගරය සමග ඇතිකරගත් ගිවිසුමක් මත ඇමරිකානු ඩොලර් ලක්ෂය ඉක්ම වූ ආයෝජනයක් Glowee සතු වුණා. ඒ මුළු Rambouillet නගරයම “ජෛව සන්දීප්ත පර්යේෂණාගාරයක්” ලෙස භාවිතා කරීමට අවසරය ද සහිතවයි. මේ වන විටත් නගරය තුළ ඇති කෝවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයේ ආලින්දය එළිය වන්නේ මේ ක්‍රමවේදය යොදාගෙනයි.
දැනට සමාගම සතු ව තිබෙන්නේ නළාකාර ටැංකියක හැඩය ගත් පහන් පමණක් වුවත් නුදුරු අනාගතයේ මං මාවත් එළිය කිරීමට සුදුසු විවිධ ස්වරූපයන්ගෙන් යුත් පහන් නිපදවීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.
Glowee සමාගමේ නූතන ක්‍රියාකාරිත්වය වර්තමානයේ සාර්ථකව දිගහැරෙමින් පැවතියත් ජෛව සන්දීප්ත ජීවීන් යොදාගෙන අවට පරිසරය ආලෝකමත් කරගැනීමේ සංකල්පය ඈත අතීතය දක්වා දිව යනවා. කණාමැදිරියන්ගේ සහ රෑ බදුල්ලන්ගේ ජෛව සන්දීප්තිය මගින් ආලෝකය ලබාගත හැකි බව ක්‍රි.පූ. 350 තරම් ඈත යුගයක දී ඇරිස්ටෝටල් පවා විස්තර කර තිබෙනවා. ගල් අඟුරු හාරන පතල් තුළ ගින්දර දැල්වීම අනතුරු දායක බැවින් පතල්කරුවන් ආලෝක ප්‍රභවයක් ලෙස කණාමැදිරියන් දැමූ බෝතල් යොදාගෙන තිබෙනවා. අතීතයේ පටන් සුළු හා අප්‍රසිද්ධ වශයෙන් යොදා ගැනුණත් පළුල් විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ අත්හදා බැලීම් තුළින් මෙතරම් දුරක් එන්නට සමත් වී ඇත්තේ මේ සමාගම පමණයි. නමුත් තවදුරටත් ජයගත යුතු අභියෝග රාශියක් ඔවුන් ඉදිරියේ තිබෙනවා.
කෙසේ නමුත් අනාගත නගර ආලෝකකරණය පිළිබඳ මාතෘකාව Glowee සමාගමේ ප්රවේශයත් සමඟින් වඩාත් විචිත්‍රවත් වනු ඇතැයි අපි බලාපොරොත්තු තබාගෙන සිටිමු.
සත්‍ය හෙට්ටිආරච්චි