1941 දී කීර්තිමත් විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකු වූ අයිසැක් ඇසිමොෆ් අතින් අපූරු කෙටිකතාවක් ලියැවෙනවා. එහි නම Reason. අභ්‍යවකාශයේ රඳවා ඇති මධ්‍යස්ථානයක් මගින් හිරුගේ කිරණ අභ්‍යවකාශයේ දී ම ග්‍රහණය කරගෙන ඉන් අවශෝෂණය කරගන්නා ශක්තිය ක්ෂුද්‍ර තරංග බවට හරවා පෘථිවිය වෙත සම්ප්‍රේෂණය කෙරෙන ක්‍රමවේදයක සංකල්පයක් ඉන් මුල් ම වතාවට ලෝකයට දායාද කෙරුණා. 1968 දී මේ සංකල්පය Satellite Solar Power System – (SSPS) නමින් නැවත විදුලොවට ඉදිරිපත් වූ අතර 1973 දී පීටර් එඩ්වඩ් ග්ලාසර් නමැති චෙකොස්ලෝවැකියානු සම්භවයක් සහිත ඇමෙරිකානු විද්‍යාඥයා චන්ද්‍රිකාවකට සවිකළ වර්ග කිලෝමීටරයක වපසරියක් පුරා පැතිරුණු සුවිශාල ඇන්ටෙනාවක් මගින් පෘථිවියේ ස්ථාපනය කර ඇති ඊටත් වඩා විශාල ඇන්ටෙනාවක් වෙත සූර්ය ශක්තිය, ක්ෂුද්‍ර තරංග ලෙස දිගු දුර සම්ප්‍රේෂණය කළ හැකි සංකල්පමය ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. ඊට පේටන්ට් බලපත්‍රය පවා හිමි වුණා. වර්තමානය වන විට මේ සංකල්පය හැඳින්වෙන්නේ Space-based Solar Power – (SBSP) හෙවත් අජටාකාශ-පාදක සූර්ය ශක්තිය ලෙසයි.
තවමත් ගව් ගණනක් දුරින් ඇති මේ තාක්ෂණික සංකල්පය යථාර්ථයක් බවට පෙරළීමට බොහෝ සංවර්ධිත රටවල් උත්සාහ දරමින් සිටිනවා. මහජන චීනය මේ අතුරින් කැපී පෙනෙනවා. චීනයේ Xidian විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Duan Baoyan විසින් OMEGA (Orb-shape Membrane Energy Gathering Array) හිසින් යුතු අජටාකාශ-පාදක සූර්ය ශක්ති පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති යෝජනාවලියක් ඉදිරිපත් කරනු ලැබුවේ 2014 වසරේ දී යි. 2012 දී NASA ආයතනය විසින් ද මීට බොහෝ සෙයින් සමාන SPS-ALPHA (Solar Power Satellite via Arbitrarily Large Phased Array) නමින් යුතු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා. NASA ආයතනය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඉන් ශක්තිය මෙගාවොට් දහස් ගණනින් පෘථිවිය මතට සම්ප්‍රේෂණය කළ හැකි වනු ඇති බවයි.
මේ අතර පසුගිය ජුනි 5 වන දා චීනයේ OMEGA ව්‍යපෘතිය සූර්ය ශක්තිය ක්ෂුද්‍ර තරංග බවට පෙරළා මීටර 55ක් දුරට රැහැන් රහිත ව සම්ප්‍රේෂණය කරන්නට සමත් වුණා. Xidian විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ මේ සුළු සාර්ථකත්වය හේතුවෙන් තම ව්‍යාපෘති කාල රාමුව වසර තුනකින් පෙරට පැමිණි බවයි. විශ්වවිද්‍යාලයට අයත් භූමි කොටසක ඔවුන්ගේ අජටාකාශ-පාදක සූර්ය බලශක්ති බලාගාරය ඉදිකර තිබෙනවා. මීටර 75ක උසකින් යුතු වානේ නිර්මිත දැවැන්ත ග්‍රාහක ඇන්ටෙනාවක් එය සතුයි. භූස්ථාවර කක්ෂයක පවතින චන්ද්‍රිකා පද්ධතියක් මගින් පැය 24 පුරා නො කඩවා හිරු එළිය ග්‍රහණය කර අධි-සංඛ්‍යාත ක්ෂුද්‍ර තරංග ලෙස මේ ඇන්ටෙනාව වෙත සම්ප්‍රේෂණය කිරීම OMEGA ව්‍යාපෘතියේ සංකල්ප සැලැස්මයි.
OMEGA ව්‍යාපෘතිය පෙරමුණේ පසුවෙමින් පැවතියත් තවමත් එය ලබාගෙන ඇත්තේ සීමිත සාර්ථකත්වයක් පමණයි. මහාචාර්ය Baoyan පවසන්නේ පරිපූර්ණ වශයෙන් ක්‍රියාකාරී අජාටාකාශ-පාදක සූර්ය බලශක්ති බලාගාරයක බිහිවීම තවත් බොහෝ කලකින් ඉදිරි අනාගතයේ දී සිදුවන්නක් වනු ඇති බවයි.
වර්තමානයේ ලෝකයා මුහුණ දී සිටින බලශක්ති අර්බුදය හේතුවෙන් බොහෝ දෙනා විකල්ප බලශක්ති මූලාශ්‍රයන් වෙත යොමුවෙමින් පවතිනවා. සූර්ය බලශක්තිය මේ අතුරින් බොහෝ සෙයින් ජනප්‍රියයි. නමුත් මෙහි යම් අකාර්යක්ෂම බවක් ද තිබෙනවා. රාත්‍රී කාලයේ දී මෙන් ම අඳුරු අහසක් පවතින හෝ වැසිබර දිනවල දී මින් විදුලිය නිපදවාගත නො හැකියි. එමෙන් ම පොළොවට පතිතවන හිරු එළිය වායුගෝලය හරහා පැමිණෙන්නේ පෙරීමකට ලක් වෙමින්. වායුගෝලයෙන් පිටත අභ්‍යවකාශයේ දිවා රාත්‍රී වෙනසක් නොමැතිව හිරු එළිය පවතිනවා. එමෙන් ම එය ඔබ එළිමහනේ සැරිසරන විට මුහුණදෙන පාරිසරික හිරු එළියට වඩා බෙහෙවින් සැඩයි. ඉන් උකහාගන්නා ශක්තිය මගින් අනාගත බලශක්ති ඉල්ලුම පරිසර හිතකාමී ව සපුරාලන්නට සමත් වනු ඇති. කෙසේ නමුත් මෙහි අනන්‍ය වූ ගැටලු කිහිපයක් ම පවතිනවා. අධි-සංඛ්‍යාත ක්ෂුද්‍ර තරංගය මගින් සන්නිවේදන උපකරණ සහ ගුවන් ගමන් පරිපාලනය ආදී සංඛ්‍යාත ඔස්සේ සිදුවන මානව ක්‍රියාකාරකම්වලට යම් බලපෑමක් වනු ඇති. එමෙන් ම බලාගාරය අවට වෙසෙන අසල්වාසී ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ යම් සම්භාවිතාවක් ද පවතිනවා. මේ සියල්ල කාලයාගේ ඇවෑමෙන් සිදුවන තාක්ෂණයේ ප්‍රසාරණය තුළ නිරාකරණය කරගන්නට හැකි වේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු.
අනාගතයේ මං සලකුණු
සත්‍ය හෙට්ටිආරච්චි