Home FeaturesFuture මිනිස් සංහතියේ අනාගත මතක ගබඩාව

මිනිස් සංහතියේ අනාගත මතක ගබඩාව

by cmadurawala

මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් මේ දක්වා පැමිණ ඇති ගමනේ දී එක්කාසු කරගෙන ඇති දැනුම් සම්භාරය අති මහත්. ඒ සියල්ල රැඳී ඇත්තේ පෘථිවිය මතයි. යම් හෙයකින් මිනිස් වර්ගයා මිහිපිටින් තුරන් ව ගියහොත් ඒ අමිල දැනුම් පද්ධතියත් කාලයාගෙන් වැළලී යනු ඇති.

මේ පිළිබඳව සිය අවධානය යොමු කල Lonestar නමැති ඇමෙරිකානු සමාගමක් චන්ද්‍රයා මත දත්ත රඳවා තැබිය හැ්කි ක්‍රමවේදයක් තැනීම වෙනුවෙන් කැප වී සිටිනවා. යම් හෙයකින් පෘථිවිය මත ජෛවගෝලය අන්තරායකර අඩියකට වැටුණහොත් එහි ඇති දත්ත සම්භාරය විනාශ වී නො යන ලෙස සඳමත පිහිටුවන උපස්ථ දත්ත මධ්‍යස්ථාන තුළ තැන්පත් කිරීම මෙහි සරල සංකල්පයයි.

මේ වන විටත් Lonestar සමාගමේ නිෂ්පාදිත මෘදුකාංගයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ දී සාර්ථකව භාවිතයට ගැනුණා. 2021 වසරේ දෙසැම්බර් මස එහි ළඟා වූ මෘදුකාංගය අභ්‍යවකාශ මධ්‍යස්ථනය තුළ වූ පරිගණක සර්වරයක් සාර්ථක ලෙස ජාලකරණ නෝඩුවක් (Network Node) බවට පෙරළන්නට සමත් වූණා.

මේ වසරේ අග කාර්තුවේ දී NASA ආයතනයේ වාණිජ්‍ය චන්ද්‍ර අයබර සේවා වැඩසටහන (Commercial Lunar Payload Program) අනුයුක්ත ව Intuitive Machines සමාගම විසින් නිර්මිත Nova – C චන්ද්‍ර යානය (moon lander) සිය පළමු මෙහෙයුම වන IM-1 දියත් කිරීමට සැලසුම් කර ඇති අතර මෙහි දී ඒ සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන මෘදුකාංගය මුල් වතාවට සඳ මත දී පරීක්ෂා කර බැලීමට නියමිතයි.

තව ම නිශ්චිත දින නියමයක් නැතත් ලබන වසරේ දියත් කිරීමට බලාපොරොත්තු වන IM-2 මෙහෙයුමේ දී NASA ආයතනයේ PRIME-1 අයිස් විදිනයත් සමගින් Lonestar සමාගමේ පළමු දෘඩ මූලාකෘතිය සඳ මත දී අත්හදා බැලීමට සැලසුම් කර තිබෙනවා. එහි බර කිලෝග්‍රෑම් 16ක් පමණ වනු ඇති අතර ටෙරාබයිට 16ක මතක ධාරිතාවයකිනුත් යුක්ත වනු ඇති. මෙහි දී පෘථිවියේ සිට එහි ගබඩා වන පරිදි දත්ත උඩුගත කිරීමත්, එහි සිට දත්ත බාගත කිරීමත් අත්හදා බැලෙනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

සඳ මතුපිට පවතින්නේ අතිශය විෂම පරිසරයක්. ක්ෂුද්‍ර උල්කා ඝට්ටනයන්ගේ සිට සූර්ය කුණාටු හා කොස්මික් විකිරණය තෙක් දිවෙන උවදුරු ගණනාවක් එහි පවතිනවා. මේ හේතුව නිසා උපස්ථ දත්ත මධ්‍යස්ථාන සඳ මතුපිට ම පවත්වාගෙන යාම අපහසු කටයුත්තක් වීමට ඉඩ තිබෙනවා. සමාගම පවසන්නේ මේ සඳහා උචිත ම පරිසරයක් චන්ද්‍රයාගේ පොළොව යට ඇති බවයි. ඒ කාලයාගේ ඈවෑමෙන් මිදී ගිය ලාවා නළයි. තවමත් නිෂ්චිතව පැවසිය නො හැකි අනාගතයක දී රොබෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් ලාවා නළ තුළට පිවිස දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කළ හැකි තාක්ෂණයක් උදාකරගත හැකිවේ යැයි ඔවුන් බලාපොරොත්තු වනවා.

අනාගතයේ මං සලකුණු
සත්‍ය හෙට්ටිආරච්චි

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications